වලස්සු දෙන්නත් අපත් අතර දුර අඩි දහයක් විස්සක් විතර ඇති. මහා බියකරු විදිහට ගොරවාගෙන තමයි දැන් අපේ පැත්තට එන්නේ. දුවන්නවත් වෙලාවක් නෑ. ”කරන්න දෙයක් නෑ ගහමු” කියලා මම අබේරත්නට කිව්වා. එහෙම කියලා වලහා ළඟටම එන්නත් කලින් කැති දෙක වැනුවා. එහෙම වනනකොට ඒ පාරවල් ළඟ තිබුණු පොඩි පොඩි ගස් වලටත් වැදුණා. අපි එහෙම කරන ගමන්ම මහා හයියෙන් කෑ ගැහුවා. පුදුමේ කියන්නේ අපේ වාසනාවට වලස්සු දෙන්නා දකුණු පැත්තට තිබුණු අතුරු පාරකට පැනලා මහා හයියෙන් ගොරවාගෙන දුවලා නොපෙනීම ගියා. විනාඩි දෙක තුනකට වඩා උන් ගොරවාගෙන ඈතටම යන හඬ අපට ඇහුනා. මේ සිද්ධියෙන් දැඩි භීතියටත් කම්පනයටත් පත් වූ චන්ද්‍රසිරි මහතා මින් ඉදිරියේදී කැලෑවේ සැරිසරද්දී අවධානයට මුල් තැන දීමට ඉටා ගත්තේය. ඒ නිසාමදෝ අවස්ථා ගණනකදී චන්ද්‍රසිරි මහතා වන සතුන්ගෙන් දිවි ගලවා ගත්තේය. එදා තමන් සමග පිටුපසින් පැමිණි අනිත් මිතුරන් තිදෙනා ගැන සොයා බලද්දී චන්ද්‍රිසිරි මහතා දුටුවේ ඔවුන් දෙදෙනා දිව ගොස් ගස් උඩ නැග සිටින අයුරුය. ”උඹලනම් මාර යාළුවෝ” තමයි කී චන්ද්‍රසිරි මහතා නැවතත් සියලූ දෙනා සමග ගමන් ඇරඹුවේය. චන්ද්‍රසිරි මහතා ටික දිනක් යන විට කාටත් ”චන්දරේ අයියා” විය. වන ජීවී සංරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බොහෝ ඉහළ නිලධාරින්ගේ සිට පහළම නිලධාරියා දක්වා සැවොම ඔහු ඇමතුවේ ”චන්දරේ” යන නම මුලට දමමිනි. චන්දරේ අයියා පවසන ආකාරයට වලසකු මූණෙන් මූණට ආසන්න දුරකදී මුණ ගැසුණොත් බේරීම උගහටය. ”වලසුන් සමග පොර බදා ජයගත්තා” යන කියමන බොහෝ විට කියැවුනද දිවි ගලවා ගත් කෙනාට දිවි ගලවා ගැනීමට සිදුවන්නේ මාරාන්තික තුවාල සහිතව බව ඔහු පවසයි. කුමකින් හෝ පහර දෙමින් කෑගසමින් වලසාගේ සමීපයෙන් ඈතට පැනීම කළ යුතු අතර වලසකු තරමක් දුරින් මුණ ගැසුනේ නම් කළ යුතු හොඳම දෙය හැකි ඉක්මනින් වලසාට බදන්නට බැරි, වටා ප‍්‍රමාණයෙන් ඉතා අඩු ගසක් නැගීම බවද ඔහු අවධාරණය කරයි. බොහෝ දෙනෙකු දැඩි තැති ගැන්මකට ලක්වන්නේ කළු ලෝම වලින් පිරි මේ සත්වයාගේ ස්වභාවයට සහ උගේ අමුතුම තාලේ ගෙරවුම් හඬට බව චන්දරේ අයියා පැවසීය. වට ප‍්‍රමාණයෙන් අඩු ගසක වලසාට නැගීමට අපහසු නිසා කල්පනාවෙන් ඒ දේ කළ බොහෝ දෙනෙක් කිසිදු උපද්‍රවයකින් තොරව දිවි ගලවා ගත් අවස්ථා ඇති බව චන්දරේ අයියා මෙනෙහි කළේය. ගල්ඔය ජාතික වනෝද්‍යානයේ සේවය කරමින් සිටින කාලයේ දිනක් චන්දරේ අයියා සිය සගයන් සමග දිග්ගලමුල්ල පාර දිගේ සේනානායක