(ප්‍රින්ස් රත්නායක)
යුරෝපයෙන් ඇවිත් මෙරට අල්ලා ගත්තේ රටේ මිනිසුන්ගේ වාසනාවට බවත් එසේ නොවුනානම් අප වහල් ජාතියක් වීම පමණක් නොව සිංහල ජාතිය සහ බෞද්ධ ශාසනය මෙරටින් අතුරුදහන් වී අවසන් යැයි හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන්ගේ 121 වැනි ජන්ම ගුණසමරු උත්සවයට සහභාගී වෙමිනි.
“බුදු හාමුදුරුවෝ සූත්‍ර පිටකයේ සඳහන් කර තිබෙනවා පාලකයෝ රකින්න ඕනෑ දස රාජ ධර්ම. පාලකයා රකින්න ඕනෑ සතර සංග්‍රහ වස්තු. පාලකයා රකින්න ඕනෑ සප්ත අපරිහානි ධර්ම. මා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේ දී මට මේ උත්සවයට ආරධනා ලැබුණත් ඒ තනතුරේ මා නෙරපා දැමූ ඇමැතිවරයා නිසා මේ රටේ සම්ප්‍රදායට අනුව මේ ආරාධනාවත් අවලංගු වෙන්න ඇති කියලා මම විශ්වාස කළා. ඒ නිසා පැමිණෙන්නට අදහසක් තිබුණේ නැහැ. මෙයට සම්බන්ධ වන ලෙස ආරාධනා කෙළේ ඔබ මගේ තනතුර නිසා නොව පෞද්ගලිකව බව කී ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ එම ආරාධනාව අනුව මා අද මෙහි පැමිණියා. මම විශ්වාස කරනවා මෙවන් උතුම් සභාවකට සහභාගි වීමට ආරාධනා කිරීම හා ඊට සහභාගී වීමට ලැබීම සම්බන්ධව මා වාසනාවන්ත බව. මීට අවුරුදු 70කට පෙර බලංගොඩ පිළිබඳව කතා කරන විට අපට සිහිවන්නේ බලංගොඩ මානවයා පිළිබඳව. ලෝක ඉතිහාසයේ කාන්තාවක් ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටේ නායිකාවක් බවට පත්වන්නේ මේ බලංගොඩ සම්භවය ඇතිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. අනෙක් පසෙන් අපේ පරපුරෙන් පසු ඕනෑම අයකුට බලංගොඩ කීවම මතක් වෙන්නේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ. අනුරාධපුරයට අනුබුදු මිහිඳු හිමියන් වැඩම කළ කාලයේ සිට ඉතිහාසය ලියවී තිබෙනවා. ලෝකයේ ලිඛිත ඉතිහාස තිබෙන්නේ රටවල් 7ක පමණයි. ඉතාලිය, ජපානය, චීනය, ශ්‍රී ලංකාව වැනි වැනි රටවල්වල මෙවැනි ලිඛිත ඉතිහාසයක් පවතිනවා. ආර්ථික වශයෙන් පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් සහ ස්වභාවික පිහිටීම අනුව ගත්තොත් පෙරදිග මුතු ඇටය වශයෙන් මෙරට සැලකෙනවා. ඒ වගේම ලෝකයේ ධර්මද්වීපය වශයෙන් ඉතිහාස ගතවී තිබෙනවා. ඉතිහාසය බලන විට මහා යුග පුරුෂයා බිහිව තිබෙනවා. රාජ්‍ය තන්ත්‍රයට ද එවැනි රජවරුන් සියගණනක් සිට තිබෙනවා. ඉතාම ගෞරවනීය දුටුගැමුණු, වළගම්බා වැනි රජවරු ඉතිහාස ගතවෙනවා. අපේ රටේ මිනිස්සු දෙවියන් විදියට සලකපු රජවරු හමුවෙනවා ඒ තමයි මහසෙන් රජු. අපේ රටේ වෙනත් කිසිවකුට කිසිම කෙනෙකුට හෝ වෙනත් කිසිම නායකයකුට මිනිස්සු දෙවියෙක් විදිහට සලකලා නැහැ.
