”අහවල් සහකාර කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයෙන් මුදවාගෙන ප‍්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් විදියට පත් කරන්න. පඩිය රු. 25,000/=ක් දෙන්න. ඉන්ධන දීමනා සමඟ මෝටර් රථයක් ද දෙන්න.” වරක් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස රාජ්‍ය සේවයේ පත්වීම්ධාරි ලේකම්වරයෙකු අමතා මෙසේ පැවසීය. අදාළ නිලධාරියා කැඳවා ඔහු මෙම නියෝගය කළේ තවත් අයකු ජනාධිපතිවරයා අසල සිටියදීම ය. ඔහු තවමත් ජීවතුන් අතර සිටී. ”සර් ඒක කරන්න බෑ. එයා සහකාර කථිකාචාර්යවරයෙක්. අත්දැකීම් මදි. අඩු ගානේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක්වත් වුණා නම් බලන්න තිබුණා.” ”මූලික සුදුසුකම් හරි ද ?” ”මූලික සුදුසුකම් නම් හරි සර්. අත්දැකීම් හා ජ්‍යෙෂ්ඨත්වය තමයි ප‍්‍රශ්නය.” ”මට  ඕනෑ එතැනට අලූත් අදහස් තියෙන තරුණයෙක් ගේන්න. පැන්ෂන් යන්න ළඟ අය නොවෙයි. එයාගේ මූලික සුදුසුකම් හරිනම් පත් කරන්න.” ”ඒ වුණත් එහෙම අය නම් එතැනට පත් කරලා නැහැ.” නිලධාරියා පෙරළා නැවත ජනාධිපතිවරයාට පැවසීය. ”මම ඔහේ වගේ පරිපාලනය දන්නේ නෑ. මම දන්නේ දේශපාලනය. ජනතාවට සේවය කරන කොට අලූත් අදහස් නව යෝජනා අපට අවශ්‍යයි. පරණ විදියට හිතන්න යන්න එපා. යථාර්ථයට ගැළපෙන විදියට චක‍්‍රලේඛ හරවා ගන්න. වෙනස් කරන්න  ඕන තැනක් තියනවා නම් කියන්න.  ඕව පරණ රෙගුලාසි. මේ පත්වීම කරන්න බැරිනම් හෙට ඇවිත් මට කියන්න.” ජනාධිපතිවරයා නැවත තම අවශ්‍යතාව එම නිලධාරියාට පවසා ඔහුට යෑමට අවසර දුන්නේය. ඉන් පසු ජනාධිපති පේ‍්‍රමදාස තම හඬ අවදි කළේ ඔහු අසලින් සිටි අනෙක් තැනැත්තා දෙසට යොමු වෙමිනි. ”මම කියපු දේ එයාට තේරෙන්න ඇතිනේද ? නැත්තම් තේරුම් කරල දෙන්න. එයාට කරන්න බැරි නම් වෙන කෙනෙක් පත් කර ගෙන ඒක කරගන්න වෙනවා.” පසුව දා ජනාධිපති පේ‍්‍රමදාසගේ යෝජනාව කි‍්‍රයාත්මක විය. සියලූ චක‍්‍රලේඛ හා සම්ප‍්‍රදායන්ට එකඟව අදාළ තනතුරට ජනාධිපතිවරයා කියූ පුද්ගලයා ම පත් කිරීමට මුල දී එය කළ නොහැකි බව කී නිලධාරියාම කටයුතු කර තිබුණි. එය සිදු වූයේ කෙසේ ද අවශ්‍ය නම් කළ හැකි ය.  නොකිරීමට කාරණාත් කිව හැකිය. එසේ කිරීමේ හා නොකිරීමේ ප‍්‍රතිපාදන පවතින පරිපාලන ක්‍ෂෙත‍්‍රයේ පවතී. අවශ්‍ය වන්නේ නිර්මාණාත්මකව කල්පනා කිරීමය. පසු කලෙක ජනාධිපති පේ‍්‍රමදාස තෝරා ගනු ලැබූ තැනැත්තා ප‍්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විය. ඔහුගේ පත්වීමට එරෙහි ව පරිපාලනමය වශයෙන් කිසිදු විරෝධතාවයක් ද පැන නොනැඟිණ. මේ අතීත සිදුවීම් අපේ මතකයට එන්නේ අද සමහර තැන්වල සිදුවන ප‍්‍රායෝගික නොවන සමහර නිලධාරීන්ගේ කි‍්‍රයා කලාපය නිසාය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය එවන් නිලධාරීන්ගේ තෝතැන්නක් වෙමින් පවතින්නේය යන හැඟීමක් රටේ ඇතිවෙමින් පවතී. හොඳම හා ආසන්නම උදාහරණය ගාල්ලේ විද්‍යාලෝක මහා විද්‍යාලයේ සිදු වීමෙන් ඉස්මතුවේ. විද්‍යාලෝකයේ සිදු වූ දේ කිසිසේත්ම අනුමත කළ නොහැක. ඒ පිළිබඳ විවාදයක් නැත. එය එම කීර්තිමත් විද්‍යාලයට කැළලකි. විද්‍යාලෝකය කියන්නේ දේශපාලඥයන් මෙන්ම ඉහළ මට්ටමේ පරිපාලන නිලධාරීන් බිහි කළ විදුහලකි. වරක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු පවා බිහි කළ විද්‍යාලයකි. හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඞ් පතිරණ මේ විදුහලේ ආදි සිසුවෙකි. දේශපාලන, පරිපාලන, ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රවල ඉහළටම ගිය රටට වැඩදායක ජාතික මට්ටමේ චරිත බිහිකිරීමට සමත් වූ විද්‍යාලයක් සේ ගාල්ලේ විද්‍යාලෝකය හැඳින්විය හැකිය. ඒ අනුව බලන කළ වුවද එදා සිදුවීම හා එමඟින් ජනිත වූ රස්තියාදුකාර පෙනුම අනුමත කල නොහැක. සියල්ලම ඊට වඩා ඉවසීමෙන් කටයුතු කළා නම් යහපත් ය. දුමක් නොමැතිව ම ගින්නක් හට ගන්නේ නැතැයි කියමනක් තිබේ. විද්‍යාලෝකයේ මේ අර්බුදයට ඉතිහාසයක්  තිබේ. එවන් අරගල දිවයිනේ තවත් විද්‍යාලයේ ගණනාවකම ද දක්නට ලැබීම කනගාටුදායකය. විද්‍යාලෝක විද්‍යාලයේ සිදුවීමට පාදක වූ පසුබිම සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක නීතිඥ චන්දිම වීරක්කොඩි පළ කළ මතය ජනතා පරමාධිපත්‍යය පැත්තෙන් නිවැරැදි මෙන් ම ඒ ගැන කල්පනා කිරීම මින් මතු- මෙවන් සිදු වීම් ඇති නොවීමට ද හේතු-වක් කර ගැනීමට ද වැඩදායකය.  චන්දිම වීරක්කොඩි ආවාට ගියාට මත පළ කරන දේශපාලනඥයෙක් නොවේ. ඔහු තම පදවියට ගැළපෙන ලෙස දේශපාලනය කරන අයෙකි. මගෝඩිස්තුමකු නොවන මහත්මයෙකි. නිහතමානී ජනතා සේවකයෙකි. නීති ක්‍ෂෙත‍්‍රයේ වසර 14ක පමණ අත්දැකීම් ඇති චන්දිම පැසුණු යැයි කියා ගනිමින් අනා ගන්නා අයට වඩා දේශපාලන හැකියාවක් මේ වන විටත් පෙන්වා තිබේ. ගාලූ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන සියලූම මහජන නියෝජිතයන්ගේ හඬ, භූමියේ යථාර්ථය, මවුපියන්ගේ හඬ ආදී සියල්ලම මේ සිදුවීමේ දී ඉවත දමා ඇතැයි චන්දිම පවසයි.  