2012 අගෝස්තු 19 | ප.ව. 01:54
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
මහනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය සිසුවියක් දැන් අවතාරයක් ලෙස සැරිසරන බව කියන සිද්ධිය සම්බන්ධව ගවේෂණයක් කර ”මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේෂණයක්” යන හිසින් පසුගිය පස්වැනිදා ඉරිදා ලංකාදීපයේ විශේෂාංගයක් පළකළෙමු.
මියගියත් පාසලේ සැරිසරණ බව කියන දැරියගේ මව කතා කරයි
|
පාසල් සිසුවියගේ අවතාරය ගැන ගවේෂණයක් කරනු ලැබුවේ ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා විසිනි.
වෛද්‍ය ජයසූරිය මහතාට මේ විශේෂාංගය පළවී දින කිහිපයකට පසු ලිපියක් ලැබී ඇති අතර නිවසට පැමිණ තවදුරටත් කරුණු කාරණා සොයාබලන ලෙස ඒ ලිපිය මගින් කාරුණික ආයාචනයක්ද කර තිබිණි.ලිපිය එවා තිබුණේ අවතාරයක් වී පාසලේ සැරිසරනවා යැයි ප‍්‍රචාරයක් ගොස් සිටින ඒ සිසුවියගේ මව විසිනි.
කරුණු කාරණා හරි හැටි සොයා බලා ඇත්ත ඇති සැටියෙන් හෙළිකිරීම ගැන වෛද්‍යවරයාට සහ ඉරිදා ලංකාදීපයට ද ඒ ලිපිය මගින් විශේෂ ස්තූතියක්ද පුද කරමින් ඒ ලිපිය සිසුවියගේ මව ලියා ඇත.
අවතාරයක් ලෙස පාසලේ සැරිසරන බව කියන සිසුවියගේ මව ලිපියක් එවමින් කර තිබූ ආරාධනය අනුව වෛද්‍යවරයා ඒ සිසුවියගේ නිවසට පසුගිය සති අන්තයේ ගොස් මව සමග කතාබහ කර තවදුරටත් කරුණු සොයාබලා තිබේ.
මියගිය මේ සිසුවියගේ මව සමග කතා බහ කිරීමට පසුව මටද අවස්ථාව ලැබුණි. ඒ මව තවමත් හඬා වැටෙන්නීය. ඇගේ මියගිය දියණිය අවතාරයක් වී සැරිසරන බවට ප‍්‍රචාරයක් ප‍්‍රදේශයේ පැතිර ගොස් තිබීම ඒ හඬා වැටීමට හේතුවයි.
තමාගේ නම සැමියාගේ නම මියගිය දියණියගේ නම හෝ දියණිය ඉගෙනගත් පාසලේ නම හෝ පළ නොකරන ලෙස ඇය මගෙන් කාරුණික ඉල්ලීමක් කළාය.
සිසුවියගේ මව කියන කතාව ඔබ හමුවේ තබන්නේ ඇය පැවසූ වචනවලින්මය.
”අවිනීත රියදුරෙක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුනේ අපි ඇහැක් වගේ රැක බලාගත්තු ආදරය කරුණාව දැක්වූ දියණියයි. දියණියගේ අකල් වියෝවෙන් පස්සේ මමත් සැමියාත් තවමත් ඇය සිහි කරමින් කඳුළු බොනවා. අපේ ජීවිතවලට සදහටම කඳුළක් උරුමකර දෙමින් මියගිය ඒ දියණිය වෙනුවෙන් වැගිරෙන කඳුළු මකන්න කිසිම කෙනෙකුට බැහැ.
සමාජය ඉදිරියේ අපි දැඩි පීඩනයකට හසුවෙලා
|
මියගිය දුව අපිට වගේම ඇය ඉගෙන ගත් පාසලේ ගුරුවර ගුරුවරියන්ට පවා ආදරයක් දක්වපු කෙනෙක්. ඇය කීකරු ශිෂ්‍යාවක්. නරකයි කියලා කිසිම දෙයක් ඇය කරලා නැහැ. එයාගේ මව වශයෙන් මට ඒ බව පැහැදිලිවම කියන්න පුළුවනි. කොටින්ම කියනවා නම් ඇය පවක් කියලා හිතන කිසිම දෙයක් කරලා නැහැ.