මෑත ඉතිහාසයේ මේ රටට ජාතියට සේවය කරපු තවත් නායකයෝ දේශපාලනඥයෝ හිටියා. ජාතියේ පියා. නිදහස් අධ්‍යාපනයේ පියා. බනිස් මාමා. රෙදිමාමලා හිටියා. ඒ හැරුණුකොට එක නමක් තියනවා අපේ රටේ දෙවියෝ කියලා කථා කරන. මින්නේරියේ දෙවියන් ලෙස සලකපු සී.පී ද සිල්වා හැරෙනකොට මේ රටේ කිසිම දේශපාලනඥයකුට දෙවියකු ලෙස සැලකිල්ලට භාජනය වෙන්න බැරි වුණා. ඔහු කෘෂිකර්මයට කරපු සේවය මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා කළ සේවයට වඩා වැඩි යි. රජරට වැව් ටික හදලා උඩවලව ව්‍යාපෘතිය ගොඩනඟලා රාජාංගණය හදලා මහවැලිය ව්‍යාපාරය ආරම්භ කරපු දේශපාලනඥයා. හැබැයි මහවැලිය ගැන ලියවුණු එකම පොතකවත් ඔහුගේ නම ගෑවිලාවත් නෑ. ඒ අපේ රටේ හැටි තමයි. දස දහස් ගණනින් මහරහත් හිමිවරුන් වැඩ සිටි අපේ පුණ්‍ය භූමියේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහරහත් ඵල ලැබු දහස් ගණන් මහ සඟරුවන හිටපු මේ මහිතලය මත අපේ රටේ ජනතාව මතු බුදුවන අපේ හාමුදුරුවො කිව්වා නම් එහෙම වැඩහිටියේ එක හාමුදුරු නමයි. බුදුබව පතනා අපේ මහ නාහිමි ලෙස සඳහන් කර ඇති මහා සංඝයා වහන්සේ නමක් වේ නම් ඒ උත්තරීතර බලංගොඩ ආනන්ද ආනන්ද මෛත්‍රිය මහ නාහිමි පමණයි. ඒ හැර වෙන කිසිම භික්ෂුවකට අපේ රටේ එහෙම ආමන්ත්‍රණය කරන්නේ නෑ . මගේ හිතට වද දෙනවා මේක කියන්න ඔනෑ කියලා රටට ඇහෙන්න හඞගාලා එවන් උත්තමයෙක්ට අපි මේ දක්වන උපහාරය ප්‍රමාණවත් ද කියලා. ඒක ගැන නැවත හොයල බලන්න ඕන උන් වහන්සේගේ දැනුම බුදුදහමට සීමාවූවක් නොවෙයි. අදටත් අන්තර්ජාලයට ගියාම දකින්න පුළුවන් බුදුන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ ඉංග්‍රිසී බසින් දේශනා කර තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ විදේශ රටවලත් දේශනා කර තිබෙනවා. මා කියන්නේ බොරු ද යන්න මේ හැම දෙනාදෙනාටම අන්තර්ජාලය මගින් උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ විට තේරුම් ගත හැකි යි. මෙය මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ නමක් වෙනුවෙන් සලකන අවස්ථාවක්. සිදුහත් කුමාරයා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා දස මරසෙන් පරදවා මහා බෝධි සෙවණේ බුද්ධත්වයට පත්වුණා. දස මරසෙන් පරදවා පළවැනි ආරාධනාව පස්වග තව්සන්ට දහම් දෙසන්නට නොවේ. සුජාතාවගේ කිරිපිඞු පූජාවට නොවේ. මාරයාගේ තමයි පළවෙනි ආරාධනාව දැන් බුද්ධත්වයට පත්වුණා කරුණාකරලා පිරිනිවන් පාන්න. මා ඔබ කියන දේ අහන්නෙ නෑ මා පිරිනිවන් පාන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස මට අවශ්‍ය ධම්මානු ධම්ම ප්‍රතිපත්තියෙන් යුක්තව ඒතරාශි කළ පසුවයි. මිනිසාට කෘතගුණ තියෙන්න ඕනෑ, නැත්නම් මිනිසා සහ තිරිසනා අතර වෙනසක් නැහැ. අපේ බොහෝ දේ පිරිහීමට පත්වන්නේ මත්පැන් නිසා. මත්කුඩු නිසා රට පිරිහිලා.
පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණවලට අපේ රට නතු වුණා. රටේ මුහුදුබඩ ප්‍රදේශයත් අවසානයේ කන්ද උඩට ප්‍රදේශයත් අල්ලගත්තා. යුරෝපීය ආක්‍රමණය වෙස් වළාගත්තු ආශීර් වාදයක් විදිහටයි මා දකින්නේ. අපේ ආගම වට්ටන්න හුඟක් දේවල් කළා. එදා මේ රට ගොඩේ ගොඩනැඟිලා තියෙන්නේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි අතර. කල්පනා කළා මේ කහ සිවුරු දාගත්ත හාමුදුරුවරුන් සිටිනකම් මේ රට යටත් කර ගන්න බෑ කියලා. එදා බ්‍රවුන්රිග් ලියා යැවුවා මේ කහ සිවුරු පොරවා ගත්ත කට්ටිය ඉන්නකල් මේ රට අල්ල ගන්න බැහැ. මේ රට යටත් කර ගන්න බෑ. පහතරට ප්‍රදේශයේ බදු එකතු කරන්නෙක් ලෙස පැමිණියා ඉන්දියාවේ සිට ජෝන් ඩොයිලි. උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට හොර රහසේ මත්පැන් පොවා බේබද්දෙක් බවට පත්කළේ ඩොයිලි. රාජසිංහ රජුට කල්පනාව නැති වුණා. ඇහැළේපොළ කුමාරිහාමි දරුවා වංගෙඩියක දා කොටන්න නියෝග දුන්නා. උඩරට රදළ බල පුළුවන්කාරයෝ එදා එකතු වෙලා ජීවග්‍රහයෙන් රජු අල්ලා දීමට කටයුතු කළා. 1818 ඌවේ කැරැල්ල පටන්ගත්තා. 1948 වීරපුරන් අප්පු මාතලේ කැරැල්ල පටන් ගත්තා. සුදු පාලකයෝ කල්පනා කළා. කොහොමද ඒක කළේ කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ බේබද්දෙක් කරලා රටම අල්ලගත්තා වගේ මේ රටේ ඉන්න හැම පිරිමියෙක්ම බේබද්දෙක් කරලා මේරට අල්ලගන්න ඕනෑ කියලා 1911 ගෙනාවා සුරාබදු පනත. රට වටේ සුරාසැල් 1062ක් ඇති කළා. මෙහි භයානකකම අපේ රටේ නායකයෝ දැක්කා. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, ඒ.ඊ. ගුණසිංහ, පියදාස සිරිසේන, සුභූති හාමුදුරුවෝ ඇතුළු තවත් අපේ හාමුදුරුවරු එකතු වෙලා මීරිගමදි අමද්‍යප ව්‍යාපාරය හැදුවා. ඒ අමද්‍යප ව්‍යාපාරයයි අපේ රට බේරගත්ත ව්‍යාපාරය වුණේ. ඒ අමද්‍යප ව්‍යාපාරය තමයි පස්සෙ කාලෙක එක්සත් ජාතික පක්ෂය වුණේ. එහෙම තමයි අපේ රටේ නිදහස් සටනට පණ පොවන්නේ.
