බොහෝ දෙනකුගේ ආර්ථික කටයුතු, ජීවන කටයුතු අහිමිව ගොසිනි. දුෂ්කරතා රැසකි. මේවා පැවැති තත්ත්වයට පත්කර ගැනීම ඉදිරි කාලයේ තිබෙන බරපතළ අභියෝගයකි. ආර්ථික වර්ධන වේගය 5%  හෝ 6% මට්ටමට ගැනීමත් රැකියා ජනිත කිරීමත් අපට තිබෙන අභියෝග දෙකකි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ඇත්තේ තවත් එක් දිනයකි. 

ගිය වසරේ අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ කොරෝනා පළමු රැල්ල හේතුවෙනි. මෙවර අවුරුද්දට ගියවර තරම් කොරෝනා බලපෑම නොතිබුණද එකී අවදනම නොතකා කටයුතු කිරීමේ හැකියාවක් ලංකාවාසී අපට නැත. එනිසා වසර පුරාම අප ඉදිරියේ කොරෝනා අභියෝගය පවතින බව පැහැදිලිය. ඒ කෙසේ වෙතත් ඉදිරි කාලයේ රටක් වශයෙන් මුහුණදීමට ඇති අභියෝග රැසකි. එය විමසීමට සිදුවන්නේ කොරෝනාවෙන් සිදුව ඇති බලපෑම දෙසද අවධානය යොමු කරමිනි.

කොරෝනා ප්‍රශ්නයත් සමග නිෂ්පාදන, සේවා, ප්‍රවාහන, ගමනාගමන කටයුතු යනාදී සියල්ල නතර වූවේය. මෙහි බලපෑමෙන් කාර්මික, සේවා, කෘෂිකාර්මික අංශවල නිමැවුම කඩා වැටුණේය. එහි ප්‍රතිඵලයක් වූයේ සේවා වියුක්ති ඉහළ යාමය. සේවා වියුක්තිය යනු රැකියා අහිමිවීම පමණක් නොවේ. රැකියාව තිබුණත් කිරීමට ඇති  වැඩ ප්‍රමාණය අහිමිවී යාමය.

මේ සමග මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ ජනතාවගේ ආදායම් අඩුවීම හෝ අහිමිවීමය. ව්‍යාපාරික අංශයටද මෙය අදාලය. ජනතාවගේ ආදායම් අහිමිවන විට රටේ සමස්ත ඉල්ලුම අඩුවීම නිතැතින්ම සිදුවන්නකි. ඉල්ලුම අඩුවන විට සිදුවන්නේ නිෂ්පාදනය තවත් පහළ යාමය. මෙය චක්‍රයක් සේ ක්‍රියාත්මකය. 

මෙවන් පසුබිමක ඇතිවන ද්විතීයික බලපෑම වන්නේ ආණ්ඩුවට ලැබිය යුතු බදු ආදායම් අහිමිවීමය. ආදායම් අහිමි වනවිට ආණ්ඩුවට ඇති බර, පීඩනයද වැඩිවීම වැළැක්විය නොහැක. අපහසුතාවට, දුෂ්කරතාවට පත්ව සිටින ජනතාව රැකගැනීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ වගේම සෞඛ්‍ය අංශයට කරන වියදම් වැඩි කිරීමට සිදුව තිබේ. පසුබෑමට ලක්ව ඇති නිෂ්පාදන අංශ, කර්මාන්ත ස්ථාවර කිරීම කෙරේ බර තැබීමට ද ආණ්ඩුවට සිදුවනු ඇත. ආණ්ඩුවේ ආදායම් අඩු වුවද වියදම් මේ ආකාරයට වැඩි වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අයවැය හිඟයද ඉදිරියේදී වැඩිවීම බෙහෙවින්ම අභියෝගකාරීය. මෙවන් පසුබිමක ආණ්ඩුවට සිදුවන්නේ දිරි දීමනා, දිරි ගැන්වීම් යනාදිය ලබාදීමටය. එහෙත් ආදායම් අහිමිවීම ඇති තත්ත්වයකදී එවන් පියවරකට යාමට ආණ්ඩුවට මුදල් නැත. අවසන් ප්‍රතිඵලය වන්නේ ණය ගැනීමය. මුදල් අච්චු ගසා එම මුදල් ආණ්ඩුව ණයට ගත්තේය. 2019 අවසන් වනවිට මහ බැංකුවට ආණ්ඩුව ණය වී තිබුණේ රුපියල් බිලියන 75 ක් පමණය. එහෙත් පසුගිය මාර්තු මාසය වනවිට එම ගණන රුපියල් බිලියන 800 ඉක්මවා ගොසිනි. ආණ්ඩුවේ සුරැකුම්පත් මහ බැංකුව කොතරම් මිලදී ගෙන තිබේදැයි මෙයින් පැහැදිලිය. 

