ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ  තවත් පැතිකඩක් මෙවර ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු. ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම් ජාත්‍යන්තර දේශපාලන විද්වතාගේ අදහස් මත පිහිටා  එම පැතිකඩ අවබෝධ කරගැනීම පහසුය. මේ එම අදහස් සමුදායයි.

නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වීයව සියලු දෙනා පිළිගන්නේ කුමන ආකාරයට දැයි කීමට හැකි වන්නේ කෙසේද? ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමෙන් සහ සුරක්ෂිත කිරීමෙන් එය කළ හැකිය. ඉතිහාසය අවසානයේ දී විශ්වීය සහ සමාජාතීය රාජ්‍ය රඳා පවතින්නේ ආර්ථිකය සහ පිළිගැනීම යන කුලුනු දෙක මතය. ජාතික අනන්‍යතාව පිළිබඳව හැඟීම, ආගම, සමාජ සමානතාව, සිවිල් සමාජය සඳහා ඇති නැඹුරුව සහ ලිබරල් ආයතන කෙරෙහි ඓතිහාසික පළපුරුද්ද යන කරුණුවල එකතුවෙන් මිනිසුන්ගේ සංස්කෘතිය නිර්මාණය වනු ඇත. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කොටසක් අතර හොඳින් ක්‍රියාත්මක වීමටත් තවත් පිරිසක් අතර එසේ ක්‍රියාත්මක නොවීමටත් හේතුව මෙම කරුණු ජනතාව අතර වෙනස් වෙනස් ස්වරූපයෙන් ක්‍රියාත්මක වීමය. 

එහි ප්‍රයෝජන ලබාගැනීමට කැමති ඕනෑම ජන කොටසකට ලිබරල් ආර්ථිකය සමෘද්ධිය කරා යා හැකි හොඳම මාර්ගයයි. වෙළෙඳපොළට නැඹුරු වූ නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රශ්නයකි. එහෙත් ප්‍රතිපත්ති යනු ඉහළ වර්ධන වේගයක් ලබාගැනීමට අවශ්‍ය පූර්ව කොන්දෙසියක් පමණි. 

අහංකාරකමේ අවිචාරී ස්වරූප, ආගම, ජාතිකත්වය, ශිල්පීය රැකියාවලට ඇති හැකියාව, ප්‍රමිති සහ රැකියාවල අභිමානය පවත්වාගෙන යා හැකි වෘත්ති ආදී කරුණු ආර්ථිකයේ හැසිරීම කෙරෙහි බලපෑම් කරනු ඇත. එය රටක පොහොසත්කම සහ දුප්පත්කම තීරණය කිරීමට දායක වනු ඇත. 
ආර්ථිකයේ ආසාර්ථකත්වය නිසා ලිබරල් නොවන මූලධර්ම ඇති වීමේ හැකියාව තිබේ.

නූතන ඉස්ලාමීය මූලධර්මවාදයේ පුනර්ජීවනය සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක්  සිටින සෑම රටකම පහේ දැකිය හැකිය. බටහිර මුස්ලිම් නොවන සමාජ සමග මෙය සසඳන විට මුස්ලිම් සමාජවල අභිමානය පවත්වාගෙන යාමට අපොහොසත් වීමට දක්වන ප්‍රතිචාරයක් ලෙස දකින්නට පුළුවන. 19 වැනි ශතවර්ෂයේ සහ 20 වැනි ශතවර්ෂයේ මුල්භාගයේ දී ඉස්ලාමීය රටවල් කීපයක්ම තරගකාරීව සිටීමට අවශ්‍ය යැයි සිතූ යම් බටහිර ක්‍රියාකාරකම් අනුකරණයට පටන් ගත්තේය. ඒ ඔවුන්ගේ රටවල් නවීකරණය සඳහාය. දෙවැනි ලෝක යුද්ධයට පසු බොහෝ කාලයක් ජපානය හා ආසියාතික අනෙක් සමාජ ඇමෙරිකාව සහ යුරෝපා සමාජ සම්පූර්ණයෙන්ම නවීකරණය වූ සමාජ ලෙස දුටුවේය. තරගකාරීව සිටීමට නම් බටහිර කළමනාකරණ ශිල්පීය ක්‍රම සහ අවසානයේ දී බටහිර දේශපාලන ක්‍රමය අනුගමනය කළ යුතු බව ඔවුහු විශ්වාස කළහ. එහෙත් ආසියාවේ ඉමහත්  ආර්ථික සාර්ථකත්වයක් ඇතිවුණි. එම සාර්ථකත්වය හුදෙක්ම බටහිර පුරුදු අනුකරණය නිසා ඇති වූවක් නොවන බවට වර්ධනය වන පිළිගැනීමක් ඇතිවීමට හේතු වී තිබේ. ආසියානු සමාජ තමන්ගේ සංස්කෘතියේ ඇතැම් සාම්ප්‍රදායික ලක්ෂණ පවත්වාගෙන යාම ද මෙයට බලපෑවේය. ඒවා නවීන ව්‍යාපාරික පරිසරයට ඒකාබද්ධකර තිබීමත් දැකගත හැකිය. 

