IMG-LOGO

2024 මැයි මස 27 වන සඳුදා


මහා පරාක‍්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය

03-itihasaye-sangawunu-kata  

 

අපි අතීතය පිළිබඳ ගෞරවයෙන් කතා කරමු. අතීත පාලකයන් ශ්‍රේෂ්ඨ නරපතියන් ලෙස සලකමු. එහෙත් ඒ ශ්‍රේෂ්ඨ අභීත පාලකයන් රට එක්සේසත් කිරීමේ කාර්ය මල් පාවඩ මැදින් ගොස් කළේ නැත. ඔවුන් ද බලය ලබා ගැනීම සඳහා අල්ලස් දීම්, පාවාදීම්, මිනිස් ඝාතන, දේශපාලන කුමන්ත‍්‍රණ කළේය. ඊට හොඳම උදාහරණය පරාක‍්‍රමබාහු රජ සමයේ සිදුවූ අභ්‍යන්තර අරගලවලින් පැහැදිලි වෙයි. ඒ පිළිබඳ කතාකිරීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගනිමු.

 

 

27-P-9-_-BB
”මහා පරාක‍්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය අංශ දෙකක් ඔස්සේ විහිදිලා යනවා. ඉන් එකක් තමයි දක්ෂිණ දේශයේ පාලකයාව සිට එම දේශය සංවර්ධනය කර ජනතා ප‍්‍රසාදය දිනා රජරට ආක‍්‍රමණය කිරීම.


අනිත් එක තමයි මානාභරණ සමග කළ සටන් ව්‍යාපාරය. මේ සටන් ව්‍යාපාර දෙකේම අරමුණ වූයේ බලය ලබාගැනීම. මේ සටන් ව්‍යාපාරවල පාවාදීම්, ගිවිස ගැනීම්, ගිවිසුම් කඩකිරීම්, නැවත ප‍්‍රතිපක්ෂයක් සමග එකතුවීම්, අල්ලස් දී ඇමතිවරු හා සේනාපතිවරු තමාපැත්තට නම්මා ගැනීම් වැනි දේශපාලන ප‍්‍රයෝග දකින්නට ලැබුණා.

SLD_20141228_C009
එහෙත් මහාපරාක‍්‍රමබාහු රජුගේ යුදකාලය පිළිබඳව හෝ රජරට ගජබා රජුගේ යුද සූදානම පිළිබඳව වංශ කතාවල තොරතුරු සඳහන් කර නැහැ. පොදුවේ බලනවිට තමා ආහාර පාන, වස්තුව, පුහුණු සේනාව වැනි සියලූ දේ එකතුකරගෙන යුද්ධයකට පෙර සූදානමක් වූ බව ඓතිහාසික සාධක පිරික්සීමේ දී පැහැදිලි වෙනවා.


මුලින්ම පරාක‍්‍රමබාහු රජතුමා දක්ෂිණ දේශය සංවර්ධනය කර රජරට ආක‍්‍රමණය කිරීමට මුල පිරුවේ මෙහෙමයි. ඔහු මුලින්ම කළේ ගජබා රජුගේ සියලූ තොරතුරු දැන ගැනීම හා ඔහු යටතේ සිටින ඔහුට විරුද්ධ මැති ඇමතිවරු හඳුනා ගැනීම. ඔවුන්ගෙන් ලබාගත් රහස් තොරතුරු සහ පරාක‍්‍රමබාහු රජතුමා ගොඩනගාගත් බලය භාවිතාකර ගජබාරජුට අයිතිව තිබූ කඳුරටේ කොටසක් මුලින්ම ආක‍්‍රමණය කිරීමට ක‍්‍රියා කරනවා.


ඔහුගේ සේනාව මහා මලය දේශය අල්ලා ගැනීමට කටයුතු කරනවා. එහිදී වංගු සහිත අඩි පාරවල්, කැලෑ, කටු පඳුරු, ගිරි දුර්ග, ජල දුර්ග සහිත මලය දේශය ආක‍්‍රමණය කිරීම අසීරු කටයුත්තක් වෙනවා. එහෙත් එම අසීරු කටයුත්තට මුහුණ දුන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව පොළොන්නරුව ආක‍්‍රමණය කිරීම සඳහා ක‍්‍රියා කරනනවා. ඔවුන් ප‍්‍රථමයෙන්ම මලය දේශයේ බලය තහවුරු කරගන්නේ එහෙමයි.


