ඉතිහාසයේ නොවූ තරම් ඉහළ මිලකින් හා ප‍්‍රතිශතයකින් මෙරට විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුව පසුගියදා ගත් තීන්දුවෙන් මුළු රටම ගිනියම් වී තිබේ. ඊට අදාළව අප හා සංවාදයකට එක්වූ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර මහතාගේ මතවාදයි මේ. |
![]() |
ප‍්‍රශ්නය:- අධික ජීවන බරෙන් මිරිකෙමින් කඩිනම් සහන හා වැඩි පඩි අපේක්ෂා කළ ජනතාවට ඉතිහාසයේ නොවූ ඉහළ මිලකින් හා ඉහළ ප‍්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීම ජනතාව තවත් අනාථ කිරීමක් බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර:- ආණ්ඩුවක් බඩු මිල හෝ විදුලි බිල වැඩි කිරීම් තුළින් ජනතාව අපහසුතාවට ලක් කරලා අප‍්‍රසාදයට පත්වීමට කැමැති නැහැ. ඒත් විදුලි හා බලශක්ති ක්ෂේත‍්‍රයේ පවතින උග‍්‍ර යථාර්ථය හමුවේ අපි අකමැති විවිධ තීන්දු ආණ්ඩුවක් ලෙස ගන්න වෙනවා. විදුලි මිල වැඩි කිරීමත් ඒ පදනමින් සිදුවූ දෙයක්. ගත හැකි විකල්පයක් නැතිවී බිත්තියටම හේත්තු වුණාම බරපතළ තීන්දු ගන්නම වෙනවා. මේක කැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි. ජනතාව මින් යම් ගැටලූකාරීත්වයකට මුහුණ දෙනවා ඇති. ඒත් විපක්ෂය හා ඇතැම් ජනමාධ්‍ය මේ තත්ත්වය උග‍්‍ර කරනවා. දේශපාලන වාසි මත පදනම්ව ඔවුන් මෙය විස්තර කරනවා.
ජනතාව මඳක් කැළඹිලා ඉන්නේ ඒකයි. නමුත් ජනතාව බුද්ධිමත්. විපක්ෂයේ හා ජනමාධ්‍යවල නොමඟ යැවීම් තිබුණත් ආණ්ඩුව යන ගමන් මඟ නිවැරැදි බවට ජනතාව හැම ඡුන්දයකදීම අප දිනවලා ඔප්පු කර තිබෙනවා. ඒ නිසා එදා බඩ ගැන මුලින් හිතූ ජනතාව දැන් රටත් අනාගතයත් රට බේරාගත් ආණ්ඩුවත් ගැන හිතලා විදුලි බිල ඇතුළු සියලූ තත්ත්වයන් ඉවසන බව ඒකාන්තයි. මන්ද මේ වේගවත් සංවර්ධනයේ ඉක්මන් ප‍්‍රතිලාභ ජනතාවටම ලැබෙන බව ඔවුන් දන්නවා.
ප‍්‍රශ්නය:- ක්ෂණිකව විදුලි බිල වැඩි කිරීමට හේතු මොනවාද? හිටපු ඇමැති මාරු කරලා නව ඇමැතිනිය පත් කළ පසු ඇය කීවේ නොරොච්චෝලේ චීනයට විකිණීම මෙන්ම විදුලි බිලද වැඩි නොකරන බව නේද?
පිළිතුර:- නොරොච්චෝලේ මෙන්ම ඉහළ කොත්මලේ බලාගාර හදන්න චන්ද්‍රිකා ආණ්ඩුව වගේම 2001 එජාප ආණ්ඩුවත් පියවර ගත්තේ නැහැ. විවිධ බලවේගවලට ඒ ආණ්ඩු යට වුණා. මේ ජනාධිපතිතුමා හා ආණ්ඩුව ඒ බලාගාර දෙකම හැදුවා. ඒ පියවර ගත්තේ නැති නම් අද රට අඳුරේ.
විදුලි බිල හදිසියේ වැඩි කළේ නැහැ. විදුලි මණ්ඩලයේ මූල්‍ය අර්බුදයත් ළඟදී ඇතිවූ දෙයක් නෙවෙයි. හිටපු ඇමැතිතුමා මාරු කළේ මේ ඇමැතිතුමිය යටතේ බිල වැඩි කරන්නය කියන එක මම පිළිගන්නෙ නැහැ. ඇමැතිවරුන්ගේ විෂය පථය මාරු කරන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට ඇති බලතල හා අභිමතය අනුවයි.
ප‍්‍රශ්නය:- ක්ෂණිකව විදුලිබිල වැඩි කළේ ඇයි කියලත් මම ඇහුවා?
