IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්‍රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණුසුම් පුවත් මවන ජවාරම බවට පත්ව ඇත්තේ මිනිස් ජාවාරමයි. මිනිස් ජාවාරම යන්න ද ශ්‍රී ලංකාවට අලු‍ත් දෙයක් නොවන බව ඉතිහාසය සාක්ෂි සපයයි.

2019 පුද්ගලයන් 70 ක් රැගත් නිතීවිරෝධී බෝට්ටුව ප්‍රංශය වෙත යාම, 2021 ලාංකිකයන් 34 ක් කැනඩාවට ගෙනයන මුවාවෙන් ඉන්දියාවට යැවීම, 2022 ඩුබායි විදේශ රැකියා සඳහා කාන්තාවන් පිටත් කර යවනවා යැයි පවසා නීති විරෝධී ලෙස ඕමාන් වෙත රැගෙන ගොස් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම, 2024 ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීම ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදු වූ මිනිස් ජාවාරම්ය.

මිනිස් ජාවාරමක් යන්න ගෝලීය සංසිද්ධියකි. මිනිසුන්ගේ ලාභ ශ්‍රමය හෝ ලිංගික සූරාකෑම සඳහා බඳවා ගැනීම, ප්‍රවාහනය සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම මේ යටතට ගැනේ. මෙය ගෝලීය  ප්‍රවාහය තුළ ඉතාමත් වේගයෙන් වර්ධනය වන ම්ලේච්ඡ ව්‍යාපාරයකි. බලය, තර්ජනය, රැවටීම මිනිස් ජාවාරමේ සාමාන්‍ය තත්වයකි. ජාවාරම්කරුවන් ප්‍රධාන මහ මොළකරුවන් වන අතර ඔවුන් වටා නොයෙක් හස්ත ඒකරාශී වී සිටී. වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ කාන්තාවන්, ළමයින්, යෞවනයන්, නිවාස නොමැති පුද්ගලයන්, සංක්‍රමණිකයන් සහ කැපකරු රැකවරණයේ සිටින ළමයින්ය. බොහෝ පුද්ගලයෝ නොදැනුවත්වම මිනිස් ජාවාරමේ ගොදුරක් බවට පත් වෙති.

මෙරට තාරුණ්‍යයෙන් බහුතරයක් රැකියා වියුක්තියෙන් පීඩා විඳිති. රැකියාවක නියලු‍න ද සරිලන වැටුපක් නොලැබේ. එනිසා විදේශගත වී රැකියාවක නියලීම තාරුණ්‍යයේ එකම විකල්පය බවට පත්ව තිබේ. කාගේ අතක හෝ එල්ලී රට යාමට තාරුණ්‍ය උත්සාහ කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වේ. එය තහවුරු කළ ආසන්නතම සිදුවීම ලෙස මව්බිම රැකගැනීම වෙනුවෙන් කැප වූ විශ්‍රාම දිවියේ නියමාකාර වින්දනය ලැබීමට නොහැකිව ජාවාරම්කරුවන්ගේ ඉත්තන් බවට පත් වූ විශ්‍රාමික හමුදා සෙබළුන් දහස් ගණනක් රුසියානු- යුක්රේන යුද්ධයෙන් පීඩා විඳිමින් සිටීම පෙන්නා දිය හැකිය.

රුසියා-යුක්රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු එනම් මේ වනවිට රුසියා-යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයනුන් පිටත්ව ගිය රට, සම්බන්ධීකරණය කළ පුද්ගලයන්, ආයතන සහ දුරකතන අංක ඇතුළු තොරතුරු ලබා දීමට ඉකුත් (09) දා හඳුන්වා දුන් 0112441146 දුරකතන අංකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 288ක් දක්වා ඉහළගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ තොරුතුරු අනුව සනාථ වේ.

මේ වන විට ලැබී ඇති නොනිල වාර්තා අනුව රුසියාවට සහ යුක්රේනයට ගොස් ඇති පිරිස සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යා දත්ත  ඉදිරිපත් වී නොමැති අතර ඇතැම් විට එම සංඛ්‍යාව 1000ක් 2000ක් පමණ විය හැකිය.

ජාවාරම්කරුවන් මෙම මිනිස් ජාවාරම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇත. රුසියාවේ පුරවැසිභාවය, ඉහළ වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් ලබාදෙන බව පවසමින් විශ්‍රාමික හමුදා පිරිස ඉදිරියේ සිහින ලොවක් මවාපාමින් ඔවුන් මෙරටින් යවා ඇත. නමුදු මේ වනතෙක් මියගිය අය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් ඔවුන්ගේ පවුල්වලට හෝ ගෙවා නැත. එහෙත් මෙම ජවාරම්කරුවන් හමුදා සෙබළුන්ව රුසියාවට යැවීමට ලක්ෂ පහළොවක් විස්සක් වැනි මුදලක් ලබාගෙන ඇත. රුසියාවට හා යුක්රේනයට ගිය පිරිස් නිසියාකාරව එම රටවලට ගොස් නොමැති වීම නිසා ඔවුන් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ද නොහැකි තත්වයක් උදාවී තිබේ.