මෙහි නතරවීමක් නැත. ආණ්ඩුවේ බැංකුවලින්ද ණය ගනිමින් තිබේ. කොරෝනා ප්‍රශ්නය හේතුවෙන් පසුගිය කාලයේදී ආණ්ඩුව දේශීය වශයෙන් ඩොලර් බිලියන 2000 ක පමණ ණය ලබාගෙන තිබේ. මේවායේ බලපෑම අදට වඩා දැනෙන්නේ හෙටටය. එනිසා ඉදිරියට පෙළගැසෙන අභියෝගවල ස්වභාවය වටහා ගැනීම අපහසු නැත. 

විනිමය-පොලී අනුපාත ගැටලුව

මෙහි තවත් පැත්තක් තිබේ. එනම් විනිමය අනුපාත පැත්තයි. අපනයන, විදේශ විනිමය ඉපැයීම් දුර්වල වී තිබේ. කොරෝනා නොතිබුණත් මේ දුර්වලතාව දිගටම තිබුණි. කොරෝනාවත් සමග ප්‍රශ්නය උග්‍රවී තිබේ. එල්ල වී ඇති පීඩනය හමුවේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීමට නැඹුරු වී තිබේ. වෙනත් ආකාරයකට කියන්නේ නම් රුපියලේ අගය පිරිහීම වැඩි වෙමින් තිබේ. මේ දිනවල අත්දකිමින් සිටින්නේ එයයි. මේ හරහා ඉදිරි කාලයේ විනිමය ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවන බවද පැහැදිලිය. 

ආණ්ඩුව වගේම මහ බැංකුවද මූල්‍ය දිරි දීමනා ලබා දුන්නේය. වාණිජ බැංකුවලටද විශාල වශයෙන් මුදල් නිකුත් කළේය. පොලී අනුපාත පහත හෙළා ණය ප්‍රසාරණය වීමට ඉඩ හැරියේය. එන්නත්කරණ වැඩපිළිවෙළ හේතුවෙන් ලෝකයේම කොරෝනා පැතිරීමේ අඩුවක් දකින්නට තිබේ. මේ කාලයේ වියයුතු මිල ගණන් පහළ වැටීම, උද්ධමනය පහළ වැටීම ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් තිබේ. බොර තෙල් බැරලයක මිල ඩොලර් 20 දක්වා පහළ වැටීමක් පසුගිය කාලයේ පෙන්නුම් කළේය. එහෙත් මේ වනවිට තෙල් බැරලයක මිල ඩොලර් 60 ඉක්මවා තිබේ. ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ආහාර මිල ගණන් ඉහළ යමින් පවතින ආකාරයක් දැකගත හැකිය. එහි බලපෑම ලංකාවට ක්‍රමයෙන් දැනෙමින් තිබේ. මේ නිසා ඉදිරි කාලයේදී උද්ධමනය පිළිබඳ අදට වඩා සැලකිලිමත් වීමට සිදුවනු ඇත. අර්බුදයට මුහුණදීමට මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට සිදුවන බව මෙයින් පැහැදිලිය. එය ඉදිරියේදී මතුවන පැහැදිලි අභියෝගයකි. 

පසුගිය කාලයේ විශාල වශයෙන් මුදල් ප්‍රසාරණ කළේය. ඒ සමගම පොලී අනුපාත පහත හෙළීමටත් හැකිවූයේ උද්ධමනය අඩු අගයක පැවැති නිසාය. උද්ධමනය අඩු අගයක පැවතියත් රටේ විනිමය අනුපාත පිළිබඳ ප්‍රශ්නයක් තිබියදී මුදල් ප්‍රසාරණයක් කළ නොහැක. රටේ මුදල් වැඩිවන විට එයින් කොටසක් විදේශවලට ගලායනු ඇත. එවිට විනිමය අනුපාත ප්‍රශ්නය තවත් උග්‍රවනු ඇත.

