IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පරිත්‍යාග රැසක් සිහිකරන හජ් වන්දනාව

ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (17) යෙදී ඇත. මෙම ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් ධර්මය අදහන බැතිමතුන් අනිවා‌ර්යයෙන්ම ඉටු කළ යුතු ප්‍රධාන වගකීම්  පහ අතුරින් අවසන් වගකීම  ලෙස හජ් වන්දනය ඉටු කිරීම සඳහන් කර තිබේ. මෙයින් අදහස් වන්නේ ඉස්ලාම් ධර්මය අදහන සියලු‍ දෙනාම හජ් වන්දනය අනිවා‌ර්යයෙන්ම ඉටු කළ යුතු බවය. එසේ වුවද හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් සහ ශරීර සෞඛ්‍ය ඇති අයටයි.

හජ් වන්දනය යනු ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් මුහම්මද් නබි තුමාණන් මෙන්ම ඉස්ලාමයේ අනෙකුත් නබිවරුන්  ඉපදී ආගමික ප්‍රචාර සිදු  කළ දේශය වන සෞදි  අරාබියට ගොස් එම ‌ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමයි. මෙම භූමියේදී විශේෂ යාඤාවන් කිරීම මගින් තමන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන බවද ඉස්ලාමය කියයි.

හජ් වන්දනය ඉටු කිරීම සඳහා මක්කා සහ මදීනා නගර ඇතුළු ඓතිහාසික ප්‍රදේශවලට යන  බැතිමතුන් මේ හජ් වන්දනය ගැන යම් කිසි දැනුමක් ලබා ගැනීම අනිවාර්යය.

ඉස්ලාමීය බැතිමතෙකු පිළිපැදිය යුතු නැත්නම් අනිවා‌ර්යයෙන්ම ඉටු කළ යුතු වගකීම් පහකි. ඒ අතර පළමු වැන්න වනුයේ විශ්වාසයයි. අල්ලා දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබිතුමා ගැන විශ්වාස කිරීම වන අතර දෙවැන්න පස් වේල් සලාකය ඉටු කිරීමත් තුන්වැන්න රමලාන් මාසයේ උපවාසය සුරැකීමත් හතර වැන්න සකාත් නම් වන දුගී බද්ද ගෙවීමත් වන අතර පස් වන සහ අවසන් වගකීම ලෙස හජ් වන්දනය ඉටු කිරීම  සඳහන් වෙයි.

හජ් උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වන දිනයේදී පවත්වනු ලබන උත්සවයයි. මෙය හජ් වන්දනය හෙවත් ලෝකයේ නන් දෙස සිට සෞදි අරාබියේ මක්කම නගරයට යන ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් හජ් වන්දනය අවසන් කළ දිනයේදී පවත්වනු ලබන උත්සවයයි.

එය හජ් වන්දනය සඳහා ගිය නොගිය සියලු‍ දෙනාම එක්ව සමරනු ලබයි. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස  10 වන දින හජ් උත්සවය පැවැත්වෙයි.

ඉස්ලාම් ධර්මය මුහම්මද් නබිතුමාණන් පරිපූර්ණ කළ නමුත් එය ලොව පළමු මිනිසා වන ආදම් නබිතුමන්ගෙන් ආරම්භ වූ බව ඉස්ලාමය කියයි. මෙම  දීර්ඝ ගමනේදී  වසර 5000 කට පමණ පෙර සමාජයට යහ මාර්ගය පෙන්වීම සඳහා බිහි වූ නබි ඉබ්‍රාහිම්තුමන්ගේ සහ එතුමන්ගේ පුත් නබි ඉස්මයිල්තුමන්ගේ ද ජීවිත කාලයේදී සිදු වූ  සිදුවීම් සිහි කිරීමද මෙම හජ් වන්දනයේ ප්‍රධාන අරමුණය.

නබි ඉබ්‍රාහිම්තුමන් යනු  ශුද්ධ වූ කහ්බා දේවස්ථානය මිහි මත නැවත ස්ථාපිත කළ නබිවරයාණෝය. එතුමන්ගේ ජීවත කතාව සහ හජ් උත්සවය අතර ඍජු සම්බන්ධතාවක් පවතී.  නබි ඉබ්‍රාහිම්තුමන් විවාහව සිටියේ හාජරා මවු තුමිය සමඟයි. මෙම දෙපළට දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් නොසිටි අතර එතුමන්ට වයස අසූවේදී පුත් කුමරකු ලැබිණ. ඔවුහු එම කුමරාට ඉස්මයිල් ලෙස නම් තැබූහ.

කාලයක් ගත වෙද්දී කුඩා පුත් කුමරා ඇවිද දිව යන කාලය එළැඹෙද්දී ඉබ්‍රාහිම් නබිතුමන්ට දේව පරීක්ෂාවන් රැසකට මුහුණ දීමට සිදු විය.  ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් එතුමන් කළ කැපකිරීම් සිහි කිරීම වෙනුවෙන්ම මෙම හජ් උත්සවය වෙන් කර ඇති බව ශුද්ධ වූ කුරාණයේද සඳහන් වෙයි.