පිළිතුර:- ඊට අදාළ පළල් පසුබිමක් තිබෙනවා. ජල විදුලිය හරහා නිෂ්පාදනය කරන ඒකකයක් තවම ඉතා අඩු මුදලට ලැබෙනවා. ඒකකය රු. 05 ක් විතර වෙනවා. ඒත් ජලය හිඟ කාලෙට නියං කාලෙට ජල විදුලිය නිෂ්පාදනය පහළ යනවා.
ප‍්‍රශ්නය:- ජලය හිඟයට වඩා විදුලි මණ්ඩලය හා මණ්ඩලයට අනුබද්ධ සමාගම්වල සිටින අය ආණ්ඩුව දැන හෝ නොදැන ජලාශවල ජලය මුදාහැර තම සමාගම් යටතේ නිපදවන විදුලිය මණ්ඩලයට විකුණනවාලූ නේද?
පිළිතුර:- ඒක මම ප‍්‍රතික්ෂේප කරනවා. විදුලි මණ්ඩලයට ඕනෑ විදියට ජලාශවල ජලය මුදා හරින්න බැහැ. ඒක වාරිමාර්ග අමාත්‍යංශය හා මහවැලියේ ඉංජිනේරුවො ගත යුතු තීන්දුවක්. ජලාශයක ජලය වැඩිවුණාම වාං දාන්න පෙර දොරටු එකිනෙක විවෘත කරනවා. ඒක ඉංජිනේරු කි‍්‍රයාවලියක්.
ප‍්‍රශ්නය:- ඒත් විදුලි මණ්ඩලයේ අය හා මහවැලියේ අය එකමුතුවෙලා ජලය මුදා හැරලා තාප බලාගාරවලින් විදුලිය අරන් ඔවුන් එහිදී විශාල කොමිස් මුදලක් ලබා ගන්නා බවට චෝදනා තිබෙනවා නේද?
පිළිතුර:- එහෙම එකක් තියෙනවද කියල මම දන්නෙ නැහැ. ඔය කතාව ඇත්ත නම් ඒක ඉතා බරපතලයි. ඇමැතිතුමිය හා එකතුවෙලා එවැනි කුමන්ත‍්‍රණ තිබේද කියල සොයා බලන්නම්.
විදුලිය මිල වැඩි කිරීමට හේතු ඔබ ඇහුවා. අඩු මුදලට නිපදවිය හැකි ජල විදුලිය දැන් පවතින නියඟය නිසා අවම වී තිබෙනවා. ඒක ගැටලූවක්. අනික ගල් අඟුරුවලින් දුවන නොරොච්චෝලේ බලාගාරවල තාක්ෂණික ගැටලූ ඇතිවීම තවම ඉඳහිට සිදුවෙනවා. ඒ නිසා රු. 10 කට අඩුවෙන් ලබාගත හැකි විදුලි ඒකකවල යම් හිරවීමක් ඉඳහිට ඇතිවීමත් යම් ගැටලූවක්. ඞීසල් බලාගාරවලින් විදුලිය නිපදවීමත් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමේදී යම් ඉහළ මිලක් ගෙවන්න වෙනවා. අද මැද පෙරදිග පවතින අර්බුද හා ඉන්ධනවලට ඉහළ මිලක් ගෙවීමට සිදුවීමත් ඊළඟ ගැටලූවයි.
විදුලි නිෂ්පාදනයේදී ආණ්ඩුව විශාල සහනයක් එම ක්ෂේත‍්‍රයට මෙතෙක් ලබාදුන්නා. ඒත් ඒක දිගටම කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා. නමුත් තවම වසරකට රු. කෝටි 2500ක් විතර ආණ්ඩුව බර දරනවා. අනික ජනතාවට විදුලිය ලබාදීමේදී මණ්ඩලය විශාල ලෙස ණයවී තිබෙනවා. ණය බර අවම කර නොගත්තොත් මණ්ඩලය හා ක්ෂේත‍්‍රයම කඩා වැටීමක් වෙන්නත් බැරි නැහැ. වහළ ඔළුව උඩට කඩා වැටෙන්න කලින් වහළ අලූත්වැඩියා කර ගැනීම හොඳ නැද්ද?