මුදල් ප්‍රසාරණයත් සමග ආයාත සීමා කිරීමටද ආණ්ඩුව පියවර ගත්තේය. එහෙත් උද්ධමනය ඉහළ යන ලකුණු ඇති විට මුදල් ප්‍රසාරණය අඩු කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත. ආණ්ඩුව කරන වියදම් අඩුකර ගැනීමටද සිදුවන බව පැහැදිලිය. උද්ධමනය පිළිබඳ වගබලා ගැනීමට සිදුවනු ඇත. උද්ධමනය පිළිබඳ වගබලා ගන්නා විට පහත වැටී ඇති පොලී අනුපාත යළි ඉහළ යාමට යොමුවනු ඇත. උද්ධමනය වැඩිවීමත් පොලී අනුපාත වැඩිවීමත් ඉදිරියේදී අපේක්‍ෂා කළ යුතුය.

බොහෝ දෙනකුගේ ආර්ථික කටයුතු, ජීවන කටයුතු අහිමිව ගොසිනි. දුෂ්කරතා රැසකි. මේවා පැවැති තත්ත්වයට පත්කර ගැනීම ඉදිරි කාලයේ තිබෙන බරපතළ අභියෝගයකි. ආර්ථික වර්ධන වේගය සියයට පහ හය මට්ටමට ගැනීමත් රැකියා ජනිත කිරීමත් අපට තිබෙන අභියෝග දෙකකි. 

රටේ ණය තවත් කරුණකි. මේ ණයවලින් සියයට 55 ක් පමණ දේශීය ණයයි. ඉතිරි සියයට 45 විදේශීය ණය බව පැහැදිලිය. ණය නොගෙන සිටීමට නොහැක. දැනට මහ බැංකුව අනුගමනය කරන්නේ දේශීයව වැඩි වශයෙන් ණය ලබාගැනීමේ ප්‍රතිපත්තියකි. ණයවලින් රට ගැලවෙනවා යැයි මෙයින් අදහස් කෙරෙන්නේ නැත. ගෙවීමට ඇති විදේශ ණය ඉහළ අගයක පැවතීම නිසා විදේශ විනිමය ප්‍රශ්නයක් ද තිබේ. මෙරට විදෙස් විනිමය ඉපැයීම බෙහෙවින්ම දුර්වලය. මෙය වසර විස්සක විසිපහක සිට තිබෙන්නකි. අපනයන වැඩිවීමක් නැත. අපට අවශ්‍ය පමණට විදේශ ආයෝජන වාර්ෂිකව ලැබුණේ නැත. අදටත් එය එසේමය.

මේ සමග සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදෙස් ආදායම්ද අහිමිව ගියේය. විදේශවල රැකියා කරන අයගෙන් යම් මුදලක් උපයා ගැනීමේ අපේක්‍ෂාවක් පැවතියත් එය මහ පරිමාණයෙන් සිදුවේ යැයි සිතීම අපහසුය. විශාල වශයෙන් විදෙස් විනිමය ඉපැයීමට හැකි වන්නේ අපනයන සහ විදෙස් ආයෝජනවලිනි. එහෙත් මේ කාරණා දෙකම යථා තත්ත්වයට පත්ව නැත. මෙය අලුත් ප්‍රශ්නයක් නොවූවද ඉදිරි කාලයේ රට හමුවේ තිබෙන ජයගත යුතු අභියෝගයකි. මේ කාරණයත් සමග විදේශ ණය ගෙවන්නේ කෙසේද යන අභියෝගයද තිබේ.

ණය ගෙවීම දුෂ්කර කාරණයක් වී තිබේ. ණය ගෙවීමට දේශීය මුදල් විදේශ මුදල්වලට හැරවීමේදී එය අයවැයටද බලපාන ප්‍රශ්නයකි. කෙසේ වුවත් අපනයන වැඩිවීමක් සහ විදේශ ආයෝජන වැඩිවීමක් නැතිව ඉදිරියට යාම දුෂ්කරය. ඒ වගේම ඉදිරියේදී මේ දුෂ්කරතාව තවත් උග්‍ර අතට හැරෙන්නට පුළුවන. ආයාත සීමා පනවමින් මුදල් ටිකක් ඉතිරි කර ගනිමින් ණය ගෙවීමට හැකිය. සිටින තැනින් ගොඩයාමක් ණය ගෙවීමෙන් අදහස් වන්නේ නැත. 


