IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


පළාත් සභා ඡන්ද උණුසුම

 

පළාත් සභා මැතිවරණය පිළිබඳව යළි කතාබහක් නිර්මාණය වී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත්ද‌ා ප්‍රකාශ කර තිබුණේ, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය. පළාත් සභා මැතිවරණ අතුරුදන්ව ඇතැයි වරක් මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයෙක් ප්‍රසිද්ධියේ පැවැසුවේය. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී එනම්, 2017 වසරේදී සහ 2018 වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේය. නීතිමය ගැටලුවක් නිර්මාණය වීම නිසා පළාත් සභා මැතිවරණය වසර ගණනාවකින් කල් ගියේය.

“පළාත් සභා මැතිවරණය පවත්වන්න යැයි හිටපු ජනාධිපතිවරයා කියනවා. එතුමාගේ ආණ්ඩුව තමයි ගැටලුව මතු කළේ. ඒ කාලේ සීමා නිර්ණය පනත් කෙටුම්පතක් ගෙනාවා. ආණ්ඩුවම තමන් ගෙන ආ පනත් කෙටුම්පත පැරැද්දුවා. පළාත් සභා මැතිවරණය කල් යෑම ගැන වගකියන්න ඕනෑ යහපාලන ආණ්ඩුවයි” යැයි ආණ්ඩුවේ දේශපාලනඥයෙක් පැවැසුවේය.

මෙයට යහපාලන ආණ්ඩුව පමණක් නොව ඊට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය ද වගකිව යුතු යැයි ආණ්ඩුවේ තවත් දේශපාලකයෙක් කීවේය. එපමණක් නොව එදා කතානායකව සිටි කරු ජයසූරිය ද ඊට දායක වූ බව ඔවුහු කියති.’’

පළාත් සභා මැතිවරණය සඳහා බලපැවැත්වෙන්නේ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතය. යහපාලන ආණ්ඩුව අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේ අරමුණින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ නැත. සීමා නිර්ණය පනත් කෙටුම්පත ඉවත් කරන තෙක් පැරැණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි වී තිබේ. නීතිපතිවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට ඉකුත් දා මතය ඉදිරිපත් කළේය. ඇමැති දිනේෂ් ගුණවර්ධන කීවේ, නීතිපතිවරයා දැනුම් දුන් පරිදි නව නීති සම්මත කෙරෙන තෙක් පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බවය.

ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ද ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේය. පළාත් සභා කිහිපයක ඡන්දය පැවැතියේ 2012 වසරේදීය. තවත් පළාත් සභා කිහිපයක ඡන්ද විමසීම 2013 වසරේදී පැවැත්විණ. ඒ අනුව, 2017 සහ 2018 වසරේදී සියලුම පළාත් සභාවල නිල කාලය නිම විය. “ඉන්දියාවේ වුවමනාවට පළාත් සභා ඡන්දය තියන්න යනවා. ඉන්දියාව ලොකු ණය මුදලකුත් දෙන්න හදනවා. ණය ගන්න අවශ්‍ය නිසා පළාත් සභා ඡන්දය තියන්නම වෙනවා.” යැයි විපක්ෂයේ දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේ, ඉන්දියාවේ ණය මුදල සහ පළාත් සභා ඡන්දය අතර සම්බන්ධයක් නොමැති බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින විරසකය අළු යට ගිනි පුපුරු මෙන් විටින් විට පත්තු වන්නට පටන් ගන්නේය. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර රසායනික පොහොර පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුල සිටම විවේචනය කළහ. රසායනික පොහොර ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, තමන්ට ගමට යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ශ්‍රීලනිප නායකයෝ පැවැසූහ. ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉඳගෙන “අඟේ ඉඳන් කන කනවා” වගේ වැඩක් කරන්නේ යැයි රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ චෝදනා කළේය.

ආණ්ඩුවේ ප්‍රබලයන් හිටපු ජනාධිපතිවරයාට පිළිතුරු දීමට මුල සිටම භාවිත කළේ රොෂාන් රණසිංහය. රොෂාන් රණසිංහ කීවේ, ශ්‍රීලනිපයට ආණ්ඩුවේ ඉන්න බැරි නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසය. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේ පක්ෂයේ අදහස. පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් හවුල්කාර පක්ෂ සමග මුල සිටම අවුල් වියවුල් හදා ගත්තා.” යැයි විපක්ෂයේ දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.

