නිදහස ලබා වසර 73ක් ගෙවී තිබෙන තැන, ශ්‍රී ලංකාවට එරෙහිව ගෝලීය සන්ධානයක් විසින් ඉදිරිපත් කරන ලද ඉතා බරපතල පන්නයේ යෝජනාවලියක් අවසානයේදී සම්මත විය. මෙම ඛේදජනක තත්ත්වයට පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ය. මෙකී යෝජනාවලිය සම්මත වූයේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේය.

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම මැයෙන් මාතෘකා ගන්වා තිබූ මෙම යෝජනාවලිය එසේ සම්මත වුවත්, විදේශ කටයුතු විෂයට අදාළ අමාත්‍යවරයා සහ නිලධාරී පැලැන්තිය ශ්‍රී ලංකා ජනතාවට ඒත්තු ගැන්වූයේ අනෙකකි. පෙර සදහන් කළ ලෙසටම, අපට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව තිබූ යෝජනාවලිය සැබැවින්ම බරපතල විය. 

එහෙත්, එවන් පසුබිමක් යටතේ වුව ශ්‍රී ලංකාව මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් කටයුතු කළේ රාජ්‍යතාන්ත්‍රිකත්වය දෙවැනි තැනට දමමින් අන්ධයකු ලෙස සහ යෝජනාවලියෙන් අපට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීමේ සමත් නිසි සැළසුමක් හෝ මූලෝපායක් නොමැතිවය.

මෙම තත්ත්වය සිත කළකිරවයි. එයද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වරිය වන මිෂෙල් බැෂලේ ගේ වාර්තාව සහ එය හා බැදුණු මෙකී යෝජනාවලිය, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රටේ ජනතාවට පුන පුනා කියනු ලැබුණු තත්ත්වයකය.

කෙසේනමුත් ජීනිවාහිදී නම්, එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතා මෙම යෝජනාවලිය නිල වශයෙන්ම පිළිගත්තේය.  ඒ සම්බන්ධයෙන් පැවැති ඉහළම තලයෙන්ම වූ සාකච්ඡාවල ද ඔහු නිරත විය. 

ඔහු එම කටයුතුවල යෙදුණු ආකාරය වෙනම කතාවකි. නමුත් දැන්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාවලිය නීති විරෝධී බවය. පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසුවේ ය. 

යෝජනාවලිය නීතිවිරෝධී නම් ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවල යෙදුණේ ඇයි? විදේශ කටයුතු අමාත්‍යවරයා අනුගමනය කරමින් සිටින පිළිවෙත, ඔහුට පෙර මෙම ධූරය හෙබවූ අමාත්‍යවරුන්ට වඩා ඉඳුරාම වෙනස්ය.

කොටින්ම, මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීම පසුපස සිටින රටවල් කණ්ඩායමේ එක් සාමාජිකයෙක් ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල දී යෝජනාවලියෙන් මතුකර තිබෙන ගැටළු වඩා නිරවුල් කරගැනීම සදහා විකල්ප භාෂා මාධ්‍යයක් යෝජනා කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් කටයුතු නොකළේ මන්දැයි විමතිය පළකළේ ය. මෙය සිදුවූයේ චන්ද්‍රප්‍රේම මහතා නොනිල මට්ටමින් යෝජනාවලිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවල නිරතව සිටි අතරවාරයේය. 

මෙම සාකච්ඡා වෙනත් රටවල් හරහා වුව සිදුකරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබිණ. එහිදී යෝජනාවලියේ අන්තර්ගතය වඩා සරල කරගැනීම සදහා විකල්ප භාෂාවක් යොදාගන්නා බව සදහන් කළ හැකිව තිබිණ. මෙය විශේෂයෙන්ම, සංහිදියාව සම්බන්ධයෙන් වන ගැටළු විසඳාගැනීම සදහා වන මූලෝපායන් අනාගතය ඉලක්ක කර තවදුරටත් සංවර්ධනය කළ යුතුව තිබෙන බවට සදහන් වූ මෙහෙයුම් ඡේද අංක 6 සැළකූ විට වැදගත්ය. එහිදී, පෙර සදහන් කළ පන්නයේ උපාය මාර්ගයක් භාවිතා කිරීම ශ්‍රී ලංකාවට අතපසුව තිබෙන බව පෙනී ගියේ සාකච්ඡාවට භාජනය වූ වාර්තාව පිටු 70ක් ඉක්මවා තිබූ බැවිනි. 

ජිනීවා නුවරදී මෙන්ම කොළඹදී ද, ශ්‍රී ලංකා බලධරයින් කටයුතු කළේ රාජ්‍යතාන්ත්‍රිකත්වය සම්බන්ධයෙන් කිසිදු වෘත්තීමය පරිණතභාවයක් නොමැතිව යැයි හඳුනාගැනීම මෙතැන තිබූ ගැටළුව යන්තමින් පැහැදිලි කරගැනීමක් පමණි. ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා රටක් මෙන්ම සමස්ත ජනතාව ද ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත්වීම එක්තරා අතකට පුදුමයක් නැත.

 

 


ශ්‍රී ලංකා නියෝජිතයාගේ මතය


යෝජනාවලිය සම්මතවීමට පෙර කතාව අවසන් කරමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා පළකළ අදහස්වලට අවධානය යොමුකිරීම වටී. 

යෝජනාවලියට සංශෝධන සිදුකරන්නැයි ශ්‍රී ලංකාව කළ ඉල්ලීම්වලට තැනක් හිමි නොවීම ගැන කණගාටුවට පත්වන බව කියා සිටි ඔහු ඒ නිසාම ශ්‍රී ලංකාව මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව පැවසුවේ ය. නමුත් ආරම්භයේ දී අප අනුගමනය කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලය සමග එය හමුවට ඉදිරිපත් තිබූ යෝජනාවලිය පිළිබදව නිල වශයෙන්ම අදාළ කටයුතුවල නිරත වන පිළිවෙතකි. එයින් පසුව එය ප්‍රතික්ෂේප කෙරෙන බවට ප්‍රකාශ කැරුණු අතර රජයේ අලුත් පිළිවෙත එය බව පැහැදිලිය. 