සමුදුරේ වැව්පිටිය දෙසට එමින් සිටියේය. වන පෙත අවසන් වී එළිමහන් වැව් පිටියට බට ඔවුන්ට දැක ගත හැකි වූයේ දිය බොමින් සිටි කුළු හරක් රංචුවකි. පස්දෙනාම ඒ දෙස බලා මද වේලාවක් නිහඬව සිටියේය. දිය බොන කුළු හරක් කීප දෙනා හැරුණු විට තවත් කීප දෙනෙකු ඊට තරමක් මෑතින් සිටියේය. උන් අතරින් එක් කුලකු චන්දරේලා දෙස බලා සිට එක් වරම එදෙසට වේගයෙන් ඇදෙන්නට විය. ඌ අනුගමනය කළ අනෙක් හරකුන්ද ඒ පසුපසින්ම දිව ආවේය. නියං සමයක් වූ හෙයින් වැව් පිටියේ තණ කොළ වියැලී තැන තැන පොළොව මතු වී තිබුණි. කුළු හරක් රංචුවේ කුර ගැටීමත් සමග ජලය ඉහළ නැගි දුවිල්ල දුවිලි වලාවක් බඳු විය. එන පොට හොඳ නැති බව දැනගත් පිරිස් ආපසු හැරී පටු වන මං පෙත දිගේ ද පසු පස නොබලා දිවූහ. දිව ගොස් ගස් වලට නැග දිවි බේරාගත්හ. ගස් වටා කැරකුණු කුළු හරක් රංචුව හඬ නගාගෙනම වනයට වැදී අතුරුදන් වූහ. එක කුළු හරකෙක් කරන දේ රැලේ අනිත් පිරිසත් අනුගමනය කරන එක උන්ගේ සිරිතක්. සමහර විට ඒ රැලේ නායකයා වෙන්නත් පුළුවන්. කුළු හරකගෙන් බේරෙන්න නම් එක්කෝ ගහකට නගින්න ඕන. එහෙම නැත්නම් බිම දිගාවෙන්න ඕන. කරන්නම දෙයක් නැත්නම් තමයි බිම දිගා වෙන්න ඕනෑ බිම දිගා වුණාම කුළු හරකට අනින්න අමාරුයි. අනිත් හරක් වගේ නොවෙයි කුළු හරකා කකුල් වලින් පා ගන්නේ නෑ. එහෙම සිදුවීම් දුර්ලභයි. ඉදිරියෙන් එන කුළු හරකකුට මූණලා හිටියොත් උගේ අං පහරවල් කලව ප‍්‍රදේශයට වදිනවා. නැත්නම් බඩ මැදට වදිනවා. දුවගෙන යනකොට ඇවිත් ඇන්නොත් වදින්නේ පිට කොන්දට. කුමන ජාතික වනෝද්‍යානයේ හිටපු සුමතිපාල කියලා අපේ නිලධාරියෙක් අසූ ගණන් වලදී කුළු හරක් ප‍්‍රහාරයකින් මැරුණා. බඩට ඇන්නහම බඩ ඉරිලා බඩවැල් පවා එළියට එනවා. සුමතිපාලට වුණෙත් ඒකමයි. අපි ගල්ඔයට ආව මුල් කාලයේ දී වන සතුන්ගෙන් බේරෙන හැටිත්, වනාන්තරයත් එක්ක වැඩ කරන හැටිත් කියා දෙමින් ගෝමිස් අප්පුහාමි මහත්තයාත්, ඒමිස් අප්පුහාමි මහත්තයාත් අපට ගුරුහරුකං දුන්නා. ඒ දෙන්නා ගල්ඔය ෆොරොස්ට් එකේ ඉඳලා තමයි වන සත්ව දෙපාර්තමේන්තුවට අනුයුක්ත වුණේ. ගෝමිස් අප්පුහාමි මහත්තයාගේ ළමයි දෙන්නෙක් දැනටත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ ඩෙස්මන් වයිට් මහතා අත්දැකීම් බහුල නිලධාරියෙකි. ඔහු 1978 වර්ෂය වන විට ගල්ඔය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස සේවය කළේය. එම කාලය තුළදී වනජීවී නිලධාරීන්ට අත් විඳින්නට සිදුවූ තවත් අපූරු සිඳුවීමක් ”චන්දරේ” අයියා