බලංගොඩ ප්‍රදේශයෙනුත් මහත් ශක්තියක් ලැබුණ බව මහාචාර්යවරයා සඳහන් කළා. අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ සූරියමල් ව්‍යාපාරය පණගන්වන්න එකතුවුණා. එදා එන්.එම්.පෙරේරා ඉගෙනගත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්. ඇන්.ඇම්. පෙරේරාගේ ගුරුතුමා තමයි ඇඩම් මැක්හිල් දේශපාලන විද්‍යාව ඉගැන්වූ මහාචාර්යවරයා. මේ යටත් විජිත මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන කෲර ලෙස පාලනය කරගෙන යෑම පිළිබඳව අලුත් මාවතක් ඇතිකරගන්නා වූ දේශපාලනයක් එතුමා එතුමාගේ ගෝලයන්ට ඉගැන්නුවා. වින්සන් ඩරකී ද ලින්කන් ඇඩම් හිල්ට වේගවත් භාෂාවෙන් බැන්නා. නුඹ හදන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දියකර හරින්නද කියා. ‘අගමැතිතුමනි සහතිකයක් දෙනවා මං කවදාවත් ඒක කරන්නේ නෑ . අගමැතිතුමනි මම තව සහතිකයක් දෙනවා කවදාහරි ඔවුන් ඒ රටවලට ගියාට පසු ඒ දේ කරනවා.‘
ලංකාවේ ඇන්.ඇම්.පෙරේරා, ඉන්දියාවේ ක්‍රිෂ්ණා මෙනන්, කෙන්යාවේ ජෝන් ඔටේ ඒ රටවල් නිදහස් කරගැනීමට කටයුතු කළා. අපි අද නිදහස ලැබුවාට මං හිතනවා අපි අද තවම වහල්ලු. දේශපාලනය උගන්වන විට ආචාර්ය මහාචාර්යවරු රටක් පාලනය කරනවිට ආයතන 3ක් ගැන උගන්වනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. අපිට මේ පොතේ තිබෙන දේශපාලන විද්‍යාව නොවේ මේ මහ පොළවේ තියෙන්නේ. අද මේ දේවල් විකෘති වී තිබෙනවා. එදා ජනතාව හා රට ඒක්සේසත්, ආරක්ෂිතයි. සතුටින් ජීවත් වුණා. අභිමානයෙන් කතා කළා. ධාර්මිකයි. මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුවයි රජවරු ධාර්මිකව හිටියේ. වෙහෙර විහාර පුස්තකාල බිහිකළා. මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව උපදෙස් අනුශාසනා ඇතිව විතරයි අපේ රට සශ්‍රීක වෙලා තියෙන්නේ ආරක්ෂා වෙලා තියෙන්නේ. එක් පැත්තකින් මත් උවදුර ප්‍රචලිත කළා. එක් අතකින් ශාසනයට වාද ඇතිකළා. පංච මහාවාදයේ අවසානයේ පානදුරා වාදයෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක හාමුදුරුවෝ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ එදා ලෝකයට ඇසෙන්නට වාද කළා. පංච මහා වාදය අහන්න ඇමරිකාවේ ඉඳලා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ආවා.
ධර්මපාලතුමා ධර්ම මාවත සකස් කරගෙන යනකොට ධර්ම දේශනා කරගෙන ගියේ අපේ ආනන්ද මෛත්‍රිය මහනායක හාමුදුරුවෝ. මේ කතාව කියාගෙන යනකොට මතක් වෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ගේ අනාවැකිය. අයින්ස්ටයින්ගේ වැකිය මේ ලෝකය වේගයෙන් තාක්ෂණයෙන් දියුණු වෙනවා. මේ තරම් වේගයෙන් තාක්ෂණය දියුණු වන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස්සු විශ්වාස කරන ආගම් වලින් ඈත් වෙනවා. ආගමක් පදනම් වෙලා ඇත්තේ හුදු විශ්වාසය මත. ආගම නමැති විශ්වාසයට විද්‍යාව නමැති කුළුගෙඩි පහර වැදී ආගම සීසීකඩ වෙනවා. අද යුරෝපයේ ඇමරිකාවේ මේදේ වෙලා තියනවා. බුදුන් වහන්සේ දේශනා කළේ ලෝකයේ පවතින සත්‍යය. චතුරාර්ය සත්‍යය බුදුන් වහන්සේ ලෝකයේ පහළ වුණේ ධර්මය අතුරුදහන් කළ යුගයක. පෙරුම් පුරාගෙන ඇවිල්ලා ඥානයෙන් සත්‍යය ගවේෂණය කරලා බුද්ධත්වයට පත්වුණා.