යුගදනවි බලාගාරයේ කොටස් අයිතිය ආණ්ඩුව ඇමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිව ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ විරෝධය දක්වමින් සිටී. හවුල්කාර පක්ෂ 11ක් ඉකුත් දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් යුගදනවි බලාගාරය ගැන සාකච්ඡාවක් ඉල්ලා තිබුණේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම පක්ෂවල ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු සුළු පක්ෂ නායකයන්ට ජනාධිපතිවරයා දන්වා තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම්, ඒ පිළිබඳව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කරන ලෙසය. ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් හවුල්කාර පක්ෂ අසතුට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

“සුළු පක්ෂවල ඉල්ලීම ජනාධිපතිවරයා කුණු කූඩයට දැම්මා. යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකුණා තිබෙනවා. ඒක ජාත්‍යන්තර ගිවිසුමක්. ජාත්‍යන්තර ගිවිසුමක් අහෝසි කරන්න ලේසි නැහැ. ආණ්ඩුව ආර්ථික අර්බුදයක පැටලිලා. ඒ නිසා සුළු පක්ෂවල ඉල්ලීම නිශ්ඵල දෙයක්.” යැයි ආණ්ඩුවේම දේශපාලනඥයෙක් පැහැදිලි කළේය.

පොහොර ගැටලුවට තවමත් නිසි විසඳුමක් ලැබී නැත. ආණ්ඩුව පියවරක් ආපස්සට ගෙන රසායනික පොහොර ආනයනය කිරීමට පියවර ගත්තේය. එහෙත් ආණ්ඩුව ගොවි ජනතාව රවටන බවට ගොවි සංවිධානවල නියෝජිතයෝ පවසති. නැණෝ තාක්ෂණ දියර පොහොර බාරගත නොහැකි යැයි ද ඒ පිළිබඳව සැකයක් පවතින බව ද ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරති.

 කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මාස කිහිපයක සිටම කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවලට සහභාගි වූයේ නැත. “උදය ගම්මන්පිලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඉන්ධන මිල සම්බන්ධයෙන් චෝදනා කළා. ඒ ප්‍රශ්නයත් සමඟම ගම්මන්පිල කැබිනට් මාධ්‍ය හමුවලට ආවේ නැහැ. මාස කිහිපයක් ඔහු කැබිනට් මාධ්‍ය හමුවලට සහභාගි වූයේ නැහැ.” යැයි ආණ්ඩුවේම දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.

දිවිනැගුම නඩුවෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තවත් අය නිදහස් වීම පිළිබඳව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයාගෙන් තොරතුරු විමසා තිබේ. සමාන චෝදනා ඇති වෙනත් නඩුවකින් විත්තිකරුවන් නිදහස් කර ඇති බව නීතිපතිවරයා මහාධිකරණයට දැනුම් දී ඇති අතර, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, සමාන චෝදනා තිබූ නඩුවට අදාළ තොරතුරුය. තොරතුරු දැනගැනීමේ පනතට අනුව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයාගෙන් එම තොරතුරු විමසා තිබේ.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය හිමි වන නීතියට අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසම වැඩ ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසුවේය. “පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයස අවුරුදු 16 වන තරුණයන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනවා. මැතිවරණ කොමිසමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ තොරතුරු ග්‍රාම නිලධාරීන් මගින් තහවුරු කරගෙන අපි මාස තුනෙන් තුනට පරිපූරක ඡන්ද ලැයිස්තු හදනවා. එම ඡන්ද ලැයිස්තුව පසුව ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනයට එකතු කරනවා. මින් ඉදිරියට තරුණ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව වැඩි වේවි. කවදා හරි ඡන්දයක් තියනකොට වයස අවුරුදු 18 සම්පූර්ණව සිටින හැමදෙනාටම ඡන්දය දාන්න ලැබෙනවා.” යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.

ජාතික සංවිධාන එකමුතුව ඉකුත්දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, ආචාර්ය ගුණදාස අමරසේකර එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ, නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය.

නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ඉටු කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම නුසුදුසු බව ද එම ලිපියේ සඳහන් කර තිබේ. “ජාතික බලවේග විසින් රට වෙනස් කරන නව ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතා අපේක්ෂාව ජනිත කරනු ලැබූ බව ද සාධාරණ යුක්ති සහගත ආරක්ෂිත සහ සෞභාග්‍යවත් රටක් සහ රාජ්‍ය පාලනයක් පිළිබඳව ජනාධිපතිවරයා රුවන්වැලි මහ සෑය අභියසදී ද පොරොන්දුවක් දුන්නා. නව ව්‍යවස්ථාවක ප්‍රතිපාදන යටතේ පිහිටුවනු ලබන නව පළාත් හෝ දිස්ත්‍රික් පාලන ව්‍යුහයන්ට අනුව සහ නව මැතිවරණ ක්‍රමය යටතේ පමණක් කුමන හෝ ඉදිරි මැතිවරණයක් පැවැත්විය යුතුය.” යන්න ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් සතිය පුරාම සිය කාලය වෙන් කළේ පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙනි. ඔහු නියෝජ්‍ය නායක රුවන්ටත්, මහලේකම් රංගේ බණ්‍ඩාරට සහ සභාපති වජිර 

