2021 වසර ශ්‍රී ලංකාවේ මානව ශාස්ත්‍ර හා විද්‍යා විෂයයන් පිළිබඳ උසස් අධ්‍යාපනයේ ශත සංවත්සරය සනිටුහන් කරයි. මානව ශාස්ත්‍ර හා විද්‍යා විෂයයන් පිළිබඳ විධිමත් උසස් අධ්‍යාපනය ආරම්භ වූයේ 1921 ජනවාරි 21 වැනිදා යුනිවර්සිටි කොලීජිය (University College) කොළඹ විද්‍යාල මන්දිරයේ පිහිටුවීමත් සමඟය. එම සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් රැසක් කොළඹ විශ්වවිද්‍යාලය මේ වසරේ සංවිධානය කර ඇත. පුරා සියවසක කාලයක් මුළුල්ලේ උසස් අධ්‍යාපනයේ සාහිත්‍ය කලා ඇතුළු මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ ඓතිහාසික පසුබිම, සමාජ සංස්කෘතික බලපෑම හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ අරමුණ පිළිබඳව කතාබහකට අප හා එක් වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතායි. සිංහල භාෂාව, වාග්විද්‍යාව පිළිබඳ පර්​යේ ෂකයකු හා ග්‍රන්ථ කර්තෘවරයකු වන කෝපරහේවා මහතා, දෙස් - විදෙස් සරසවි කිහිපයකම අත්දැකීම් ලබා ඇති විද්වතෙකි.


• මෙරට උසස් අධ්‍යාපනයට මානව ශාස්ත්‍ර විෂයයන් හඳුන්වා දී වර්තමානය වනවිට වසර 100ක් ගත වෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව ශාස්ත්‍ර විෂයයන් ඉගැන්වීමේ අවශ්‍යතාව මතු වූයේ කෙසේ ද? එහි ඓතිහාසික පසුබිම කුමක් ද?
“මෙරට උසස් අධ්‍යාපනයේ මානව ශාස්ත්‍ර හා විද්‍යා විෂයයන් පිළිබඳ විධිමත් උසස් අධ්‍යාපනය ආරම්භ වූයේ අදින් සියවසකට පෙර 1921 ජනවාරි මස 21 වැනිදා. ඒ වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් කොලේජ් හවුස් නමින් හැඳින්වුණු මන්දිරයේ දී පිහිටුවනු ලැබූ සිලෝන් යුනිවර්සිටි කොලීජියේ දී. එය ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි ලබාදුන් ආයතනයක්. ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවට විසිවැනි සියවස මුල පොන්නම්බලම් අරුණාචලම්, ජේම්ස් පීරිස්, ඩී.ආර්. විජයවර්ධන වැනි නායකයන් ගෙන ගිය ව්‍යාපාරය නිසා මානව ශාස්ත්‍ර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයක අවශ්‍යතාව මතු වුණා. ඒ අනුව රොබට් මාර්ස්ගේ මූලිකත්වයෙන් කොළඹ යුනිවර්සිටි කොලීජියේ 1920-30 දශකවල කලා විෂය ධාරාවට ඉංග්‍රීසි, ලැටින්, ග්‍රීක්, සිංහල, දෙමළ, සංස්කෘත, පාලි, ඉතිහාසය, භූගෝල විද්‍යාව, දර්ශනය යන විෂයයන් ඇතුළත් වුණා. ඒ විෂයයන් ඉගැන්වීම සිදු වුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ අනුව මුලින්ම සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන් ඉගැන්වීම සිදු වූයේ ඉන්දු ආර්ය භාෂා කෙරේ වැඩි අවධානයක් සහිතවයි. එකල එම ප්‍රාචීන භාෂා ඉගැන්වීම බාරව සිටියේ ආචාර්ය ගුණපාල මලලසේකර මහතායි. මේ අනුව 1942 දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන තෙක්ම (වසර 21) මේ රටේ උසස් අධ්‍යාපනයේ කලා විෂය ධාරාවට අයත් පාඨමාලා ඉගැන්වීම සිදු වුණේ යුනිවර්සිටි කොලීජියේ දී. එය පිහිටුවා වසර 100ක් මේ වනවිට ගත වී තිබෙනවා.”

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි
මහාචාර්ය ගුණපාල මලලසේකර

• යුනිවර්සිටි කොලීජිය ආරම්භ කළ තැන් පටන් දශක කිහිපයක්ම සිංහල භාෂා සාහිත්‍යය ඇතුළු මානව ශාස්ත්‍ර විෂයයන් සෙවණේ වැඩුණු ශාස්ත්‍රවන්තයන් බවට පත් වූ උගතුන් රැසක් සිටිනවා. මුල් කාලීනව ඔවුන්ගෙන් මෙරට භාෂා සාහිත්‍ය කලා අභිවර්ධනයට සිදු වූ බලපෑම කෙබඳු ද?
“මෙය ඉතා වැදගත් කාරණයක්. 1950-60 දශකවල පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශ ආලෝකවත් කරමින් මෙරට භාෂා සාහිත්‍ය කලා හා ශාස්ත්‍රීය කටයුතුවල පෙරමුණ ගෙන ක්‍රියා කළ ඩී.ඊ. හෙට්ටිආරච්චි (සිංහල) , ඩී.ජේ. විජේරත්න (සිංහල), එදිරිවීර සරච්චන්ද්‍ර (සිංහල), ඇම්.බී. ආරියපාල (සිංහල), ඕ.එච්. ද විජේසේකර (සංස්කෘත), කේ.එන්. ජයතිලක (දර්ශනය) වැනි මහාචාර්යවරුන් සියලු දෙනාම 1930 දශකයේ දී පමණ යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලැබූ පිරිසක්. ඔවුන් බොහෝදෙනකුගේ විෂයයන් වුණේ සිංහල, පාලි, සංස්කෘත වැනි ප්‍රාචීන භාෂා සාහිත්‍ය විෂයයන්. මේ රටේ භාෂා සාහිත්‍යය හා කලාව වෙනුවෙන් කටයුතු කරන්නට ඔවුන් පෙළැඹී ඇත්තේ යුනිවර්සිටි කොලීජියේ ආධ්‍යාපනය ලැබූ කාලයේ දී දේශීය භාෂා සාහිත්‍යය හා කලාව පිළිබඳව ඇති වූ උනන්දුවත් සමග. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා මෙහෙවර ඊට හොඳම උදාහරණයක්. සිංහල භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය හා කලා ශිල්ප පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන රැසක් ඔවුන් සිදු කර තිබෙනවා. මේ පිළිබඳ ඉතා අගනා ලිපියක් 2019 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය පළ කළ කෘතියකට මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා සපයා තිබෙනවා.”

