IMG-LOGO

මහල් නිවාසයෙන් ඇදවැටී මිලින වූ මල් කැකුළ

ඇය සැබවින්ම හිමිදිරියේ හිරු මඬලේ රශ්මියෙන් සුපිපෙන්නට වෙර දැරූ දසතම සුවඳවත් කළ පුංචි මල් කැකුළක් වැනිය. නොඑසේ නම් මඳනලක දැවටී නිදහසේ ඔබ මොබ සරණා පුංචි සමනළියක් බඳුය. කෙළිකවට සිනාබස් මැද මවගේත් පියාගේත් එකම අක්කණ්ඩියගේත් ආදරයේ කිරුළු පළන් මේ පුංචි පැටික්කිය නමින් ෆාතිමා සෆ්කා නවුෂාඞ් නම් වූවාය. තවමත් සිවුවසර නොඉක්මවූ ඇය වත්තල, මාබෝලේ දිවිගෙවමින් සිටියදී වැල්ලවත්ත ‘හැව්ලොක් සිටි’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පදිංචි බොහෝ දෙනකුට නුපුරුදු චරිතයක් නොවූයේ සතියේ බොහෝ දිනවල එම නිවාස සංකීර්ණයේ 11 වැනි තට්ටුවේ පදිංචි තම මාමා බැලීමට සිරිතක් කරගෙන සිටි බැවිනි. දකින කා සමඟත් ඉතා ඉක්මණින් කුළුපගවන පුංචි සෆ්කා පෙර පාසලේ අකුරු කළ අතර ඇගේ වැඩිමහල් සහෝදරිය වූ  අවුරුදු 9ක් වයසැති අගනුවර ප‍්‍රධාන පෙළේ පාසලක අකුරු කළ ෆාතිමා ෂම්ලා නව්ෂාඞ් සමඟ පාසල් ඇරී බොහෝ විට ඔවුන්ගේ මාපියන් හා පැමිණෙන්නේ මේ මාමාගේ නිවෙසටය.

01-page-03-N-main


පසුගිය 24 වැනිදා පෙරවරුවේ ද ඇගේ මාපියන් වූ හමීඞ් නවුෂාඞ් මහතා හා ෆාතිමා සෆ්නා මහත්මියත් සහෝදරියත් සමඟ එහි පැමිණි පුංචි සෆ්කා එම නිවාස සංකීර්ණයේ ‘එළිබෑන්ක් ටවර්’’ අසල උද්‍යානයේ සෙල්ලම් කිරීමට පැමිණියාය.


ඇගේ මවද අලූත උපන් බිළිඳා සමඟ මොවුන් ක‍්‍රීඩා කරනු බලා සිටියදී සෆ්කාට පිපාසයක් දැනුණෙන් අක්කා සමඟ දිවගියේ මාමාගේ නිවෙසටය. වෙනදාත් මේ දැරියන් තනිවම විදුලි සෝපානය ක‍්‍රියාත්මක කරගනිමින් එසේ එම ගොඩනැගිල්ලේ එහාමෙහා යන නිසාම මවටද එය සාමාන්‍ය සිදුවීමක් වූයේය. වේලාව දහවල් 12.40 පමණ වන්නට ඇත. පිපාසයට දිය පොදකින් තොල තෙමාගන්නට ගිය අක්කා නගෝ දෙදෙනාගෙන් අක්කාට 11 වැනි මහළින් විදුලි සෝපානයෙන් බැසගත් පසු මේ පුංචි නගාව මග හැරීමෙන් ඇය කලබලයට පත්වූවාය.


එකෙනෙහිම ඇය පහළට පැමිණ තම මවට නැගණිට නැති වග පවසා කලබල වූ මව සමඟ පළමු මහලේ සිට 22 වැනි මහල දක්වා අතිරේක විදුලි සෝපානයෙන් ඉහළ පහළ ගොස් මේ සිඟිත්තිය සොයන අතරේ ඇගේ මවගේ සවනත වැකෙනුයේ අතිශය ඛේදජනක පුවතක්ය. ඒ, පුංචි සෆ්කා ගොඩනැගිල්ල අයිනේ උද්‍යානයේ වැටී සිටින වගයි.


