සොබාදහමේ ක‍්‍රියාවලියට අපට එරෙහි විය නොහැකිය. ඉකුත් ජනවාරි 15 දින ඉරිදා ලංකාදීපයේ සටහන් වූ ‘‘නුවරඑළියට හිම’’ යන කෙටි සටහන අවසන් වූයේ ඒ අයුරිනි. ජනවාරි 16 වැනි දින අලූයම මුළු නුවරඑළියම දැඩි සීතලෙන් වෙළී ගියේය. එදින නුවරඑළියේ අති බහුතර ජනතාවක් දැඩි සීතලෙන් තම ශරීරය උණුසුම් කර ගනිමින් සුව නින්දක් ප‍්‍රාර්ථනා කළද එය අපේක්ෂා නොකළ අයුරින් අසාර්ථක වූවාට සැක නැත. පුදුමයකි. නුවරඑළියේ උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක 2.7 දක්වා පහත වැටී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ පුවතක් ශ්‍රී ලංකාව පුරාම පැතිර ගියේය. මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය බව තවදුරටත් එම වාර්තාව ඔස්සේ අප සමාජගත විය. මේ අපූරු ආරංචිය පසුපස නුවරඑළියේ අධික ලෙස මල් තුහින පතිතත වූ බව දැන සිටියේ ටික දෙනෙකි. සොබාදහම සමඟ නිරතුරු ගනුදෙනු කරන අය පමණක් නුවරඑළිය නගරයේ තැන් තැන් වල වැටී තිබූ මල් තුහින දැක බලා ගනිමින් මහත් වූ ආශ්වාදයක් විඳගත්හ. 2012 ජනවාරි 1 වැනි දින සමග නුවරඑළිය මල් තුහින පතිත වූ අසිරිය ඉකුත් 15 වැනිදා ඉරු දින ලංකාදීප හැඩ කළ විශේෂාංගයක් විය. එහෙත් නුවරඑළිය දේශගුණික තත්ත්වය ක්ෂණික වෙනසකට භාජනය වීම නිසා යළි මල් තුහින පතිත වීම සැක සහිත බවද එහි සඳහන් වූවා ඔබට මතක ඇත. එසේ සඳහන් කොට පැය 24 ක් ගතවූයේ නැත. යළිත් නුවරඑළියට මල් තුහින පතිත විය. සෙල්සියස් අංශක 2.7 දක්වා පහත මට්ටමක අගය සටහන් වීම වසර ගණනාවකට පසු අවම අගයක් බව දැන ගන්නට තිබුණද 2009 ජනවාරි මස දිනක 2.6 ක අගයක් සටහන්වී තිබුණු බවත් 1914 ජූනි මස 30 වැනි දින සෙ.අ. 3.7 අගයක් තිබුණු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි. ඒ සමගම 1929, 1953 වසර වල  ජනවාරි මාසයේ දී උෂ්ණත්වය නුවරඑළියේ අවම අගයකට පත් වූ බව අනාවරණය විය. මුහුදු මට්ටමින් අඩි 6182 කින් ඉහළ පිහිටි නුවරඑළිය ආශ‍්‍රිත ප‍්‍රදේශ වලට දැනුණු සීතල අඩි 7200 ක් උසින් යුතු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට කෙසේ දැනෙන්නට ඇත්ද? නුවරඑළියට මල් තුහින පතිත වීම ඔබ වෙත ගෙන ආ අයුරින් මෙවර හෝර්ටන් තැන්නට මල් තුහින පතිත වූ කතාව ඔබට කියන්න ඉකුත් 17 වැනි දින අලූයම අපි හෝර්ටන්තැන්න බලා ගියෙමු. නුවරඑළිය නගරයේ සිට කි.මි.17ක් දුරින් පිහිටි හෝර්ටන්තැන්න දක්වා සීතල සමග අප අලූයම 4.30ට පමණ පිටත්ව ගියේ මහත් ආයාසයෙනි. කවදත් මෙවැනි ගමන් වලට ඉතා ලෙන්ගතුකමින් අතහිත දී එක්වන නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතා හා ඔහුගේ රියැදුරු ලොකු උපුල්ද අප හා මේ ගමනට සහාය දැක්වූ අය වේ. අප ගමන් ආරම්භ කරන විට නුවරඑළියේ උෂ්ණත්වය සෙ.