IMG-LOGO

රසායනික පෝර වෙනුවෙන් ඉඩම් ඇමැතිගේ යෝජනාව

ප්‍රශ්න ආකරයක රට ගිලී තිබේ. කොරෝනා වසංගතයත් ඒ හා බැඳුණු අතුරු ප්‍රශ්න රැසක්ද තිබේ. ඇතැම් ප්‍රශ්න පාවාඩ එළා ගෙන්වාගත් ඒවා වේ. පොහොර ප්‍රශ්නය එවැන්නකි. වගාවට පොහොර ඉල්ලා ගොවීහු රට දෙවනත් කරති. ඔවුන්ගේ එම වේදනාව සාධාරණය. පොහොර නොමැතිව ගොවිතැන් කළ නොහැකිය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වූ විට ඔවුන් මුහුණ දෙන ඉරණම වටහා ගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත.

පොහොර ප්‍රශ්නය මතු වූයේ රසායනික පොහොර භාවිතය ඉවතලා කාබනික පොහොර භාවිතයට සීරු මාරුවීමත් සමගය. එය ඉතා යහපත් තීන්දුවක් බව කවුරුත් අවිවාදයෙන් පිළිගනිති. නිරෝගී මිනිසකු සහිත ලෙඩ රෝග හීන වූ සමාජයක් සඳහා එය අත්‍යවශ්‍ය වූවකි. එහෙත් ප්‍රශ්නය පැන නැගුණේ එම තීන්දුව එක රැයෙන් ක්‍රියාත්මක කිරීමට යාම නිසාය. එය පියවරෙන් පියවර ක්‍රමානුකූලව කළ යුත්තකි. එමගින් සිදු වූයේ අපගේ ගොවියන් රසායනාගාර මීයන් බවට පත්වීමය. රටේ කොඳුනාරටිය වන කෘෂිකර්මාන්තය අත්හදා බැලීමකට ලක් කිරීම කිසි ලෙසකින් හෝ යහපත් නැත. එම තීන්දුව අර්බුද පොකුරු නිර්මාණය කරන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වී තිබේ.

ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකි වුවද යහපත් චේතනාවෙන් ගත් ප්‍රායෝගික තීන්දු නිවැරැදි කර ගත හැකිය. ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ යූරියා ගෙන්වීමට කැබිනට් මණ්ඩලයට ඉකුත් 12 වැනිදා යෝජනාවක් ඉදිරිපත් කරන බවය. මෙම සටහන තබන මොහොත වන විට කැබිනට් මණ්ඩලය රැස්වී නැත. එහෙයින් එතැන කුමක් සිදුවේදැයි අනුමාන හැකියාවෙන් එපිටය. එහෙත් එය ඉතා යහපත් යෝජනාවක් බව අපි පිළිගනිමු.

ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ  පොස්පරස්, පොටෑසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බවත් ලබන වසර සඳහා යූරියා සියයට 50 ක් ගෙන්වා 2023 වර්ෂයේදී එය සියයට 25 දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවය.

මෙහිදී අවධාරණය කරගත යුතු ප්‍රධානම කාරණය වන්නේ ගොවියා රසායනික පොහොරවලට යොමු වූයේ ඇයිද යන්නය. එය අප රටට පමණක් අදාළ වූ තත්ත්වයක් නොවේ. ගෝලීය තත්ත්වයකි. හරිත විප්ලවයත් සමග මුළු ලෝකයම රසායනික පොහොරවලට නැඹුරු විය.  එයට බලපෑ සාධකය වන්නේ ජනගහනය වර්ධනය වීමය. වැඩි වන ජනගහනයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතු විය. එය මහ පොළොවේ යථාර්ථයකි. අප රටද රසායනික පොහොර භාවිතයට යොමු වූයේ ඒ අනුවය. රසායනික පොහොර භාවිතයට අප රට යොමු වී දැන් වසර 70 ක් කල් ඉක්ම ගොස් තිබේ.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් අස්වැන්නෙන් හතරෙන් තුනක් අඩුවේ.  ගොවියාට එහිදී ඇති විසඳුම වන්නේ දැනට පවතින මිල තුන් ගුණයකින් වැඩි කිරීමය. එවිට ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වේ. එහෙත් පාරිභෝගිකයාට අත්වන්නේ දුක්ඛිත ඉරණමකි. කාබනික පොහොර භාවිතයට ක්‍රමානුකූලව යොමුවීමෙන් මෙම තත්ත්වය අවම කර ගත හැකිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ මහාචාර්ය මෙත්කිතා විතානගේ මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කාබනික පොහොර භාවිතයේදී එක්වරම පසට අයන පෝෂණ නිදහස් නොකරන බවත් කාබනික පොහොරෙන් එය නිදහස් කරන්නේ ඉතා මන්දගාමීව බවත්ය. එමෙන්ම ගසකට කාබනික පොහොර යෙදූ විට ඒවා පාංශු ජලය ඔස්සේ උරා ගන්නා අතර ඊට මාස තුනක් වැනි සැලකිය යුතු කාලයක් ගතවන බවය. ඒ අනුව කෙටි කාලීන බෝගවලට එය කිසිසේත්ම සුදුසු නොවන බව මහාචාර්යවරිය අවධාරණය කර අත.

මෙම විද්වත් මත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මන්දයත් කෘෂිකර්මාන්තය යනු අධි සංවේදී ක්ෂේත්‍රයකි. එහි බිඳවැටීමක් සිදුවුවහොත් රටම අනතුරට පත් වේ. දැනටමත් නුදුරු අනාගතයේදී ලෝකයේ සාගතයක් එන බවට අනතුරු හැඟවීම් සිදු කෙරේ. එය ශ්‍රී ලංකාවටද අදාළ විය හැකිය. දැනටමත් එළවළු අස්වනු අඩු වී ඇත.

එමෙන්ම කාබනික පොහොරට යොමු වීම ඇතැමුන් වුවමනාවට වඩා දේශපාලනීකරණය කර තිබේ. එමගින් ඔවුහු රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරති. එහෙත් මෙම ප්‍රශ්නය දෙස අවධානය යොමු කළ යුතුවන්නේ බුද්ධිමත්වය.

මුළු ලෝකයම කොවිඩ් වසංගතය නිසා බරපතළ තර්ජනයකට මුහුණ පා සිටී. ආහාර නිෂ්පාදනයට මෙම තත්ත්වය ඉතා තදින් බලපා  තිබේ. පළමුව ආහාර ප්‍රශ්නය විසඳාගත යුතුය. මුළු ලෝකයේම අවධානය යොමුවී තිබෙන්නේ ආහාර නිෂ්‍පාදනයට හා ආහාර සුරක්ෂිතතාවටය. අප රටටද එය එලෙසින්ම අදාළය. එහෙයින් මේ මොහොත යනු පරීක්ෂණවලට යොමු විය යුතු මොහොතක් නොවේ. මෙම අනතුරුදායක තත්ත්වය තුරන්වී යහපත් පරිසරයක් නිර්මාණය වූ විට අභියෝගාත්මක වුවත් අවශ්‍ය තීන්දු තීරණවලට යා හැකිය.



අදහස් (0)

රසායනික පෝර වෙනුවෙන් ඉඩම් ඇමැතිගේ යෝජනාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 451 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 890 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site