IMG-LOGO

බීමත් රියැදුරන්-කසිප්පු ජාවාරමුන් රටට පිළිලයක්


බීමත්කමට තමන්ගේ පමණක් නොව දරු පවුල්වල අභිමානය පවා යට කිරීමට සූදානම් පුද්ගලයෝ මේ දහම් දිවයිනේ වෙසෙති. මේ බව ඇස් පනාපිට ඔප්පු වූ අවස්ථා දෙකක් පසුගියදා (23) අපගේ ලංකාදීප පත්‍රයේ පළවූ ප්‍රවෘත්ති දෙකක සඳහන් විය. ඉන් එක් ප්‍රවෘත්තියකට අනුව කසිප්පු පෙරා හසුවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දියණිය සුරාබදු කාර්යාලයේ ද පුතුන් දෙදෙනා ගුවන් සහ නාවික හමුදාවල සේවය කරන බව හෙළි වී තිබිණි. අනෙක් ප්‍රවෘත්තියට අනුව බීමතින් රිය පදවා පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදුකර තිබූ රියැදුරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු බදුල්ල දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයකු බව හඳුනාගෙන තිබිණි.

මෙම සිදුවීම් දෙක අහඹු සිදුවීම් දෙකක් පමණක් නොවන බව මුලින්ම සඳහන් කළ යුතුය. ලොකු මහත් වූ ඇතැම් විට උසස් අධ්‍යාපනය ලබන නැතහොත් වැදගත් රැකියාවල නියුතු දූ දරුවන් සිටින සමහර තාත්තලා කසිප්පු පෙරති. සූදුවට යති. කුඩු විකුණති. මේ හැර තවත් දුරාචාරවල යෙදෙමින් ජාවාරම් කරමින් මුදල් හම්බ කරති. එසේම තවත් සමහර තාත්තලාට තමන් කොතරම් උසස් රැකියාවක නියුතුව සිටියද බෝතලයක් දුටු පමණින් සියල්ල අමතක වෙයි. බීමත්ව රිය පදවා අනතුරුද සිදුකර තමන්ගේ පමණක් නොව අනුන්ගේද අනාගත ජීවිත අඳුරේ හෙළා අවසානයේ දුකට පත් වෙති.

මෙවැනි සිදුවීම් හේතුවෙන් තමන් පමණක් නොව තම බිරිඳ සහ දූ දරුවන් පවා පත්වන අසීරු තත්ත්වය පිළිබඳ අල්ප මාත්‍රයක හෝ හැඟීමක් තිබිණි නම් බීමත්කමට සහ කසිප්පු ජාවාරම් වැනි මගඩි වැඩට කිසිවකුත් නොපෙළෙඹෙනු ඇතැයි අපි සිතමු. බීමතින් රිය පදවා අනතුරු සිදුකළැයි කියන බදුල්ල දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා සතුව වලංගු රියැදුරු බලපත්‍රයක් හෝ රක්ෂණ සහතිකයක් මෙන්ම ආදායම් බලපත්‍රයක් ද නොතිබූ බව ද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි. අනතුරින් පසුව අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා අසුවීමෙන් සැකකරුට වෙනම නඩුවක්ද පවරා ඇතැයි සඳහන් විය.

රාත්‍රී කාලයේ අවමඟුල් නිවෙසකට ගොස් බීමත්ව රිය පදවා ගංජාද රියේ තබාගත් මේ පුද්ගලයා රජයේ වැදගත් රැකියාවක නියුතු අයකු දැයි ප්‍රශ්න කළයුතු තරමට වැරැදි  ගණනාවක පැටලී සිටී. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයකු රිමාන්ඩ් ගත කරනු ලැබීමය. මෙය කොතරම් ලැජ්ජාවට පත්විය යුතු කරුණක්ද? රාත්‍රී කාලයේ අවමඟු‍ල් නිවෙස්වලට යන කාට කාටත් මේවා හොඳ පාඩම්ය.

සුරාබදු කාර්යාලයේ දියණියක සහ ගුවන් හා නාවික හමුදාවල පුතුන් සිටින වැලිගම ප්‍රදේශයේ තාත්තා පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේ නිවෙසක් පිටුපස මහා පරිමාණයෙන් කසිප්පු ජාවාරමේ නිරතවීමේ චෝදනාවකටය. දීර්ඝ කාලයක සිට අදාළ සැකකරු කසිප්පු ජාවාරමේ නිරතව සිටි බවට තොරතුරු ඇතැයි පොලීසිය සඳහන් කර තිබූ අතර කසිප්පු පිරවූ බැරල් සහ පෙරීමට යොදාගන්නා උපකරණද ඔහු සන්තකයේ තිබී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. වැදගත් රැකියාවල නියුතු දරුවන් සිටියදී කසිප්පු පෙරීම තමන් පමණක් නොව තම දරුවන් ද අමාරුවේ දැමීමක් බව ඔහු නොදැන සිටියා විය නොහැක. දැන් ඔහු අධිකරණයේය.

