මේ වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරන ලද පුනරාවර්ථන වියදම රුපියල් කෝටි 27,250කි. මූල ධන වියදම රුපියල් කෝටි 602කි. අමාත්‍යාංශ 54ක පුනරාවර්ථන මුදල් යටතේ වැඩිම මුදල් වෙන් කර ඇති අමාත්‍යාංශ අතුරින් 6 වැනි ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයයි. මූල ධන වියදම් යටතේ වැඩිම මුදල් වෙන් කළ අමාත්‍යාංශ අතරින් 12 වැනි ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවී ඇත. පිරිසුදු හා විවෘත මානසිකත්වයකින් යුතු ළදරුවකු වැඩදායක පුරවැසියකු ලෙස සමාජගත කිරීම සඳහා ඔවුන්ගේ දැනුම හා ශිල්පීය නිපුණතාව වර්ධනය කරගත යුතුය. මෙය අධ්‍යාපනයකින් බලාපොරොත්තු වන මූලික හරයයි. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී අල්ලස, පගාව ගත් බවට ඇති චෝදනා සුපුරුදුය. එහෙත් දැන් අලූත් චෝදනාවක් ඉදිරිපත් වී ඇත. එනම් දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට පැමිණෙන මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ දරා ඇති ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පිළිබඳවය. මේ වන විට පාසල් 25කට පමණ මෙවැනි චෝදනා ඉදිරිපත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප‍්‍රකාශ කළේය. පළමු වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද විශාලම ප‍්‍රශ්නයකි. මුදල් ලබා ගැනීම පිළිබඳව ඉදිරිපත් වන චෝදනා ඔප්පු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා සාක්‍ෂි හරියාකාරව ඉදිරිපත් නොවීමයි. පාසල් 1000 වැඩ පිළිවෙළ අවසන් වන විට සිසුන් ඇතුළත් කිරීමේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබේවි. නව අධ්‍යාපන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා එම ඇමති තනතුරට පත්වූ මුල් කාලයේ දී නිතර ප‍්‍රකාශ කළ කරුණකි. මේ නව අධ්‍යාපන පනත රටේ තිස්නව ලක්ෂයක් දූ දරුවන්ට හා ලක්ෂ දෙකහමාරකට අධික ගුරු පිරිසකට බෙහෙවින් බලපාන්නකි. මෙම පනත සකස් කරන්නේ 1935 සිට මේ දක්වා කි‍්‍රයාත්මක වන පනත් ඒකරාශී කරමිනි. උදාහරණයක් වශයෙන් පහත සඳහන් කරන පනත් ඉදිරිපත් කළ හැකිය. වර්ෂ 1939 අංක 31 දරන අධ්‍යාපන පනත හා ඊට අදාළ සංශෝධන පනත් කෙටුම්පත්, ආධාර ලබන පාසල් පිළිබඳ පනත හා එම පනතේ සංශෝධන කෙටුම්පත්, විභාග පනත, පිරිවෙන් පනත, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පනත, ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත, පාසල් සංවර්ධන මණ්ඩල පනත සහ යුනෙස්කෝ ප‍්‍රඥප්තිය මගින් කි‍්‍රයාත්මක කරන විවිධාකාර එකඟතා යනාදී වශයෙන් අධ්‍යාපනයට අදාළ පනත් විශාල ප‍්‍රමාණයකි. මෙම පනත් පිළිබඳ අවබෝධයක් නොමැතිවීම, බොහොමයක් පනත් යල් පැනගිය ඒවා වීම හා අදට නොගැලපීම යනාදී කරුණු නිසා අනවශ්‍ය දෑ ඉවත් කර කාලානුරූප පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙහි අරමුණවී තිබිණි. මෙම පනත් කෙටුම්පතේ වර්තමාන තත්ත්වය කුමක්දැයි විමසා බැලූවෙමි. අධ්‍යාපන ඇමැති  බන්දුල ගුණවර්ධන මහතා: පාසල්වල විනය ආරක්‍ෂා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනටමත් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කළා. මෙවැනි සිදු වීම් ඔප්පු වන්නේ නම් කිසිදු තරාතිරමක් නොබලා ඒ අයට දඬුවම් ලබා දී තිබෙනවා. ඉදිරියටත් එය එසේමයි. මෙම පනත් කෙටුම්පත දැන් නීතිපතිවරයාට ඉදිරිපත්කර තිබෙනවා. අවශ්‍ය