මියගිය මගේ මේ දියණිය දැන් අවතාරයක් වෙලා ඉස්කෝලෙ සැරිසරන බවට ඡායාරූප පවා තිබෙන බවට මටත් ආරංචි ලැබුණා. මමත් ඔය වගේ ඡායාරූපයක් දැක්කා. දියණිය මියගිය ශෝකය දරාගත නොහැකිව තවමත් කඳුළු බොමින් සිටින අතරවාරයේ මේ නිසා අපේ හදවත් පැළිලා යන්න තරම් වේදනාවක් ඇතිවෙලා තියෙන්නේ.
මගේ දුව අවතාරයක් වෙලා නැහැ. දුව පව්කාරියක් නෙමේ. මේ කතාව අමූලික බොරුවක්. ඇමෙරිකාවේ මගේ ඥාතියෙක් ඉන්නවා පරිගණක ඉජිනේරුවරයෙක්. ඒ පරිගණක ඉංජිනේරුවරයා මේ කියන ඡායාරූපය පරීක්ෂා කර බලලා බොහොම පැහැදිලිව කිව්වා මෙය පරිගණක ආශ‍්‍රයෙන් නිර්මාණය කරපු එකක් කියලා. තවත් දෙයක් විශේෂයෙන්ම මම පැහැදිලිවම කිව යුතුයි. ඔය ඡායාරූපයේ තියෙන සපත්තුව මගේ දුව ගිය ඉස්කෝලේ අය පළඳින එකක් නෙමේ. මගේ දියණිය අවතාරයක් වෙලා කියලා සමහරුන් කියන්නේ කුමන විද්‍යාත්මක පදනමක් මතද කියන්න දන්නේ නැහැ.” යැයි සිසුවියගේ මව හැඬුම්බරව කීවාය.
හදිසි අනතුරකට ලක්ව අකාලයේ මිලින වී ගිය ඒ දියණියගේ මව තවදුරටත් මෙසේද කීවාය.
මේ කතාව මුල්කරගෙන අපට දැන් සමාජය ඉදිරියේ බොහෝ අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. මේ ප‍්‍රශ්නය නිසා අපි මානසික වශයෙන් ලොකු පීඩනයකට පත්වෙලා ඉන්නේ. සමහරු කිසිම පදනමක් නොමැතිව මේ වගේ කතා කීවත් බුද්ධිමත්ව සිතන පතන අය මේවා පිළිගන්නේ නැහැ. ඒ බව අප හොඳින්ම දන්නවා.
මියගිය අපේ දියණියට මේ විදිහට අවමන් කරන්න එපා. කිසිම මව්පියෙකුට මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා කියා අපි මුළු හදින්ම ප‍්‍රාර්ථනා කරනවා. මගේ දියණිය අවතාරයක් වෙලා සැරිසරන්න තරම් පව්කරලා නැහැ. ඇය බොහෝම විනීතව කීකරුව ජීවත්වූ නිසා මා නැවත නැවතත් කියනවා.
අපි දෙන්නාට අහිමිවුණේ මිල කළ නොහැකි ආදරණීය දියණියක්. ඇය අපට පමණක් නොව සොහොයුරියන්ට, යෙහෙළියන්ට, ගුරුවරුන්ට විතරක් නෙමේ ඇයගේ ජීවිතයටත් ආදරය කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද අවතාරයක් වෙන්නේ යැයි ඒ මව ප‍්‍රශ්න කරන්නීය.
මගේ දියණිය පුවත්පත් කලාවේදිනියක් වෙන්න බොහොම ආශාවෙන් හිටියා. ඇය කිව්වා අම්මේ මම හොඳට ඉගෙන ගෙන පුවත්පත් කලාවේදිනියක් වෙනවා කියලා. මේ වගේ බොරු කතා හදලා ප‍්‍රචාරය කිරීම සදාචාර සම්පන්න මිනිස් වර්ගයාටම කළ නින්දාවක් වශයෙන් හඳුන්වන්න පුළුවනි යැයි අකාලයේ වියෝවූ ඒ සිසුවියගේ මව අවසාන වශයෙන් කීවාය.
විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
COMMENTS
මා මෙමම සිද්ධියට අදාල පුවත්පත් වාර්තා කියැවූ අතර මා හට කටකතා මගින් දැනගන්නට ලැබුනේ මේ ළමයා අලව්ව දුම්රිය අනතුරින් තුවාල ලබා එක් කකුලක් වෙන් කල ශිෂ්‍යාවක් ලෙසයි.(ස)
ඒ කාලෙනම් ඡායාරූප විශ්වාස කරන්න පුලුවන්.ඒත් අද කාලෙ බැහැ.මේක ඩිජිටල් මායාවක්.මේ වගෙ වැඩ කරලා වීරයන් වෙන්න හදන අයත් ඉන්නවනෙ. පොටෝශොප් මෘදුකාංගයෙන් මේ වගේ එකක් ලෙහෙසියෙන්ම හදන්න පුලුවන්. (නි)
මේ ඡායාරූපය දැක්ක ගමන් කියන්න පුලුවන් කැමරාවක් ගැන දැනුමක් නැති කෙනෙක් ගත්ත එකක් බව. (නි)
මිනිස්සු කියන්නේ මහා පුදුම ජාතියක්. ඔයාගේ දුව හොද ලෝකයක ඉපදිලා ඇති බව ඒකාන්තයි. (නි)
පිස්සන් කියන දේවල් අහලා දුක් වෙන්න එපා ඇන්ටි. දරුවෙක් සම්පතක් වෙන්නේ දෙමාපියන්ට මිස පිස්සන්ට නොවේ. (නි)
මේක බොරුවක්. මේක ගත්ත කෙනාට මොකක් හරි සන්නියක් හැදෙන්න ඇති ඒ වෙලාවේ. එතකොට වෙව්ලද්දී ඡායාරූපය මෙහෙම වදින්න ඇති. (නි)
ආන්ටි, අපේ මිනිස්සුන්ට පිස්සු. (නි)
ඇත්තටම මේ දෙමවුපියන්ගේ හිත් රිදවලා අපි කරලා තියෙන්නේ ලොකු වරදක්. (නි)
ආන්ටි, සියලු දේම දෙස උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වෙන්න. එවිට දුක අඩුවේවි. (නි)
මිනියත් විකුනන් කණ සමාජයකට මේක පුදුම දෙයක් නොවේ මියගිය අය අතර නොවේ අවතාර සිටින්නේ ජීවත් වන අය අතර දයාබර දුවාට නිවන් සුව පතමි.(ස)
මේක අමූලික බොරුවක් අම්මේ.. මේක ඔබලාට අපහාස කරන්නට කවුරුන් හෝ කළ දෙයක්.. ඔබලාට කළ දෙයට ඔවුන්ට නිසි කළ දඩුවම් ලැබේවි..!!(නු)
එයා දක්ෂ දරුවෙක් නිසා මේක කාගේ හරි වැඩක් වෙන්න ඇති...(ස)
ඒ අම්මාට මොන තරම් දුක ඇතිද (දී)
අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ උන්මත්තක ලෝකයක. ඔබ දුක් වෙන්න එපා. (නි)
ඔයගේ දරුවා හොඳ තැනක ඉපදිලා ඇති.(ස)
මෙවැනි අදහස් වලින් සිත තවත් ශක්තිමත් කරගන්න.(ස)
නැමෙන දිවට මොනවා කියන්න බැරිද (දී)
මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. (නි)
අනේ ආන්ටි, ඔයා සැළෙන්න එපා. මිනිස්සු හැම වෙලේම බලන්නේ කාවහරි පාගලා බිමටම දාන්නයි. (නි)
දරුවෙක් මියගියත් ඒ දරුවාව දෙමවිපියන්ට වටිනවා. එම නිසා ඒ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ඇන්ටි, ඔයා සැලෙන්න එපා. ඔයාගේ රත්තරං දුව මේ ලෝකෙ හොද තැනක ඉපදිලා ඇති. (නි)