කෝප් කමිටු සභාපතිත්වය, හිටපු ඇමැති හර්ෂ ද සිල්වාගේ ස්වයංවිවේචනය, බැඳුම්කරයට නඩු පැවරීම, කෝප් කමිටු බලය වැඩිකිරීම, නීතිපති - පොලිස්පති විවාදය, ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන, විදේශ ණය, රජයේ රැකියා සම්පාදනය හා වියතුන් පාර්ලිමේන්තු එවීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.

 

ප්‍රශ්නය:- කෝප් කමිටු සභාපති ධුරය නැවතත් ඔබට ලැබුණා. එහෙත් එය ඉතාම කෙටි කලකටයි. ඇත්තටම ඔබට වැඩ කරන්න කාලයක් තිබෙනවද?

පිළිතුර:- ඒකමතිකව මාව පත්කරගත්තට කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි කියලා මම දන්නවා. කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක් මේක. සුදුසුකම් නිසා පත්කරගන්නත් ඕනෑ. ඒත් දේශපාලනික වශයෙන් ඔවුන්ට හානිකරයි. ඇත්තටම මම කෝප් කමිටුවේ ඉන්න ඕනද නැද්ද කියන එක තීරණය වෙන්නේ මහ මැතිවරණයෙන්. මාතර ජනතාවගෙන්. මීට කලිනුත් කෝප් එක තිබුණනෙ. හැබැයි කෝප් කමිටුවට සක්‍රීය වෙන්න පුළුවන් කියලා මිනිස්සු දැනගත්තේ ජ.වි.පෙ. මන්ත්‍රීන් එහි කළ මැදිහත්වීම් මත. අඩු තරමින් රටේ මේ වගේ හොරකම් අපරාධ සිදුවෙනවා කියලා ජනතාවට සන්නිවේදනය කරන්න අපට පුළුවන් වුණා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව, එයාර් බස් ගනුදෙනුව, ගල් අඟුරු ගනුදෙනුව, සතොස හාල් සත්ව ආහාරවලට විකිණීම, කිරි හරක් ගනුදෙනුව වැනි දේවල් සමාජගත වුණේ කෝප් කමිටුව හරහා.

ප්‍රශ්නය:- හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවැති තමන්ගේම ආණ්ඩුව විවේචනය කරමින් කිව්වේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂයට නොගිය කාලයේ මහ බැංකු නිලධාරින් කමිටුවට ගෙන්වාගැනීමට පවා නොහැකි වූ බවයි. මේ කියන කතා නිවැරැදිද?

පිළිතුර:- මෙහෙමයි. කැබිනට් මණ්ඩලය තීන්දු ගත්තාට රාජ්‍ය මූල්‍ය පාලනය සොයාබලන්නේ පාර්ලිමේන්තුවයි. කැබිනට් මණ්ඩලයේ කෙනෙක් මෙතන සභාපති වුණාම කැබිනට් සාමූහිකත්වය ආරක්ෂා කරගත යුතු නිසා මෙතැන වැඩේ හරියට කෙරෙන්නේ නෑ. විපක්ෂ මන්ත්‍රීවරයෙක් මෙවැනි කමිටුවක සභාපතිත්වය දැරීම මූල්‍ය පාලනයට හොඳයි. දියුණු රටවල සම්ප්‍රදාය ඒක. මේවාට ඒ රටවල එන්නේ පත්කළ මන්ත්‍රීවරු. වෘත්තිකයෝ. හැබැයි අපේ තාම ඉන්නේ ඇමැතිවරු. ඒ කියන්නේ ළබැඳියාවන් අතර ගැටුමක්නෙ. ඒ නිසා කාරක සභාවේ ඇමැති කෙනෙකුට අදාළ කරුණක් විමර්ශනය වෙද්දී ඔහු සභාවට සහභාගි නොවිය යුතුයි කියලා අපි හදාගත්තා. හර්ෂ ද සිල්වා මහත්තයලා අද හරි ඇත්ත කතා කරන එක හොඳයි. හැබැයි එයාලා තමයි කලින් ෆුට් නෝට් දැම්මේ. බැඳුම්කරය වංචාවක් නෙවෙයි ගනුදෙනුවක්ය කියලා තර්කය ගෙනාවෙත් ඒ අයම තමයි. හර්ෂ ද සිල්වා මහත්තයලා තමන්ගේ වෘත්තීය දැනුම ඔවුන් ආරක්ෂා කරගැනීමට යෙදූ හැටි ඒ පාද සටහන් කියෙව්වොත් තේරේවි. දැන් ඔය තර්ක දාන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක තියෙන ඇරියස් එකටනෙ. හැබැයි රනිල් එක්ක හොඳින් ඉන්නකොට කතා කළේ අනෙක් පැත්ත.  

ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුව සමූහ මිනීවළක් හාරනවා වගේ වැඩක් යැයි කියන ඔබ නඩු පැවරීම් කඩිනම් විය යුතු යැයි ප්‍රකාශයක් කළා. පමාව එන්නේ රජයෙන් නම් බාහිර පාර්ශ්වයකට ඊට අතගහන්න බැරි ඇයි?   

පිළිතුර:- ඇත්තටම අපි ඒ ගැන සලකා බලා තිබෙනවා. අර්ථසාධක අරමුදලේ සාමාජිකයකුට හෝ ඕනෑම සාමාන්‍ය පුරවැසියකුට තමන්ට වූ මේ අගතියට එරෙහිව නඩු කියන්න බැරිද කියලා අපි සාකච්ඡා කළා. පක්ෂයේ නීති අංශය ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. මොකද මහ දවල් මහ බැංකුව කොල්ල කාපු අයට දඬුවම් දෙන්න කියලා මහ හයියෙන් කෑ ගහලා බලයට ආපු අය අද කඩේ වහලා සද්ද නැතිව ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවෙන් නම් මේකට සාධාරණයක් ඉෂ්ට වේවි කියලා හිතන්න බෑ. මේකට විසඳුම කෝප් කමිටුවට අධිකරණ හා නීතිපති නිලධාරින් සෘජුව නිරීක්ෂණ මට්ටමින් සහභාගි වීමයි. ඒ අයව ගෙන්නන්නම ඕනෑ. කෝප් කමිටු විමර්ශනයක් කියන්නේ හිතළුවක් නෙවෙයිනෙ. අපි කතා කරන්නේ විගණකාධිපතිගෙ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලවල සාක්ෂි සටහන් එක්කනෙ. එතකොට යම් නිලධාරියෙක් ඔව් මම ඒ වරද කළා කියලා පිළිගන්නවා. ඔප්පු කළාටත්  පස්සෙ නඩු දාන්න බැරි නම් ඇති පලේ මොකක්ද? නඩු දාන්නේ නැත්තේ නීතිමය පසුබිමක් නැති නිසා නෙවෙයිනෙ. දේශපාලන පසුබිමක් තියෙන නිසානෙ. මේ හැම සිදුවීමකටම නඩු දාන්න පුළුවන්. අද පාකිස්ථානේ ඉම්රාන් ඛාන්ගේ පාලනය තුළ මැලේසියාවෙ මහතීර් මොහොමඩ්ගෙ පාලනය තුළ අධිකරණ නියෝජිතයන් නිරීක්ෂණ මට්ටමින් සහභාගි වෙනවා. එතකොට ඔවුන් ඇසින් දුටු සාක්ෂි. ඇත්තටම කාරක සභාවට එන්නම ඕනෑත් නෑ. සජීවීව බලන්න පුළුවන්. රජයට අගතියක් කරලා තිබෙනවා නම් නීතිපතිට නඩු දාන්න පුළුවන්. එනිසා මගේ යෝජනාව අධිකරණ බලය සහිත නිලධාරින් කෝප් කමිටුව නිරීක්ෂණය කළ යුතුයි. කමිටුවට බලය නැති නම් බලය ඇති අය කමිටුවට දාන්න ඕනෑ.

ප්‍රශ්නය:- ඒ වැඩේ කරන්න වෙන්නේ කාටද?