ඊට පසු පරක‍්‍රමබාහු රජතුමා රජරට ප‍්‍රදේශයේ සිටි දණ්ඩාදිනායකයාවූත් ගජබා රජුගේ සේනාධිපතියකුවුත් රක්ඛසේනාධිපති රහස් පණිවිඩයක් යවා ගෙන්වා ගන්නවා. පසුව ඔහුට අල්ලස් දී පරක‍්‍රමබාහු රජුගේ පැත්තට නම්මා ගන්නවා. මේ බලය සඳහා වූ දේශපාලන උපක‍්‍රම අද වගේම එදත් තිබූ බව ඉන් පැහැදිලි වෙනවා.


රක්ඛ සේනාධිපතිගේ සහයෝගය ලබාගත් පරාක‍්‍රමබාහු රජු ඇතුළු පිරිසට පහත දුම්බර ප‍්‍රදේශය පහසුවෙන්ම අල්ලා ගැනීමට හැකි වෙනවා.
ඒත් රටේ ජනතාව එම ක‍්‍රියාව අනුමත කළේ නෑ, හේතුව ඔහු දක්ඛිණ දේශය සංවර්ධනය කළ පාලකයා වූවත් අල්ලස් දී බලය ලබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම උසස් රාජ්‍ය පාලකයකුට නොගැළපෙන්නක් නිසා.


ඒ නිසා පහසුවෙන් පහත දුම්බර අල්ලාගත් පරක‍්‍රමබාහු රජතුමාගේ සේනාවට තෙල්දෙණිය, ආශ‍්‍රිත ප‍්‍රදේශවල දී ගජබා රජුගේ සේනාව සමග සටන් කිරීමට සිදු වූණා. එහිදී උඩුදුම්බර, දුනුවිල යන ප‍්‍රදේශ පරාක‍්‍රමබාහු රජතුමාට ලබාදීමට යළිත් රක්ඛසේනාධිපති ක‍්‍රියා කළා. මේ ජයග‍්‍රහණ ලබාදීමට කටයුතු කළ ගජබා රජුගේ සේනාධිපතියකු වූ රක්ඛසේනාධිපතිට පරාක‍්‍රමබාහු රජතුමා කේෂධාතු නැමති ගෞරව නාමය ලබා දුන්නා.


මේ අවස්ථාවේදීත් පෙනී යන්නේ අල්ලස් දී ඇමතිවරු අල්ලා ගැනීම පිළිබඳ කෞටිලයගේ අර්ථ ශාස්ත‍්‍රයේ දක්වා ඇති උපදෙස් ඒ ආකාරයටම පරාක‍්‍රමබාහු රජතුමා පිළිපැදි ආකාරයයි.


මීළඟට ගජබා රජු ඔහුට සමීපයේම සිටි රක්ඛසේනාධිපති පරාක‍්‍රමබාහු රජුට පක්ෂක්ග‍්‍රාහීව කටයුතු කිරීම හා ගජබා රජුට විරුද්ධවීම නිසා ඔහු සමග සටන් කිරීමට සේනාවක් එව්වා. පරාක‍්‍රම බාහු රජුන් රක්ඛසේනාධිපතිට ආධාර පිණිස දක්ඛිණ දේශයේ සිට තවත් සේනාවක් එවීමට කටයුතු කළා. මේ සේනා දෙක එකතු වී සටන් කළ අතර ඉන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළා. එම සටනින් පසු ඔවුන් මඩුගොඩ ප‍්‍රදේශයත් අල්ලා ගත්තා. මින් පරාක‍්‍රමබාහු රජතුමාට මුළු මලය දේශයම අල්ලා ගත හැකි වුණා. ඉතිරිව තිබුණේ කොස්වත්ත ප‍්‍රදේශය පමණයි. ඔහු එම ප‍්‍රදේශයේ සිටි නිළධාරීයාටත් අල්ලස් දී අල්ලා ගත්තා.


