කියා ගන්න දහසකුත් දේ තිබ්බත් ඒ හැමදේම හීන යට හංගගෙන හැමදාමත් දකින හීන එක්ක හදවතින් සතුටු වෙන කොටසක් තමයි ඇන්ටිගේ බෝඩිමෙත් ජිවත්වෙන්නේ. ඒක පුදුමයක් නෙවෙයි.

24-Rasa-P2-BA
වෙලාව හවස 5.30 පහුවෙමින් තිබුණා


“බලහංකෝ වෙලාව යන වේගය”


අර පැත්ත හැරිලා මේ පැත්ත බලද්දි දවස ඉවරයි. රස්සාවටම දිය වෙලා බෝඩිමටම නාකි වෙනවා බං.


ඉමේෂාගේ හීල්ලුමට වටේ හිටපු අයවත් ඇදිලා ගියා.


අනේ බං රෑ එළිවෙනකං වැඩ පළේම ඉන්න තිබුණ නම් හොඳයි කියලා හිතෙනවා.


උඹට පිස්සු හැදීගෙන එනවද?


අපි බලන්නේ කොයි වෙලාවෙද මෙතනින් යන්නේ කියලා. පිස්සෝ වගේ බදාගෙන වැඩකළා කියලා අපිට හම්බවෙන්නේ කීයද බං. ඒකත් ගිහින් බෝඩිමේ ඇන්ටිට පූජා කරන්න එපැයි. කොහොම හරි උපාධිය ඉවර කරගන්නකම් මොන දුකක් විඳගෙන හරි ඉන්න ඕන නිසා ඉන්නවා.... දැන් හරිනම් අපි හම්බකරලා මව්පියන්ට සලකන්න ඕන කාලේ බං මේ.... කෝසලාගේ ඇඬිල්ලට හරස් කපපු ඉමේෂා බෝඩිං ජීවිතේ ගැන කිව්වේ හරි අපූරු කතාවක්.


උඹ දන්නේ නෑනේ අපේ බෝඩිමේ තියෙන සෙල්ලං. ඒ මදිවට ඇන්ටිගේ දිය හොද්ද කාලා මට දැන් ජීවිතෙන් එපා වෙලා. අපේ බෝඩිමේ ඇන්ටිගේ පරිප්පු හොද්දේ පරිප්පු ඇට හොයන්න අංජනමක් බලන්න ඕන බං. කෑම දෙන්නේ බල්ලන්ට කන්න දෙන්න වගේ බං. ඒ වුණාට මාසේ අන්තිමට සතයක් අඩු නැතුව කුට්ටිය නම් ඇන්ටිට දෙන්න ඕන...


බෝඩිමේ ඇන්ටිගේ බත් එකක් කෑවොත් දිව්‍යලෝකේ යනවා බං... ඉමේෂාගේ දෝංකාර දුන් හිනාව අස්සේ හැංගිච්ච කඳුළු කථාවක් තියෙනවා. ඇය හිනා වුණේ අඬන්න බැරිකමට නෙවෙයි. ඇඬුවට වැටෙන කඳුළු පිසලන්න මේ කොළඹ කවුරුත් නැති නිසා...


“ඇන්ටි බත් එකට දෙන්නේ බල්ලොවත් කන්නේ නැති කෑම. අඩුවටම තියෙන හාල් ජාතියක් තියෙනවා. මොනවද? අනේ මට නම මතක නෑනේ. ඒවා ගෙනියන්නේ සත්තුන්ට කෑම හදන්න. ඒ හාල් ජාතිය පරිභෝජනයෙන් ඉවත් කරපු සතුන්ට කෑම හදන්න ගන්න හාල් ජාතියක්. ඔය බතට ඇල්වතුර වගේ පරිප්පු හොද්දයි, බිත්තරෙන් භාගයයි, තව අර බෝඩිම පිටිස්සේ කුණු කාණුවේ හැදෙන කංකුං හරි නීරමුල්ලිය කොල හරි මැල්ලුමක් හදලා දෙනවා.

වෙනසක් නෑ. ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ.


මේ කොළඹ සමහර බෝඩිං තියෙනවා එක කාමරේක ළමයි පස්දෙනයි. එක ළමයෙකුගෙන් මෙට්ටෙට විතරක් රු: 4000 යි. එක ගොඬේ තෙරපෙන හීන අතරේ මේ ළමයින්ට තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමත් හීනයක් වෙලා. මේ තවත් එක බෝඩිං ජීවිතයක්. “ඕනම කෙනෙක් කන්නයි, බොන්නයි නිදා ගන්නයි නේ මේ හැමදේම කරන්නේ. අපිට තවත් සටනක් තියෙනවා. ඒ තමයි අපේ අවශ්‍යතා සපුරා ගන්න එක. මුණ සෝදගෙන වැසිකිළි අවශ්‍යතා සපුරා ගන්න උදේ 4 වත් නැගිටින්න ඕන... මාතර ඉඳලා කොළඹ වැඩට එන මිනිස්සුත් වැඩට එන්න නැඟිටින්නේ 4.00. අපිට කොළඹ ඉඳලත් නැඟිටින්න වෙලා තියෙන්නේ 4.00 ට. නිදහසේ කරගන්න අවශ්‍යතා අපි කරගන්නේ හරියට යුද්ධයකට යනවා වගේ. අපි දහදෙනෙක් හිටියත් පාවිච්චි කරන්නේ එක වැසිකිළියමයි. ඒ මදිවට අපි වැසිකිළි හෝදන්නත් ඕන. බිම කොණ්ඩ ගස් තිබුණොත් ඇන්ටි වරම ගත්ත කාලි මෑණියෝ වගේ බණිනවා.