නැවතත් මේ ධර්මය අතුරුදහන් වන යුගයක ආයෙත් බුද්ධ පුත්‍රයෙක් පහළ වෙනවා ධර්මය මතු කරලා දෙන්න ඒ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ.
මහාචාර්ය කමල් වලේබොඩ මහතා සිය දේශනය අවසන් කළේ ශෝකජනක පුවතකින්. බලංගොඩ ගැන කතා කළා. බලංගොඩ නොවේ අද ලංකාවම කුඩේ කුඩු වෙච්ච කුඩු පුරවරයක්. ලෝකයට කුඩු බෙදන ජාත්‍යන්තර මාධ්‍යස්ථානය ලෙස අද ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. රටට කුඩු ගෙන එන්නේ ශ්‍රී ලාංකිකයෝ නොවුණත් මේ රටේ 99% කුඩු ගහන්නේ ශ්‍රී ලාංකිකයෝ. හැබැයි කුඩු ගහල පරම්පරාව විනාශ කරගන්නේ අපේ රටේ බෞද්ධයෝ බව හොඳට මතක තබාගත යුතුයි.
මේ රටේ තනියම දේශපාලකයන්ට පාලනය දිය නොහැකියි. බලය තිබෙන්නේ ඡන්දෙ ගත්ත මිනිහට නෙමේ ඡන්දය දාපු මිනිහටයි. අවුරුදු පහකට බලය අරගෙන හම්බන්තොට වරාය අවුරුදු 99 කට විකුණන්න බෑ. මත්තල ගුවන්තොටුපොළ අවුරුදු 99කට විකුණන්න බෑ .දේශපාලකයන්ට ඇඟිල්ල දික් කරලා අපිට වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. අද මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ටට වගකීමක් තියෙනවා. මා එන කොට අන්තර්ජාලයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ බණ දේශනාවකට ඇහුන්කම් දුන්නා. බුදුහාමුදුරුවෝ බණ කියා තිබෙන්නේ නිවන් දකින්න පමණක් නොවෙයි. ධාර්මික ජීවිතයක් ගතකරන්න පමණක් නොවෙයි. බුදු හාමුදුරුවෝ බණ කියලා තියෙන වැඩියෙන්ම පාලකයන්ට. පාලකයෝ රකින්න ඕනෑ සතර සංග්‍රහ වස්තු, පාලකයෝ රකින්න ඕනෑ දසරාජ ධර්මය, පාලකයෝ රකින්න ඕනෑ සප්ත අපරිහානි ධර්ම. ජාතක පොතේ දණ්ඩ නීති සංග්‍රහයේ 512 වැන්නේ හොඳින් රජපාලන සමය ගැන කියැවෙනවා” යැයි ද රාජපක්ෂ මහතා කීවේය.
COMMENTS
මාතෘකාවෙන් කියවෙන දේ ඔප්පු කර පෙන්වා දී නැහැ. යුරෝපා ජාතීන් නිසා බුදු සසුන රැකුණු බව කොහොමද කියන්නේ? කරුණාකර දන්නා කෙනෙක් පැහැදිලි කර දෙන්න.
ඔබගේ මෙම ලිපියෙන් අප මව්බිමේ ඉතිහාසය සහ පසුකාලීනව දේශපාලනය ගැනත් විග්‍රහ කිරීමට දැරූ උත්සාහයට අප ඔබට ස්තුතිවන්ත වෙන්නෙමු. තවද අද අප අතරින් කීයෙන් කීදෙනෙක් ඉතිහාසහේ මෙම සාරාංශගත විස්තර දන්නේද යන්න අපටම බාරය. හරවත් අදහස් ටිකක් අප සමග බෙදාහදා ගත් ඔබගේ පක්ෂ හෝ පාට අප හට " කිසිම වැඩකට "නොමැත.