මේ වනවිට රුපියගේ අගය ශීඝ්‍රයෙන් පිරිහෙමින් තිබේ. ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යාමට මේ පිරිහීම හේතුවන්නකි. තෙල් මිල, අනෙකුත් විදේශ භාණ්ඩ මිල ඉහළ යාම සහ රුපියලේ අගය පිරිහීමත් උද්ධමනය තවත් ඉහළ නැංවීමට හේතුවකි. ඒ වගේම මෙරට නිෂ්පාදන කටයුතුවලටද අහිතකරව මේ තත්ත්වය බලපාන බව පැහැදිලිය.

එයට හේතුව නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අන්තර් භාණ්ඩ ආනයනය කිරීමට සිදුවීමය. රුපියලේ අගය පිරිහීම හේතුවෙන් මේ සියල්ලටම වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එහෙත් අපනයනය කරන අයට ප්‍රශ්නයක් නැත. ඔවුන්ට වැඩි ආදායමක් ලබාගත හැකිය. විනිමය අනුපාතයක් නම්‍ය විය යුතුය. එනම් කෘත්‍රිමව පාලනය නොවන තත්ත්වයකි. ඒ වගේම ස්ථාවර විය යුතුය. අපනයන සහ විදේශ ආයෝජන වැඩි නොවනතාක් කල් මෙය අභියෝගයක් වශයෙන් පවතින බව පැහැදිලිය.

වෙනස් විය යුතුම තැන්

සියයට 4 ක්ව පැවැති විරැකියාව කොරෝනා ප්‍රශ්නයත් සමග සියයට 5.8 ක් දක්වා වැඩිවී තිබේ. මේ මට්ටමට හෝ විරැකියාව පවතින්නේ ඵලදායී රැකියා බිහිවීමකින් නොවේ. විරැකියාව මෙවන් අගයක පැවතීමට හේතු කීපයකි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මගින් ඵලදායී රැකියා බිහිවී විරැකියාව අඩුවීමක් දකින්නට නැත. මෙරට රැකියා විරහිත පිරිස ලක්‍ෂ පහක් පමණය. විදෙස්ගත පිරිස ලක්‍ෂ දෙකක් පමණය. ඔවුන් විදෙස්ගතව සිටින්නේ මෙරට ඉඩප්‍රස්ථා නැතිකමෙනි. මේ පිරිස විදෙස් ගතවීමද මෙරට විරැකියාව ප්‍රශ්නය අඩුවීම බලපා තිබේ.

පරිගණක, විද්‍යා, ඉංජිනේරු අංශවල ඉහළම සුදුසුකම් ලබන අය විදෙස්ගතව සිටිති. මෙසේ යාමෙන්ද අපේ විරැකියාව අඩුවන බව පෙනේ. ත්‍රිරෝද රථවල සිරව සිටින පිරිස මිලියනයකට වැඩිය. මෙය එතරම් ඵලදායී රැකියාවක් නොවේ. මෙයින් වෘත්තීයමය මාර්ගයක් විවර වන්නේ නැත. රැකියාවක නියුක්ත වූ විට ඒ ඔස්සේ ඉදිරියට යාමට මාර්ගයක් ඇති බව පෙනිය යුතුය. එහෙත් ත්‍රිරෝද රථ එලවීමෙන් එවන් මාර්ගයක් පෙන්වන්නේ නැත. කෙසේ වුවත් මෙරට විරැකියාව අඩුවීමට මේ කාරණය බලපා තිබේ. මේවා අපි රටක් හැටියට අවධානයට ගතයුතු කරුණුය. 

කෘෂි අංශයේ නිරත ජනතාව ලක්‍ෂ තිහකට පමණ වැඩිය. මෙයින් ලක්‍ෂ දහයක් පහළොවක් පමණ කෘෂි අංශයේ සිරව සිටින්නේ එයින් මිදීමේ ක්‍රමයක් නැතිකමෙනි. ඔවුන් මෙය තමන්ට හොඳම රැකියාව ලෙස තෝරා ගත් එකක් නොවේ. කරන්න දෙයක් නැතිකම නිසා මේ අංශයේ සිරවූ පිරිසක් සිටිති. කෙසේ වුවත් මේ සියල්ල එකතු කළ විට අපේ විරැකියාව අඩුවී ඇත්තේ ඵලදායී රැකියා බිහිකිරීම අනුව නොවන බව පැහැදිලිය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පිරිස ලක්‍ෂ හයකට වැඩිය. උසස් පෙළට පෙනී සිටින පිරිස ලක්‍ෂ තුන ඉක්මවන බව පෙනේ.

