සම්මානනීය ලේඛිකාවක වන සේපාලි මායාදුන්නේ රචනා කළ නවතම නවකතාව ‘හින්දොස් මාලේ’ නමින් පසුගිය දා එළිදැක්වුණි මෑත කාලීන සිංහල නවකතාවේ පර් යේෂණාත්මක අගය ඉහළ තලයකට ගෙන ඒමට දායකවීම සේපාලීගේ නවකතාවල ඇති විශේෂත්වයයි. ප්‍රබුද්ධ පාඨකයාගේ ප්‍රසාදය දිනාගත් ලේඛිකාවක වන ඇය අවස්ථා කිහිපයකදීම සාහිත්‍ය සම්මාන ආදියට පාත්‍ර විය. සෙල්ලම් කාලේ (යෞවන සම්මාන) දෙබෙදුම (ඩි.ආර්. විජයවර්ධන සම්මාන) තිදස (රාජ්‍ය සාහිත්‍ය සම්මාන), හත් අඩියට විනකළ යකු (ගොඩගේ සම්මාන)  පහසුවෙන් හිඳිමි (රාජ්‍ය සාහිත්‍ය සම්මාන) ඇගේ සම්මානලාභී කෘතිවලින් කිපයක් පමණි. ප්‍රේත වස්තුව, මහාසාමි. සුවඳ සන්නිය, අන්තාණි කණු, සැන් සුවඳ වැනි ඇගේ මෑත කාලීන නවකතා පාඨකයා අතර වඩාත් ජනප්‍රිය වූ බව පෙනේ. මෙවර සංවාදය ඈ සමගයි.


• ඔබේ අලුත්ම නවකතාව වන ‘හින්දොස් මාලේ’ නවකතාව ඉතිහාසයේ එක්තරා කාලයක සැඟවුණු වෘත්තාන්තයක් මතු කර ගන්නවා සේම ජනශ්‍රැතිය පදනම් කොටගත් පර් යේෂණාත්මක සොයාබැලීමකටද මඟ පාදනවා. කොහොමද මේ තේමාව ඔබට මේ තරම් රුචි වුණේ?

හින්දොස් මාලේ ජනශ්‍රැතිය හා වංසකථා සාහිත්‍යය පරිහරණය කර ලියන ලද්දක්. අපට ඉතා අපූරු ජනශ්‍රැතියක් තියෙනවා. මේවා තවමත් බොහෝ දෙනකුගේ ඇස නොගැටුණු දේවල්.

ලෝක සාහිත්‍යය ගැන සලකලා බැලුවාම එක් එක් රටකට, දේශයකට අනන්‍ය වූ ලක්‍ෂණ තියෙනවා. ඇතැම් රටවල සාහිත්‍යයම සටන්කාමී ප්‍රවාහයක්. ඒත් ඉන්දියාවට ඉතා ආසන්නයේ පිහිටියත් අපේ සාහිත්‍යයේ එයට සමානතා ලක්‍ෂණ බොහෝ අඩුයි. අප ජනශ්‍රැතිය ඇසුරු කරන්නට පෙළැඹෙන්නේ ඉතා කුඩා දරුවන් අවදියේදීයි. අපට කුඩා කල අත්තම්මලා කියාදෙන කතන්දර බලන්න. ඒ බොහොමයක්ම අපේ ජනශ්‍රැතියේ කාලාන්තරයක් පුරා කියැවෙන දේවල්. මේවා ඉතා සොඳුරුයි. සිත්ගන්නාසුළුයි.

ඒ ඉතා තදින් පරිහරණය කළ ළමා සාහිත්‍යයේ දී හැර නවකතාවක දී ජනශ්‍රැතිය භාවිත වෙනවා බොහෝම අඩුයි. අපේ වංසකතා ගැනත් බොහෝ දෙනා කියන්නේ ඒවා අතිශයෝක්තියෙන් කියැවී ඇති බවකුයි. බොහෝ යක්‍ෂයන්, හොල්මන්, දෙවි දේවතාවුන් මෙම කතාවල කියැවෙනවා. මුල් කථාව සිත රඳවාගත යුත්තේ ඒ කථාවේ කියැවෙන ප්‍රාතිහාර්යයන් ඉවත්කළ පසුවයි. මේ හේතුවෙන් මුල් කතාව ජනශ්‍රැතියට එක්වී කාලාන්තරයක් පවතිනවා.

කන්ද උඩරට රජකුගේ අන්තඃපුරේට කුමාරිකාවුන් සතර දෙනකු කැඳවාගෙන ආ බවත්, එයින් කුමාරිකාවක වේලාපත්කඩය හොඳ නැති නිසා අකමැත්තෙන් වුවත් ආපසු යැවීමත් සැබෑ සිදුවීමක්. මේ කථාවට දේවත්වය ආරූඪ වී පසුකාලේ විවිධ නම්ගම් ඇති දෙවි දේවතාවුන් බිහිවුණා. එපමණක්ම නොවෙයි. එයින් නුවර කලාවිය සමාජයම බරපතළ වෙනස්වීමකට පසුබෑමකට ලක්වුණා. වර්තමාන සමාජය අළලා ඉදිරිපත් කරන නවකතාවක ගැබ්වුණු චින්තනයම එයින් ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ සියල්ල හාරා අවුස්සා බැලීම මට නම් ඉතාම ප්‍රියයි. ඒ මගේ කැමැත්ත වෙන්න ඇති. මගේ පාඨකයන්ටත් ඒ පුරාණෝක්තිවල මිහිර විඳගන්නට මං අවකාශ සලසා දෙනවා.