යුරෝපා ජාතින් ආව නිසා බුද්ධාගම නැවත පණ ගැහුවා ලංකාවේ. යුරෝපියන් එන්න කලින් කෝට්ටේ, මහනුවර යුග වෙනකොට ලංකාවට හින්දු දහම නොදැනිම පැතිරෙන කාලයක් වෙලා තිබුනේ. නමුත් යුරෝපියන් ආවහම බෞද්ධයින්ට පොදු සතුරෙක් ආවා කතෝලික ආගම. හින්දු සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය තුලට කාන්දු වෙන එක නවත්තන්න අමාරුයි මොකද සමානකම් ගොඩක් තිබෙන නිසා. කතෝලික පල්ලිය ඉතා සංවිධානත්මකයි, ඔවුන්ගේ මතවාද පෙරදිග මතවාද වලට වඩා වෙනස්, ඉතින් ඊට එරෙහිව නැගී සිටින්න බෞද්ධයින්ටත් සංවිධානගත වෙන්න වුණා. එකේ ප්‍රතිඵලයක් විදියට තමයි නැවත උපසම්පදාව සහ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුනේ.
පැරකුම් ගේ ඉහත ඇති කොමෙන්ට් එක සමග එකග වෙමි. මා දකින හැටියට ලංකාව සුද්දන්ට යටත් වීමෙන් බොහෝ සාමාන්‍ය වැසියන්ට සිදුවූ අගතිය නම්, අසාධාරණ බදු වලට යටත් වීම, පාරම්පරික ගොවි ඉඩම් අහිමි වීම වැනි දේයි. සුද්දන් නිසා සිදුවුනු හොඳ දෙයක් නම්, රටට නවීන අධ්‍යාපන ක්‍රමයක් ලැබීමත්, ඒ තුලින් රජ කාලයේ පවතී වැඩවසම් ක්‍රමය අහෝසි වී, ඊටම ඇදී තිබුන කුල ක්‍රමයයත් නැතිවී යාමයි.
බලේ තියෙනකොට මොලේ නැහැ. මොලේ තියෙනකොට බලේ නැහැ.
එතකොට සුද්දව එලවපු එක .... නිදහස් සටන් හා ඒවාට දිවි පිදු අපේ වීරයෝ...වැරදි වැඩක්ද කරන්ඩ ගිහිල්ල තියෙන්නේ....නොතේරෙන නිසයි ඇහුවේ...ඒ කියන්නේ තව හොඳ රටක් බලල ටික කාලෙකට මේක විකුණන එකෙත් අවුලක් නෑ නේද විජේදාස මහත්තයෝ...චීනේ වගේ බෞද්ධ රටකටම දෙමු..
විජේදාස මහතාගේ විග්‍රහයට අනේක වාරයක් ස්තුතියි. මේ රටේ පාලකයෝ ඇස් කන් පියාගෙන ඉන්න තාක් කල් රට විනාස වෙනවා. එක එක ඇමතියෝ එක එක බහු බුත දොඩනවා.
මේ වාගේ අයටනේ බුද්දසසන ඇමතිකම දුන්නේ. මහරගම හිටියට වැස්සකටවත් දහම්පාසල් ගිහිල්ල නැත .
විජේදාස අදිකරණ ඇමති ලෙස හිටපු අවුරුදු 2දි තමයි කුඩු වෙළදාම වැඩිවුණේ.. අධිකරණයට අංශභාගේ හැදුනේ...
බලයේ ඉන්නකොට මෙවෙනි දේසන කරන්න අකමැති ඇයි
මෙය කය්වරු ගහනවා දැන් බොරුවට.මෙය ඩබල් ගේමි කාරය.මෙය හොරකම් අල්ලන්න ආණ්ඩුවට එවිල්ල රජාගේ නඩු යටගහල එවන්ගාඩ් එකෙන් සල්ලි කොටි ගනම් හම්බුකරා.ලබන චන්දෙදි මෙයට ඇපත් නැහැ.