මේ ආකාරයට ඔහු මුළු කඳුරටම ජයග‍්‍රහණය කළා. ඊට පසු ඔහුගේ අවධානය යොමුවුණේ රජරට අල්ලා ගැනීමට. ඔහු රජරට අල්ලා ගැනීමේ මෙහෙයුමක් කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ සඳහන් නියමයන්ම අනුව සැලසුම් කළා. ඒ අනුව ඔහු බටහිර වෙරළ ඔස්සේ මෙහෙයුම් දියත් කළා. මුලින්ම එහි තිබූ මුතුපර අල්ලා ගත්තා. ඊට පසු පුත්තලම අසල තිබූ ගජබා රජුගේ බළකොටුව අල්ලා ගැනීමට ක‍්‍රියා කළා. මේ කාලයේ නාවික සටන්ද ඇතිවුණා. ඒ සටන්වලින් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළා. ඊට පසු එම වෙරළබඩ තීරු පාළනය කිරීම සඳහා මුතුපර අසල බළකොටුවක් ගොඩනැගුවා
ඊළඟට මේ නාවික සේනාංකය සමග පිටත් වූ පරාක‍්‍රමබාහු රජතුමා කලා ඔය හරහා ගොස් කට්ටියාව අත්පත්කර ගත්තා. ඊට පසු ගල්කිරියාගම කඩහපොළ ප‍්‍රදේශ ආක‍්‍රමණය කළා. පසුව පරාක‍්‍රමබාහු රජුගේ සේනාවත් නැගෙනහිර ප‍්‍රදේශය බලා ගමන් ගත්තා. ඊට පසු කෙළින්ම ගජබා රජු පාලනය කළ පොළොන්නරු රාජධානිය ආක‍්‍රමණය කිරීමට මෙහෙයුම දියත් කළා. එහිදී ගජබා රජුගේ සේනාව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළා. එනම් පරාක‍්‍රමබාහු රජුගේ පොළොන්නරුව දක්වා පැමිණෙමින් සිටි සේනාව මර්දනය කිරීමත්, නැගෙනහිර වෙරළේ බළකොටුවක් ගොඩනගාගෙන පාලනය හසුරවමින් සිටි සේනාවත් ගජබා රජුගේ ඉලක්ක වුණා. ඒත් ප‍්‍රහාර දෙකෙන්ම පරාක‍්‍රමබාහු රජු ජයග‍්‍රහණය කළා.


ඊට පසු පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ඇලහැර ප‍්‍රදේශයට ඇතුළුවී ඇලගමුව අල්ලාගෙන එහි ශක්තිමත් බළකොටුවක් ගොඩනැගුවා. බළකොටු අල්ලා ගැනීමට ගජබා රජුගේ යුද කටයුතු සැලසුම් කළ ජනරල්වරයාගේ දක්ෂතාව මත ඒවා ව්‍යර්ථ වුණා.


ඒ වගේම පරාක‍්‍රමබාහු රජුට වම් පසින් එල්ලවිය හැකි තර්ජන පිළිබඳ ඔහු අවධානයෙන් පසුවුණා. ඒ නිසාම ගජබා රජුගේ සේනා පරාක‍්‍රමබාහු රජුගේ සේනා සමග ඇතිවූ ගැටුම්වලදී පරාක‍්‍රමබාහු රජු ජයග‍්‍රහණය කළ අතර ඔවුන්ට තිසා වැව අසලට ඒමට හැකි වුණා.


එහිදී ගජබා රජුගේ සේනාව යළිත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට පහර දුන්නා. ඒ සමගින් පරාක‍්‍රමබාහු රජුගේ අණදෙන නිළධාරියා ගජබා රජුගේ සෙබළුන්ට අසුවුණා. ඊළඟට පරාක‍්‍රමබාහු රජු කල්පනා කළේ ඒ අණදෙන සෙනවියා බේරාගන්නා ක‍්‍රමයක් පිළිබඳව. මේ නිසාම සටන් පවත්වමින්ම අනුරාධපුරයට නුදුරුව පිහිටි තාන්තය ප‍්‍රදේශයේ කඳවුරක් පිහිටුවා ගැනීමටත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව කටයුතු කළා. එහි සිට ඇලහැර ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට රජුගේ පිරිසට හැකි වුණා. මේ සටන් මේ ආකාරයට පැවතෙත් දී රුහුණේ පාලකයා වූ මානාභරණ ගජබා රජු සමග මිත‍්‍ර සන්ධානයක් ඇතිකර ගෙන සිටියා. රෝහණයේ සහ රජරට පාලකයන් එකතු වී සාදාගත් මේ ඒකාබද්ධ සන්ධානය පරාක‍්‍රමබාහු රජුගේ සේනාවත් සමග සටන් කළා.