ප‍්‍රශ්නය:-එහෙත් විදුලිබල මණ්ඩලය තුළ ඇති ඉහවහා ගිය නාස්තිය, දුෂණය, අකාර්යක්ෂමතාව, සැලසුම්ගත නොවීම හා විදුලිය මිලට ගැනීමේදී මණ්ඩලයේ අය දේශපාලන ආවරණය සහිතව රුපියල් කෝටි ගණන් කොමිස් ගැනීම ආදිය විදුලි බිල වැඩිකිරීමට හේතු බවට එල්ලවෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර:-රකම, දුෂණය, වංචාව, නාස්තිය කියන දේවල් මිනිස්සු මේ ලෝකයේ ඉපදුන දවසේ ඉඳලා පවතිනවා. ඒත් විදුලිබල මණ්ඩලයේ ඔය කියන තරම් නාස්තිය, දුෂණය, අකාර්යක්ෂමතාවක් තියෙනවා කියල මම හිතන්නෙ නැහැ. යම් දේවල් සිදුවෙනවා ඇති. ඒත් කියන තරමේ දේවල් සිදුවෙන බව මම හිතන්නෙ නැහැ.
නාස්තිය දුෂණයට වඩා මණ්ඩලයට විදුලිය ඒකකයක් වෙනුවෙන් ඉහළ පිරිවැයක් දරන්න සිදුවීම මේ මිල වැඩි කිරීමට ප‍්‍රධාන හේතුවයි. ඒක මම ඉහතදී පැහැදිලි කළා. අනික මණ්ඩලය මහජන බැංකුව ඇතුළු තැන් කිහිපයකින් විශාල ණය අරන් තියෙනවා. රු. බිලියන 79ක් විතර මණ්ඩලය ණයයි. ඉන් බිලියන 40 ක් විතර උපයලා ණය ගෙවීම කරන්නයි මේ මිල වැඩි කිරීම කළේ. නාස්තිය දුෂණය නිසාම මණ්ඩලය ණය වුණා කියන එක පිළිගන්න අමාරුයි.
විදුලි මණ්ඩලයට යම් ජාතික උත්සවවලට සම්බන්ධ වෙන්න වෙනවා. ඒවාට කර ඇරීමේ හැකියාවක් නැහැ. ඒ කටයුතුවලට යම් මුදලක් වැයවෙනවා. ඒක වළක්වන්න බැරි දෙයක්. ඒවා නාස්තිවලට වඩා ආයෝජන හා මණ්ඩලයේ ජාතික හවුල්කාරීත්වය පිළිබිඹු කිරීමක්. එවැනි කටයුතු පවා හැකිතාක් අවම කරගෙන කි‍්‍රයා කරන්න හිටපු ඇමැති චම්පික රණවක උත්සාහ කළා. තවත් බොහෝ වෙනස්කම් කරලා මණ්ඩලය මුදල් අතින් ශක්තිමත් කරන්න, පවතින ගැටලූ අවම කරන්න පවා එතුමා උත්සාහ කළා. ඒත් ගැටලූව වෙන්නේ මණ්ඩලයට ඉලක්ක ගත වැඩ පිළිවෙළකට මීට කලින් යාමට නොහැකිවීමයි. නොරොච්චෝලේ නිතර කැඩෙන බවට චෝදනා ආවත් ඒ හරහා ලැබෙන මෙගා වොට් 300ක් නැත්නම් ඒ විදුලියත් අපට ඞීසල් බලාගාරවලින් ගන්න වෙන්නේ. එහෙම නම් තවත් පිරිවැයක් යනවා. ඊළඟට ඉහළ කොත්මලේ මෙගාවොට් 150ක් ලැබෙනවා. ඒකත් නැති නම් ඒ විදුලියත් ඞීසල්වලින් නිපදෙව්වා නම් කොච්චර මුදලක් වැය වෙනවද? නොරොච්චෝලේ ඊළඟ අදියර දෙක ඉක්මනින් නිමකළාම ඒ හරහා විශාල වාසි ලැබෙනවා. මොකද ගල් අඟුරුවලින් විදුලි ඒකකයක් නිපදවන්න යන්නේ රු. 10ටත් අඩු මුදලක්. මෙවැනි මිල අඩු විදුලි ඒකක නිපදවිය හැකි තවත් විකල්ප බලශක්ති නිපදවීම ගැන අවධානය දක්වලා ඒක සාර්ථක කරගත්තොත් තමයි අපට සාර්ථකව මේ අභියෝගය ජයගන්න ලැබෙන්නේ.
ප‍්‍රශ්නය:- එජාප යුගයේ වසර 17ට බලාගාර 11ක් හැදුවත් 94 සිට මේ දක්වා මේ ආණ්ඩුව තැනුවේ බලාගාර 03 යි. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ හා කෙරවලපිටිය පමණයි. මේකත් යම් පසුබෑමක් නේද? සාම්පූර් ගල්අඟුරු බලාගාරය ගැන කතා කළාට තවම පස් පිඩැල්ලක්වත් කපල නැහැ නේද?
