සැප්තැම්බර් 11 ප්‍රහාරය, එසේත් නැතිනම් 9/11 යනු ලෝක ඉතිහාසයේ සිදුවුණු බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරයයි. එය ඇමෙරිකාවේත් ලෝකයේත් ගමන් මඟ සම්පූර්ණයෙන් උඩු යටිකුරු කළේය. ප්‍රහාරය එල්ල කළේ එදා ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධනය ලෙස සැලකුණු අල් කයිඩා සංවිධානයයි. අල් කයිඩාවට නායකත්වය ලබා දුන්නේ සෞදි ජාතික ඔසාමා බින් ලාඩන්ය.

සැප්තැම්බර් 11 ප්‍රහාරය යනු ත්‍රස්ත ප්‍රහාර 4 කි. 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා අල් කයිඩා සංවිධානය ඇමෙරිකාව ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කළේ ඉතාමත් සැලැසුම් සහගතවය.ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ පැහැරගත් ඇමෙරිකන් මගී ගුවන් යානා ය. ඇමෙරිකන් ආරක්ෂක අංශ පමණක් නොව, එරට ප්‍රබල සී.අයි.ඒ. බුද්ධි අංශය පවා මවිත කිරීමට 9/11 ප්‍රහාරය සමත් විය. මෙම සැප්තැම්බර් 11 වැනිදාට, 9/11 ප්‍රහාරය සිදුවී වසර 20 ක් ගතවෙයි. මේ සටහන ඒ නිමිත්තෙනි.

9/11 ප්‍රහාරයට අල් කයිඩා ත්‍රස්ත සාමාජිකයෝ 19 දෙනෙක් සම්බන්ධ වූහ. මොවුහු ඊසානදිග ඇමෙරිකාවේ නගරවල සිට කැලිෆෝනියා ජනපදය බලා පියාසර කරන්න වූ ගුවන් යානා 4 ක් පැහැර ගත්හ. ඒ, එම ගුවන් යානා ගුවන් ගත වී පැය කීපයක් ගත වෙද්දීය. ගුවන් යානාපැහැරගත් ත්‍රස්තවාදීන් අතර ගුවන් නියමුවකු ලෙස පුහුණුව ලැබූ එක් ත්‍රස්තවාදියෙක් සිටියේය. යානා පැහැර ගනිමින්, ඒවායේ ගමන් මඟ වෙනස් කරමින් පියාසර කළේ එම ත්‍රස්තවාදීන්ය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ ජීවිත වැඩි ගණනක් බිලි ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉලක්කකර ගනිමින් ගුවන් යානා හැපෙන්න සැලැස්වීමය. ඒවා බිහිසුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් විය. හැකි තරම් ජීවිත හානි සිදුකරන්නැයි ත්‍රස්තයන්ට උපදෙස් ලැබී තිබුණි.

ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමෙරිකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 11 මගී යානය පළමුවෙන් නියමිත ඉලක්කය වෙත පැමිණියේය. එදා ඇමෙරිකන් ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේ මූලික ඡන්ද විමසුමක් පැවැත්වීමට කටයුතු සූදානමින් පැවැතිනි. නිව් යෝක් වැසියන් වැඩිදෙනා උදෑසන අවදිවූයේ ඡන්ද පොළට ගොස් ඉන්පසු රාජකාරි සඳහා පිටත්ව යෑමේ අදහසිනි. ඒත් උදෑසන 8.46 ට සියල්ල වෙනස් විය.

හිටිහැටියේ මහා හඩක් නඟමින්, මගී ගුවන් යානයක් පහළ මැන්හැටන් ප්‍රදේශයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ගොඩනැගිලි දෙකෙන් එකක හැපී පුපුරා ගියේය. කුලුනු ගොඩනැගිල්ලේ හැපුණේ අංක 11 යානයයි. ඒ මොහොතේ එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි කිසිවෙක් දැන සිටියේ නැත. ඊට මිනිත්තු 17 කට පසු උදෑසන 9.03 ට තවත් මගී ගුවන් යානයක් මහ හඩ නගමින් පැමිණ අනෙක් කුලුනේ හැපී පුපුරා ගියේය. ඒ, 'යුනයිටඩ් එයාර් ලයින්ස් 175' ගුවන් යානයයි. පිපිරුමෙන් දෙදෙරා ගිය මහල් 110 කින් සමන්විත කුලුනු ගොඩනැගිලි සෙමින් සෙමින් බිමට කඩා වැටෙන්න විය. කුලුනු දෙක සම්පූර්ණයෙන් බිමට සමතලා වීමට පැය 1 ක් සහ මිනිත්තු 42 ක් ගත විය. එසේ වූයේ සිය ගණනක් බිලි ගනිමින් සහ අවට ගොඩනැගිලි රැසක් ද විනාශ කර දමමිනි.