එහෙත් යුද්ධය ගමන්ගත් ඉසව්බලා පරාක‍්‍රමබාහු රජුගේ ජයග‍්‍රහණය කිරීමේ ශක්තිය වැඩි බවත් යුද්ධයෙන් ගජබා රජු පරාජය ලැබිය හැකි බවත් මානාභරණ වටහා ගත්තා. ඒ අනුව යමින් මානාභරණ රජු ගජබා රජු අතැර පරාක‍්‍රමබාහු රජු සමග ගිවිසුමකට එළැඹුණා.


මෙය අද දේශපාලනයේ පිල්මාරු කරන ආකාරය එදා සමාජයේත් තිබූ බවට හොඳ උදාහරණයක් වෙනවා. ඒ වගේම දේශපාලන බලය ලබා ගැනීම සඳහා සිය ප‍්‍රතිපත්ති වෙනස් කර බලය වැඩි පැත්තට බැස ක‍්‍රියාකාරීවීම පිළිබඳවත් හොඳ උදාහරණයක්.


මෙසේ පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට එකතු වූ මානාභරණ රජුගේ සේනාව සොර බොර වැව ප‍්‍රදේශයේ කඳවුරුගහගෙන යුද කටයුතු කළා.
පොළොන්නරුව බලා යන ඉදිරිගමනේ උච්චතම ස්ථානය මෙය වුණා.


ගජබා රජු පොළොන්නරුවට ඇතුළු වන දොරටුව අභියස ශක්තිමත් ලෙස ආරක්ෂාව තර කර තිබුණා. ඒත් පරාක‍්‍රම බාහු රජුගේ සේනාව සහ මානාභරණගේ සේනාව එක්ව පොළොන්නරුවට ඇතුළුවන එම ආරක්ෂක පවුරුවලට පහර දුන්නා. එහිදී ගජබා රජුගේ සේනාව විශාල ලෙස විනාශ වූ අතර දිවි ගලවාගත් සෙබළු ගම් නියම් ගම්වල සැඟවුණා. ඒ අතරතුර පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ගිරිදුර්ග ඔස්සේ පොළොන්නරු රාජධානිය වෙතට ගමන් ගත්තා. සිය රාජධානිය බේරා ගැනීමේ අවසන් සටන් බිමට පැමිණි ගජබා රජු ඉන්දියාවේ කුලී හේවායන්ගේ සහාය ද ඇතිව ඇත්, අස්, රිය, පාබල යන පිරිස් එකතුකර නගරයේ පිටතට පැමිණ යුද කිරීමට සැරසුණා.


මේ සිවිල් අරගල වෙතින් අවබෝධ වන්නේ ප‍්‍රතිපත්ති, පාවාදීම්, මිත‍්‍රකම්, සමගි සම්මුති වරෙක ඇති වෙනවා වගේම තවත් වරක සැහැසි විදියට කඩන බව. මේ සටන ඉතා කෙටි එකක් වූවත් තීරණාත්මක සටනක් වුණා. ඉන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළා. ඉන් පසු ගජබා රජු නුවර දොරටුව අගුළුලා සැඟවුණා. ඒ වෙලාවේ රහස් ඔත්තු කරුවන්ගේ උදව් ලබාගත් පරාක‍්‍රමබාහු රජු ඇතුලේ ආරක්ෂක දොරටු විවෘත කර ගත්තා.  ඊට පසු ගජබා රජු සැඟවී සිටින ස්ථානය සොයා ගෙන ඔහුව මාළිගයේම සිර කළා.