විසිවැනි ශතවර්ෂයේ ප්‍රමිති අනුව සලකන විට සිංගප්පූරුවේ ඒකාධිකාරිත්වය ඉතාමත් මෘදු වූවකි. එහෙත් එය දෙයාකාරයකට සුවිශේෂී වනු ඇත. අති විශේෂ ආර්ථික සාර්ථක්තවයක් සමග එය අනුගාමී වීම ඉන් පළමුවැන්නය. දෙවැනුව එය සාධාරණීකරණය කරන්නේ අන්තර්කාලීන විධිවිධායනයක් ලෙස නොව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා උසස් ක්‍රමවේදයක් වශයෙනි. ජාත්‍යන්තර සබඳතා අවබෝධ කරගැනීමට ප්‍රමුඛ රාමුව වන්නේ යථාර්ථවාදයයි. ඒ වගේම එය නිශ්චිතවම සෑම විදේශ ප්‍රතිපත්තියකම පාහේ සිතුවිලි හැඩ ගැස්සවීමට හේතුපාදක වී ඇත. 

යථාර්ථවාදයේ සැබෑ පුරෝගාමියා මැකියවේල්ය. මිනිසුන් හැසිරිය යුත්තේ දාර්ශනිකයන් ඔවුන් ජීවත් විය යුතු යැයි සිතන ආකාරයට නොව මිනිසුන් ඇත්ත වශයෙන් ජීවත්වෙන ආකාරයටයි. අනාරක්ෂිත භාවය ජාත්‍යන්තර සංවිධානයේ විශ්වීය සහ ස්ථිර අංගයක් යන උපකල්පනය මත සියලු යථාර්ථවාදී න්‍යාය ආරම්භ වනු ඇත. එක් රටක ආරක්ෂක පියවර තවත් රටක් තර්ජනාත්මක පියවරක් හැටියට වැරැදි අර්ථකථනයක් දක්වන්නට පුළුවන. ඒ නිසා තර්ජනය පිළිබඳ හැඟීම නොවැළැක්විය හැකි කාරණයකි. 

යුද්ධය සහ සාමයේ වැදගත්ම සාධකය වන්නේ බලය බෙදී ඇති ආකාරයයි. ජාත්‍යන්තර දේශපාලනයේ වැදගත්ම සාධකය වන්නේ හමුදා බලයයි. ස්වභාවික සම්පත් හෝ කාර්මික ධාරිතාව වැදගත් අංගයක් වුවත් ඒවා වැදගත් වන්නේ ප්‍රාථමික වශයෙන් හමුදා බලය වැඩිකර ගැනීමට ඒවායේ ඇති හැකියාව නිසාය. මිතුරන් හෝ සතුරන් තෝරාගත යුත්තේ මූලික වශයෙන්ම ඔවුන්ට ඇති බලය පදනම් කරගෙනය. එසේ නැතිව මතවාදය මත හෝ අභ්‍යන්තර ස්වරූපය මත නොවන බව යථාර්ථවාදීන් ගේ හැඟීමය.

රාජ්‍ය නායකයන් විදේශීය තර්ජන ඇගයීමේ දී වඩාත් සමීපව සලකා බැලිය යුත්තේ ඔවුන්ට ඇති හමුදා ශක්තිය මිස අරමුණු සම්බන්ධයෙන් නොවේ. යථාර්ථවාදී න්‍යායේ ඊළඟ ශික්ෂා පදය වන්නේ විදේශ ප්‍රතිපත්තියේදී සදාචාරවාදය බැහැර කළ යුතු බවය. යථාර්ථවාදී න්‍යාය දිගටම පවත්වාගෙන යන මතයක් ද තිබේ. එනම් අනාරක්ෂිතභාවය ආක්‍රමණය සහ යුද්ධය ජාත්‍යන්තර රාජ්‍ය පද්ධතියේ ස්ථිර හැකියායක් බවය. මෝගන් තෝ වැනි යථාර්ථවාදී බල අරගලයේ දී විවිධාකාරයේ බලයත් එම බලය එකතු කළ හැකි විවිධ ආකාර සම්බන්ධයෙනුත් විශ්වාස කළේය. රාජ්‍යයක් තම බලය උපරිම කරගැනීමට සාම්ප්‍රදායික ක්‍රමවේද වන හමුදා බලය තර කිරීම හෝ තමන්ගේ භූමිය විශාල කර ගැනීම අවශ්‍ය වන්නේ නැත. ආර්ථික වර්ධනය සහ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ සටනේ මූලිකත්වය ගැනීමෙන් එය කළ හැකිය. රාජ්‍ය හුදෙක් සරළවම බලය හඹා යන්නේ නැත. නීත්‍යානුකූලත්වය යන සංකල්පයට අනුව මඟ පෙන්වීම විවිධාකාර අන්ත ඔවුහු අනුගමනය කරති. 

සටහන - චමින්ද මුණසිංහ