කොළඹ වරාය නගරය පාලනය කිරීම සඳහා සකස්කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධාකාර විවේචන හා අදහස් ඉකුත් සතිය පුරාම ප්‍රචාරය වූයේ දේශපාලන කරළිය රත් කරමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පළමු විවේචනය ඉදිරිපත් කළේ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්කයක් ඉදිරිපත් කරමිනි. විජයදාස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉකුත් මහ මැතිවරණයට තරග කළේය. විජයදාස සමඟ ආණ්ඩුවේ ඇතැම් නායකයන්ට මුල සිටම ඇයි හොඳයියක් තිබුණේ නැත. මහ මැතිවරණයේ දී විජයදාසට නාමයෝජනා ලබා නොදෙන ලෙස ද ඔවුන් නාමයෝජනා මණ්ඩලයට යෝජනා කළ බව ද වාර්තා විය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැදිහත්  වී විජයදාසට නාමයෝජනා ලබාදුන්නේය. විජයදාසට අලුත් ආණ්ඩුවේ ඇමැති ධුරයක් හිමි වූයේ ද නැත. ඔහු පසුව ඒ ගැන නෝක්කාඩු කීවේය. යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් රාජපක්ෂවරුන් බේරා ගැනීමට තමා කළ දායකත්වය ඔහු සිහිපත් කළේය. ඉන්පසුව විජයදාසට අධ්‍යාපන රාජ්‍ය ඇමැති ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. එහෙත් කැබිනට් ඇමැති ධුරයකින් මෙපිට ඇමැති ධුරයක් ප්‍රතික්ෂේප කරන බව කියමින් විජයදාස රාජ්‍ය ඇමැති ධුරය බාර නොගත්තේය. ආණ්ඩුවේ නායකයන් හා විජයදාස අතර නොහොඳ නෝක්කාඩුකම් වර්ධනය වූයේ එලෙසිනි.

‘‘විජයදාස දහනව වැනි සංශෝධනය මගින් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ගමන අවහිර කරන්නට කටයුතු කළා. නීති සකස් කළා. ඒකෙන් විශාල බලපෑමක් වුණා’’ යැයි ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් අදහස් දක්වා තිබුණේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට දැඩි විරෝධය දක්වමින් අදහස් පළකරන බවක් පෙනේ. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ නව පනත් කෙටුම්පතේ රටට අහිතකර කිසිවක් නොමැති බවය. ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා රැස්වූයේය. අරලියගහ මන්දිරයේ පැවැති එම රැස්වීමේ දී පාස්කුදා කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැති ඇමැතිවරු අදහස් දැක්වූවෝය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සඳහන් කර ඇත්තේ කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් කිසිදු දේශපාලනඥයකුගේ ප්‍රජා අයිතිය අහෝසි නොකළ යුතු බවය. ‘‘ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඉතාම නරක පූර්වාදර්ශයක්. එදා ජේ.ආර්. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළා. ඒකට දැඩි විවේචන එල්ල වුණා. පසුකාලයක ගාමිණි දිසානායක සහ එජාපයේම ප්‍රබලයන් ජේ.ආර්. ගෙ පියවර විවේචනය කළා. අපි ඒ ඒ පුද්ගලයන් කර තිබෙන වැරදි ජනතාවට පෙන්වා දෙමු. ජනතාව ඒවාට ඡන්දයේ දී පිළිතුරු ලබාදේවි. අපි ඒ තත්ත්වයට ජනතාව දැනුවත් කළ යුතුයි. දැන් බලන්න අද යූ.එන්.පී.ය එක මන්ත්‍රී අසුනකට වැටුණා. ජේ.වී.පී.ය මන්ත්‍රීධුර තුනට වැටුණා. එහෙම නැත්නම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්’’ යැයි ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රී කණ්ඩායමට කරුණු කියාගෙන ගියේය.

අගමැතිවරයා එම අදහස් සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රිගේ අදහස විමසූ අවස්ථාවේ ඔහු ද එම අදහස අනුමත කර තිබේ. විමල් වීරවංශ ද ඊට පක්ෂව අදහස් පළ කර තිබේ.