එකෙනෙහිම සිහි එළවාගත නොහී අසිහියෙන් මෙන් ඇය අසලට ගිය ඇගේ මව මේ පුංචි සමනළිය බොහෝ දෙනෙකුගේ සහායෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය සදහටම නොඑන ගමන් ගියාය. දිවියේ බොහෝ දුර පියමනින්නට ඉතිරිව තිබූ පුංචි සෆ්කා මවුපියන්ගේත්, සහෝදරියගේත්, ඥාතීන්ගේත් හදවත්හි උහුලාගත නොහැකි ගින්දරක් අවුළුවා දිවියට සමු දුන්නාය.


මේ අතිශය දුක්බර කඳුළු අන්දරය ඇගේ මාමා වූ නිෂාම් බසුර්ඞීන් මහතා දෙනෙත් අග නළියන කඳුළු සඟවාගෙන වදන් බවට පෙරලූවේය.


‘‘මේ සෆ්කා පුංචි දියණිය මගේ නැගණියගේ දෙවැනි දියණියයි. මම නිතර නිතර විදේශ සංචාරවලට ගියත්, මම මෙහි සිටියත් නැතත් මගේ නැගණිය මේ දියණියන් දෙදෙනා එක්ක සතියට දින දෙකක් තුනක් හෝ මේ නිවාස සංකීර්ණයේ 11වැනි මහලේ තිබෙන මගේ නිවසට එනවා. දකින කා එක්කත් අක්කට වඩා ඉක්මණින් මේ පුංචි සෆ්කා යාළු වෙනවා.


 එදා 24 වැනිදා උදෙත් මෙයාලා අපේ ගෙදර ආවාම ගොඩනැගිල්ලේ පහළ උද්‍යානයේ සෙල්ලම් කරන්න සෆ්කා අක්කයි, අම්මයි එක්ක ගියා. අම්මා අලූත උපන් පුංචි දරුවට කිරි දෙමින් මේ අය සෙල්ලම් කරනවා බලාගෙන ඉද්දී පුංචි දුවට වතුර තිබහයි කීවම අක්කත් එක්ක වතුර බොන්න විදුලි සෝපානයෙන් මගේ ගෙදරට දිවුවා.


11වැනි තට්ටුවේදී අක්කා වතුර අරගෙන එන්න විදුලි සෝපානයෙන් බහිද්දී නංගිට සෝපානය නවත්වාගෙන ඉන්න බොත්තම ඔබාගෙන ඉන්න කිව්වා. ඒත් පුංචි සෆ්කා අමාරුවෙන් ඒක අල්ලගෙන ඉද්දී එක පාරටම ඇඟිල්ල බොත්තමෙන් අතහැරිලා එයා විදුලි සෝපානයෙන් 22 වැනි තට්ටුවටම ගිහිල්ලා. අක්කා වතුර අරගෙන විදුලි සෝපානය ළඟට එද්දී එයා දැකලා තිබුණා ඒක 22 තට්ටුවේ නතර වෙන එක’’.


‘‘ඒ අතරේ මගේ නංගි දෙවැනි විදුලි සෝපානයෙන් මේ අය හොයාගෙන ආවා. 11 තට්ටුවට ආවා. මේ අය නැති නිසා 22 තට්ටුවට ගියා. ආයෙත් 22 තට්ටුවේ ඉඳන් පළමු මාලයට ගියා. නංගි එක පාරටම පුංචි දුව නෑ කියලා මට කෝල් කරලා කිව්වා. මම ඉක්මණින් පහළට එද්දී දෙවැනි මහළ ළඟ දුවගේ එක සෙරෙප්පුවක් තිබුණා. ඒ එක්කම දුව පහළ ගොඩනැගිල්ල අයිනේ උද්‍යානයේ වැටිලා ඉන්නවා කියලා දැන ගත්තා. ඊට පස්සේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් එකට ගෙනිච්චත් දරුවා බේරගන්න බැරිවුණා’’. ඔහු හැඬුම් ස්වරයෙන් එහෙම කිව්වා.


පුංචි සෆ්කා රෝහලට රැුගෙන ගියේ එම නිවාස සංකීර්ණයේ 5 වැනි මහලේ පදිංචි හමීඞ් අශ්රෝෆ් මහතාය.