දැන් නම් ඔයි කතාව ප්‍රමාද වැඩියි. ඕවා නියන්න තිබුණෙ මාස 2-3කට කලින්. එහෙමනම් ඇමතිකම ගහල යන්නෙත් නැහැ නේද? තව ටික දවසකින් කියාවි 1948 ලංකාවට නිදහස නො ලැබුණා නම් අපේ රට අද දියුණු රටක් කියල.
මේවගේ අයටත් බුද්ද ශාසන ඇමතිකම දුන්නනේ.
වර්තමානයේ සියල්ල සිදුවන්නේ තාක්ෂණික දියුණුව සහා ඉංග්‍රීසි භාෂා දැනුමත් සමග. අපිට ලෝකයත් සමග මිස ඉන් බැහැර විසීම අපහසයි . අධ්‍යාත්මික දියුණුව සහ ආර්ථික වර්ධනය සමගාමිව සිදුකර ගැනීම ඉතා අපහසු වන අතර ,ක්‍රමයෙන් අපේ රටෙත් බුදු සිරිත මැකියමින් face book ,i phone තුලින් අන්තර්ජාලයේ goole දැනුම මත හිරවී සිටින තරුණ පරපුරක් බිහිවී තිබෙන අතර , අපේ රටේ ඉතිහාසයවත් අපේ ශාන්ත සුන්දර බුදු දහමත් සිංහල කමත් බොහෝදුරට ඉවත්වී යන මාවතට වැටි අවසන්.
මොන කතාවක්ද මේක...
පරජාතින් අපේ රට ආක්‍රමණය නොකලානම් ලංකා රාජ්‍ය මීට වඩා සියදහස් ගුණයකින් වාසනාවන්ත රටක් ලෙස ලොව බැබලෙනවා නොඅනුමානයි. හොදම බෞද්ධයෝ ඉන්න රටක්වෙනවා. යටත් විජිත ජාතිකයන් සිංහලයන්ව නරක බෞද්ධයන් කරලා කළු සුද්ධෝ කෙරෙව්වා.මේ සිංහළ කළු සුද්දන්ගෙන් බුදුසසුනට පහාර වැදුනා සුදු සුද්ධන්ට වඩා.තාමත් සිංහළ බෞද්ධයෝ සිංහළ කළුසුද්දන්ගෙ ක්‍රියාකාරකම්වලින් බැටකනවා.
. තනතුරු දරන කාළේ සැපට නිදිය ල දැන් බුදු දහම විකුණන්න හදනවා.
සුද්දා හින්දා මේ රට විවිධාකාර විදියට දියුණු වුණා. විවිධ අංශ සංවර්ධනය වුණා. සුද්දා පැමිණි මුල් සමයේ බලය ලබා ගැනීම පිණිස විවිධාකාර ගැටුම් ඇති වුණත් එසේ ගැටුම් ඇති නොවී සුද්දට බලය ලැබුනා නම් අද අපේ රටේ සුරපුරයක්.. අප සිතනා ලෙස හෝ යම් දේශපාලකයන් කොටසක් අපට සිතන්නට බල කරනා ලෙස සුද්දා යනු නරක කෙනෙක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ එම දේශපාලකයන් කොටස සුද්දා සහ එම රටවල් සමඟ ඉතා හොඳින් ගනුදෙනු කරමින් අපට සුද්දාව එපාකරවීමට උත්සාහ ගැනීමයි. මට එකක් විශ්වාසයි. 2017 වන තෙක් අපේ රට සුද්දා පාලනය කළා නම් අපේ රට ලෝකයේ ඉතාමත්ම ලස්සනම සහ සංවර්ධිතම රටක් බවට පත්වී හමාරයි. එසේ වූවානම් රටේ සියලුම තැන් වල ඉතා හොඳ පාසල් සහ අධ්‍යාපන ක්‍රමයක්.. ඉතා හොඳ ඉස්පිරිතාල ක්‍රමයක්... ඉතාමත්ම හොඳ මාර්ග (පදික වේදිකා සහ මැනවින් ජලය සහ කුණු බැහැරවෙන කාණු ක්‍රමයක් සහිත), ඉතාමත්ම හොඳ ගමනාගමන ක්‍රමයක් (දුම්රිය , ගුවන් යානා සහ වාහන), ඉතාමත්ම හොඳ රාජ්‍ය රාජ්‍ය සේවයක් (කාර්යක්ෂම සහ ඉක්මන්), ඉතාමත්ම හොඳ රැකියා ස්ථාන, කර්මාන්තශාලා, සේවක පහසුකම්, හොඳ නිවාස ක්‍රමයක් රටේ සියල්ලන්ටම, සැම ගෙදරකටම රෝද හතරේ ලස්සන වාහනයක් අත්වි ඇත.