විශ්වවිද්‍යාලවලින් පිටවන සංඛ්‍යාව තිස් දහසක් පමණය. මේ රටේ හොඳ අර්ථ ක්‍රමයක් තිබේ නම් ඵලදායී රැකියා කොතරම් සංඛ්‍යාවක් වාර්ෂිකව බිහිවිය යුතුද? එහෙත් එවන් රැකියා බිහිවීමක් මේ රටේ නැත. එනිසා ලොකු ආර්ථික එකතු කිරීමක් මෙරට ඵලදායී රැකියාවලින් සිදුවෙනවා යැයි සිතිය නොහැක. ඒ බොහෝ දෙනාට ඉඩ ප්‍රස්ථා නොමැති කමෙනි. එයට හේතුව ආර්ථිකය ප්‍රසාරණය නොවීමය. මේ ගැඹුරු යථාර්ථය වෙනස් කර නොගෙන ඉදිරියට යාම අපහසු බව මෙයින් කියැවෙන අනෙක් කාරණයයි. 

ආණ්ඩුවේ රැකියා දීමෙන් මේ ප්‍රශ්න විසඳිය නොහැක. පවතින ප්‍රශ්නයේ බරපතළකම තරමක් යටපත් කිරීමට ආණ්ඩුවේ රැකියා ලබා දෙමින් තිබේ. මේවායේ ඵලදායිතාව පිළිබඳ ඇත්තේ ගැටලුවකි. මෙවන් තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ මෙරට පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතු අවශ්‍ය පමණට පුළුල් නොවීමෙනි. එසේ නොවන්නේ ආයෝජන ප්‍රසාරණය නොවීමෙනි. අපනයන වැඩි නොවීමට හේතුවී ඇත්තේද මෙම කාරණයකි. ආයෝජන වැඩිවී එයින් බිහිවන නිෂ්පාදන අලෙවි කිරීමට වන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේය. දේශීය වෙළෙඳපොළ කුඩා නිසා වැඩි නිෂ්පාදනයක් අලෙවි කිරීම අපහසුය. මීට වසර 20 කට පමණ පෙර මෙරටින් අපනයනය කර ඇති සපත්තුවල වටිනාකම ඩොලර් මිලියන 30 ක් පමණය. කාම්බෝජය මේ වනවිටත් ලංකාවට වඩා දුප්පත් රටකි. එම රටෙන්ද අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 30 ක පමණ සපත්තුය.

ඉන් වසර විස්සකට පමණ පසු අදත් අප අපනයනය කරන්නේ ඩොලර් මිලියන 30 ක 40 ක පමණ සපත්තුය. එහෙත් මේ වනවිට කාම්බෝජයේ සපත්තු අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 1000 ඉක්මවා ගොසිනි. වසර 20කදී එක කර්මාන්තයක සිදුව ඇති පුළුල්වීම කොතරම්ද යන්න මෙයින් පැහැදිලිය. එහෙත් අපේ රටේ කර්මාන්තවල එවන් විශාලවීමක්, ප්‍රසාරණයක් දකින්නට නැත. එනිසා එවන් වර්ධනයකට අවශ්‍ය ආයෝජන මේ රටේ සිදු නොවන්නේ ඇයිදැයි සලකා බැලීම වැදගත් මෙන්ම අභියෝගාත්මක ප්‍රශ්නයකි. 

මෙරට උගත් ශ්‍රමයට තමන්ගේ අනාගතය සුරක්‍ෂිත බවට තහවුරුවක් දීමේ අභියෝගයට මුහුණදීමට සිදුවීම බරපතළය. එවන් සුරක්‍ෂිතතාවක් නැතිකම බරපතළ සමාජ අභියෝගයකි. එනිසා මෙය විසඳාගත යුතුම ප්‍රශ්නයකි. මේ අභියෝග ජය නොගෙන රටක් වශයෙන් ඉදිරි කාලයේ නැගී සිටීමට නොහැකි බව වටහාගත යුතුය.

------------------------------------------------------------ 


කොළඹ විශ්ව විද්‍යාලයේ 
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහාචාර්ය සිරිමල් අබේරත්න
------------------------------------------------------------
සටහන - චමින්ද මුණසිංහ
------------------------------------------------------------