IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රථ වාහන ලොව දිග්විජය කළ මානව හිතවාදියා

රතන් ටාටා මානව ගුණාංගවලින් පරිපූර්ණ අද්විතීය මිනිසෙකි. ඔහු අසීමිත ලෙස ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරේ කළ අයෙකි. ඉන්දියාව ද ඔහුට පෙරළා ආදරය කළේය. රතන් ටාටා නිහතමානී චරිතයකි. යතුරු පැදියක තෙමි තෙමී ගමන් කළ පුංචි පවුලක් දැක, ඉන්දීය රුපියල් ලක්ෂයක මුදලකට ටාටා නැනෝ මෝටර් කාරය හඳුන්වා දීමට රතන් ටාටා කටයුතු කළේ සාමාන්‍ය මිනිසුන්, ඉන්දියානුවන් ගැන සහකම්පනයෙනි.

මානව දයාවෙන් පිරි මේ අපූරු මිනිසා, ව්‍යාපාරිකයා, දානපතියා හම්බ කළේ ධනය හෝ දේපොළ නොව මිනිස් හදවත්ය. ‘ඔබේ වත්කම තීරණය වෙන්නේ ඔබේ බැංකු ගිණුමේ ඇති මුදලින් හෝ ඔබේ දේපළවලින් නොවෙයි. ඔබ හම්බ කළ යුත්තේ මුදල් නොවේ, මිනිසුන්. ඔබට තව කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කිරීමට හැකි නම්, එතැනදී ඔබ පොහොසතෙක්’ යැයි රතන් ටාටා පවසා ඇත. ඉන්දියානුවකුට පිරිනැමෙන උසස්ම ගෞරව සම්මාන වන පද්ම භූෂන් සහ පද්ම විභූෂන් සම්මානවලින් ද පිදුම් ලැබූ මේ අසහාය මිනිසා පසුගිය ඔක්තෝබර් 9 වැනිදා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි පෞද්ගලික රෝහලේ දී දිවි ගමන අවසන් කළේය.

ඔහුගේ වයස අවුරුදු 86 ක් විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි, සොව පළ කරමින් සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය. රතන් ටාටාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහ හමුදා ගෞරව මැද මුම්බායි නුවරදී පැවැත්වූයේ ව්‍යාපාර ප්‍රධානීන්ගේ, දේශපාලනඥයන්ගේ සහ ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් ද ඇතුළු දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.

ටාටා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ජහ්මෙට්ජී ටාටාය. රතන් ටාටා, ජහ්මෙට්ජීගේ මීමුණුපුරාය. එහෙත්, රතන් ටාටාට, ටාටා පවුලට ලේ ඥාතී සම්බන්ධයක් නැත. රතන් ටාටා දරුකමට හදා ගත්තේ නවාල් ටාටා ය. නවාල් ටාටා ට ද ටාටා පවුලට ලේ ඥාති සම්බන්ධයක් නැත. ජහ්මෙට්ජී ටාටාගේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු වන ශ්‍රීමත් රතන් ටාටාගේ බිරිඳගේ කැමැත්තට නවාල් ටාටා දරුකමට ගනිද්දී, ඔහුගේ වයස අවුරුදු 13 කි. නවාල් ටාටා සහ බිරිඳ සූනි ටාටා, රතන් ටාටා දරුකමට ගත්තේ රතන් ටාටා කුඩා අවදියේදීමය. රතන් ටාටා, ටාටා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජහ්මෙට්ජී ටාටාගේ මීමුණුපුරා වන්නේ ඒ අයුරිනි.

රතන් ටාටා උපත ලැබුවේ 1937 දෙසැම්බර් 28 වැනිදාය. ඒ ඉන්දියාවේ මුම්බායි නගරයේදීය. නවාල් ටාටා සහ බිරිඳ සූනි ඔහු දරුකමට ගත්තේ, ‘පෙතිත් පරිස්’ ළමා නිවාසයෙනි. 1948 වසරේ දී නවාල් ටාටා සහ බිරිඳ සූනි ටාටාගේ විවාහය අවසන් වී දෙදෙනා වෙන් වූහ. ඒ වනවිට රතන් ටාටාගේ වයස අවුරුදු 10 කි. මව වෙනත් විවාහයක් කර ගත් නිසා පාසලේ දී සෙසු දරුවන්ගේ උසුළු විසුළුවලට ඔහු ලක් විය. ඒ, එදා දෙවැනි විවාහයක් කර ගැනීම නුහුරු දෙයක් වූ නිසාය. සූනි ටාටා වෙනත් විවාහයක් කරගත් අතර, රතන් ටාටා ලොකු මහත් කළේ නවාස්බායි ටාටාය. නවාල් ටාටාට අවශ්‍ය වූයේ තම පුතා රතන් ටාටා ඉන්ජිනේරුවකු වනු දැකීමටය. ඒ අනුව, උසස් අධ්‍යාපනය සඳහා රතන් ටාටා ඇමෙරිකාවට ගියේය.

වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කෝර්නෙල් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලැබූ රතන් ටාටා, හාවඩ් විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ද හැදෑරුවේය. ගුවන් යානාවලට කුඩා කල සිට ඇලු‍ම් කළ රතන් ටාටා ගුවන් යානා පියාසර කිරීමට ඉගෙන ගත්තේය. ගුවන් යානා පියාසර කිරීම ඔහුගේ විනෝදාංශයකි. රතන් ටාටා විවාහ වූයේ නැත. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් සිටි කාලයේ ඔහුට පෙම්වතියක් සිටියාය. තමන්ගේ බිරිඳ වීමට සුදුසු යැයි ඔහු තෝරාගෙන සිටියේ ඇයයි. 1962 දී රතන් ටාටාගේ අත්තම්මා නවාස්බායි ටාටා රෝගී වූවාය. ඇය රැක බලා ගැනීමට රතන් ටාටා යළි ඉන්දියාව බලා පැමිණියේය. තමන් සමඟ තම ඇමෙරිකන් පෙම්වතිය ඉන්දියාවට පැමිණේවි යැයි විශ්වාස කළේය. ඉන්දු-චීන යුද්ධය ඇවිළී ගියේ මෙම කාලයේය. ඇමෙරිකාවේ තම පවුලේ අය හැර යෑමට පෙම්වතිය කැමැත්තක් දැක්වූයේ නැත. රතන් ටාටා ඇයට සමු දුන්නේ යළි විවාහ නොවන බව පවසමිනි.

“මට පෙම්වතියන් සිවු දෙනකු හමුවී තිබෙනවා. ඒත් මා බිරිඳ ලෙස දුටුවේ එක්කෙනයි. ඇය මට හමුවුණේ මා ඇමෙරිකාවේ රැකියාව කරද්දී. ඒත් ඉන්දු-චීන යුද්ධය අපට හරස් වුණා. ඇය මට හිමි වුණේ නැහැ. බිරිඳක් නැති අඩුව, දරුවන් නැති අඩුව මට දැනෙන්නේ නැහැ කීවොත් ඒක වැරදියි. මට ඒ තනිකමත් පාළුවත් දැනෙනවා. බැඳීම් නැති නිසා නිදහස තිබුණත් ඒ තනිකම මට දැනෙනවා” යැයි රතන් ටාටා මීට වසර කීපයකට පෙර ඇමෙරිකාවේ සීඑන්එන් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පෞද්ගලික ජීවිතය ගැන විවෘතව අදහස් පළ කර තිබුණි.

අවිවාහක රතන් ටාටා සිය ජීවිතය කැප කළේ ටාටා සමුහ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සහ අසරණ සරණ වෙනුවෙනි. රතන් ටාටා, ටාටා සමූහ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම බාර ගත්තේ 1991 වසරේදීය. 2012 වසරේ දී ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගියේ, ටාටා සමූහ ව්‍යාපාර ජාලය රටවල් 100 කට වැඩි ගණනකට ව්‍යාප්ත කරවමිනි. සේවකයන් 6,60,000 ක් සේවය කරන ඇමෙරිකන් ඩොලර් බිලියන 100 ක වාර්ෂික ආදායමක් ලබන ටාටා සමූහය, ඉන්දියාවේ විශාලතම ව්‍යාපාර ජාලය ද වෙයි. 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී එම ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ එක් ප්‍රධාන ඉලක්කයක් වූයේ ටාජ් මහල් පැලස් සුඛෝපභෝගී හෝටලයයි. මෙම ටාජ් මහල් පැලස් හෝටලයේ හිමිකාරීත්වය ඇත්තේ ද ටාටා සමූහය යටතේය. ත්‍රස්තවාදීහු තෙදිනක් තිස්සේ මෙම හෝටලය අත්පත් කරගෙන සිටියහ.

හෝටලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ එහි සිටි දෙස් විදෙස් අමුත්තන් ආරක්ෂා කිරීමට දිවි පරදුවට තැබූහ. මෙය මුළු ලෝකයේම ඇගයීමට ලක් වුණු සිදුවීමකි. ත්‍රස්තයන්ගේ ප්‍රහාරවලින් හෝටලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් ජීවත්ව සිටියා නම්, ජීවිත කාලය පුරා ඔවුන්ට උපයාගත හැකි ආකාරයේ වැටුපට සමාන මුදලක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දීමට රතන් ටාටා පියවර ගත්තේය.