‘දරුවෙක් ගොඩනැගිල්ලෙන් වැටිලා ඉන්නවා කියන ආරංචිය මට ලැබුණු ගමන්ම විදුලි සෝපානය ඒ වෙලාවේ ඉහළ තිබුණු නිසා පඩිපෙළ බැහැගෙන එද්දී 2 තට්ටුවේ පුංචි සෆ්කාගේ මව විලාප තියනවා දැක්කා. ආරක්ෂකයන් දෙදෙනකුත් හිටියා. පහළට ගිහින් බලද්දී ළමයා වැටිලා හිටියා. නමුත් ශරීරයේ ලොකු තුවාල තිබුණේ නෑ. අපි ඉක්මණින් රෝහල්ගත කළා. වෛද්‍යවරයා විනාඩි දහයකින් ඇවිත් දරුවා මියගිය බව කියද්දී තාත්තාත් අම්මාත් බිම ඇදගෙන වැටුණා. අපි එයාලගේ දුක තුනී කරන්න මහන්සි ගත්තා’.


‘මේ පුංචි දුව හරිම ප‍්‍රියමනාපයි. මගේ දුවත්, නෝනත් මේ අය එක්ක හරි එකතුයි. මේ දුව දුප්පත් කෙනෙක් දැක්කම තාත්තගේ පර්ස් එකෙන් සල්ලි ඇදලා ඒ අයට දෙනවලූ. අපි කාටත් මේ දරුවගේ මරණය විශාල කම්පනයක්.’ ඒ අශ්රොෆ් මහතාය.


කෙසේ වුවද මාපියන් දරුවන් කෙරෙහි දැක්විය යුතු අවධානය පිළිබඳ කදිම පාඩමක් ද මේ පුංචි සෆ්කා සමස්ත දෙමාපියන්ට කියා දෙන්නීය.


මේ පුංචි සමනළියගේ අකල් මරණයේ සැඟවුණු අභිරහස් කරුණු ගණනාවකි. දැරිය වැටුණේ 22වැනි මහළින් යැයි පැවසුණද, දෙවැනි මහළින් යැයි පැවසුණද විදුලි සෝපානයෙන් එළියට පැමිණෙන දරුවා ඉන් අනතුරුව අධික බරෙන් යුත් හදිසි දොරටුව විවෘත කරගෙන පැමිණෙන බැල්කනියෙන් නගින්නට නොගියේ නම් වැටෙන්නට ක‍්‍රමයක් නැත. එසේ නඟින්නට ඇත්තේ අඩි 4ක් පමණ උස බිත්තියකි. එයට පුංචි දරුවෙකු තබා වැඩිහිටියෙකුටද නැගීමට අපහසුය.


අනෙක් අතට මේ ගොඩනැගිල්ලේ මහල් 22ම ආවරණය වන පරිදි සී.සී.ටී.වී. කැමරා පද්ධති සවිකර ඇති නිසා කුමන මහලකින් දැරිය විදුලි සෝපානයෙන් එළියට පැමිණියද එහි ඡුායාරූප තිබිය යුතුය. ඒවා පැය 24ම ප‍්‍රධාන මෙහෙයුම් මැදිරියක අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වෙයි. නමුත් මෙහි පරිපාලන කටයුතු අධීක්ෂණය කරන ආර්.එම්.එස්. සමාගම එවැනි ඡුායාරූප මෙතෙක් එම දැරියගේ මාපියන්ට ලබාදී නොමැති බව ඔවූහු පවසති.


එසේම දරුවා කිසියම් මහළකින් වැටුණේ නම් එම මහලේ වැටීමට උපකාරී වූ ස්ථානයේ දරුවාගේ ඇඟිලි සළකුණු තිබිය යුතුය. නමුත් පාලනාධිකාරියෙන් එවැනි තොරතුරක් මේ මාපියන්ට ලබාදී නැත. කෙසේ වුවද වැල්ලවත්ත පොලිසිය මඟින් කරගෙන යනු ලබන පරීක්‍ෂණ තවමත් නිම වී නැත.


