වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතාව හා සමුපකර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළකර ඇති ඔහුගේ වත්කම් ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ, විශේෂයෙන්ම විරුද්ධ පක්‍ෂවල කතාබහට ලක්වී ඇත.
ඒ ඔහුගේ වත්කම්වල වටිනාකම රුපියල් කෝටි විසි හතහමාරක් පමණ වන බව ඉන් කියැවෙන හෙයිනි. විවේචකයන් ප්‍රශ්න කරන්නේ නිර්ධන පන්තියේ පක්ෂයක නායකයකු සතුව මෙතරම් විශාල ධනයක් තිබිය හැකි ද යන්නයි.
එසේම තමා ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කරද්දී පූර්ණ කාලීන සාමාජිකයන් නඩත්තු කිරීමේ ජවිපෙ පිළිවෙත අනුව ඇතැම් ප්‍රදේශවලදී ජවිපෙ සාමාජිකයන් හා ආධාරකරුවන් තමන්ට විටෙක සහල් ටිකකින් හෝ කෙසෙල් කැනකින් හෝ ආධාර කරන බව සමරසිංහ මහතා ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.
එයද දැන් ඇතැම්හු ප්‍රශ්න කරති. ජවිපෙ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළද සාපේක්‍ෂව විශාල ධනයකට හිමිකම් කියන පුද්ගලයකු වශයෙන් සමරසිංහ මහතා දුප්පත් පක්ෂ සාමාජිකයකුගෙන් සහල් ටිකකින් හෝ කෙසෙල් කැනකින් ආධාර ලබා ගැනීම සදාචාරාත්මකදැයි ඔවුහු අසති.
එසේම ජාතික ජන බලවේගයේ නායකයන් වන විදේශ කටයුතු ඇමැති විජිත හේරත්. වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ වැනි කිහිප දෙනකුගේ වත්කම් ගැන ද විරුද්ධ පක්ෂවල ඇතැම් පිරිස් ප්‍රශ්න කරති.
එහෙත් ප්‍රශ්නය නම් මෙම වත්කම් විස්තර ජාතික ජනබලවේගයේ අදාළ පුද්ගලයන් සඟවාගෙන සිටියදී විරුද්ධ පක්ෂයේ පිරිස් හෝ ජනමාධ්‍යවේදීන් හෝ සොයාගත් ඒවා නොවීමයි. ඒවා ඔවුන්ම අල්ලස් හෝ දූෂණ කොමිසමට නියමිත පිළිවෙත් අනුගමනය කරමින් බාර දෙන ලද විස්තරයි.
වසන්ත සමරසිංහ මහතා පවසන්නේ තමන් ප්‍රකාශයට පත් කර ඇති වත්කම්වලින් වැඩි කොටසක් තමන්ට පවුලෙන් උරුම වූ ඒවා බවය. ඉතිරි ඒවා තමන් එම වත්කම් වැඩි දියුණු කර හා තමන් අලුතින් ලබාගත් වත්කම් බවයි. එය එසේ නොවේ යැයි මෙතෙක් විරුද්ධ පක්ෂයේ කිසිවකු පවසා නැත.
අනෙක් අතට තම පක්ෂයේ වසන්ත සමරසිංහ හා විජිත හේරත් යන දෙදෙනාට පවුලෙන් හා විවාහයෙන් විශාල ධනයක් ලැබී ඇතැයි මීට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පැවැසීය. සමරසිංහ මහතා තඹුත්තේගම විශාල වශයෙන් ඉඩම් හිමි පවුලකින් පැවැත එන බවත් විජිත හේරත් මහතාගේ බිරියද එසේම ඉඩම් හා වෙනත් ධනය හිමි පවුලකින් පැවැත එන බවත් ඔහු එහිදී සඳහන් කළේය. නාරාහේන්පිට අභයාරාමය පිහිටි ඉඩම ද හේරත් මහතාගේ බිරියගේ පවුලේ අය විසින් දෙන ලද්දක් බවද දිසානායක මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවැසීය.