මේ සිදුවීම දේශපාලන වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. හේතුව බලයේ සිටින පාලකයොත්, බලයට එන්න සිටින පාලකයොත් රජ කෙනෙකුට හෝ ඇමතිවරයෙකුට සුදුසු ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමක් පිළිබඳ මින් පැහැදිලි වෙනවා.


මේ සටනේ දී ගජබා රජු පැරදුනත් ඔහුට රජ කෙනකුට අවශ්‍ය සියලූ පහසුකම් සපයා ජීවත්වීමට සැලසීම පරාක‍්‍රමබාහු රජු කළ උතුම් ක‍්‍රියාවක්. ඒත් ඒ ජයග‍්‍රහණයෙන් උදම් වූ සෙබළු නගරය කොල්ලකා ප‍්‍රීති ඝෝෂා නගමින් ජයග‍්‍රහණය බුක්ති වීඳීමට කටයුතු කරනවා.


ඔවුන් දේශපාලන පළිගැනීම්වල යෙදෙනවා. මේ නිසා ගම් නියම්ගම්වල සිටි ප‍්‍රභූ පිරිස් ගජබා රජු ජීවත්ව සිටිනතාක් ඔහුගේ ගම්නියම්ගම්වල ජීවත් වූ පිරිස තවත් පිරිසකට යටත් වී ජීවත් නොවන බව සඳහන් කළ සංදේශයක් පරාක‍්‍රමබාහු රජුට යවනවා.


එහිදී පරාක‍්‍රමබාහු රජුගේ උපදේශකයෝ ඊට පිළියම් ලෙස ගජබා රජු මරා දැමිය යුතු බවට උපදෙස් දෙනවා. සෙබළුන් ගම් නියම් ගම් කොල්ල කෑමත් මිනිසුන්ට අඩත්තේට්ටම් කිරීමත් නිසා යළිත් රටේ සාමය අස්ථාවර වුණා.


මේ නිසා කෝපයට පත් වූ ජනතාව යළිත් එක්වී රුහුණේ පාලකයාව සිටි මානාභරණ ඔවුන්ගේ නිදහස සඳහා පැමිණෙන ලෙස සඳහන් කළ සන්දේශයක් යැව්වා. මේ වෙලාවේ මානාභරණ රජු පරාක‍්‍රම බාහු රජු සමග ගොඩනගාගෙන තිබූ ගිවිසුම පසෙකලා පොළොන්නරුවේ ජනතාවගේ ඉල්ලීමට සවන් යොමු කළා. බලය පිළිබඳව තිබූ අසීමිත ආශාවත් ඊට මූළික හේතුවත් වුණා.


ඔහු බලය වෙනුවෙන් රජවරු දෙදෙනෙකු සමග ගිවිසගත් ගිවිසුම කඩ කර ක‍්‍රියා කිරීම ඊට උදාහරණ වෙනවා.


මේ පිළිබඳව සත්‍ය සිදුවීම් දැනගත් පරාක‍්‍රමබාහු රජු පොළොන්නරුවේ සිටින සෙබළුන්ගේ විනය පිළිබඳව හොයා බලා ඔවුන්ගේ විනය ගොඩ නැගීම සඳහා ක‍්‍රියාත්මක වීමට දේවා නම් සෙන්පතියකු පිටත්කර හරිනවා. එම අවස්ථාවේ දී පොළොන්නරුවේ ජනතාවෙගේ ගැටලූ විසඳීම සඳහා ඔවුන්ගේ ආරාධනාවෙන් පැමිණි මානාභරණ රජු දේව සේනාපතිට මුණ ගැසෙනවා. එහිදී මානාභරණගේ බලය ලබා ගැනීමේ චේතනාවෙන් පරක‍්‍රමබාහු රජු විසින් පොළොන්නරුවේ ගැටලූ විසඳීමට එව් දේව සේනාධිපති අභියෝගයක් වෙනවා. ඒ නිසා පොළොන්නරු වැසියන්ගේ සහාය ලබාගත් මානාභාරණ පරාක‍්‍රම රජුගේ සේනාව පරාජය කර දේව සේනාධිපති සිර කරනවා.

 

(මතු සම්බන්ධයි)

 

m41

 



අදහස් (0)

මහා පරාක‍්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 106 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 51 0

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 724 3

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 516 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 146 1

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 692 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 965 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2525 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2162 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site