පිළිතුර:- කතානායකතුමා ඊට මැදිහත් විය යුතුයි. ඒකට සංශෝධනය කරන්න ඕනේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නම් ව්‍යවස්ථාව නම් ඒ වෙනස කළ යුතුයි. ඇත්තටම රාජ්‍ය මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු යැයි ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය දැන් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද හොරුන්ට දඬුවම් නොකරන නිසා. කෝප් කමිටුව සජීවීව මාධ්‍යට දීපු එකේ ජයග්‍රහණය රැකගන්න වෙන්නේ අධිකරණ බලය සහිත නිලධාරීන් සම්බන්ධ කරගැනීමෙන්. මොකද මිනිස්සු අපෙන් අහන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලයි. එතකොට අපිත් අපහසුතාවයට පත් වෙනවා. විගණකාධිපතිගේ වාර්තාව මත රාජ්‍ය ව්‍යාපාරවල අඩුපාඩුකම් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම කියලා කාමරවල හැංගුණු සාකච්ඡාවක්නෙ තිබුණේ. එහෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත කිරීම නිසා අද වැරැද්ද වැරැද්ද විදියටම රටම දකිනවා.

ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව ගැන ඔබත් හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ කබ්රාල් මහතාත් අතර විවාදයක් පැවතුණා. දැන් වෝහාරික වාර්තාව ප්‍රසිද්ධයි. එයින් ලද ප්‍රගතිය මොකක්ද?

පිළිතුර:- ඇත්තටම ප්‍රගතියක් තිබෙනවා. අජිත් නිවාඩ් කබ්රාල්ට විතරක් තියෙන දැඟලිල්ලෙන් තමයි ඒක හොඳටම පෙනෙන්නේ. 2002 සිට තවත් මහ බැංකු අධිපතිවරු හිටියා. සුනිල් මෙන්ඩිස් මහත්තයා ඔහුට කලින් හිටියා. ඔහුට කිසිම කලබලයක් නෑනෙ. මොකද ඔහුගෙ ඥාතීන් කවුරුවත් ඔය පර්පචුවල් එකේ හිටියේ නෑ. මෙතන තිබෙන ප්‍රශ්නය කබ්රාල් මහතා ගත් තීන්දු තීරණත් ඔහුගේ ඥාති කෙනෙකු පර්පචුවල් අධ්‍යක්ෂ කෙනෙකු හැටියට සිටීමත් මහ බැංකුවෙන් ආයතනය නුසුදුසු බව දන්වා තිබියදීම තැරැව්කාරකම ලබාදීමත්. අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුවට බලපෑම් කරලා ද්විතීයික වෙළෙඳපොළේ මිලදී ගැනීම්වලට තල්ලු කළේ කවුද කියලා මේ වාර්තාවෙන් ඔප්පු වෙනවා. කබ්රාල් මහත්තයා දැන් වාර්තාව හදපු සමාගමේ සුදුසුකම් ගැන කියනවා මිස වාර්තාවේ අන්තර්ගතය ගැන කතා කරන්නේ නෑනෙ. පුහුල් හොරා කරෙන් දැනේ කියලා තමයි වාර්තාවෙන් පසුව පෙනෙන්නේ. මෙතැන ප්‍රශ්නය හැමදාම අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ හොරු පැනලා යනතුරු අපි පත්තරවලයි රූපවාහිනීවලයි මෙහෙම තර්ක කර කර ඉඳීමයි. ප්‍රශ්නසහගත සියලු දෙනා අධිකරණ ක්‍රියාවලියකට යටත් කළ යුතුයි. ඒකෙ පළමු වැනි දේ පාස්පෝට් එකනෙ. අර්ජුන් මහේන්ද්‍රන්ගෙ පාස්පෝට් එක අධිකරණ බාරයේ තිබුණා නම් රටෙන් පැනලා යන්න බෑනේ. එදා රාජ්‍ය බලය පාවිච්චි කරලා මහේන්ද්‍රන්ලා පැනල ගිය ආකාරයටම අදත් තව පිරිසක් පැනලා යන්න ඉඩ තිබෙනවා. එනිසා කබ්රාල්ගේ සිට සැකකරුවන්ගේ පාස්පෝට් එකවත් අධිකරණය බාරයට ගත යුතුයි.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයාට රට වෙනස් කිරීමට ඇති අවංක අභිලාශය ආණ්ඩුවේම ඇතැමුන්ට නැති බවත් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටත් දේශපාලන විචාරකයන් මත පල කරනවා. මේ කතාව පිළිගන්නවද?