විස්තර කළේ මෙසේය. ඒ කාලේ සේනානායක සමුද්‍රයේ මාළු අල්ලන සමහර ධීවරයන්, වනෝද්‍යානයට ගොඩ වෙලා, සතුන් දඩයම් කිරීම ඇතුළු නොයෙකුත් අකටයුතුකම් කරනවා. මේවා වරින් වර ඉඟිනියාගල පිහිටි උද්‍යාන භාරකාර කාර්යාලයට වාර්තා වුණා. මේ ධීවරයින්ට කීප විටක්ම අවවාද කළත් වරින් වර එන පැමිණිලි සහ තොරතුරු වල අඩුවක් වුනේ නෑ. ඒ නිසා වයිට් මහත්තයා තීරණය කළා මේ ගැන සොයා බලන්න. ඒ අනුව එතුමත්, ජයසේන ද සිල්වා, ආරියදාස යන මහත්වරුනුත් තවත් කීප දෙනෙකුත් මමත් බෝට්ටුවේ නැගලා සේනානායක සමුද්‍රයේ ඈත කෙලවරේ ඉටුරට ගොඩ බැස්සා. අපි ගොඩ බහිනකොටත් ධීවරයින් කණ්ඩායමක් තමන්ගේ ඔරු නවත්වලා වැව ඉස්මත්තේ සැරිසරනවා. ධීවරයින්ට කිසිම අයිතියක් නෑ අනවශ්‍ය පරිදි වනෝද්‍යානයට ගොඩබැහැලා ඉන්න. ඒ නිසා වයිට් මහත්තයා ඔවුන්ට තරයේ අවවාද කළා. නමුත් ඒ වෙලාවේ එතන හිටි නාහෙට නාහන කීප දෙනෙකුත් අපේ අනිත් පිරිසත් අතර බහින් බස්වීමක් වෙලා ඒක ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වුණා. ඉන් පසුව ධීවරයන් තමන්ගේ ඔරු වලින් තොටුපළට ආවා. ඇවිත් අනිත් ධීවරයින්වත් ගම්වැසියනුත් පොළඹවගෙන උද්‍යාන භාර කාර්යාලය ළඟට ඇවිත් ලොකු විරෝධයක් පැවැත්වුවා. අපේ අයට බරපතළ විදිහට තර්ජනය කළා. ඉඟිනියාගල ටවුමටවත් යන්න බැරි විදිහට දවසක් දෙකක් වනජීවී නිලධාරීන්ට විවිධ ප‍්‍රශ්න ඇති කළා. ගමම එක පැත්තක් අරගෙන හිටපු නිසාදෝ ඉඟිනියාගල පොලීසියේ මැදිහත්වීම මේ අවුල විසඳන්න තරම් බලවත් වුණෙ නෑ. තුන්වැනි දවසේ වයිට් මහත්තයා අපි හය හත් දෙනකුත් ජීප් එකේ දාගෙන පොලිසියට ගියා. වයිට් මහත්තයාටත් ඉවසුම් නොදෙන තත්ත්වයකයි හිටියේ. පොලීසියට ගිය ගමන්ම ඕ.අයි.සී. මහත්තයා මුණ ගැහුණු වයිට් මහත්තයා මේ වැඬේ මෙතනින් නතර කරනවද නැත්නම් අපිත් කඩයක් දෙකක් කුඩු කරලා දාලා වැඩ පටන් ගන්ඩද? කියලා ඇහුවා. බොහෝම බැ?රුම් විදිහටයි වයිට් මහත්තයා ඒක ඇහුවේ. ඕ.අයි.සී මහත්තයාගේ නළල රැලි ගැහුණා. එතුමා කිව්වා මිස්ටර් වයිට් කලබල වෙන්න එපා. අපි ඒ මිනිස්සුන් එක්කත් සාකච්ඡා කරලා ප‍්‍රශ්නේ විසඳන්නම් කියලා. ඉන්පසුව වයිට් මහත්තයත් ඕ.අයි.සී. මහත්තයත් දීර්ඝව සාකච්ඡා කළා. සාකච්ඡාව අවසානයේ අප නැවතත් වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට ආවා. සටහන සහ සේයාරූ දිගාමඩුල්ල - සමන් දිසානායක
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වලසුන්ගෙන් සහ කුළු හරකුන්ගෙන් දිවි ගැලවුණු හැටි