ඇතුළු කණ්ඩායමට දුරකථන ඇමතුම් ලබාදෙමින් කටයුතු සොයා බැලුවේය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ ජන්ම දිනය දා ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීමේ වැඩසටහන දියත් කිරීම ගැන ඔහු උනන්දු වූයේය. ඒ අතරවාරයේ නායකයා පක්ෂය සමග ගනු දෙනුකරන තරුණයන් කීප දෙනකු කොළඹ කුරුඳුවත්තේ පස්වැනි පටුමගේ පිහිටි සිය නිවසට කැඳවූයේ ඉකුත් අඟහරුවාදාය. ‘‘ලෝකයම අද තරුණයන්ගේ අතට පත් වෙලා. තාක්ෂණ දියුණුවත් සමග හැමෝම තරුණයන් දෙස තමයි බලන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම තරුණයන්ට ඉදිරියට එන්න අතහිත දුන්න පක්ෂයක්. මෙවරත් මම අපේක්ෂා කරනවා අපේ පක්ෂය යළිත් තරුණයන්ට බාර දෙන්න. ඔයාලා ඒ වගකීම ගන්න ඕනේ. නායකයා කීවේය.

පැමිණ සිටි තරුණ පිරිස් ඩිජිටල් සාමාජික බඳවාගැනීමේ ඇප් මෘදුකාංගය සකස්කොට තිබූ අතර පක්ෂය නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළක් ඔවුන්ටම බාරකිරීමට නායකායා එහිදී කටයුතු කළේය. නව මෘදුකාංගය ඉකුත් බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එළි දැක්විණි. එම අවස්ථාවට එජාප නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඩිජිටල් මෘදුකාංගය ගැන එජාප නිලධාරීන්ට කරුණු පැහැදිලි කළේ දිනුක් කොළඹගේය.

රසායනික පොහොර තහනමට විරෝධය දැක්වීමේ වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය පක්ෂය ආරම්භ කර තිබේ. රටපුරා ගොවිබිම්වලට ගොස් ගොවීන් හමුවීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරයි. ඔහු ඉකුත් දින ගණනාවකම ර​ටේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවීන් හමුවී සාකච්ඡා කළේය. ආණ්‍ඩුවේ රසායනික පොහොර තහනමට එරෙහිව ගොවි උද්ඝෝෂණ සංවිධානය කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කරති. ආණ්‍ඩුවට විරෝධ දැක්වීම සඳහා සමගි ජනබලවේග අඛණ්ඩව ගොවි උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද එම පක්ෂය සඳහන් කරයි.

දිනෙන් දිනම ඉහළ යන බඩු මිල සම්බන්ධයෙන් මේ දිනවල ජනතාව අතර කුකුසක් හටගෙන තිබේ. හාල්, ගෑස් කිරිපිටි, සිමෙන්ති ඇතුළු තවත් භාණ්‍ඩ ගණනාවකම මිල ඉහළ නැංවීම නිසා ජනතාව පීඩාවට පත්ව ඇතැයි විපක්ෂයේ දේශපාලනඥයෝ පවසති. මේ අතර මිල ඉහළ නැංවුව ද ගෑස් කිරිපිටි ඇතුළු භාණ්ඩ ගණනාවකම හිඟයක් තිබෙන අතර ඒ පිළිබඳව ද ආණ්‍ඩුවට එරෙහි විරෝධතා මතුවෙමින් ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

කස්තුරි



අදහස් (0)

පළාත් සභා ඡන්ද උණුසුම

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ආණ්ඩුවට ඉතිහාස පාඩමක්
2025 පෙබරවාරි මස 08 278 0

‘‘පාර රාජ්‍යය පරාජය නොකළහොත් ලුමුම්බාගේ, සුකර්ණෝගේ, අයන්ඩේගේ ආණ්ඩුවලට වූ දේ මෙහිද වනු ඇත.’’ මේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය


ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි
2025 පෙබරවාරි මස 07 2627 4

මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 229 2

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 927 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 362 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක
2025 පෙබරවාරි මස 06 179 0

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 845 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site