ආර්ථිකය සමග පොරබදිමින් ජීවිතය ගෙන ගිය විශ්‍රාමික සෙබළුන් රුසියාවට යාම සඳහා අවශ්‍ය මුදල් සොයා ගෙන ඇත්තේ පොලියට ණය ලබා ගනිමින් සහ තම ඉඩකඩම්, ගේ දොර පාවා උකසට තබමිනි. නොසිතූ ලෙස සිදු වූ මෙම ඛේදවාචකය නිසා සෙබළුන් කබලෙන් ළිපට වැටුණා මෙනි. ඔවුන්ට ණය ගෙවා ගැනීමටද ක්‍රමයක් නැත. කල්යත්ම උකසින් ගේ දොර ඉඩකඩම් බේර ගනීමට නොහැකි වුවහොත් බිරිඳට දරුවන්ට පවුලේ අයට යන එනමන් නොමැත. මෙය සැබවින්ම මහපොළව නූහුලනා ඛේදවාචකයකි.

රුසියාවට ගොස් මෙම ඛේදවාචකයට මුහුණ දී නැවත ලංකාවට පලා ආ සෙබළෙකු ඔහුගේ දුක්බර කතාව අප සමග පැවසුවේ මෙලෙසයි.

අපිට කිව්වේ රුසියානු යුධ හමුදාවට බැඳෙන්න තමයි අපිව යවන්නේ කියලා. අපි ගියේ සංචාරක වීසා බලපත්‍රයකින්. රුසියාවට අපි ඇතුල් වෙනකොටම අපිට රුසියානු ගමන් බල පත්‍රයක් දෙනවා කියලා කිව්වා. ගියාට පස්සේ තමයි තේරුනේ අපි කුලී හමුදාවක් විදියට බඳවා ගන්නේ කියලා. හමුදාවට බැඳුනට පස්සේ මාස හයෙන් පුරවැසිභාවය ලැබෙනවා, පවුලේ අය ඕන කෙනෙක් අපිට රුසියාවට ගන්න පුළුවන්, ලක්ෂ 7ක් පඩි දෙනවා, මරණයට කෝටි 12ක් වන්දියක් දෙනවා, තුවාල වුණොත් තුවාලය අනුව ලැබෙන වන්දි මුදල තීරණය වෙනවා කිව්වා. ඒ දේවල් නිසා තමයි ලක්ෂ ගාණක් වියදම් කරලා යන්න තීරණය කළේ. හැබයි ඒ කිව්ව දේවල් අපිට ලැබුණේ නෑ. මට යන්න ලක්ෂ 15 ක් ගියා. මම ඉඩම් උකස් තියලා ගියේ.  මාත් එක්ක පුහුණුවීම සඳහා දෙසිය ගාණක් හිටියා. සල්ලි දීලා සතියකින් මට වීසා බලපත්‍රය ලැබුණා. මුලින්ම අපි එක්කන් ගියේ හෝටලයකට. දවස් දෙකක් හෝටලයේ හිටියා. හොඳට කන්න බොන්න දුන්නා. ඊට පස්සේ අපෙන් ගිවිසුමකට අත්සන් ගත්තා. අපිට ගිවිසුමේ පිටපත් දුන්නේ නෑ. ගිවිසුම තිබ්බේ රුසියන් භාෂාවෙන්. අපිට ඒ භාෂාව තේරෙන්නෙත් නෑ. යුද්දෙට බය නිසා නෙමෙයි පැනලා ආවේ. මම මේ ආපු ගමන හරිම භයානක ගමනක්. සමහර විට මැරෙන්නත් තිබ්බා. දැනටත් එහේ තුවාල වුණ අය මැරුණ අය ගොඩක් ඉන්නවා.’’