ඉස්මයිල් කුමරා කුඩා බිලිඳකුව සිටියදී දෙවියන් වහන්සේගෙන් නියෝගයක් ඉබ්‍රාහිම් නබිතුමන්ට ලැබිණ. එයින් කියැවුණේ තම කුඩා බිලිඳා සහ මවු හාජරාතුමියද සමඟ කාන්තාරයට රැගෙන ගොස් තනි කර එන ලෙසයි. එම දේව අණ අනුව නබි ඉබ්‍රාහිම්තුමන් සිය බිලිඳා රැගෙන එන ලෙස හාජරාතුමියට පැවසූහ. ඒ අනුව ගහක් කොළක් ජල බිඳක් නැති කාන්තාරයේ බිලිඳා සහ මව තනි කර ඉබ්‍රාහිම් නබිතුමන් පෙරළා පැමිණියහ.

හාජරා මවුතුමිය  බිලිඳා වඩාගෙන ඔබ මොබ ඇවිදිමින් සිටියදී කුඩා  බිලිඳා ජලය ඉල්ලා කෑගසන්නට විය. ජල බිඳක් නැති කාන්තාරයේ මවු හාජරාතුමිය කෙසේ නම් ජලය හොයන්නද? ඇය සිය බිලිඳා කාන්තාරයේ තනි කර දෙපැත්තෙන් දිස් වන සෆා මර්වා යනුවෙන් හඳුන්වනු ලබන කඳු ගැට දෙක අතර එහා මෙහා දිව යමින් බිලිඳාට ජල බිඳක් සොයා ගියාය.

ඒ ක්ෂණයෙන් බිලිඳාගේ දෙපා මුලින් මහ විශාල උල්පතක් මතු වී ජලය ගලා යන්නට විය. එම ජල කඳ දැක මවු හාජරාතුමිය සම් සම් යැයි පැවසුවාය. එහි තේරුම ‘නවතින්න  නවතින්න’  යනුවෙනි. එම ජලයෙන් කුඩා බිලිඳාගේ පිපාසය නිවා ගැනීමට හැකි විය .  ඕනෑම රෝගයක් සුව කිරීමට සමත් ඔසුවක් ලෙස මුස්ලිම් ජනතාව අතර අදත් ප්‍රසිද්ධ මෙම  සම් සම් ළිං ජලය අද ද ලෝකය පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව සිය නිවෙස්වලට රැගෙන යමින් සිටිති.

කුඩා ඉස්මයිල් කුමරු ළමා වියට එ‌ළැඹීමත් සමඟ නබි ඉබ්‍රාහිම්තුමන්ට තවත් දේව අණකට කීකරු වන්නට සිදු විය. එවිට එතුමන්ට ලැබුණේ තම කුඩා ඉස්මයිල් කුමරා කැලයට රැගෙන ගොස් දෙවියන් වෙනුවෙන් බිලි දෙන ලෙසයි. එයටද අවනත වූ ඉබ්‍රාහිම් නබිතුමා පුත් කුමරාද කැටුව කැලයට යමින් දෙවියන් වහන්සේට කීකරු වී සිය එකම කුමරා  බිලි දෙන්නට සූදානම් විය.  ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ  දැනුම් දීම අනුව එම ස්ථානයට දෙව් ලොව සිට එවනු ලැබූ එළුවකු දෙවියන් වෙනුවෙන්  කුර්බාන් කිරීම මගින් එම වගකීම ඉටු කිරීමට හැකි විය.

මුස්ලිම් ජනතාව අදත් හජ් උත්සවය සමයේ කුර්බාන් නමින් හඳුන්වනු ලබන සත්ව මාංශ දානය ලබා දෙනු ලබන්නේ මෙම සිදුවීම සිහි කිරීම සඳහාය. ඉස්ලාමය සත්ව ඝාතනය ආගමිකව පවරා ඇති එකම අවස්ථාව මෙය වෙයි.

හජ් උත්සවය පවත්වනු ලබන්නේ සෞදි අරාබියේ මක්කම සහ ඉස්ලාමයේ නබිවරුන් ජීවත් වූ ප්‍රදේශ මුල්කරගෙනයි. ලෝකයේ නන් දෙස සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවරද හජ් වන්දනය ඉටු කරමින් සිටිති. පරිත්‍යාගය, සාමය සහ සහජීවනය මුල් කර ගෙන පවත්වනු ලබන මෙම හජ් උත්සවය වෙනුවෙන් සියලු‍ දෙනාට සුබ පතමු. සියලු‍ දෙනාට ඊද් මුබාරක්.

(*** මොහොමඩ් ආසික්)



අදහස් (0)

පරිත්‍යාග රැසක් සිහිකරන හජ් වන්දනාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 142 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1082 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site