නියෝජ්‍ය ඇමැති හේවගේ මහතාගේ වත්කම් ප්‍රකාශය අනුව ඔහුට ලක්ෂ විසි හතරක් වටිනා ඉඩමක් ද බැංකු ගිණුමක ලක්ෂ විසි දෙකක් ද ඇති බව සඳහන්ය. එම මුදල්වලින් කොටසක් තම දියණියගේ උත්සවයකදී ලැබුණු ත්‍යාග මුදල් බව ද ඔහු ජනමාධ්‍යයට පවසා තිබිණි. දියණියට ලැබුණු එම ත්‍යාග මුදල කොපමණද තමන්ගේ මුදල් ප්‍රමාණය කොපමණදැයි ඔහු එහිදී වෙන්කොට පවසා තිබුණේ නැත.
විරුද්ධ පක්ෂ ජාතික ජනබලවේගයට එරෙහි තම විවේචන අතිශයෝක්තියෙන් කරන්නට ගොස් එම විවේචනවල බර හෑල්ලු කර ගනී. තමන්ට ආචාර්ය උපාධියක් ඇති බව හිටපු කතානායක අශෝක රන්වල මහතාට ඔප්පු කළ නොහැකි වූ විට ජාතික ජනබලවේගයේ සිටින්නේ බොරු උගතුන් යැයි විපක්ෂය එම ප්‍රශ්නය සාමාන්‍යකරණය කළේය.
දැන් වත්කම් පිළිබඳ ප්‍රශ්නය ද ඔවුහු සාමාන්‍යකරණය කරමින් ජවිපෙ නායකයන් කෝටිපතියැයි කියති. සත්‍යය නම් ජවිපෙ හා ජාතික ජන බලවේගයේ සිටින අති බහුතරය වෙනත් පක්ෂවල මෙන්ම සාමාන්‍ය පවුල්වල හා ආර්ථික වශයෙන් පහළ ස්ථරයේ පිරිස්ය. වෙනත් පක්ෂවල තරම් නොවූව ද තැනෙක දෙකක වත්කම් ඇති අය ද මෙම පක්ෂ දෙකේ සිටිති.
මෙය අලුත් දෙයක් නොවේ. ජවිපෙ ඉතිහාසයේ මුල සිටම මෙවැනි වත්කම් ඇති පුද්ගලයන් එම පක්ෂයට සම්බන්ධව සිට ඇත. උදාහරණයක් වශයෙන් තංගල්ලේ, විතාරන්දෙණියේ විජිත රණවීර මහතා 1971 කැරැල්ලට පෙර සිටම ජවිපෙ ක්‍රියාකාරිකයෙක් විය. ඔහු ජවිපෙ අපේක්‍ෂකයකු වශයෙන් මැතිවරණවලටද ඉදිරිපත් විය. ඔහු ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහුට හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් එම පක්ෂයේ ආධාරකරුවෝ වූහ. 1971 කැරැල්ලේ ප්‍රධාන නඩු විභාගයේ සැකකරුවන් 41 දෙනා අතරද සාපේක්‍ෂ වශයෙන් සැලකිය යුතු වත්කම් හිමි පුද්ගලයෝ සිටියහ.
නිර්ධන පන්තියේ පක්ෂයැයි හැඳින්වුවද ලෝකයේ බොහෝ රටවල නිර්ධන පන්ති දේශපාලනයේ නායකයන් වූයේ ධනවත් පුද්ගලයෝය. නිර්ධන පන්ති දේශපාලනයේ එනම් මාක්ස්වාදයේ පියා වශයෙන් සැලකෙන කාල් මාක්ස් ආචාර්ය උපාධියක් ඇත්තෙක් විය. ඔහුගේ පියා එවක මධ්‍යම පාන්තික නීතිඥයකු මෙන්ම මිදි වතු හිමියෙක් විය.