රෑ 10.00 වෙන කොට ලයිට් ඕෆ් කරන්න ඕන. ඇන්ටිගේ බෝඩිමේ පිරිසිදුකම බලන එක නම් අංක එක. ඒ වුණාට රෑට ඇඟ උඩින් මීයෝ, කැරපොත්තෝ දුවනවා. රුපියල් 4000 ක් ගන්නවා ඇඳට විතරක්. ඇඳට 4000 යි ඒ වුණාට ඇන්ටි රුපියල් දහදාහක විතර අපිට සැර දානවා. රු. 4000 දුන්නට පොළවට කියලා අඩිය තියන්න තැනක් නැහැ. ඇඳවල් හතරක් පහක් එක කාමරේ දැම්මම හුස්ම ගන්නවත් බැහැ. රුපියල් හාරදාහක් දුන්නට අපිට උණුවතුර ටිකක්වත් දෙන්නේ නෑ. ඒකටත් රු: දහයක් වෙනමම දෙන්න ඕන. බත් එකට වෙනම දෙන්න ඕන. ඔක්කොම එකතු වුණාම 4000/- අමතරව තව 5000/- විතර ඇන්ටි අරගන්නවා. මාසේ ජීවත්වෙන්න ඉතුරු වෙන්නේ පොඩි ගාණයි. ලස්සනට අඳින්න විලාසිතා කරන්න අපිත් හරි ආසයි.

ගාමන්ට් රස්සාවට ආවේ දුප්පත් නිසා. මහන්සිවෙලා ගන්න තුට්ටු දෙකත් බෝඩිමේ ඇන්ටි හූරලම ගන්නවා.
ඇන්ටිගේ පොල් කුඩු සම්බෝලෙයි, ඇල් වතුර හොද්දයි උදේට වරදින්නෙම නෑ. ඒවා කාලම දිවේ රස නහරත් දැන් ගෙවිලා. මේ අය කියන කඳුළු කතාව අස්සේ ඉඳලා හිටලා හිනා වෙන්නෙත් ඒ කඳුළු වලටම තමයි.


එක පාරක් අපිට ඇන්ටි හදලා දුන්නා හාල්මැස්සෝ හොද්දක්. පේන්න හාල් මැස්සෝ දහ දෙනෙක් විතර දාලා. අනික් ඔක්කොම තිබුණේ හාල්මැස්සෝ ඔළු. එදා බෝඩිමේ නංගිලා ගොඩ දෙනෙකුට බඬේ අමාරුවයි වමනෙයි හැදුණා. කෑම අජීරණය වෙලා මමත් බෙහෙත් ගත්තා. 


ඇන්ටිට අපි කිව්වා. “අනේ මේ කෑම කන්න බෑ ඇන්ටි කෑම එකේ ගාණ වැඩි කරලා හරි අපට කන්න පුළුවන් කෑම එකක් දෙන්න කියලා” අම්මෝ එදා ඇන්ටි ආවේස වෙලා වගේ කෑ ගැහුවා. මේ කෑම කාලා ඉන්න බැරි එකෙක් ඉන්නව නම් පලයල්ලා කිව්වා. මේ ගාණට මීට වඩා දෙයක් දෙන්න බැහැලු. උඹලාගේ ප්‍රශ්න ගිහින් මුදල් ඇමතිට කියහල්ලා කියල ඇන්ටි ප්‍රශ්නවලින් ලිස්සලා ගියා. සමහර දවසට මැනිං මාර්කට් එකේ අහක දාන එළවළු ගෙනල්ලා ඒවායින් අපට සුප් හදලා දෙනවා. අපිත් දවස් ගාණක් ඇන්ටිගේ සත්ව කරුණාවට වහ වැටුණා. උණුවතුර එකටත් රු: 10 ගන්න එකේ සුප් කෝප්පයක් දේවිද කියලා. දවසක් ඇන්ටි පණුවෝ ගහපු එළවලු වගයක් සුද්ධ කරනවා අපේ නංගි කෙනෙක් දැකලා තිබුණා. එදයින් පස්සේ අපි ඇන්ටිගේ සුප් බොන්නේ නෑ. කෑමවලටත් උයලා දෙන්නේ ඒ එළවළුම වෙන්න ඇති. ඒත් මොනවා කරන්නද දුක උහුලගෙන ජරාව කනවා.


කොළඹ බෝඩිං කියන්නේ වචනවලට ගැට ගහලා කියන්න බැරි මහා දුක් කන්දරාවක් පුංචි මෙට්ටයකට, එහෙම නැත්නම් පැදුරකට ගුලි වෙච්ච කඳුළු අස්සෙන් හැමදාමත් හීන දකින අමුතු තැනක්. උණු කරලා දෙන වතුර කෝප්ප දෙකටත් රුපියල් සත එකතු කරන බෝඩිමේ ඇන්ටි අජරාමර වෙන්නද මේ උත්සාහ කරන්නේ කියලා මේ තරුණ ජීවිත අහනවා. ඇන්ටි කියනවා උඹලට ඉන්න මෙහෙම තැනක් හරි නොතිබුණා නම් අද උඹලා මේ කොළඹ මහ පාරේ කියලා. කතාව ඉවර නෑ. බෝඩිමේ ඇන්ටිත් සමඟ ලබන සතියෙත් හමුවෙන්නට අදට තිත තියන්නම්.

m