• සියවසකට පසු නැවත හැරී බැලුවොත් මානව ශාස්ත්‍ර විෂයයන්වල වර්තමාන අවශ්‍යතාව ඔබ දකින්නේ කෙසේ ද?
“මානව ශාස්ත්‍ර ඉගෙනීමෙන් අපගේ ගෝලීය දැක්ම ශක්තිමත් කිරීමත් අපගේ බුද්ධිමය පදනම පුළුල් කිරීමත් සිදු වෙනවා. සන්නිවේදනය, නිර්මාණාත්මක හා විචාරාත්මක කුසලතා වර්ධනය කිරීමටත්, ගැටලු විසඳීමටත් අපට උපකාර කරන්නේ මානව ශාස්ත්‍ර ඉගෙනීමෙන් ලබන ශික්ෂණයයි. ගෙවුණු සියවසක පමණ කාලයක් මුළුල්ලේ මේ රටේ පරිපාලන ක්ෂේත්‍රය බැබළවූ කීර්තිමත් පරිපාලකයන් ද මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා උපාධිධරයන්. ඔවුන් හදාරා ඇත්තේ සිංහල, පාලි, ඉතිහාසය වැනි විෂයයන්. එසේ වුවත් පාසල් අධ්‍යාපනයේ දී දක්ෂ ශිෂ්‍යයන් කලා විෂය ධාරාව අත්හැරීම නිසා සරසවිවල මානව ශාස්ත්‍ර හැදෑරීමේ අවස්ථාව ඔවුන්ට උදා වන්නේ නෑ.”

• ප්‍රචණ්ඩත්වය, අසංවේදී බව වැනි කාරණා සමාජය තුළ වර්ධනය වීමට සාහිත්‍යය, කලාව ඇතුළු මානව ශාස්ත්‍ර විෂයයන්ගෙන් දුරස්ථ වීම බලපා ඇති බව ඇතැම් බටහිර රටවල් පවා අද තේරුම් ගෙන තිබෙනවා. මේ තත්ත්වය ඔබ ලංකාවේ දකින්නේ කෙසේ ද?
“මානව ශාස්ත්‍ර විෂයයන් මගින් අප ඉගෙන ගන්නේ මානව සංස්කෘතිය ගැනයි. විවිධ සංස්කෘතීන්ගේ සාරධර්ම ගැන, කලා කෘතියක් රස විඳීම ගැන, ඉතිහාසය ගැන අප ඉගෙන ගන්නේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය නිසයි. එසේම ලෝකය පිළිබඳ සදාචාරාත්මක, අධ්‍යාත්මික හා බුද්ධිමය හැඟීමක් ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයෙන්. මේ නිසා ලංකාව වැනි විවිධ භාෂා, ආගම් හා සංස්කෘතීන් ඇති රටකට අවශ්‍ය සාමකාමී, විනයගරුක සමාජයක් බිහි කරගත හැක්කේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ඇසුරින්.”

• අප මේ ගැන කොතෙක් කතා කළත් දේශපාලනික වශයෙන් හා රාජ්‍ය තන්ත්‍රයක් හැටියට සාහිත්‍ය කලා ඇතුළු මානව ශාස්ත්‍ර විෂයයන් ගැන දක්වන අවධානය ප්‍රමාණවත් නැහැ නේද?
“ලෝකයේ ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් දියුණු තත්ත්වකට පත් වූ සෑම රටක්ම මානව ශාස්ත්‍ර විෂයයන් ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කර තිබෙනවා. විද්‍යා, තාක්ෂණ විෂයයන් වර්ධනය සඳහා පෞද්ගලික අංශ, කර්මාන්ත ආදියට අරමුදල් සම්පාදනය කළ හැකි වුවත් ඔවුන් මානව ශාස්ත්‍ර විෂයයන් හා බැඳුණු සාහිත්‍ය කලා පෝෂණයට මුදල් වැය කරන්නේ කලාතුරකින්. මේ නිසා මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැක ගැනීම, පෝෂණය කිරීම රජයේ වගකීමක්. මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ අරමුණ රැකියාවකට උපාධිධරයකු තැනීම නොවන බව වගකිවයුත්තන් තේරුම් ගත යුතුයි. මේ සියවසේ දී ලෝකය, මනුෂ්‍යත්වයට වඩා හොඳ නිවහනක් බවට පත් කිරීම සඳහා තාක්ෂණය භාවිත කරන්නේ කෙසේ ද යන්න අපට කියා දෙන්නේ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයයි.”


(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)