IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


යටි සිත සිතුවම් කළ වසන්තගේ භාවනා

පෙබරවාරි 16 වැනිදා ඉරිදා දිනයයි. කලා නිර්මාණවල විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 32 වැනි වරටත් කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) හි ආරම්භ වී තිබුණි.

කලාකරුවන් පමණක් නොව, කලා නිර්මාණවලට ඇලු‍ම් කරන ලොකු කුඩා කවුරුත් කලා පොළට පැමිණ සිටියහ. කලා පොළ විවිධත්වයෙන් හා නිර්මාණශීලී බවින් පරිපූර්ණ අද්විතීය කලාත්මක නිර්මාණවලින් පිරී තිබුණි.

කලා පොළේ සිතුවම් සහ කලා නිර්මාණ නරඹමින් සිටි පිරිස අතරේ එක් සුවිශේෂ චරිතයක් විය. තරුණ රියැදුරු මහතාගේ ද සහාය ඇතිව, චිත්‍ර නරඹමින් රෝද පුටුවෙන් ගමන් කරමින් සිටියේ පැරඩයිස් රෝඩ් අධිපති කලාශූරී උදයශාන්ත් ප්‍රනාන්දු මහතාය. උදයශාන්ත් ප්‍රනාන්දු මහතා විසින් 1998 වසරේ දී ආරම්භ කරනු ලැබූ පැරඩයිස් රෝඩ් ගැලරි, ශ්‍රී ලංකාවේ මෙන්ම, දකුණු ආසියානු කලාපයේ රටවල කලාකරුවන්ට අතහිත දීමට කැපවී සිටී. පැරඩයිස් රෝඩ් ගැලරි, ලයනල් වෙන්ඩ් සහ ජෝර්ජ් ක්ලේසන් වැනි ප්‍රමුඛ ශ්‍රී ලාංකික නූතනවාදීන්ගේ කලා නිර්මාණ පවා ප්‍රදර්ශනය කර තිබේ.

කලා පොළේ පිරිස අතරින් යද්දී, සිතුවම් ගොඩක් මැද සිටි එක් සුවිශේෂ කලාකරුවකු කෙරෙහි උදයශාන්ත ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමු විය.

“ලංකාවේ ඉන්න කලාකරුවන්ට යම් කිසි ස්ථාවරයක් දීම මගේ අරමුණයි. මම කලාවට ලැදි කෙනෙක්. මගේ මුළු ජීවිතයම කලාවයි. මම ලංකාවේ සියලු‍ම ප්‍රධාන කලාකරුවන්ට ප්‍රදර්ශන පැවැත්වීමට ඉඩ සලසා දී තිබෙනවා. චන්ද්‍ර ගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, ජගත් රවීන්ද්‍ර, කෝරලේගෙදර පුෂ්පකුමාර ඒ අතරේ කැපීපෙනෙනවා. සැමවිටම මට ඕනෑකම තියෙනවා, අලු‍ත් දක්ෂ කලාකරුවන් සොයා ඔවුන්ට තැනක් දෙන්න. අතහිත දෙන්න. ඉතිං මම එදා කලා පොළට ගිය අවස්ථාවේ, මට වසන්ත නමස්කාර මහත්මයා දකින්න ලැබුණා. ඔහුගේ චිත්‍ර දකින්න ලැබුණා. ඒවායේ ඇති සුවිශේෂ බව මට සැණින් හඳුනා ගන්න හැකිවුණා. ඒත් මම වසන්ත නමස්කාර මහත්මයා ළඟට ගියේ නැහැ. මම ඔහුගේ නිර්මාණ නොදැක්කා වගේ එතැනින් ඈත් වුණා. ඊට හේතුව, මම ඔහු අසලට ගියා නම්, ඔහුගේ නිර්මාණවලට ඉබේටම වටිනාකමක් ලැබෙනවා. හැමෝම එතනට එන්න බලනවා. මම ඒකට කැමති වුණේ නැහැ. මම හෙමින් මගේ රියැදුරාට කීවා, අන්න අර හාදයාගේ නමත්, දුරකතන අංකයත් අරන් එන්න කියලා. මම වසන්ත නමස්කාර මහතා හමුවුණේ එහෙමයි. මම වසන්ත නමස්කාරට ඇමතුමක් දුන්නා. මට ඔබේ චිත්‍ර බලන්න ආසයි. මට බලන්න චිත්‍ර ටිකක් අරන් එන්න මම ඉල්ලීමක් කළා. ඒත් මම දැනගෙන හිටියේ නැහැ. වසන්ත නමස්කාර කියන්නේ චිත්‍ර ෆැක්ටරියක්. ඔහු මා හමුවන්න ආවේ සිය ගණනක් චිත්‍ර අරගෙන. මම පුදුම වුණා. ඔහුගේ චිත්‍ර සියල්ල කළු සුදු ඒවා. මමත් කළුයි සුදුයි. මම ප්‍රිය කරන්නේ කලු‍ සහ සුදු වර්ණවලටයි.”