සංශෝධන නිසි ලෙස සකස් කර තිබියදී, එය ප‍්‍රමාදවන බවට චෝදනා කරන්නේ ද්වේශයෙන් බව කිව යුතුයි. පනතක් ඉදිරිපත් කෙරෙන ක‍්‍රමවේදයක් තියෙනවා. ඉන් බැහැරව කටයුතු කළ නොහැකියි. නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නේ නිවැරදි දේ වඩාත් නිවැරදිව කිරීමටයි. මේ රජය පොරොන්දු ඉටුකරන රජයක් බව අමතක නොකළ යුතුයි. මෙම නව පනත් කෙටුම්පත නිසි පරිදි කි‍්‍රයාත්මක වේවි. ප‍්‍රශ්නය වී තිබෙන්නේ චෝදනා ගැන කතා කරන වැඩි දෙනා ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියේ පැමිණිලි නොකිරීමයි. වඩාත්ම බරපතළ ප‍්‍රශ්නය ජාතික පාසල්වල පළමු වැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමයි. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී පාසල් කීපයකට පමණක් ඇති තරගකාරිත්වය වැළැක්වීමට සියලූ පහසුකම් ඇති පාසල් 1000ක් පිහිටුවීමේ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙනවා. සියලූ පහසුකම් ඇති පාසල් 1000ක් පිහිටුවීමේ වැඩ පිළිවෙළ සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා. මේ වන විට පාසල් 300ක් සංවර්ධනය කෙරෙමින් පවතිනවා. එම පාසල්වලට තොරතුරු තාක්‍ෂණ ගුරුවරු 1000ක් බඳවා ගැනීම මේ මාසයේ දී අවසන් වේවි. විද්‍යා, ගණිත ගුරුවරු හා ඉංග‍්‍රීසි ගුරුවරු 2000ක් බඳවා ගැනීම ලබන මස අවසන් වේවි. මේ සියලූ උපාධි ගුරු පත්වීම් පාසල් පාදක කරගෙන කරනවා. ගුරුවරුන් මාරුවී යාමෙන් පාසල්වල යළි පුරප්පාඩු ඇති වීම වැළැක්වීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ගෙන යාමටත් හැකි වන සේ මෙම ගුරුවරු බඳවා ගන්නේ වසර 5ක් මාරු වීම් නොඉල්ලන කොන්දේසිය මතයි. මීට අමතරව තොරතුරු තාක්‍ෂණය, භාෂාව හා ගණිතය සඳහා වෙන වෙනම ඒකක පිහිටුවනවා. මේ සඳහා දෙමහල් ගොඩනැගිලි සකස් කරනවා. අධ්‍යාපන පනත් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට යෝජනා ඉදිරිපත් කෙරෙනවා. ඇමැතිවරයා කියයි. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා:- මෙම නව අධ්‍යාපන පනත සකස් කිරීම අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රසිද්ධියට කරන ලද ප‍්‍රකාශයක් ලෙස සඳහන් කළ හැකියි. එයට හේතුව නම් අදාළ පනත් කෙටුම්පත කි‍්‍රයාත්මක කිරීම අද වනවිට නොකෙරෙන තත්ත්වයට පත්ව තිබීමයි. පනත කි‍්‍රයාත්මක කරනවා වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා විවිධ තීන්දු තීරණ හිතුමතේ කි‍්‍රයාත්මක කරන බවක් පෙන්නුම් කරනවා. පාසල් 1000 වැඩපිළිවෙළ, විෂය මාලා සංශෝධනය යනාදී වශයෙන් ඇමතිවරයාට අවශ්‍ය පරිදි තීන්දු ගනිමින් සිටිනවා. නමුත් මෙම නව පනත සකස් කිරීම පිළිබඳව දැන් කිසිදු ප‍්‍රතිචාරයක් නැහැ. පනත සකස් කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිසම මගින් විශාල මුදලක් වැය කර ඇත. විවිධ පුද්ගලයන් ගෙන්වා අදහස් විමසා සකස් කරන ලද කෙටුම්පත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කර ඇතත් දැන් එය ද රැස් නොවන තත්ත්වයක පවතී. ඇමතිවරයා බලයට පැමිණියේ කිසිදා වෙනස් නොවන පනතක් ගෙන එන බව ප‍්‍රකාශ කරමිනි. එහෙත් දැන් පනත වෙනස් කිරීම වෙනුවට සිදුවන්නේ ඇමතිවරයාට කැමති පරිදි අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීමයි.
සටහන - දයාසීලි ලියනගේ
     

වැඩ සටහනම අසාර්ථකයි

(සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි.)
පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ අසාර්ථකයි. මේ වනවිට තෝරා ගත් පාසල් බොහොමයක් මෙම වැඩ සටහනෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. එයට හේතුව වූයේ එම පාසල්වල ප‍්‍රාථමික පන්ති ඉවත් කිරීම පිළිබඳව පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම්වලින් ඉදිරිපත් වී ඇති විරෝධයයි. එම ප‍්‍රාථමික පන්තිවල ළමයින්ට විකල්ප පාසල් ලබාදීමේ ක‍්‍රමය විධිමත් වූයේ නැහැ. දැනට මෙම වැඩපිළිවෙළ යටතේ ආරම්භ කළ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වැඩකටයුතු අවුල් සහගතවී තිබෙනවා. එයට ප‍්‍රධාන හේතුව නම් ප.ව. 3.00 දක්වා ගුරුවරුන්ට සේවය කිරීමට සිදුවීමයි. එම ගුරුවරුන් දැඩි පීඩාවකට පත්වී සිටිනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හා උසස් පෙළ විභාගයෙන් ඉහළට ලකුණු ලබාගත් සිසුන් මෙම පාසලට ඇතුළත් කරන බව ප‍්‍රකාශ කළත්, එහි ඇතුළත් කර ඇති ළමයින් වැඩි දෙනා අවම ලකුණු ලබා ගත් අය බව වාර්තා වුණා. දෙමාපියන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් ලබා ගැනීම නිසා ඔවුන් දැඩි කළකිරීමට පත්වී සිටිනවා. මෙම පාසල ආරම්භ කිරීමේ දී බලාපොරොත්තුවූ බොහොමයක් කරුණු ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙනවා. එම පාසල තුළ විශේෂ සංස්කෘතියක් බිහි කිරීමට ගත් උත්සාහය ද අසාර්ථකවී තිබෙනවා. එයට හේතුව නම් ආරම්භයේ දී ඇති කරගත් සාර්ථක මානසිකත්වය මේ වනවිට දුර්වල වී තිබීමයි. තවත් කරුණක් වී ඇත්තේ මෙම පාසල් එකවර ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමතිවරයා ක‍්‍රියා කිරීමයි. විදේශ ආධාර මත ක‍්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ වසරින් අවසන් කිරීමට ගන්නා උත්සාහය නිසායි මේ අසාර්ථක බව ඇතිවී තිබෙන බව පෙනීයන්නක්. ඉසුරු පාසල්, නවෝදය පාසල් ආදී වශයෙන් විවිධාකාර නම්වලින් හැඳින්වූයෙන් මෙවැනි පාසල් සංවර්ධන වැඩ සටහන්. ඒවා බලයේ සිටි අය සමගම අභාවයට ගියා. චක‍්‍රලේඛයකින් අවුලක්. පාසල් 1000 වැඩ පිළිවෙළ දැනටමත් විහිළුවක් වී ඇති බව දැනගන්නට තිබේ. දුෂ්කර පාසල් වසා දැමීමේ උත්සාහයක් මෙමගින් දැනෙන බව කියති. මෙම වැඩ සටහන යටතේ තෝරා ගන්නා පාසල්වලින් ප‍්‍රාථමිකව ඉවත් කිරීමට තීරණය කර තිබූ අතර අප අලූතෙන් යවන ලද චක‍්‍රලේඛයකට අනුව මෙම වැඩ සටහනට තෝරා ගන්නා ලද පාසල්වල ප‍්‍රාථමික අංශය වෙනමම පැවැත්වීමට තීරණය කර තිබේ. එවිට ප‍්‍රාථමික අංශයෙන් වෙන්ව යන දරුවන් ද්විතියික පාසලට අනිවාර්යයෙන්ම ගතයුතු වේ. එහෙත් මෙතැනදී එක් පාසලකට පෝෂිත පාසල් හතරක් බාර දෙනු ලබන නිසා මෙම ප‍්‍රාථමික පන්තිවල සිසුන්ට ද්විතියික අධ්‍යාපනය හැදෑරීමට නිශ්චිත ස්ථානයක් අහිමි වේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නවෝද්‍ය නමින් ආරම්භ කළේත්, සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඉසුරු පාසල් නමින් ආරම්භ කළේත් මෙම වැඩ පිළිවෙළමයි.පාසල් 1000 තවම නියමලෙස තෝරාගෙන නැහැ. නිලධාරී අකාර්යක්ෂමතාව නිසා, මේ වැඩ සටහන මුළුමනින්ම විහිළුවක් වෙලා