ත්‍රස්තයන් විසින් පැහැර ගනු ලැබූ තෙවැනි ගුවන් යානය, 'ඇමෙරිකන් එයාර් ලයින්ස් 77' යානයයි. යානය ගුවන්ගත වී තිබුණේ ඩලාස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙනි. ත්‍රස්තයන් යානය පැහැර ගත්තේ එය ඔහියෝ ජනපදයට ඉහළින් පියාසර කරද්දීය. උදෑසන 9.37 වෙද්දී,
නිව් යෝක් නුවරට එල්ලවුණු ප්‍රහාරයෙන් ඇමෙරිකාවත් මුළු ලොවත් කම්පනයට පත් වී සිටිද්දී, වර්ජීනියා ජනපදයේ ආලින්ටන් ප්‍රාන්තයේ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් 'පෙන්ටගනය' දෙසට'ඇමෙරිකන් එයාර් ලයින්ස් 77' යානය පියාසර කරන්න විය. ඉලක්කය සියයට සියයක් නිවැරදි නොවිණි. ත්‍රස්තයන් මගී ගුවන් යානය කඩා වැටෙන්න සැලැස්වූයේ පෙන්ටගනයේ බටහිර කොටසටය. ඒ අනුව හානි සිදුවූයේ එම කොටසට පමණි.

ත්‍රස්තයන් විසින් පැහැර ගනු ලැබූ සිවුවැනි ගුවන් යානය වූයේ යුනයිටඩ් එයාර් ලයින්ස් 93' ගුවන් යානයයි. මෙම යානය වොෂින්ටන් අගනුවර වෙත පියාසර කිරීමට ත්‍රස්තයෝ කටයුතු කළහ. යානයේ ඉලක්කය වූයේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය හෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලය. වොෂින්ටන් අගනුවර බලා පියාසර කරන්න වූ 'යුනයිටඩ් එයාර් ලයින්ස් 93' යානය තුළ වික්‍රම රැසක් සිදුවිය. ඒ සියල්ල පසුව අනාවරණය වූයේ නියමුවන් සහ පාලන මැදිරිය අතරේ සිදුවණු පණිවුඩ හුවමාරුවෙන් සහ ගුවන් යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටියෙන් ලැබුණු තොරතුරු අනුවය. යානයේ නියමුවන් සහ මගීන් අවි ගත් ත්‍රස්තවාදීන්ට එරෙහි නැගී සිටි අතර, කීප දෙ​ෙනක් නිර්භීත ලෙස ත්‍රස්තවාදීන් සමඟ පොර බදන්න වූහ. එම යානය කොල්ල කෑ අල් කයිඩා ත්‍රස්තයන් ගණන 4 කි. යානයේ නියමුවන් සහ මගීන් වීරයන් වෙද්දී, නියමිත ඉලක්කය කරා යානයට පියාසර කිරීමට නොහැකි විය. යානය පෙන්සිල්වේනියා ජනපදයේ සමර්සෙට් ප්‍රාන්තයේ හිස් ඉඩමකට කඩා වැටුණි. ත්‍රස්තයන් සිවු දෙනාත්, නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ යානයේ සිටි මගීන් 44 දෙනාත් එයින් ජීවිතක්ෂයට පත්ව තිබුණි. ඒ උදෑසන 10.30 ට පමණි.

එල්ල වූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ප්‍රහාරය පසුපස සිටින බවත් මුලදී සැක කෙරුණු අතර පසුව එය තහවුරු විය. එසේ වූයේ 2004 දීය. ඒ වනතුරු එම ප්‍රහාරයට තමන් සම්බන්ධ යැයි අල් කයිඩා සංවිධානය වෙනුවෙන් බින් ලාඩන් කිසිවක් තහවුරු කර තිබුණේ ද නැත.