පිළිතුර:- මේක බොරුම බොරු රඟපෑමක්. ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ කලින් අප්පොච්චි දෙවියෝ කියලා වන්දනා කරලා ඡන්ද ටික අරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා මේ මාස දෙකට මෙච්චර නරක් වුණේ කොහොමද? මම නම් දකින විදියට එතුමාගෙන් මේ ටික කාලෙට වුණු එකම වරද අර ඉන්දියාවට ගිහින් අවුරුදු තුනක ණය කපන්න කියලා රාජ්‍යතාන්ත්‍රික නොවන ප්‍රකාශයක් කිරීමයි. මෙතන මේ හදන තර්කය ගෝඨාභය නම් හොඳයි මහින්ද තමයි අවුල්කරන්නේ කියන එකනෙ. එතකොට වෙන්නෙ මොකද්ද? පොදුවෙ ආණ්ඩුව කෙරෙහි තිබෙන විරෝධය මහින්ද මහත්තයට පවරනවා. ඒත් ආණ්ඩුව හොඳයිනෙ. ඇත්තටම මේ තියෙන්නේ ආර්ථික ක්‍රමයේ අර්බුදයයි. ඒක තනි පුද්ගලයෙක්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන අවුල මේ අය විපක්ෂෙදි කියපු බොහෝ දේවල් උත්කෘෂ්ඨ වුණානෙ. හැබැයි දැන් කරගන්න බැරි වුණාම දිරවගන්න බැරුව තියෙන්නේ. ඒවාට වැරැදිකාරයෙක් ඕනෑ වෙලා තියෙනවා. ඕක ජේ.වී.පී. එක පිට පටවන්න බැරි නිසා තමයි මහින්ද මහත්තයා අල්ලගන්නේ.  

ප්‍රශ්නය:- රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති බවට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ අගමැතිවරයා ණය වාරික සඳහා සහන කාලයක් ඉන්දියාවෙන් ඉල්ලා සිටියා. ආර්ථිකය නගාසිටුවීමේ දී ආණ්ඩුවට තිබෙන්නේ දුෂ්කර පරිසරයක් බව පිළිගන්න වෙනවා නේද?

පිළිතුර:- රටක් ණය ගෙවාගන්න බෑ කියද්දි ඒක විග්‍රහ වෙන්නේ රටේ නොහැකියාව විදියට. ඒක අභ්‍යන්තරිකව සාකච්ඡා කරනවා වගේ නෙවෙයි බාහිර සමාජයට යද්දි. උදාහරණයකට මෙහෙම සහන කාලයකට ඉල්ලීමක් කරද්දි ප්‍රශ්න දෙකක් මතුවෙනවා. අනෙක් ණය දුන් රටවල් ණය ගෙවාගත නොහැකි රටක් හැටියට අපව වර්ගීකරණය කරනවා. ඊළඟට අපි තව ණය ගන්න ඕනෑ. ඔක්තෝබර් මාසය වනවිට කෝටි එක්ලක්ෂ හැත්තෑදාහක් ණය පොලී ගෙවන්න අපි ගන්න ඕනෑ. මෙහෙම කිව්වාම ඒක ගන්නෙ කොහොමද? දැනටමත් කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් බරපතළ කඩාවැටීමක් තිබෙනවා. ජාත්‍යන්තර වර්ගීකරණයන්හි අප පහළ වැටිලා තිබෙනවා. අද ආදායම බිලියන 2000යි. පඩි ගෙවන්න විතරක් 1200ක් යනවා. ඉතිරි 900යි. ඒකෙන් ණය වාරික පොලී ගෙවලා රට කරන්නෙ කොහොමද? ණය පොලී ගෙවන්නම බිලියන 1800 ක් ඕනෑ. ඉතින් රෝමය ගිනි ගනිද්දී වීණා වයනවා වගේ පාලනයක් මේ යන්නේ.