මෙවන් තත්ත්වයක, ලබන සැප්තැම්බරයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව කවර නම් ස්ථාවරයක් අනුගමනය කරනු ඇතිදැයි යන්න ගැටළුකාරීය. 
ශ්‍රී ලංකාව එදිනට කෙසේ කටයුතු කරනු ඇති ද? නීති විරෝධී යැයි විදේශ කටයුතු අමාත්‍යවරයා හඳුන්වාදුන් යමක් පදනම් කරගත් සාකච්ඡාවල නිරතවීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් තිබේ ද? එසේ කිරීම යනු, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන ගත් විට නම්, රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය පළුදු කරන්නක් නොවේ ද?

රටවල් 22ක් යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය. ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ටි්‍රයාව, බහාමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කොස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජී, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාර්ෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, කොරියානු සමූහාණ්ඩුව, යුක්රේනය, එක්සත් රාජධානිය සහ උරුගුවේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල්ය. 

2009 වසර සිට ගත්විට, මෙය ශ්‍රී ලංකාවට එරෙහිව අඩුම රටවල් ප්‍රමාණයක් ඡන්දය භාවිතා කළ දෙවන අවස්ථාවයි. 2009 වසරේ රටවල් 12 ක්, 2012 වසරේ රටවල් 23 ක්, 2013 වසරේ රටවල් 2 5ක් සහ 2014 වසරේ රටවල් 23 ක් ලෙස, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ වී තිබේ. ඉදිරිපත්ව තිබූ යෝජනාවලියට සම-අනුග්‍රහකත්වය දැක්වීම නිසා 2015, 2017 සහ 2019 යන වසරවල ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් නොපැවැත්විණ.

සමස්තයක් වශයෙන් ගත්විට, අඟහරුවාදා ප්‍රතිඵලයෙන් පෙනී යන එක් කාරණයක් නම් භූදේශපාලනික වශයෙන් එක් කඳවුරකට රටවල් එකතු කිරීම තවමත් දුෂ්කර බවය. මෙම කාරණය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ඉදිරිපත් කළ රටවල කණ්ඩායමේ අවධානයට ලක්වීම වටී. එමෙන්ම ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි රටවල සම්පූර්ණ සහාය තමන් වෙත දිනාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුම වන අතර ඔවුන්ගේ එම සහාය අනාගතයේ දී නියත වශයෙන්ම අවශ්‍යවනු ඇත. මේ සදහා ඉතාම උසස් මට්ටමේ වෘත්තිමය භාවයකින් යුතුව, ඔවුන් සමග කටයුතු කිරීම අනිවාර්යය බව අමුතුවෙන් කිවයුතු නොවේ.


එකිනෙකාට අනන්‍ය  විදේශ ප්‍රතිපත්ති

මෙහිලා, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ඔවුන් එකිනෙකාට අනන්‍ය වූ විදේශ ප්‍රතිපත්ති හා බැදුණු - ඔවුන් වඩාත් අවධානය යොමුකරන කරුණු කාරණා තිබේ. උදාහරණයක් ලෙස වෙනිසියුලාව ගතහොත්, ඔවුන් බටහිර රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැඩි විරුද්ධවාදී පිළිවෙතකි. කියුබාව ප්‍රතිපත්තියක් ලෙස කිසියම් රටක් විශේෂකොටම සඳහන් කර ඉදිරිපත් කරනා යෝජනාවලීන්ට සහාය නොදක්වන බව එරට නියෝජිතයා ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ පැවසුවේ ය. කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාව දිගින් දිගටම කියුබාවේ සහායට පෙනී සිට තිබෙන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ද එළෙසම අප අනුගමනය කරන්නේ කියුබාවට පක්ෂ පිළිවෙතකි.

දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන එරිත්‍රියාවේ ඡන්දය ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගැනීමට තානාපති චන්ද්‍රප්‍රේම මහතා සමත් විය. ඔහු එසේ කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියේ ඡන්ද විමසීමට පෙර එරිත්‍රියාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධව කවුන්සිලය හමුවට ඉදිරිපත්ව තිබූ යෝජනාවලියකට විපක්ෂව ශ්‍රී ලංකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙනි. එයට ප්‍රතිඋපකාරයක් ලෙස එරිත්‍රියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියට විපක්ෂව (ශ්‍රී ලංකාවට පක්ෂව) සිය ඡන්දය භාවිතා කළේ ය. 

මෙරට බෙදුම්වාදී යුද සමයේ දී, එරිත්‍රියාව එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ප්‍රධාන තිප්පොලක් වූ අතර ශ්‍රී ලංකාවට යුද උපකරණ නැව්ගත කිරීම සදහා වූ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඔවුහු එරට යොදාගත්හ. ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙක් සිය රටට අනුයුක්ත කිරීම පවා එරිත්‍රියාවේ නායකයෝ එදවස ප්‍රතික්ෂේප කළහ.

එම තනතුරට අනුයුක්ත කර තිබුණේ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාය. එරිත්‍රියාවේ විරෝධය නිසා කරුණාසේකර මහතාව කයිරෝහි (ඊජිප්තුවේ අගනුවර) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවූ අතර එහි සිට එරිත්‍රියාවේ කටයුතු සොයාබැලීම ඔහුට පැවරිණ.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

පරිවර්තනය - කෝවිද ගුණසේකර