එකම කණ්ඩායමක් ලෙස මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් යුද භූමියේ සටන් වැදි සෙබළුන් අන්ත දෙකක සිට සටන් බිමට ප්‍රවිශ්ට කර තිබේ. යුක්රේනයට සහ රුසියාවට යවනු ලැබූ සෙබළුන් අතුරින් රුසියාවට ගිය හිටපු හමුදා සාමාජිකයන්ට දැඩි බලපෑමකට මුහුණදීමට සිදුව තිබේ. ඔවුන් කුලී හේවා භටයන් ලෙස යුද්ධයට යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.  සමහර සෙබළුන් රුසියාවේ ගොවිපොළවල රැකියාවට රැගෙන ගොස් ටික දිනකින් එහි රැකියා කිරීම අනවශ්‍ය බව පවසමින් එම ගොවිපොළවලින් ඉවත් කිරීමෙන් පසු කුලී හමුදාව විසින් එම පිරිස් රැගෙන ගොස්  යුද්ධයට යොමුකර තිබේ. ඒ වගේම මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පමණක් රුසියානු-යුක්රේන යුද්ධය සඳහා ගොස් ඇති බව මේ වනවිට ලැබී තිබෙන තොරතුරු අනුව හෙළි වේ. 

මෙම පිරිස් කාණ්ඩ වශයෙන් දෙරටට යොමු කර තිබෙන අතර ඉන් කොටසක් රුසියාවට යැවීම සම්බන්ධයෙන් චෝදනාව මත විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයකු ඇතුළු පස් දෙනකු ද, විශ්‍රාමික සෙබළුන් යුක්රේනයට යැවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තවත් පුද්ගලයන් දෙදනකු ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ විශේෂ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම මත සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ​ෙපාලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ හා මිනිස් ජාවාරම් වැළැක්වීමේ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය.

මේ මිනිස් ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ඇතුළු කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා තියෙන්නේ. ඔවුන් මෙම මිනිස් ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රචාරක කටයුතු සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි. එහිදී ඉහළ වැටුප් ඇතුළු විවිධ වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා. මෙම මිනිස් ජාවාරමට ගොදුරු වූවන් රැල්ලක් ලෙස ඊට හසුව තිබෙනවා. ඒ නිසා මෙවැනි රැවටීම්වලට හසු නොවන ලෙසයි අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 288ක් පමණ ලැබිලා තියනවා. මෙම මිනිස් ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු ඇත්නම් ඒවා 0112 401 146 අංකයට අමතා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.’’

මෙරට සිට වෙනත් රටකට යාමේ දී මෙන්ම වෙනත් රටක සිට අප රටට පැමිණීමේ දී පවතින නීතී රෙගුලාසි පද්ධතියක් පවතී. ඒවා ආරක්ෂා කරමින් නීතිවිරෝධී නොවන ගුවන් ගමන් සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව, තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශය, ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය ආදී වගකිවයුතු ආයතන පවතී. එහෙත් කොපමණ වගකිවයුතු ආයතන තිබුණ ද මෙරට මිනිස් ජාවරම තවමත් සක්‍රීයව ඉතා සූක්ෂම ලෙස සිදුවේ. දහස් ගණනින් පුද්ගලයන් රුසියාව, යුක්‍රේනය වෙත ගමන් කරන තාක් මෙම වගකිවයුතු ආයතන ඇස් වසාගෙන සිටියේ ද යන්න ගැටලු‍වකි. රුසියාවේ සහ යුක්‍රේනයේ දුක්විඳින අනෙක් සෙබළුන් මෙරටට ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගත යුතුය. මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ගේ සහ රජයේ මන්දගාමී ක්‍රියාකලාපය හමුවේ තවත් අසරණ ජීවිත අහිමි වීමට ඉඩ නොතැබිය යුතුය.

 

( *** සටහන: ශෂිකා අබේරත්න, මනීෂා වීරසිංහ)



අදහස් (3)

විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම

saman Dissanayake Friday, 17 May 2024 02:54 PM

මහා ලොකු ලෝක බලවතා. තමන්ගේ රට රැක ගන්න මිනිසුන් නෑ. ලැජ්ජයි පුටින් යකෝ අපේ රටේ යුද්දේ තියෙනකොට අපේ රටේ මිනිස්සු ආවේ. යුද්දෙට කුලි හේවායෝ නෙවෙයි. ඔය ජනධිපතිකම දීපන් ළමයෙකුට.

:       29       9

Asela Friday, 17 May 2024 03:42 PM

දැන් බලන් යනකොට රුසියානු යුක්රේන් කියලා ගහගන්නේ ලංකාවේම කොල්ලෝ දෙපැත්තට බෙදිලා...!

:       0       10

Vithana Sunday, 19 May 2024 06:37 AM

සමන් ඔයාට පිස්සුද නැත්නම් හැටිද? ආණ්ඩුව දැනුවත්ව වෙච්චි ගණුදෙනු නෙවෙයි මේවා. මේ වංචා සහගත මිනිස් ජාවාරම් කරපු අයව පොලීසියෙන් අත්අඩංගුවට අරන් නඩු දාලා රිමාන්ඩ් එකේ ඉන්නේ. ඔයා මෙතැන විකාර කියවනවා.

:       1       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 233 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 113 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 238 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4818 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site