අධ්‍යාපනය ගැන සාකච්ඡුා කෙරෙන උත්තරීතර ව්‍යවස්ථාපිත ආයතනය වන අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා හතරකදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ඇතුළු ඊට සහභාගි  වූ සියල්ල ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයේ ප‍්‍රශ්නය කතාබහට ලක් කර ඇත. එහිදී අධ්‍යාපන බලධාරීන් එකඟ වී ඇත්තේ ගාල්ලේ ජනතා නියෝජිතයන්ගේ හා මවුපියන්ගේ හඬට කන් දෙමින් මෙම විද්‍යාලයේ ප‍්‍රශ්නය විසඳීමටය. නැතිනම් විද්‍යාලෝකය කෙටි කලක් තුළ ගොඩ නැඟූ හිටපු විදුහල්පතිවරයා තව කෙටි කලක් ගත වන තුරු හෝ මාරු නොකර සිටීමටය. එහෙත් එම එකඟතාව ඉටු වී නැත. විද්‍යාලෝක විද්‍යාලයේ තාවකාලික පදනමින් සේවය කර ඇත්තේ ගා/මහින්ද විදුහලේ උප විදුහල්පතිවරයකු වූ එස්. වෙලගේ මහතාය. සාමාන්‍යයෙන් ගත් කල ඔහු මෙම විදුහලේ විදුහල්පති ධුරයටත් වඩා  ඉහළ ධුරයකට සුදුසුකම් ලත් අයෙකි. එහෙත් හෙතෙම මේ විද්‍යාලයේ සේවය කිරීමට කැමැත්ත පළ  කර ඇත. පොදු මතය මීට වසර 2කට පෙර ගරා වැටෙමින් පැවැති මෙම විද්‍යාලය කෙටි කලක් තුළ ඉහළ මට්ටමකට ගෙන ඒමට මේ වැඩ බලන විදුහල්පතිවරයා සමත් වූ බවයි. එසේ නම් ඔහු කඩිනමින් ඉවත් කර වෙනත් විදුහල්පතිවරයකු ඊට පත් කිරීම මෙම අරගලයට හේතු වී තිබේ. බලධාරින් සිදු කර ඇත්තේ ”ලෙඩා මැරුණත් බඩ සුද්ද වීමට ඉඩ හැරීමකි.” එසේ ම හිටපු මෙන් ම අලූතින් පැමිණි විදුහල්පතිවරුන් දෙදෙනාම අමාරුවේ දැමීමකි. චක‍්‍රලේඛ හා සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදවලට අනුව නව පත් කිරීම නිවැරැදි විය හැකිය. එහෙත් ගාලූ දිස්ති‍්‍රක්කයේ තවත් විදුහල් ගණනාවක විදුහල්පතිවරු නැත. සමහර එ්වායේ වැඩ බලන මට්ටමින්වත් නැත. මේ රටේ අඩුම සිසුන් සංඛ්‍යාවක් සහිත මහා විද්‍යාල පවතින්නේ ද විදුහල්පතිවරයකු හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයකු නොමැතිව පාසල් පවත්වාගෙන යන්නේ හබරාදුව ආසනයේ ය. දැනට එහි සිසුන් සංඛ්‍යාව 400කට සීමා වී තිබේ. ඊට විදුහල්පතිවරයකු පත් කිරීමට කිසිම උනන්දුවක් නැත. වසර ගණනාවක සිට විදුහල්පතිවරයකු නොමැතිව පාලනය වූ දකුණේ එකම මුස්ලිම් ජාතික පාසලට විදුහල්පතිවරයකු කඩිමුඩියේ පත් වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගාල්ලේ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැස්වීමට පැමිණීමට පෙර දිනය. ඊට හේතුව ඒ සම්බන්ධයෙන් ගාල්ලේ මන්තී‍්‍රවරුන් ජනාධිපතිවරයා අබියස ප‍්‍රශ්න කිරීමට සිටි නිසා යැයි පැවසේ. වැඩ සිදුවන්නේ මෙසේ ය. එවන් පසුබිමක කඩිනමින් විද්‍යාලෝකයට පමණක් තව වසරකට අඩු කලක් තු-ළ විශ‍්‍රාම යෑමට නියමිත අයකු පත් කළේ මන්දැයි කියන්න දන්නේ නැත. සාමාන්‍යයෙන් විදුහලක දියුණුව විදුහල්පති ආචාර්ය මණ්ඩලය හා සකී‍්‍රය ගුරුදෙගුරු සමිතියක් මත බොහෝ දුරට රඳා පවතී. එවන් තැනක මහජන මතයට පිටුපා කඩිමුඩියේ චක‍්‍රලේඛ කි‍්‍රයාත්මකකිරීම හෝ කඩිමුඩියේ නින්දෙන් අවදි වූ ලෙසින් පොතේ හැටියට පුරප්පාඩු පිරවීමට යෑම ජනමතයට පමණක් නොව භූමියේ යථාර්ථයට ද එකඟ වන්නේ නැත. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි නිහතමානීව පවසන්නේ මෙම යථාර්ථයයි. ජනතා පරමාධිපත්‍යය සියල්ලටම ඉහළින් පවතින බව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ජේදයේ පැහැදිලි ව සඳහන් වේ. ජනතාව සිටින්නේ සියල්ලට උඩිනි. ජනතාව මහජන නියෝජිතයන් පත් කරනු ලබන්නේ ඔවුනට තම පරමාධිපත්‍යය කි‍්‍රයාත්මක කිරීමට තනි තනිව මැදිහත් වීමට නොහැකි නිසා ය. මේ නිසා ජනතා නියෝජිතයන්ගේ හඬට කන් නොදෙන නිලධාරිහු හෝ බලධාරී ආයතන වෙත් නම් ඔවුහු ජනතා පරමාධිපත්‍යයට අභියෝග කරන පිරිසකි. ගාල්ලේ විද්‍යාලෝක භූමියේ මහජන මතය දිගින් දිගටම ප‍්‍රකාශ වන්නේ පැරණි විදුහල්පතිවරයාට ටික කලකට හෝ ඉඩක් ලබා දෙන ලෙස ය. එය ඔහුගේ ද එකඟතාව ඇතිවය. එසේ නම් මේ නිලධාරිවාදී ප‍්‍රවණතාව මහජන මතයට පටහැනිව සිදුවන්නක් වාගේ ය. එය රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන ජනතා පරමාධිපත්‍යයට කොතරම් එකඟදැයි සොයා බැලීම වැදගත් ය. මේ වන විට නව විදුහල්පතිවරයාට ද අසාධාරණයක් සිදු වී තිබේ. සමස්ත ප‍්‍රශ්නයම අවුල් ජාලයක් බවට පත් කළ අය නිහඬය. ගාල්ලේ විද්‍යාලෝක විදුහලින් දෙගොඩතලා ගියේ දිවයින පුරාම පැතිරී ඇති පාසල්වල පත්වීම් පිළිබඳ අර්බුදය පමණක් නොවේ. සමහර පාසල්වල විදුහල්පතිවරුන් නැත. තවත් තැනක පත්වීම් ලැබූවන්ට විදුහල්වලට පැමිණීම ප‍්‍රශ්නයකි. සමහර පාසල්වල විදුහල්පති ධුර සඳහා සුදුසුකම් ලැබූ අයම අදාළ පත්වීම නොගෙන අදාළ පදවි සමඟ හිමිවන උසස් වීමේ වැටුප් ලබමින් සිටිති. ඊට හේතුව වගකීම් දැරීමට ඔවුනගේ ඇති අකැමැත්තය. මේ අතර සමහර වැඩ බලන අය පාසලේ දියුණුවට උපරිමයෙන් කැප වෙති. ඒ අය ඉවත් කරනවාට මවුපියෝ කැමැති නොවෙති. මේ නිසා අදාළ ක්‍ෂෙත‍්‍රයේ හුටපට ගණනාවකි.  සුපිරි පාසල් 1000 වැඩ සටහනට පාසල් තෝරා ගැනීමේ දී පවා සමහර තැනක මහජන නියෝජිතයන්ගේ හඬ යටපත් වී ඇති බව දැන ගැනීමට තිබේ. මෙවන් සිදුවීම් මතු වූ විට සෑම පැත්තක්ම සලකා බලා ස්වාධීන තීන්දුවක් දිය හැකි ”බේරුම් කාර මණ්ඩලයක” අවශ්‍යතාව වර්තමානයේ අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මතු වෙමින් පවතී. විද්‍යාලෝක සිදු වීමෙන් පසුවවත් අඩුම ගානේ එවැන්නකට අධ්‍යාපන බලධාරින්ගේ අවධානය යොමු වන්නේ නම් මෙවන් නීරස අත්දැකීම් සමාජගත නොවනු ඇත.
වසන්තප‍්‍රිය රාමනායක
චන්දිම