අ 7.1 අගයකින් යුක්ත වූ නිසාම පෙරදා 16 මල් තුහින නගරයට පතිත වූවද 17 වැනිදා අලූයම නුවරඑළිය පුරා බොල්පිනි වලින් යුක්තව තිබුණි. එහෙත් සීතල දැඩිව දැනුනු නිසා උණුසුම් කබා දෙකතුනක් ඇඟලා එම සීතල මැඩ ගැනීමට අපට සිදු විය. බදුල්ල මාර්ගය ඔස්සේ ගමන්ගත් අපට නගරාසන්නයේ වූ පොලිස් මුරපොළක සිටි පොලිස් නිලධාරීයකු විදුලි පන්දමක් දල්වමින් අප ගමන්ගත් රථය නතර කළේය. ඒ රාත‍්‍රී මුරසේවයේ යෙදී සිටි 6030 මද්දුම බණ්ඩාර පොලිස් කොස්තාපල්වරයා ය. තමාට පැවරු වගකීම දැඩි සීතලේ වූවද මග නොහැර ‘‘සීතලයි කියලා අපට රාජකාරි පැහැර හරින්න බැහැනේ. අප එහෙම කළොත් වැරදි වැඩ කරන අයට එය රුකුලක් වෙනවා. සීතල ඉතා දැඩි ලෙස රාජකාරී කටයුතු වලට අපහසුවක් ගෙනදුන්නත් මාර්ග බාධකයේ කටයුතු මැනවින් කරන්න අප මහන්සි ගන්නවා.’’ ඔහු කීය. අපි පොලිස් කොස්තාපල් මද්දුම බණ්ඩාර මහතාගෙන් සමුගෙන හෝර්ටන් තැන්න බලා ගියෙමු. හෝර්ටන්තැන්න මාර්ගයේ කන්දේ ඇළ හා අඹේවෙල අතර දිවා කාලයේදී මහජනතාවට දැඩි පීඩාවක් ගෙනදෙන කුළු මී හරක් රංචුව අප ගමන්ගත් රථයේ ලාම්පු එළියට බියවී වනයට ඇතුල් වන අයුරු දැකගත හැකිවිය. කුළු මීහරක් රංචුව එසේ ගියද අඹේවෙල සත්ව ගොවිපළේ කිරිහරක් රංචුව පේළියට දවස ආරම්භ කිරීමට මාර්ගය හරහා යන තුරු ටික වේලාවක් අපට එහි රැඳී සිටීමට සිදු විය. එය ඉතා සුන්දර දසුනකි. අඹේවෙල පට්ටිපොල ඔස්සේ හෝර්ටන්තැන්න දක්වා කඳුමුදුන තරණය කරද්දී නැගෙනහිර දිසාවෙන් දිස් වූ චමත්කාර දසුන් විචිත‍්‍රය අපූරුය. අප හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුල් වත්ම තැන තැන මල් තුහින පතිත වී තිබෙනු දකින්නට ලැබුණි. උද්‍යානය මැදින් ගමන් ගනිද්දී හෝර්ටන්තැන්න අපට දිස්වූයේ මුළු හෝර්ටන්තැන්න පුරාම සුදු වළාකුළු පතිත වූ ආකාරයක්ය. උදෑසන කවදත් හෝර්ටන්තැන්න හැඩකරන ගෝනුන් මල් තුහින පතිත වී තිබූ තැන්න පුරා දිව යන අයුරු දැකගත හැකි විය. වෙනදා කොළපැහැති තණබිම් මත සිටින ගෝනුන් අද සුදෝ සුදු තැවරුණු තණපිටි මතින් දිව යෑම දැක ගැනීමට විදේශිකයෝ කීප දෙනෙක්ද එක්ව සිටියහ. අප හෝර්ටන් තැන්නේ උද්‍යාන මධ්‍යයේ පිහිටි රිය නැවතුම් අංගනයට පිවිසෙද්දී හිරු එළිය හෝර්ටන්තැන්නට පතිත වී තිබුණි. ඈත පෙරදිග රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටි විදේශිකයන් කණ්ඩායම් ගණනාවක් ලෝකාන්තය නැරඹීම සඳහා ගියා මිස ඔවුන්ට අප අත්විඳි මල් තුහින වල අසිරියේ වගක් නොවුණි. දැඩි සීතලට සරිලන අයුරින් ඇඳුම් ආයිත්තම් ඇඳ රාජකාරියේ යෙදී සිටි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සත්ත්ව නියාමක අයිවන් ප‍්‍රසාද් මහතා මෙසේ කීවේය. මේ දින කීපය තුළ උද්‍යානයට මල්තුහින වැටෙනවා. ඒ නිසයි මේ තණබිම් පිච්චිල තියෙන්නේ. බෙලිහුල් ඔය අසළට තමයි මල්තුහින වැඩිපුර වැටෙන්නේ අද උදේ 5ට පමණ මම උෂ්ණත්ව මාපකය බලන විට එහි උෂ්ණත්වය සෙ.