මේ සැකකරුවන්ට අධිකරණයේ නඩු පැවරුණු පසුව නීතිඥයන්ගේ සහාය පැතීමට ඔවුන්ට සිදුවෙයි. ඒ සඳහා විශාල මුදලක් වැයවෙයි. එපමණක් නොව රැකියාව අහිමි වීමේ හෝ තාවකාලිකව වැඩ තහනමකට ලක්වීමේ හෝ අවදානමකට රෙජිස්ට්‍රාර්වරයා මුහුණ දී සිටී. බීමතින් රිය පදවා අනතුරක් සිදුකරන ඕනෑම රියැදුරකුට මේ තත්ත්වයට මුහුණදීමට සිදුවෙයි. මේ සඳහා ඕනෑතරම් උදාහරණ තිබේ.

පසුගිය දිනෙක කොළඹ මෙරයන් ඩ්‍රයිව් හි පාන්දර යාමයේ බීමත් රියැදුරකු විසින් සිදුකළ අනතුරකදී මහාමාර්ගයේ සිටි දෙදෙනකු මියගොස් තවත් කිහිප දෙනකුට තුවාල සිදුවී තිබිණි. මේ රියැදුරු කොළඹ සංචාරක හෝටලයක කළමනාකරුවකු වන අතර ඔහු එදින රැකියාව නිමාවීමෙන් පසුව රාත්‍රී සමාජ ශාලා කිහිපයකටම ගොස් මත්පැන් පානය කර තිබූ බවට තොරතුරු තිබිණි. මේ මොනතරම් නොසැලකිලිමත් ජීවිතයක්ද? ඔහු තමන් විසින්ම අමාරුවේ වැටුණා පමණක් නොව තවත් අයගේ ජීවිතද අහිමි කළේය. ජීවිත කාලයක් පුරා ගොඩනගාගත් තම පුද්ගල අභිමානය, වෘත්තීය ගරුත්වය මත්පැන් වීදුරු කිහිපයක් වෙනුවෙන් පරදුවට තැබීම කොතරම් අනුවණකමක්ද? මත්පැන් බී රිය පදවා සෙසු පුද්ගල ජීවිත හානි කිරීම කොතරම් අපරාධයක්ද?

මත්පැන් බීම හෝ නොබීම කෙනකුගේ පෞද්ගලික අයිතියකි. එහෙත් බීමතින් රිය පැදවීමට කිසිවකුටත් අයිතියක් නැත. අනතුරකට අත වනන බව දැන දැනම බීමතින් රිය පදවා සිදුකරන ජීවිත හානිවලට සහ බරපතළ තුවාල සිදුකිරීම්වලට අධිකරණය කිසිම බුරුලක් ලබාදෙන්නේ නැත. එවැනි රියැදුරන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා පවා එල්ල වන අවස්ථා ද තිබේ. මේ බව දැන දැනම බීමතින් රිය පැදවීම සමාව දිය නොහැකි වරදක් බව සියලු‍ මත්පැන් පානය කරන්නන් දැනගත යුතුය. ඊළඟ දවසේ බීමත් රියැදුරකුගේ බිල්ල ඔබගේම දරුවා විය හැකි බැවිනි.


(***)



අදහස් (1)

බීමත් රියැදුරන්-කසිප්පු ජාවාරමුන් රටට පිළිලයක්

Raveendra Thursday, 25 March 2021 07:46 AM

"මෙවැනි සිදුවීම් හේතුවෙන් තමන් පමණක් නොව තම බිරිඳ සහ දූ දරුවන් පවා පත්වන අසීරු තත්ත්වය පිළිබඳ අල්ප මාත්‍රයක හෝ හැඟීමක් තිබුණි නම් බීමත්කමට සහ කසිප්පු ජාවාරම් වැනි මගඩි වැඩට කිසිවකුත් නොපෙළෙඹෙනු ඇතැයි අපි සිතමු." නිසි ඵල ප්‍රයෝජන ගැනුමට අවශ්‍ය නම් සියලුම මාධ්‍යයන් කළ යුත්තේ මෙවන් පාපතරයින්ගේ වතගොත ඡායාරූපද සමගින් ප්‍රසිද්ධ කිරීමෙන් බව අප තරයේ විස්වාස කරන්නෙමු. මක්නිසාදයත් නම් ගම් රූපකායන්ද සමග ප්‍රසිද්ධ වීම මගින් මෙවන් අයව යම්තාක් දුරට පාලනය කළ හැකි බව අප තරයේ විශ්වාස කරන්නෙමු. තවද මෙම කතුවැකියෙහි කරුණු කාරණාවලට පරිබාහිරව මෙම අදහස්ද සඳහන් කිරීමට කැමැත්තෙමු. ගිනිවතුර, අසුචි වතුර නොමැති නම් මළ ගෙදර එන වැඩිදෙනෙකුගේ මුණු කෝච්චියට අසුවුණු පොල් ලෙලි සේය. උත්සවයකදී වුවද බොන්නට නැත්නම් ඒ උත්සවයට අදාළ අයගේ හත්මුතු පරම්පරාවටම චරිත සහතික ලබා දෙමින් කෙසේ හෝ ළඟපාත ගිනිවතුර තිත්පොලකට ගොස් නැවත පැමිණ ඉතා අශෝබන ලෙස හැසුරුණු මිනිසුන් ඉන්නා සමාජයක එවන් බේබද්දන් තම අඹුදරුවන් ගැන හිතාබලා වැඩකටයුතු කරයි දැයි සිතීමත් එක අතකින් විහිළුවකි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 86 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 639 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site