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ දේපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ද ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. දේශපාලනඥයන්ට එරෙහිව විභාග වන නඩුකටයුතු නීතිපති මගින් ඉවත් කර ගැනීම ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි නිර්දේශ එම කොමිෂන් සභා වාර්තාවල සඳහන්ව තිබේ. ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වා ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශය සම්බන්ධයෙනි.

මේ අතර ඉකුත් සඳුදා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමේ දී ද ප්‍රශ්නයක් නිර්මාණය වී තිබිණි. එම රැස්වීම කැඳවා තිබුණේ පළාත් සභා මැතිවරණය ගැන අදහස් විමසීමටය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද එම රැස්වීමට සහභාගි වූහ. එහෙත් විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ සහ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ එම රැස්වීම වර්ජනය කළහ. ‘‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අදහස එම රැස්වීමේ දී කියන්න ලැබෙන්නෙ නැහැ. පක්ෂ නායකයන් නොවන විශාල පිරිසක් එතන හිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් එතන හිටියා. ඔක්කොම 51 කට ආරාධනා කරලා. ඒ වගේ රැස්වීමක දී අපේ අදහස යට යනවා. ඒ නිසා අපි අගමැතිවරයාට කරුණු පැහැදිලි කරලා රැස්වීම වර්ජනය කළා යැයි ඔවුහු පසුව කීහ.

පළාත් සභා ඡන්දයට එකම පක්ෂයෙන් එක් කොට්ඨාසයකට අපේක්ෂකයන් තිදෙනකු බැගින් ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ දිගින් දිගටම විරෝධය පළ කරති. අපේක්ෂකයන් තිදෙනෙක් නම් කිරීමේ යෝජනාව අහෝසි කරන්නැයි සුළු පක්ෂ නායකයෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. විමල්, උදය, වාසුලාගේ ගැටුම හටගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි. ආණ්ඩුවට සහය දක්වන ලංකා කම්කරු කොංග්‍රසය ද අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් කිරීමට විරෝධය දක්වයි.

කොරෝනා අවදානම එන්න එන්නම වැඩිවෙමින් තිබෙන හෙයින් මෙවර මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වීම නතර කිරීමට ආණ්ඩුව තීන්දු කළේය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ දී ඉකුත් අඟහරුවාදා රැස්වීමක් පැවති අතර ඊට දේශපාලන පක්ෂවල නායකයෝ පිරිසක් ද එක්ව සිටියහ. එහිදී පක්ෂනායකයන් හමුවේ යුදහමුදාපතිවරයා කොරෝනා අවදානම ගැන කරුණු පැහැදිලි කළේය. ඉන්පසුව පක්ෂ නායකයෝ මැයි දින පෙළපාලි හා රැළි මෙවර නොපැවැත්වීමට තීන්දුවක් ගත්තේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉකුත් ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකළේය. ඒ සඳහා රැස්වීම් කීපයක් ද සුළු වශයෙන් සංවිධානය කළාය. එහෙත් ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදීත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදීත් තීන්දුකර තිබුණේ පොදු පෙරමුණ පක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීමටය. චන්ද්‍රිකා වෙනත් තීරණයක් ගැනීම නිසා ඇයට එරෙහිව විනය පියවර ගන්නා බව පක්ෂය පසුව දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම් හෝ වෙනත් විශේෂ සාකච්ඡාවලට හෝ ඉන්පසුව චන්ද්‍රිකාට ඇරයුම් ලැබුණේ නැත. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිනිය විටින් විට පක්ෂයේ නායකයන්ට දොස් කීවාය. චන්ද්‍රිකා ඉකුත් මාර්තු මස 27 වැනි දින මහලේකම් දයාසිරි ජයසේකරට ලිපියක් යැව්වාය. ඒ තමාට පක්ෂය කරන කෙනෙහිලිකම් මතක් කරමින් ඊට දොස් කියමිනි. චන්ද්‍රිකාගේ ලිපියට ඉකුත් 20 වැනිදා මහලේකම් දයාසිරි ජයසේකර පිළිතුරක් යැව්වේය. ඒ චන්ද්‍රිකාගේ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින්ය.

‘‘පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී පක්ෂයේ මතයට එරෙහිව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසට විනය පරීක්ෂණ පැවැත්වීමට තීන්දුවක් ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළුව 26 දෙනකු තනතුරුවලින් ඉවත්කර ඔවුන්ට එරෙහිව ද විනය පියවර ගැනීමට ද පියවර ගත්තේය.