අ.1.5 දක්වා සටහන් වෙලා තිබුණා. ඊයේ 16 දින මීට වඩා මල් තුහින පතිත වෙලා තිබුණු බව මා දැක්කා. අද ටිකක් අඩුයි. මේ හිම පතිත වීම නිසා තණපිට්ටනි පිච්චෙනවා. ඒ තණපිටි අතර ගෝනුන් කන තණකොළ තිබෙනවා. ඒවාටත් හානි වෙනවා. ඒක ඒ සතුන්ට ප‍්‍රශ්නයක්. මේ තත්ත්වය ඉදිරියටත් පවතී කියලා අපි විශ්වාස කරනවා. දැඩි ලෙස පිච්චි ගොස් ඇති තණ බිම් ආරක්ෂා කරගැනීම අපට වගේම එන සංචාරකයන්ගේත් යුතුකමක්. සුළු අතපසුවීමකින් වූවත් ඉවත දමන දුම්වැටියකින් හෝ පළාතම ගිනිගන්න පුළුවන්. කවුරුත් ඒ ගැන සැළකිලිමත් වෙන්න  ඕනෑ ඔහු කීවේය. සංචාරකයන්ට ගමන් පහසුව සලසන රියදුරකු වූ ඒ.ජී.ඔස්මන් මහතා දැක්වූ අදහස් මෙසේය. ‘‘මේ දිනවල තදටම හිම බිඳිති වැටෙනවා. ඊයේ 16 වැනි දින උද්‍යානයට ඇතුල් වන තැන ඉඳලා ලොකු ගස්වල පවා හිම වැටී තිබුණා. මේ අවුරුද්දේ ජනවාරි 8 වැනි දිනත් දැඩි ලෙස හිම බිඳිති වැටුණු දවසක්. මේ දිනවල ජර්මන්, ප‍්‍රංශ, රුසියන් ජාතිකයන් පවා හෝර්ටන්තැන්නට එනවා. ඔවුන්ට මෙම සීතල හුරුයි. කිසිම ගානක් නෑ, අපටත් දැන් මේක හොඳට හුරු වෙලා. මගේ අත්දැකීම නම් පෙබරවාරි මාසය දක්වාම ෙමි තුහින පතිතවිම වරින් වර තිබේවි කියලා මා විශ්වාස කරනවා.” අපි වන සත්ත්ව නියාමක අයිවන් මහතා සමග උද්‍යානයේ ස්ථාපිත කර තිබූ උෂ්ණත්වමාපකය ඇති ඉසව්ව කරා ගියෙමු. ඒ පෙරවරු 7.30ට පමණය. හිරුරැස් පතිත වීමත් සමගම හෝර්ටන්තැන්නේ උෂ්ණත්වය ඒ මොහොතේදී උෂ්ණත්වමාපකයේ සටහන් වී තිබුණේ සෙ.අ8 ක් වශයෙනි. එම තත්ත්වය දහවල් වන විට කොතෙක් ඉහළ අගයක් ගනීද යනු අපට සිතා ගත හැකි විය. ඒ සොබාදහමේ ක‍්‍රියාවලියේ තවත් එක් සිද්ධියකි. නුවරඑළියට මල් තුහින පතිත වීම පිළිබඳ දැඩි සැළකිල්ලකින් කටයුතු කරන නුවඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතා හෝර්ටන් තැන්නේදීම අප හා එකතු වූයේ මෙසේය. ‘‘මේ මල් තුහින පතිත වීම අපේ දිස්ත‍්‍රික්කයේ නුවරඑළිය නගරයේ ආශ‍්‍රිත ප‍්‍රදේශ වලට පමණයි සීමා වෙන්නේ, ඒ හැර මේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයටත් මෙය අදාළයි. මෙම තත්ත්වය එක් පැත්තකින් ආපදාවක් ලෙස සළකන්ත් පුළුවන්. මේ උෂ්ණත්වය පහත අගයකට යෑම නිසා දැනෙන දැඩි සීතල ග‍්‍රාමීය ජනතාවට