පුංචි සෆ්කාගේ මාමා වූ හිෂාම් බසූර්ඞීන් මහතා මෙම අවාසනාවන්ත සිදුවීමේදී ඍජුව ඇඟිල්ල දිගු කරනුයේ නිවාස සංකීර්ණයේ පාලනාධිකාරියටය.
‘‘මේ ගොඩනැගිල්ලේ විදුලි සෝපානයෙන් පුංචි දරුවන් නිතරම ඉහළ පහළ යනවා මා දැකලා තිබෙනවා. එහෙම දරුවන්ට හොඳ ආරක්ෂාවක් ඇති කියලා හිතපු නිසා තමයි අපි අපේ ළමයිනුත් තනිවම ඒවායේ යැව්වේ. නමුත් දැන් ඒවායේ අවදානමක් තිබෙනවා. අඩුම තරමින් විදුලි සෝපානය ළඟ ආරක්ෂකයෙක් නිතරම තියන්න  ඕනෑ. ඒත් එහෙම වෙලා නැහැ.


අනෙක විදුලි සෝපානයෙන් එළියට ආවම හදිසි දොරටුව කවුරු හරි අරින විට යම් ‘එලාම්’ එකක් වදිනවා නම් අනතුර කල් තියා හඳුනාගෙන ඒකට පිළියම් යොදන්න තිබුණා. ඒ වගේම විදුලි සෝපානය ළඟ තිබෙන සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ප‍්‍රධාන මෙහෙයුම් මැදිරියෙන් හරියට අධීක්‍ෂණය කළා නම් දරුවව බේරාගන්න ඉඩ තිබුණා. එහෙනම් ක්‍ෂණිකව විදුලි සෝපානය ‘ලොක්’ කරලා දරුවව බේරගන්න තිබුණා.


සමහර තට්ටුවල හදිසි පිටවීම් දොරටු කැඩිලා. ඒවා ගැන පාලනාධිකාරිය බලන්නේ නැහැ. මේ නිවාස සංකීර්ණයේ ගෙවල් රුපියල් කෝටි තුනහමාරේ සිට කෝටි 8 දක්වා මිල ගණන්වලට විකිණෙනවා. එහෙමනම් එපමණ විශාල මුදලක් ගෙවලා ගන්න ගෙවල්වලට හොඳ ආරක්ෂාවක් තියෙන්න  ඕනෑ. දැන් අපේ දරුවා අපට නැතිවුණා. ආයේ ඒ දරුවා අපට ලබාගන්න බැහැ. නමුත් මේ නිවාස සංකීර්ණයේ ඉන්න අනෙක් දරුවකුට හෙට මේ දේ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේ වළක්වන්න පාලනාධිකාරිය මීට වඩා ඇස් ඇරලා මේවා දිහා බලන්න  ඕනෑ’’. ඔහුගේ ස්වරයේ වූයේ දැඩි කලකිරීමකි.


සෆ්කා පුංචි දියණියේ නුඹෙ සිඟිති රුව, ඒ කෙළිකවට සිනා හඬ, නුඹෙ සුවඳ පොඳ සදාතනිකව නුඹට ලෙන්ගතුවූ හැම හදවතකම නොනැසී නිදන්ගත වනු නොඅනුමානය.

 

m



අදහස් (0)

මහල් නිවාසයෙන් ඇදවැටී මිලින වූ මල් කැකුළ

ආනන්ද Tuesday, 03 February 2015 03:11 PM

චුටි රත්තරන් පැටියෝ. ඔයාගේ අම්ම තාත්ත වගේම අපිත් මේක අහල හුඟක් දුක් වුනා. ඔයාට නැවත සසරේ මෙවැනි දෙයක් වෙන්න එපා (නදී)

:       0       0

සලීත් Tuesday, 03 February 2015 06:51 AM

සෆ්කා පුංචි දියණියේ නුඹෙ සිඟිති රුව, ඒ කෙළිකවට සිනා හඬ, නුඹෙ සුවඳ පොඳ සදාතනිකව නුඹට ලෙන්ගතුවූ හැම හදවතකම නොනැසී නිදන්ගත වනු නොඅනුමානය. මින් පසුවවත් දරුවන් ගැන අවදානයෙන් ඉන්න (නදී)

:       0       0

ක්‍රිෂාන් Thursday, 12 February 2015 04:38 AM

රත්තරන් දුවේ, ඔයාට නිවන් සුව ලැබේවා! ඔයා මොන ජාතියක වුණත් අපේ හදවතේ ඔයා ඉන්නවා. මෙවන් අකල් මරණයකට කිසිම දිනක ලක්වෙන්න සිදුවෙන්න එපා කියා මම සහ මගේ පවුලේ අය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1198 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site