“ඒ චිත්‍ර අතරින් මගේ සිත ගිය චිත්‍රය මම එදාම මුදල් දී, වසන්ත නමස්කාර මහත්මයාගෙන් මිලදී ගත්තා. වසන්ත නමස්කාර කියන්නේ සැබෑ කලාකාරයෙක්. එවැනි සැබෑ කලාකාරයන් හමුවන්නේ කලාතුරකිනි. ඒ නිසා වසන්ත නමස්කාර මහත්මයාට අත දීමක් වශයෙන්, අපි පැරඩයිස් රෝඩ් කලාගාරය එතුමන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න තීරණය කළා. සාමාන්‍යයෙන් කලාකරුවන් බැබලෙන්න පටන් ගන්නේ අවුරුදු 25 න් හෝ 30 න්. ඒත් වසන්ත නමස්කාර මහත්මයාට දැන් අවුරුදු 53 ක්. දැන් තමයි ඔහුගේ ආගමනය සිදුවන්නේ. මගේ අරමුණ නමස්කාර මහත්මයාගේ නිර්මාණ හරහා මුදල් ඉපැයීම නොවෙයි. මට ඕනෑ වසන්ත නමස්කාර මහත්මයාට නමක් හදා දීමයි. ඉදිරියට යෑමට මාර්ගය සකස් කර දීමයි.” යැයි කලාසූරී උදයශාන්ත් ප්‍රනාන්දු මහතා පවසන්නේ මහත් උනන්දුවකිනි.

උදයශාන්ත් ප්‍රනාන්දු මහතාගේ අවධානය දිනා ගත් වසන්ත නාමස්කාර, සැබැවින්ම නිහතමානී කලාකරුවෙකි. ඔහු සිටින්නේ ආධ්‍යාත්මික වශයෙන් අප සියලු‍ දෙනා අබිබවා ගිය තැනකය. වසන්ත නාමස්කාර මහතා භාවනා පුහුණුවෙන්, ගැඹුරින් මුල්බැසගත්, සහජ දෘශ්‍ය භාෂාවක් ඉදිරිපත් කරන අසාමාන්‍ය කලාකරුවෙකි. භාවනාවෙන්, සමබරතාවක් වර්ධනය කර ගත් නාමස්කාර මහතා ඔහුගේ සිත කැන්වසයේත්, කඩදාසියේත් සටහන් කරන්නේ සියුම් බුරුසු පහර කීපයකිනි. කැන්වසය සහ කඩදාසි මත ඇදෙන ඔහුගේ බුරුසු පහරින්, ඉන්ද්‍රීයයන් සක්‍රීය වීමක් දකින්න ලැබේ.