ප්‍රශ්නය:- විරැකියාවට විසඳුම් ඉල්ලලා කලක් තිස්සේම උද්ඝෝෂණ සිදු වූ රටක උපාධිධාරින්ට මෙන්ම ඩිප්ලෝමාධාරින් හා සාමාන්‍ය පෙළ අසමතුන්ට පවා රජයේ දොර විවෘත වන ආකාරයට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව හදලා තිබෙනවා. මේ ප්‍රතිසංස්කරණ හොඳ නැද්ද?

පිළිතුර:- රැකියා ප්‍රශ්නයට විසඳුම් දියයුත්තේ වැඩපිළිවෙළක් ඇතුළෙයි. ඡන්ද ගුණ්ඩුවලින් නෙවෙයි. මේ රැකියා ප්‍රශ්නයට උත්තර හොයනවා නෙවෙයිනෙ. ඡන්දයට උත්තර හොයනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මේ එක රස්සාවක්වත් ඡන්දයට කලින් දෙන්නේ නෑ. මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තුව විසිරෙව්වොත් ඊළඟට කියන්නේ මොකද්ද? අප දෙන්න හිටියේ. හැබැයි මැතිවරණ නීතිය අනුව රස්සා දෙන්න බැරි නිසා ඕගොල්ලො කැන්වසින් යන්න කියලයි. උපාධිධාරින් 54,000 ක් ඊටපස්සේ මේ ආණ්ඩුවට කැන්වසින් යන්න එපැයි. සමෘද්ධිධාරින් ලක්ෂයකට රැකියා දෙනවා කියලා බලකරන්නෙත් කැන්වසින් යන්නයි. විශ්‍රාමිකයන්ට දෙන්න පොරොන්දු වූ වැටුප් වැඩිවීම දෙන්න බැරි නම් වතු කම්කරුවගෙ දාහ තවම හීනයක් නම් ලක්ෂයකට රස්සා දෙන්න ප්‍රතිපාදන තියෙන්නේ කොහෙද? දැන් කියන්නේ රස්සා කියලත් නෙවෙයි පුහුණුවක් කියලා. නොමිලේ පොහොර වගේ කතාවක්. දැන් කියන්නේ මොකද්ද? නිකන් පොහොර දෙනවයි කිව්වට සල්ලිවලට දෙනවා යැයි කිව්වේ නෑ කියලයි. එතකොට සල්ලිවලටවත් දෙන්න පොහොර නැති වුණාම ඒකෙන් ආණ්ඩුව නිදහස්. මොකද නිකන් දෙන්නවත් පොහොර නෑනෙ. රස්සාවලටත් වෙන්නේ ඕක තමයි.

ප්‍රශ්නය:- රට හරි මගට ගැනීමට නම් විද්වතුන් පාර්ලිමේන්තු එවන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීම සමග ඊළඟ මහ මැතිවරණයේ දී විද්වතුන් ගැන ලොකු සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා. විද්වතුන් සමග ජනාධිපතිවරණයකටත් සන්ධාන හදපු ජ.වි.පෙ මේ ඉල්ලීම ගැන හිතන්නේ මොකද්ද?  

පිළිතුර:- විද්වතුන් පාර්ලිමේන්තු පැමිණීමේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන් පාර්ලිමේන්තු ඇවිත් කරන්නේ මොකද්ද යන්නයි. උගත්කම නැති විභාග පාස් නොවෙච්ච මිනිස්සුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනෙ. ප්‍රතිපත්ති සම්පාදනයට මහ ලොකු දායකත්වයක් දැනුමෙන් නොදුන්නට ඔවුන්ගෙන් හානියක් නෑනෙ. හැබැයි තව පිරිසක් සිය දැනුම පාවිච්චි කරලා හොරකම් අපරාධ කරනවා. දැනුම පාවිච්චි කරලා හොරකම් අපරාධ වහනවා. නීතිය පිළිබඳ මහා ප්‍රාඥයන් ඉන්න පාර්ලිමේන්තුවේ නීති හදලාම ගෙම්බො වගේ පිල් මාරු කරනවා. මම කියන්නෙ ජනතාව පරෙස්සම් වෙන්නේ ඕනේ මේ දැනුමෙන් අපරාධ කරන අයගෙන්. ඉතින් විද්වතුන්ම වුණාට වැඩක් නෑ. ඒ අයගෙන් වැඩක් ඇති අයයි තෝරලා එවන්න ඕනෑ.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