27-Page-17-S2-01

 

 

නම් ගම් උපත හා බැඳි රසකතා  බොහෝය. ඒවා සත්‍ය සිදුවීම් හෝ පටබැඳි කතා හෝ විය හැකිය. ඇතැම්විට සත්‍ය සිදුවීමකට කතාවක් පටබැන්දා ද විය හැකිය. ඒ නිසාම එකම ගමකට බද්ධ වූ කතා කීපයක් ඇති අවස්ථා බොහෝය. ඒ කෙසේ වුවද ඒ කතාන්තරවල රසඥතාවයක් ගැබ් වී ඇත.


පරංගියා කෝට්ටේ ගියා වගේ යන ප්‍රස්ථා පිරුළත් රසවත් ඉතිහාස කතාවක් අනුසාරයෙන් ගොඩනැගී ඇත්තේය. ඒ වෘත්තාන්තයට සමගාමීව කොළඹට ආසන්නව පවතින බොරැල්ල නගරයේ නාමකරණය පිළිබඳවද රසවත්  වෘත්තාන්තයක් ඇත්තේය.


වර්තමානයේ ජනාකීර්ණ නගරයක් වූ බොරැල්ල අතීතයේ ඇළදොළ දිය කඩිති සහිත සුන්දර ප්‍රදේශයක් වූවේය.


කොළඹ වරාය ලංකාවේ පැවති ප්‍රධාන වෙළෙඳ වරාය වූ අතර එහි ඉතිහාසය දිගුය. එනම් අද සේම වර්ෂ ගණනාවකට එපිට අතීතයේත් ආනයන අපනයන වෙළෙඳාම තිබී ඇත. ඊට සාක්ෂි ලෙස නටඹුන් අතරින් හමුවී ඇති විවිධ කාල වකවානුවලට අයත් කාසි, පබළු, පෝසිලේන් නිර්මාණ, ආභරණ ආදිය පෙන්වා දිය හැකිය.


ක්‍රි.ව. 1500 කාලවකවානුව වනවිට කොළඹ වරාය ආසන්න ප්‍රදේශයේ වෙළඳාමේ ආධිපත්‍ය පතුරුවා සිටියේ මුස්ලිම් වෙළෙන්දන්ය. ඔවුහු ඇත්දළ, මුතුමැණික්, කුළුබඩු ආදි බොහෝ දේ පිටරටට අලෙවි කළහ.


ක්‍රි.ව. 1505 ලොරෙන්සෝද අල්මේදා ඇතුළු පිරිස නැව් නැගුණේය. ඉන්දියන් සාගරය හරහා ගමන්ගත් ඔවුහු මහා සුළි කුණාටුවකට හසුවූ අතර අහඹුවකින් සේ කොළඹ වරායට පැමිණ දිවි බේරාගත්හ.


නුපුරුදු නෞකාවක් දුටු මුස්ලිම් වෙළෙන්දෝ කළබලයට පත්වූහ. පැමිණ සිටින්නේ කවුරුන්ද, කොහේ සිටද, කුමක් නිසා පැමිණියාද? යන ගැටලුවලට පිළිතුරු සෙවීමට කටයුතු කළහ.

 

27-Page-17-S2-02

 


වටින් ගොඩින් සොයාගන්නා ආරංචි එකතුකරගත් මුස්ලිම් වෙළෙන්දෝ වහාම කෝට්ටේ රජ සභාවට ගොස් රජතුමා මුණගැසුණහ.


පැමිණ සිටින්නේ මහා භයානක මිනිසුන් කොට්ඨාසයක් බවත් ඔවුන් මෙරට සිටියහොත් සිංහල ජාතියටත්, බුද්ධ ශාසනයටත් මහා විනාශයක් සිදුවන බවත් පැවසූහ.


මුස්ලිම් වෙළෙන්දෝ පැවසූ කාරණා ඒ ආකාරයටම සිතට නොගත් කෝට්ටේ රජතුමා පැමිණ සිටින අමුත්තන් පිළිබඳව සොයා බැලීමට දූතයෙක් පිටත් කර හැරියේය.