සුභ පැතුම් සර්.....අපි සියලු දෙනා ඔබට ගරු කරනවා.....
දේසපාලකයෝ හැමදාම කලේ කරන්නෙත් බොරු පොරොන්දු දෙමින් බලයට විත් ප්‍රශ්නයක් වූ විට ඒ ඒ අයවම විවේචනය කරගනිමින් ජනතා අනුකම්පාව ගන්න එකයි ... ජනයා හැමදාම මේ අයට රැවටෙනවා.
ලංකාව බ්‍රිතාන්‍යන්ගේ කොලනියක් වශයෙන් තිබුනා නම් හොඳයි .. ඇයි මම එහෙම කියන්නේ ලංකාව මුදා ගත්තා කියන ඔය ප්‍රභූ පිරිස සහ ඔවුන්ගේ පවුල් පමණයි සියලුම වරප්‍රසාද භුක්ති විඳ ගත්තේ ... සෙසු ජනයා එම ප්‍රභූ පිරිසගේ අතකොලු බවට පත් වුණා ... එ්කනේ ඔවුන්ට සර් මැඩම් කියමින් එක තැනම පල්වෙන්න සිදුවෙලා තිබෙන්නේ...
ලංකාව බ්‍රිතාන්‍යන්ගේ කොලනියක් වශයෙන් තිබුනානම්ම හොඳයි .. ඇයි මම එහෙම කියන්නේ ලංකාව මුදා ගත්තා කියන ඔය ප්‍රභූ පිරිස සහ ඔවුන්ගේ පවුල් පමණයි සියලුම වරප්‍රසාද බුක්ති විඳ ගත්තේ ... සෙසු ජනයා එම ප්‍රභූ පිරිසගේ අතකොලු බවට පත් වුනා ... එකනේ ඔවුන්ට සර් මැඩම් කියමින් එක තැනම පල්වෙන්න සිදුවෙලා තිබෙන්නේ .
"පාලකයෝ රකින්න ඕනෑ දස රාජ ධර්ම. පාලකයා රකින්න ඕනෑ සතර සංග්‍රහ වස්තු. පාලකයා රකින්න ඕනෑ සප්ත අපරිහානි ධර්ම." සුද්දෝ රට පාලනය කරේ මෙහෙම වෙන්න ඇති. අනේ! අන්!
"අවුරුදු පහකට බලය අරගෙන හම්බන්තොට වරාය අවුරුදු 99 කට විකුණන්න බෑ. මත්තල ගුවන්තොටුපොළ අවුරුදු 99කට විකුණන්න බෑ" වචන පමණි. රටක් පාලනය කරන විට ඉදිරිය බලා මෙවැනි දේ කළ නොහැක්කේ මන්ද..? එම තර්කයම ගෙනාවොත් කිසිම රජයකට අවුරුදු 5 කට වඩා බලපාන දෙයක් කළ නොහැක. මහවැලි ගඟ හරස් කල නොහැක. මන්ද එය අවුරුද දහස් ගණනක් මුහුදට ගලා ගිය බැවින්....