‘‘පක්ෂයේ විනය සෑම කෙනකුටම සමාන විය යුතු’’ ආදී වශයෙන් දයාසිරි දීර්ඝ පිළිතුරු ලිපියක් ලියා තිබුණේය. එසේම එම පිළිතුරු ලිපියේ තවත් සුවිශේෂී කරුණක් ද අනාවරණය කර තිබිණි. ‘‘පක්ෂයට ඔබගේ නැවත පැමිණීම ගෞරවයක් සේ සලකමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ජනතාව නැවත පෙළගැසෙන මේ මොහොතේ සියලු බලවේග නැවත අප වටා ඒකරාශි කර ගැනීම වැදගත්ය’’ යනුවෙන් ද දයාසිරි එම ලිපියේ සඳහන් කර තිබෙන්නේය.

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දිගින් දිගටම ඉන්දියාව ඇහැගහගෙන සිටින බවක් පෙන්නුම් කරයි. ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයශංකර් ඉකුත්දා ඒ පිළිබඳව නැවත මතක් කර තිබුණේ තමිල්නාඩුවේ මන්ත්‍රීවරයකු යැවූ ලිපියකට පිළිතුරු ලිපියක් යොමු කරමිනි. ‘‘ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභා ක්‍රියාත්මක විය යුතු’’ බව ද විදේශ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කර තිබේ. ‘‘ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවේ දී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් ඉන්දියාව ප්‍රබල ප්‍රකාශයක් සිදුකළා. එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව සහ ගෞරවය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීමක්’’ යැයි ද ජයශංකර්ගේ ලිපියේ සඳහන් කර ඇත.

කොළඹ වරාය නගරය පරිපාලනය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව රට තුළ පවතින සංවාදය ගැන අවධානය යොමුකළ එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් ඉරිදා පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට හදිසි දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සත්‍ය තොරතුරු රටට හෙළි කරන්නැයි නායකයා වජිරට කීවේය. වරාය නගර සංකල්පය ගැන ඉතා හොඳින් දන්නේ වජිර අබේවර්ධන හෙයින් නායකයා ඔහුට එම රාජකාරිය පැවරුවේය. එහිදී වජිර කීවේ ‘‘සර් වරාය නගරය ගැන සියලු තොරතුරු මම ළඟ තිබෙනවා’’ යනුවෙනි. නායකයා සහ වජිර අතර දුරකතන ඇමතුම තරමක් දිගු එකක් වූයේය.

ඉකුත් සඳුදා උදේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි වජිර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූයේය. ඉන්පසුව සිරිකොත මන්දිරයේ උඩුමහලේ පැවැති අලුත් අවුරුදු කෑම මේසයට මාධ්‍යවේදීන්ට ද ආරාධනා ලැබිණ. රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන, සමන් රත්නප්‍රිය සිරිකොත විධායක නිලධාරී ශමල් සෙනරත් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. පැමිණ සිටි සියලු දෙනා සමග වජිර අලුත් අවුරුදු ගනුදෙනු කළේය. මෙවර මැයි දිනය ඉතා චාම් ලෙස පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සූදානම් කර තිබුණේය. කොළඹ හයිඩ්පිටිය ද මුදල් ගෙවා වෙන්කර ගෙන තිබුණේය. කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය මත එය අවලංගු කිරීමට එජාපය තීන්දු කළේ ආණ්ඩුව ද මැයි රැළි හා පෙළපාලි අවලංගු කිරීම නිසාය. නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් බදාදා සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි. එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, අකිල විරාජ්, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ එහිදී දීර්ඝව අදහස් දැක්වීය. එක්සත් ජාතික පක්ෂය ගමට ගෙනයාම පිළිබඳව ද එහිදී අදහස් ප්‍රකාශ විය. මැයි පළමු වැනිදායින් පසුව ඒ සඳහා සැලැස්මක් සකස් කිරීමට ද එහිදී එකඟතාව පළවිය. රටේ උද්ගතව ඇති ප්‍රශ්නය පිළිබඳව ආගමික නායකයන් මුණගැසී කරුණු පැහැදිලි කිරීමටත් ඒ සඳහා ලිපියක් සකස් කිරීමටත් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ කීවේය.


(***)
(කස්තුරි)