“මගේ චිත්‍ර ප්‍රදර්ශනය භාවනා” යන නමින් නම් කළේ උදයශාන්ත් ප්‍රනාන්දු මහත්මයයි. චිත්‍ර කලාවේ ශාස්ත්‍රීය දැනුම මා ලබා ගත්තේ විභවි කලායතනයේ චන්ද්‍රගුප්ත තේනුවර මහතාගෙන්. ඒ වාගේම ජගත් රවීන්ද්‍ර වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගෙන් ද ඉගෙනීමට අවස්ථාව ලැබුණා. මම ඉන්දියාවට හරිම කැමැතියි. ඉන්දියාවේ කලාවට සහ සංස්කෘතියට මම හරි ආසයි. මම අවුරුදු ගණනාවක් ඉන්දියාවේ ජීවත් වුණා. ඉන්දියාව පුරා ඇවිද්දා. මම කොතරම් කල් ඉන්දියාවේ සිටියාදැයි කියනවා නම්, ඉන්දියාව මගේ ජීවිතේ කොටසක් වුණා.” යැයි තම කලා දිවිය ගැන වසන්ත නාමස්කාර මහතා අතීතාවර්ජනයක යෙදෙන්නේ ඉමහත් සතුටිනි.

“ඉන්දියාවේ සිටිද්දී, අහම්බෙන්, එක්තරා දිනයක ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථානයක දින දහයක් භාවනා කිරීමට අවස්ථාව ලැබුණා. ඒක තමයි මාගේ සන්ධිස්ථානය. ජීවිතයේ පළමු වතාවට ශරීරය තුළ පවතින සිත හඳුනා ගැනීමට මට හැකි වුණා. ඉන්පසුව මගේ කලා භාවිතය සහ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මම හිතේ ස්වභාවය සිතුවම් කරන්න ගත්තා. මගේ සිතුවම්වලින් නිරූපණය වන්නේ එයයි. සිතුවම් ප්‍රදර්ශනය භාවනා යන නමින් නම් කිරීමට උදයශාන්ත් ප්‍රනාන්දු තීරණය කළේත් ඒ අනුවයි. එදා මම කලා පොළට නොගියා නම් මට උදයශාන්ත් ප්‍රනාන්දු මහත්මයා මේ විදියට මුණගැහෙන්නේ නැහැ. ඔහු මට ඇමතුමක් දුන්නා. මම මගේ චිත්‍ර අරන් ඔහු හමුවන්න ආවා. මගේ ඒ චිත්‍ර මීට පෙර කිසිම කෙනෙක් දැක තිබුණේ නැහැ. මගේ චිත්‍රවලින් මා නිරූපණය කරන දේ තේරුම් ගන්න උදයශාන්ත් ප්‍රනාන්දු මහත්මයා සමත් වීම ගැන මට අදටත් හරිම පුදුමයි. ඔහුගේ කලාත්මක දැනුම අසමසමයි කීවොත් වැරදි නැහැ. ඔහු මගේ සිතුවම් අතර ඇති සියුම් තැන් ක්ෂණිකව ග්‍රහණය කර ගත්තා. ඔහු තරම් පුළුල් වින්දන පරාසයක් සහිත පුද්ගලයෙක් මට මෙතෙක් හමුවී නැහැ” යැයි වසන්ත නාමස්කර මහතා පැහැදිලි කරයි.

වසන්ත නමස්කාර‍ගේ සිතුවම් ඇතුළත්,‘භාවනා’ සිතුවම් ප්‍රදර්ශනය මාර්තු 27 සිට අප්‍රේල් 24 දක්වා උදෑසන 10 සිට, මධ්‍යම රාත්‍රිය තෙක්, කොළඹ 03 ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්ස් 2 ලිපිනයේ පිහිටි පැරඩයිස් රෝඩ් කලාගාරයේ දී නොමිලේ පැවැත්වෙයි.

(***)
ලු‍සිත ජයමාන්න
ඡායාරූප - ඉසුරු පෙරේරා

 



අදහස් (1)

යටි සිත සිතුවම් කළ වසන්තගේ භාවනා

Nickon Tuesday, 25 March 2025 02:27 PM

මේවත් චිත්‍ර ද ඇහුවොත් අහපු එකා මෝඩයා, එයාට රසඥතාවක් නෑ. හෙන ඇඩ්වාන්ස් මට්ටමේ චිත්‍ර එහෙම තමා කියන අය ඇති පදම්. ඒත් ඔය වගේ චිත්‍ර අඳින කිසිම කෙනෙකුට ස්වාභාවික අන්දමින් මිනිස් රූපයක් සත්ව රූපයක් අඳින්න බෑ, සීයට දාහක් ඔට්ටුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site