නිව් යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ගොඩනැගිලි ත්‍රස්ත ප්‍රහාරයෙන් කඩා වැටෙද්දී, එය ගෝලීය ආර්ථිකයට ද බලපෑම් එල්ල කරන්න විය. ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව පමණක් නොව, ඉස්ලාමීය අන්තවාදීන්ගේ 'උදහසට' ලක් වුණු බටහිර රටවල් බොහොමයක් ත්‍රස්ත විරෝධී නව නීති සකස් කළේය. ආරක්ෂක අංශ ශක්තිමත් කළේය. බුද්ධි අංශ ශක්තිමත් කළේය. නිව් යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ගොඩනැගිලි කඩා වැටීමෙන් විනාශ වුණු ගොඩනැගිලි පිළිසකර කිරීමත්, සුන්බුන් ඉවත් කිරීමත් අවසන් වූයේ 2002 මැයි මාසයේය. පෙන්ටගනයට සිදුවුණු හානිය වසරක් ඇතුළත පිළිසකර කෙරුණි. කුලුනු ගොඩනැගිලි වෙනුවට එක් කුලුනු ගොඩනැගිල්ලක් 2006 දී එම ස්ථානයේ ඉදිකිරීම ආරම්භ විය. එය 2014 දී ඉදිකර අවසන් විය. 9/11 ප්‍රහාරයෙන් මියගිය ගණන 2‍,977 ඉක්මවයි. තුවාල ලැබූ ගණන 25,000 කට වඩා වැඩිය. සිදුවුණු දේපල හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කට වැඩිය. 9/11 ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කිරීම වාර්ෂිකව සිදුවෙයි.

මෙම වසරේ එනම් 9/11 ප්‍රහාරය සිදුවී වසර 20 ක් ගතවෙද්දී, විශේෂ ගුණ සැමරුම් කීපයක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

9/11 ප්‍රහාරය එල්ල වෙද්දී, ඇමෙරිකාවේ ජනාධිපතිධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ය. 9/11 ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තවාදීන් පුහුණුව ලබා තිබුණේ ඇෆ්ගනිස්තානයේය. ඒ වනවිට ඇෆ්ගනිස්තානයේ පැවැතියේ තලේබාන් පාලනයයි. තලේබාන්වරුන් රජයක් පිහිටුවා තිබුණේ ඔවුන් විසින් ම සකස් කර ගත්, ඔවුන්ට පමණක් ආවේණික වූ දලදඩු ෂරියා නීතිය ක්‍රියාත්මක කරමිණි. අල් කයිඩා සංවිධානයට, මුල්ලා ඕමාර්ගේ නායකත්වයෙන් යුත් තලේබාන් සංවිධානයේත්, තලේබාන් රජයේත් සහාය හිමිවිය. ඔසාමා බින් ලාඩන් තමන්ට වහා බාර දෙන්නැයි ඇමෙරිකාව තලේබාන්වරුන්ට පැවැසීය. තලේබාන්වරුන් එය ප්‍රතික්ෂේප කළ බැවින්, 'ත්‍රස්තවාදයට එරෙහි මහා සංග්‍රාමය' ඇරැඹිණි. ඒ අනුව ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ තලේබාන් පාලනය පෙරළා දමමිනි. ඒ, 2001 ඔක්තෝබර් 7 වැනිදාය. එය වසර 20 ක් තෙක් ඔඩුදුවන්න වූ ඇෆ්ගන් සංග්‍රාමයේ ආරම්භයයි. ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයට, ඔසාමා බින් ලාඩන් සොයා මරා දැමීමට හැකි වූයේ 2011 වසරේදීය. ඒ වනවිට බින් ලාඩන්, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟවී ජීවත් වෙමින් සිටියේය. බින් ලාඩන් ඝාතන මෙහෙයුම සිදුවූයේ එවකට ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාගේ අධීක්ෂණය යටතේය.

9/11 ප්‍රහාරය සිදුවී වසර 20 ක් ගත වෙද්දී, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගෙන තිබේ. ඒ මහා මානව ඛේදවාචකයක් ද නිර්මාණය කරමිනි. තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරමින් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට උත්සාහ කළ ඇෆ්ගන් සිවිල් වැසියන් බහුතරය අසරණ කරමිනි. අද යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත් වී ඇත. 9/11 ප්‍රහාරයෙන් පසු තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ ඇමෙරිකාව, වසර 20 කට පසු ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ යළි තලේබාන්වරුන්ට ඇෆ්ගනිස්තානයේ පාලනය බාර දෙමිනි.

(*** ලුසිත ජයමාන්න - විකිපීඩියා ඇසුරිනි)