පිළිතුර:- එජාප යුගයේ ජල විදුලි බලාගාරයි හැදුවේ. ඒක වැරැුදියි කියනවා නෙවෙයි. ඒත් විකල්ප විදුලිය නිපදවීම ගැන ඔවුන් හිතුවෙ නැහැ. සුළං, ගල් අඟුරු ඇතුළු විකල්ප ක‍්‍රම හිතුවෙ නැතිවීම ගැටලූවක්. න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම ගැන නම් තවම ලංකාවට හිතන්න ටිකක් අමාරුයි. ඒත් අපි කැමැති වුණත් නැතත් යම් අනතුරුදායක පසුබිමක් තිබෙනවා කිව්වත් අනාගතයේදී අපට ඒ පැත්තත් බලන්න වේවි. හිටපු ඇමැතිතුමා විකල්ප විදුලිය ගැන අවධානය යොමු කළා. නාස්තිය දුෂණය අවම කරන්නත් උත්සාහ කළා. පසුගිය කාලයේ ඉන්ධන ගැළපුම් ගාස්තු මණ්ඩලය ජනතාවගෙන් අය කළේ නැහැ. භාණ්ඩාගාරයෙන් ඒක ගත්තේ. ඒත් ජනතාව ඒ ගැන දැනුවත් නැහැ. ඒ ගැළපුම් ගාස්තු අතහැරීම නිසාත් මණ්ඩලයට ජනතාවගෙන් ලොකු මුදලක් අහිමි වුණා. පාඩු විඳගෙනයි අපි ජනතාවට විදුලිය දුන්නේ.
ප‍්‍රශ්නය:- එහෙත් මෙවර දුප්පතුන්ට හා මැද පන්තියේ අසරණ ජනතාවට අධික ප‍්‍රතිශතයකින් විදුලි බිල වැඩිකරලා කෝටිපතීන්ට 01%ක ඉතා සුළු මිල වැඩිවීමක් කිරීමට ආණ්ඩුව කි‍්‍රයා කිරීම සදාචාරාත්මකද? දුප්පතා තවත් නන්නත්තාර කිරීමට ආණ්ඩුව උත්සාහ කිරීමේ අරමුණ කුමක්ද?
පිළිතුර:- ඒ තර්කය ප‍්‍රතික්ෂේප කරනවා. මේ ආණ්ඩුව දුප්පතුන්ට බර පටවා පොහොසතුන්ට සහන දුන් බවට ඇති තර්කය පිළිගන්න අමාරුයි. පොහොසතුන්ට මීට කලින් විදුලිය මිල වැඩි කළා. ඒකක 120ට අඩුවෙනුයි සාමාන්‍ය අය විදුලිය පාවිච්චි කරන්නේ. මණ්ඩලයට ආදායමක් ලබාගන්න නම් අකමැත්තෙන් හරි ඒ පැත්ත බලන්න වෙන බවයි මණ්ඩලයට උපදෙස් ලැබුණේ.
ඉහළ විදුලි පාවිච්චියකට යන්නේ කම්හලක්, වැඩ පළක් වගේ යම් නිෂ්පාදන ආයතනයක්. ඒවාට ලොකු මුදලක් වැඩි කළොත් නිෂ්පාදනය අඩු වෙනවා. අපනයනය අඩු වෙනවා. අන්තිමේ රැකියාත් නැතිවේවි. එහෙම වුණොත් රටේ ආර්ථිකය වැටෙනවා. ආණ්ඩුවකට එතැනට යන්න බැහැ.
ප‍්‍රශ්නය:- මම ප‍්‍රශ්න කළේ සුපිරි පන්තියේ නිවාසවලට 01%ක අඩු ප‍්‍රතිශතයකින් විදුලි බිල වැඩිකර දුප්පතුන්ට 126%ක විශාල බරක් පැටවීම ගැනයි. කර්මාන්තවලට මෙවර වෙනමම වැඩිකර තිබෙනවා?