පාසල් දරුවන්ට රජයේ රැකියා කරන සියළුදෙනාටම විශේෂයෙන්ම රාත‍්‍රී සේවා මුර වල යෙදෙන සැමටම දැඩි පීඩනයක් ගෙන දෙනවා. එය අපේ පලදායිතාවයටත් අදාළයි. නුවරඑළියේ අර්තාපල්, බීට්, සලාද ආදී එළවළු වලට මෙන්ම තේ වගාවටද බලපෑම් එල්ල කරනවා. එයින් විශාල පාඩුවක් අත්කරදෙන අවස්ථාද නැවතුවා නොවේ. දහවල් කාලයේ මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය නිසා වගා ළිං සිඳී යෑම ජල පෝෂිත ප‍්‍රදේශ වලින් ජලය ගලායෑම අඩුවීම පොදුවේ කාටත් බලපාන ප‍්‍රශ්නයක්. විශේෂයෙන්ම වයෝවෘධ අයට මෙම උෂ්ණත්වය පහත වැටීම ඉතාම පීඩාකාරී එකක් ලෙස මා දකිනවා. එයින් ආරක්ෂා වීම වෙනදාට වඩා සැළකිල්ලෙන් කල යුතුයි. කියන එකයි මගේ විශ්වාසය. මල් තුහින පතිත වීම ආපදාවක් ලෙස දකිනවා සේම එය තවත් අතකින් සොඳුරු අත්දැකීම් ගෙනදෙන්නක් බව කිව යුතුයි. මේ වනවිට විශාල පිරිසක් සතිඅන්තයේදී මේ අපූරු අත්දැකීම විඳගැනීමට කොළඹ ඇතුළු විවිධ ප‍්‍රදේශවලින් එන්න සූදානම් බව ඔවුන් කරන විමසුම් වලින් තේරුම් යනවා. මම ඉල්ලීමක් කරනවා ඒ එන දේශීය සංචාරකයන්ගෙන් දේශගුණ තත්ත්වය පිළිබඳ සැළකිල්ලක් දක්වා උණුසුම් ඇඳුම් භාවිත කිරීම මේ දිනවල සුදුසු ක‍්‍රියාවක් කියලා. කෙසේ වූවත් අපේ දේශගුණික රටාව ක්ෂණිකවම වෙනස්වීම් වලට ලක්වෙනවා. ඒ ගැන අප කවුරුත් සැලකිළිමත්ව කටයුතු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. දිසා ලේකම්වරයා එසේ කරුණු කියා සිටියේ දේශීය සංචාරකයන්ට අවවාදයක් ලෙසය. හෝර්ටන්තැන්න ජාතික වනෝධ්‍යානයෙන් ගෙවුනු 17 වැනි දින අලූයම් කාලයේ සිට හෝරා කීපයක් ගත කරමින් උද්‍යානයේ අසිරිය විඳගත් අප උද්‍යානයෙන් සමුගනිද්දී කලාතුරකින් ඇස ගැටෙන අප රටේ ජාතික පක්ෂියා වන වළිකුකුළෙකු සීතලද නොතකා ආහාර සොයමින් එහේ මෙහේ යන අයුරු අපට දැකගත හැකිවිය. එයද ඉතා සුන්දර වූ අත්දැකීමකි. අප ගමන් ගත් වාහනය යළි නුවරඑළිය බලා ධාවනය වෙද්දී හෝර්ටන්තැන්නේ බටහිර දිසාවෙන් ඈතින් දිස් වූ සමනොළ කන්ද සිත්තුළට එක් කළේ මහත් වූ ශාන්තිදායක හැඟුම් සමුදායකි. ඒ සියල්ලම වෙනස් වන බව බුදු වදන වසර 2600 ට පෙර දී අපට පසක් කළ නිසාම යැයි සිතේ.
සටහන හා ඡායාරූප - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
හෝර්ටන්තැන්නේ සිට අවට පරිසරය මල් තුහිනයෙන් වැසුණු හෝර්ටන් තැන්න හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට මල් තුහින පතිත වී තිබූ අයුරු මල්තුහින වැටුණු හෝර්ටන්තැන්නේ තනි වූ ගෝනෙක් වන සත්ත්ව නියාමක අයිවන් ප‍්‍රසාද් හා නුවරඑළිය  දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි යන මහත්වරු