• ඓතිහාසික සිද්ධි නවකතාවකට නැගීමේදී සාමාන්‍ය සමාජයේ කතාවක් ගොඩනඟනවාට වඩා සංකීර්ණතා හා සීමාවලට කතුවරයා මුහුණපානවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ඓතිහාසික නවකතාවක චරිත අපට වුවමනා පරිදි හැසිරවීමේ ඉඩකඩ ඉතා අඩුයි. ඒ වාගේම ඇතැම් චරිතයකට ඉතිහාසයේ ලබා දී ඇති ස්ථානය වෙනස් කරන්නට ඇති ඉඩකඩත් ඉතා අඩුයි. එසේ වෙනස් කරනවා නම් එය ඉතිහාසය හා සැසඳෙන ඔප්පු කළ හැකි සාධක මත සකස් කළ යුතුයි. නිදසුනක් ලෙස සාලිය කුමරුගේ පෙම්වතිය සැඩොල් තරුණියක් නොව කාර්මික ගම්මානයක නායකයාගේ දියණිය යයි මහාචාර්ය පරණවිතාන කියනවා. මගේ නවකතාවක මට මෙසේ පුරාවිද්‍යාත්මක සාධකයක් වෙනස් කරන්නට හැකියාවක් නැහැ. එය කළ යුත්තේ පුරාවිද්‍යාවේ දී පමණයි කියා මම සිතනවා.

ඒ හැරුණාම පරිසරය, භාෂාව, චරිත හැසිරවීම එක් එක් ඓතිහාසික යුගයට ගැලපෙන පරිදි විය යුතුයි. එසේ නොකළ විටෙක සමස්ත නවකතාවෙන් කියැවෙන සංසිද්ධියම හෑල්ලුවට ලක්වෙනවා. මහාචාර්ය ඒ.වී. සුරවීර, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වැනි විද්වතුන්ගේ නවකතා කියැවීමෙන් මේ කරුණ හොඳාකාරවම වටහාගත හැකියි.


• ඔබේ නවකතා බොහොමයක් ඓතිහාසික පර් යේෂණ මත පදනම්ව ලියැවුණු ඒවා. ඒත් නවකතාවක් ඕනෑවට වඩා පර්යේෂණාත්මක වීම පාඨකයා වෙහෙසට පත් කරන බව ඇතැම් අය කියනවා. සරල කියැවීමකට හුරු වූ සමාජයකට ඔබේ පර් යේෂණාත්මක ලිවීම් ගලපා ගන්නේ කොහොමද?
නවකතාවක් කියැවීමට පෙරාතුව අප කියැවීමේ කලාව ඔස්සේ දීර්ඝතම ගමනක් පැමිණ ඇති බව ඔබ හොඳාකාරව දන්නවා ඇති. මුල් කාලයේ දී ළමා කෘතිත් එයින් පසු යෞවන සාහිත්‍ය කෘතිත් එයින් පසුව සුලභ ප්‍රේම කථාත් කියැවීමට අප හැමදෙනාම පෙළැඹුණා. පොත් අතරේ සඟවාගෙන අප කියැවූ ඩීමන් ආනන්ද මහතාගේ කෘති එයට නිදසුනක්. එතුමා වෑයම් කළේ එක හුස්මට කියවා හමාර කරමින් පාඨකයාට කියැවීම හුරු කරන්නයි. අද අපේ සමාජය බෙහෙවින්ම සංකීර්ණයි. එහි සාමාන්‍ය ගැඹුරවත් අප තේරුම්ගත යුතුයි. සරල කියැවීමක් සැමවිටෙකම කියවා මඳ වේලාවකින් සිතින් බැහැරවී යනවා. අප යම් කෘතියක රැඳී එහි මිහිර විඳගනිමින් කාලාන්තරයක් එහි ගැබ්වූ ගැඹුර ආස්වාදනය කළ යුතු යයි මට සිතෙනවා. දැන් අප ඒ වියත් පාඨකයන්ට ලිවිය යුතුයි. ලෝකයේ අනෙකුත් රටවල සාහිත්‍යය අප පසුකර ගැඹුරු කෘති නිර්මාණය කර බොහෝ දුර ගිහින්. එසේ ගැඹුරින් කියවා ගන්නට වෑයම් නොකරන්නට අප රුසියන්, අප්‍රිකානු, ඉංග්‍රීසි සාහිත්‍යයට තව අවුරුදු සියයකින්වත් ළඟාවෙන්නට බැරුව එක තැනම නතර වේවි.