රතන් ටාටා යනු පුළුල් ව්‍යාපාර දැක්මක් තිබූ අද්විතීය චරිතයක් බව කීමට සාක්ෂි එමටය. නැනෝ මෝටර් රථවලට අමතරව ලංකාවේ මාර්ගවල දුවන බස් සහ ලොරි රථවල දකින්න ලැබෙන අපට හුරුපුරුදු නමක් වන්නේ ද ලොව සුපතල සන්නාමයක් වන ටාටාය. බස් රථ, ලොරි රථ ඇතුළු බර වාහන පළමුවෙන් ටාටා සමාගමේ නිෂ්පාදන විය. එහෙත් ටාටා සමූහ ව්‍යාපාරය එසේ මෙසේ සමාගමක් නොවෙයි. ජගුවර් සහ ලෑන්ඩ්රෝවර් වැනි මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල හිමිකාරීත්වය ඇත්තේ ද ටාටා සමාගමටය.

රතන් ටාටා යටතේ ටාටා සමාගම දියුණුවෙන් දියුණුවට ආ ගමන හරි අපූරුය. පාඩු ලබමින්, අපහාස විඳ දරා ගනිමින්, විශාල වෙළෙඳපොළක් හිමි කර ගැනීමට සමත් වීමේ ගමන සැබැවින්ම සුවිශේෂී එකකි. බස් රථ සහ ලොරි රථ නිෂ්පාදනයට පමණක් සීමා වූ ටාටා සමාගම මෝටර් කාර් එකක් නිපදවීම කළ යුතු යැයි රතන් ටාටා සිතුවේය. ඒ අනුව 1998 දී ටාටා ඉන්ඩිකා මෝටර් රථය වෙළෙඳ පොළට හඳුන්වා දීම සිදුවිය. ඉන්දීය වාහන නිෂ්පාදන සමාගමක් අලු‍ත් විදියේ අලු‍ත් කාලයට ගැළපෙන ආකාරයකින් නිපදවූ පළමු මෝටර් රථය ලෙස මෙය සැලකෙයි. ඒත් ටාටා ඉන්ඩිකා මෝටර් රථය වෙළෙඳපොළ ජය ගත්තේ නැත. පාඩු ලබන ඉන්ඩිකා මෝටර් රථ අංශය විකුණා දැමීමට රතන් ටාටා තීරණය කළේය. ඒ සඳහා හොඳම ලංසුව පැමිණියේ ඇමෙරිකන් මෝටර් රථ නිෂ්පාදකයකු වන ෆෝඩ් සමාගමෙනි.

රතන් ටාටා සහ ඔහුගේ කණ්ඩායම ගියේ ෆෝඩ් හිමිකරු බිල් ෆෝඩ් හමුවී ගනුදෙනු අවසන් කිරීමටය. මෝටර් රථ නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නැති ඔබ, සාමාන්‍ය මෝටර් රථ නිපදවීමට ගොස් අමාරුවේ වැටුණා යැයි රතන් ටාටා අපහාසයට ලක් විය. ඒ අපහාස විඳ දරා ගනිමින්, රතන් ටාටා සහ කණ්ඩායම, ඔවුන්ගේ ඉන්ඩිකා මෝටර් රථ අංශය විකුණා දැමීම කළ යුතු ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් වරට සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ අනුව, ගනුදෙනුව අවලංගු කෙරුණි. පාඩු ලැබූ මෝටර් රථ නිෂ්පාදන අංශය වෙහෙස මහන්සි වී දියුණු කිරීම රතන් ටාටා සහ ඔහුගේ කණ්ඩායමේ එකම අරමුණ විය. අක්ෂය කුමාර් වැනි බොලිවුඩ් සුපිරි තරු, ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ කර ගැනුණි. පාඩු ලබන්න වූ ටාටා මෝටර් රථ අංශය, නොසිතූ විරූ ආකාරයට ලාබ ලැබුවේය. 2008 දී ෆෝඩ් සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. තම හිමිකාරිත්වය යටතේ වූ ජගුවර් සහ ලෑන්ඩ් රෝවර් සමාගම් විකුණා දැමීමට ෆෝඩ් සමාගමට සිදුවිය. රතන් ටාටා වහා එම සමාගම් මිලදී ගත්තේය. ඒ තමන්ට අපහාස කරන කෙනෙකුට දිය හැකි හොඳම පිළිතුර තමන් සාර්ථක වී පෙන්වීම යැයි රතන් ටාටා පවසමිනි. අද ජගුවර් සහ ලෑන්ඩ් රෝවර්, ටාටා සමාගම යටතේ විශාල වශයෙන් ලාබ ලබන සමාගම් දෙකකි.

 

(***)

ලු‍සිත ජයමාන්න

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

රථ වාහන ලොව දිග්විජය කළ මානව හිතවාදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site