කොළොන්තොටින් ගොඩබට පරංගීන්ද ලක්දිව සොබාසිරිය දැක වික්ෂිප්ත වී සිටියහ. විශේෂයෙන්ම මුස්ලිම් වෙළෙන්දන් වෙළඳාම් කරන ආකාරය බලා සිටි පරංගීන්ට මෙරට ඇති ස්වාභාවික සම්පත් පිළිබඳව අවබෝධයක් ඇතිවූයේය. ඔවුහු කුමන ආකාරයකට සිංහල රජු සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේදැයි කල්පනා කළහ.


එවැනි වාතාවරණයක දී කෝට්ටේ රජු විසින් එවන ලද රාජදූතයා පරංගීන්ට හමුවූයේය.


ඔහුව සාදරයෙන් පිළිගත් ලොරෙන්සෝද අල්මේදා ඔවුන් කුණාටුවකට හසුවී අහඹුවකින් මෙරටට පැමිණි බවත් මෙරට සමග වෙළඳ සබඳතා පැවැත්වීමට කැමති බවත් රජු කැමති නම් සතුරන්ගෙන් වෙරළ තීරය ආරක්ෂාකර දීමට කැමති බවත් පැවසුවේය. දූතයාගේ හිත දිනාගත් අල්මේදා රජුටද තෑගි බෝග යැවීමට අමතක නොකළේය.


රාජ දූතයාගේ හිත පිරී ගියේය. ඔහු සතුටු සිතින් රජතුමා බැහැදැකීමට පිටත්වූයේය. රජතුමා හමුවූ පසු ආගිය ගමනේ විස්තර කියූ ඔහු පරංගින් සමග සුහදවීම යහපතක් බව සැළකර සිටියේය.


පරංගීන් පිළිබඳව කියූ විස්තර හා තෑගි බෝග ලබාගත් රජතුමා ඔවුනට රජු බැහැ දැකීමේ අවස්ථාව උදාකර දුන්නේය. ඒ සඳහාද දූත පිරිසක් පිටත්කර හැරියේය. දූත පිරිස උපක්‍රමශීලි විය. කොළඹ සිට කෝට්ටේ රාජධානියට ඒමට ළඟ පාරවල් එමට විය. එහෙත් පරංගීන් මුලාවට පත්කරමින් කටුක දිගු මාර්ග ඔස්සේ කැඳවාගෙන යාමට ඔවුහු අදිටන් කරගත්හ.


පරංගීන් හමුවූ ඔවුහු මුලින්ම කොළඹ වරායේ සිට කෝට්ටේ රාජධානිය දක්වා රැගෙන යාමේ කටයුත්ත ආරම්භ කළහ. ප්‍රථමයෙන්ම වර්තමාන බොරැල්ල ප්‍රදේශයෙන් මිථ්‍යාව වැපිරීම ආරම්භ කළහ. දිය පිරුණු අගලක් පෙන්වා එහි මිනීකන කිඹුලන් සිටින බව පැවසූහ. ඒ අසා බියට පත්වූ පරංගීහු දිය අගල හරහා නොගොස් වෙන පාරකින් යාමට කතිකාකර ගත්හ.


දූතයන්ගේ සැළසුම සාර්ථක වූයේය. දවස් තුනක් පුරා ගිරි දුර්ග පසුකරමින් දුෂ්කර මාර්ගයක ගිය පරංගීහු, රජතුමා හමුවූහ. පළමු හමුවේදීම රජුට තෑගිබෝග පරිත්‍යාග කළ පරංගීහු රජුගේ සිත දිනාගත්හ. ඒ ආකාරයට සිත දිනාගත් පරංගීහු පසු කාලයේදී වෙරළබඩ පළාත් ආක්‍රමණය කළ අතර එය මෙරට පැවති සංස්කෘතිය පරිහානියට පත්වීමට ද හේතු කාරණා විය.


එහෙත් ළඟ පාරක් තිබියදී දුර පාරකින් පරංගියා කෝට්ටේ රජු බැහැ දැකීමට ගෙනගිය කාරණාව අලලා පරංගියා කෝට්ටේ ගියා වගේ යන ප්‍රස්ථා පිරුළු ඇතිවූවේය.


එසේම මිනී කන කිඹුළන් සිටිනවා ලෙසින් පවසා පරංගියා රැවට්ටූ ඇළ බොරු ඇළ ලෙස ප්‍රචලිත වූ අතර පසු කාලයේදී බොරු ූ ඇළ බොරැල්ල බවට පත්වූවේය. බොරැල්ල නාමකරණය පිළිබඳව වූ ජනප්‍රවාදය එසේ ය.

m