• ඔබ කියන්නේ වත්මන් පාඨක සමාජයෙන් බරපතළ වින්දනාත්මක කියැවීම් බැහැරවී හෑල්ලුවට ලක්වී ඇති බවද?
විවිධ කාලවල විවිධ රැලි මතුවී එනවා. ස්වතන්ත්‍ර නවකතා පරිවර්තන තරමට හොඳ නැතැයි අදහසක් වර්තමානයේ සමාජ ගතවෙලා. එහෙත් ඇතැම් නවකතා හෝ වෙනයම් සාහිත්‍යය කෘතියක් හෝ කියැවීමේ දී පාඨක රුචිය ඉහළ නැංවීමට ඒ එක් එක් ලේඛකයා කොපමණ වෙහෙසක් ගන්නට ඇත්දැයි පෙනෙනවා. ඒ කෘතින් උඩින් පල්ලෙන් කියවා බැහැරලීමෙන් හොඳ සාහිත්‍යයක් පමණක් නොවේ එතැනින් තවත් ඉදිරියට යා යුතු නවක ලේඛකයන්ගේ ගමනටත් අකුල් හෙළනවා.

බොහෝවිට ප්‍රේමය යයි වරදවා ගන්නා ලිංගිකත්වය එක පොතකින් කියැවුණත් ඇති. අනෙකුත් නවක ලේඛකයනුත් ඒ හරහා ජනප්‍රිය තාලයේ කෘති බිහි කරන්නට සැදී පැහැදෙනවා. අපේ මුල්ම නවකතාව වුණු ‘මීනා’ වුණත් බොහෝ ගැඹුරින් මිනිස් චර්යාවන් විනිවිද දක්වන්නට වෑයම් කළ නවකතාවක්. ඒ ඔස්සේ ඇතැම් යුගවල නවකතාවට වාසනාවන්ත කාල පරිච්ඡේද උදාවුණා.

නවකතාව සරල ආස්වාදයක් ලබාදෙන කියවා ඉවතලන මාධ්‍යයක් ලෙස දකින පාඨකයින් පිරිසකුත් බිහිවෙලා. එහෙත් වර්තමානයේත් එක හුස්මට කියැවිය හැකි යයි කියැවෙන නවකතා ප්‍රතික්‍ෂේප කරන යහපත් චින්තනයක් සහිත පාඨක පිරිසකුත් ඉන්නවා.


• මෙබඳු පර් යේෂණාත්මක නවකතාවක් රචනා කිරීමේදී ලේඛකයකු ගන්නා වෙහෙස ඉතා බරපතළයි. ඒත් ඒ ගන්නා වෙහෙස පාඨකයාගේ, විචාරකයාගේ පමණක් නොව වගකිවයුතු සමාජයේ සාධාරණය ලේඛකයාට ලැබී ඇතැයි සිතනවාද?
නවකතාවක දී ජනශ්‍රැති හෝ වංසකථා හෝ ඉතිහාසය හෝ වෙනත් විවිධ මෙවලම් භාවිත කරන්නට ලේඛකයා ගන්නේ ඉතා දුෂ්කර වෙහෙසක්. ඇතැම් යුගවල ඉතා සාර්ථක ලේඛකයන් බිහිවන්නට හේතුවූයේ ඒ කෘතිවල කියැවෙන දේ ගැඹුරින් කියවා විවරණය කළ හැකි විචාරක පරපුරක් ද බිහිවී සිටි නිසයි.
ඇතැම් සාර්ථක නවකතාවකට ඇතැම් විචාරකයන් ඇස පොවාවත් බලන්නේ නැති බව ද පිළිගත් කරුණක්. ඔවුනුත් සරල කියැවීමකට ඇබ්බැහි වෙලා. ලෝක සාහිත්‍යයේ නවමං හා විචාර විලාසයන් හොඳින් අධ්‍යයනය කළ විචාරක පරපුරක් අපට අවශ්‍යයි. ඒ තමුන්ට වැටහෙන පරිදි විචාරය කරන්නට නොවෙයි.
බොහෝ දුෂ්කර මංපෙත් ඔස්සේ සැරිසරා ලේඛකයා බිහිකරන සාහිත්‍ය කෘතියක් බොහෝ දැනුම් තේරුම් ඇති විචාරකයකු අතට පත්වූ පසුව සාධාරණයක් ඉටු වෙනවා. එය ලේඛකයාට පමණක් ඉටුකරන සාධාරණයක් නොවේ. පොදුවේ යහපත් පාඨක පරපුරක් ද බිහිකරන වෑයමක්.

වර්තමානයේ දී මෙවැනි බොහෝ වෑයමින් බිහිකරන පර් යේෂණාත්මක නවකතාවකට සමාජයෙන් ලැබෙන පිළිගැනීම කනගාටුදායකයි. අප වෙනස් කළ යුත්තේ විචාරකයා බව සහ ඔහු මගින් හොඳ පාඨක පරපුරක් බව මා විශ්වාස කරනවා.


(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)