පිළිතුර:- ඔය කියන සුපිරි පන්තියට මීට කලින් වැඩිකළා. ජනතාවට බර නොපැටවීම කාගේත් අදහසයි. ඒත් ඊට විකල්ප ක‍්‍රමයක් නැහැ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊළඟ අදියර මේ වසරේ අන්තිමට තව මෙගාවොට් 300ක් එකතු කරාවි. එවිට යම් සහනයක් දීම ගැන අවධානය දක්වන්න ලැබේවි කියල හිතනවා. එහෙම නොවී ජනතාවට විදුලිය පැත්තෙන් ක්ෂණිකව සහන දෙන්න ඇති හැකියාව අඩුයි. සාම්පූර් ගල් අඟුරු බලාගාරයටත් අපි අත ගහනවා. එහෙම නොවුණොත් විදුලි අර්බුදය තව උග‍්‍රවේවි. නොරොච්චෝලේ ඊළඟ අදියර 02 ක හැදුණාම ජනතාවට යම් සහන දෙන්න ලැබේවි. සාම්පූර් ආවාම එය තවත් පහසුවේවි. එහෙම නැතුව කෙටි කාලීනව විදුලි සහන දීමේ හැකියාවක් නම් පේන්නෙ නැහැ. මොකද මණ්ඩලය රුපියල් බිලියන ගණන් ණයයි. මුලින් ඒවා බේරාගන්නත් තියෙනවා. 91%ක් ජනතාවට අඛණ්ඩව විදුලිය දෙන්න අපි කි‍්‍රයා කළ බවත් අමතක කරන්න නරකයි.
ප‍්‍රශ්නය:- මෙම විදුලි මිල වැඩි කළේ හිටපු ඇමැති රණවක සකස් කළ යෝජනා මත බව වත්මන් ඇමැතිනි පවිත‍්‍රා කියනවා. එය අමූලික බොරුවක් බව ඇමැති චම්පික දැඩි ප‍්‍රහාර එල්ල කළා. දෙදෙනාගේම නියෝජ්‍ය ඇමැති ලෙස ඔබ මොකද කියන්නේ.
පිළිතුර:- මේ මිල වැඩි කිරීම එක එක්කෙනාගෙ ඇෙඟ් ගහන්න නරකයි. විදුලිබල මණ්ඩලයේ අධික පාඩු පියවා ගැනීමට මණ්ඩලයේ ඉල්ලීම මත මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීමෙනුයි මිල වැඩි කිරීමේ නිර්දේශය ආවේ.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග |
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුලි බිල වැඩිවීම කාගේවත් ඇඟේ ගහන්න බෑ...
සමීර Wednesday, 01 May 2013 09:38 AM
මේ රටේ වෙන විදියට මේක ඉබේට වුන සිදුවීමක්. (නි)
දර්ශන් Monday, 29 April 2013 01:57 PM
ගසාගෙන වවාගෙන කන්න නම් කව්රුත් දක්ෂයි තමයි. පාඩුවෙන විදියට වැඩ කරන්නේ ඉතින් අපේ කරුමෙට. (නි)
දයා Monday, 29 April 2013 02:22 PM
ලං.වි.ම. ඇතුළේ නාස්ති වුණු කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ගැනත් සොයා බැලිය යුතුයි නේද? (නි)
අසංක Friday, 03 May 2013 09:41 PM
ගෙදර විදුලි බිල්ල එක 100/- වැඩි උනහම කෑ ගහන අය දවස ගානේ හවසට බාර් එකට ගිහින් 1000/- විතර වියදම් කරලා අරක්කු බොනවා නේද මාසෙකට බෝතල් 3 ක මුදල් ඉතුරු කලානම් නිකන්ම විදුලි බිල ගෙවන්ඩ පුළුවන්. ඕක සදහටම නතර කලානම් හොදට කාලා ඇදලා කීයක් හරි ඉතුරු කරන්ඩත් තිබුන ටිකක් හිතල බලන්ඩ.(නදී)
සාධි Tuesday, 30 April 2013 09:18 PM
විදුලිබිල සාමාන්‍ය පාරිභෝගිකයාට දැඩි පීඩනයක්,එමෙන්ම බොහෝ දෙනෙක් මසකට මත්පැන් සදහා රුපියල් 10000 ට වඩා වැය කරන බව පැහැදිලි කරුණක්.මෙයත් සිතා බැලිය යුතුයි (නු)
දමිත් Thursday, 02 May 2013 12:59 PM
අපි අපේ ඇගේම ගහ ගත්තා (දී)
රාජ් Monday, 29 April 2013 03:25 PM
මේවා අහලා දැන් අපිට වැඩක් තියේද? කියයිද වැරදියි කියලා. (නි)
උපුල් Monday, 29 April 2013 11:14 AM
ඔව් ඉතින් දැන් මහජනයාගේ අැඟේ ගහල ඉවරයිනේ..(ස)
සපුමල් Wednesday, 01 May 2013 12:37 AM
නිසි කලමනාකරනයක් නැති කම තමයි මේවාට ප්‍රධානම හේතුව(නු)
චාලුක Wednesday, 01 May 2013 09:25 PM
අපිට තමයි වග කියන්න වෙන්නේ