මාක්ස්වාදී සිද්ධාන්ත හා න්‍යාය ගොඩනගා වැඩි දියුණු කිරීමේදී මාක්ස් සමග එක්ව සිට කටයුතු කළේ ජර්මන් ජාතිකයකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ය. ඔහුගේ පියා ජර්මනියේ 19 වැනි සියවසේ විසූ රෙදිපිළි කර්මාන්ත ශාලා හිමියෙක් විය. එංගල්ස්ද ව්‍යාපාරිකයකු වූ අතර ඔහු මාක්ස්ගේ දේශපාලන කටයුතුවලට හවුල් වූයේ එසේ සිටියදීමය. අවසාන කාලයේදී මාක්ස් නඩත්තු වූයේ ද එංගල්ස්ගේ වත්කම්වලින් යැයි කියවේ.
එම මාක්ස්වාදය අනුව දේශපාලන පක්ෂයක් ගොඩනගා රුසියාවේ මහා බලගතු සාර් රජුගේ පාලනය මෙන්ම ඉන්පසු මාස තුනක් පමණ කටි කාලයක් බලයේ සිටි කෙරෙක්ස්කිගේ පාලනය පෙරළා දමා 1917 දී ලෝකයේ පළමු සමාජවාදී රාජ්‍යය ගොඩනැගූ ව්ලැඩ්මීර් ලෙනින් ද දුප්පතෙක් නොවීය. නීති වෘත්තියේ නොයෙදුණද ලෙනින් ද නීති උපාධිධරයෙක් විය. ඔහුගේ පියා රදළයකු වූ අතර මවද ධනවත් කාන්තාවක් වූවාය. ඔහුගේ පියා රුසියාවේ එක් ප්‍රාන්තයක පාසල් 450ක් භාරව කටයුතු කළ අධ්‍යාපන නිලධාරියකු විය.
රුසියාව මෙන්ම ලෝක බලවතකු වී සිටින චීනය වැඩවසම් තත්වයෙන් මුදාගෙන, සමාජවාදී ආර්ථිකය හඳුන්වාදී, යුද බලවතකු බවටද පත් කර 1949 සිට 1976 දක්වා ඒ රට පාලනය කළ මාඕසේතුං (පසුව මාඕ සෙඩොං) මුලදී පීකිං විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති විය. ඔහුගේ පියා මුලදී දුප්පත්ව සිට පසුව ධනවත් ගොවියකු බවට පත්විය.
ෆිඩෙල් කැස්ට්‍රෝ යනු කියුබාවේ සමාජවාදී පාලනයක් ඇති කළ යුතුයි සිතා 1950 ගණන්වලදී එවක එරට සිටි ආඥාදායකයකු වූ ෆුල්ගෙන්සියෝ බැටිස්ටාට එරෙහිව අවි අතට ගෙන සටන් කළ ව්‍යාපාරයේ නායකයාය. ඔහුද දුප්පතෙක් නොවන්නේය. නීතිඥයකු වූ ඔහුගේ පියා එරට සිටි ධනවත් ගොවියෙකි.
මේ සියලු දෙනාම තමන්ගේ අරගල හැඳින්වූයේ නිර්ධන පාන්තික අරගල ලෙසය. එම අරගලවලට සහභාගී වූ අති බහුතරය සමාජයේ පීඩිත පිරිස් වුව ද එම ව්‍යාපාරවල ඉතා සුළු පිරිසක් වත්කම් ඇති අය වූහ. එසේ වුවද ඔවුන් එම සටන්වලට යොමු කළ චින්තනය හැඳින්වෙන්නේ නිර්ධන පාන්තික චින්තනයක් ලෙසය. ඒ ඔවුන්ගේ චින්තනය පීඩිත ජනතාවගේ සුබසිද්ධිය ඉලක්ක කරගත් එකක් වීම නිසාය.
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයෙන්ද කියැවෙන්නේ මෙවැනිම කතාවකි. 1935දී ගොඩනගන ලද මෙරට මුල්ම වාමාංශික පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ සමාරම්භකයන් වූවෝ පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ වන්නෝය. මෙම පිරිස මාක්ස්වාදය තම දේශපාලන දර්ශනය වශයෙන් තෝරා ගත්තේ උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවට සහ එංගලන්තයට ගොස් සිටියදීය. 1930 ගණන්වලදී උසස් අධ්‍යාපනය සඳහා එම රටවලට යන්නට හැකි වූයේ මෙරට ඉහළ පැළැන්තියේ පවුල්වල ළමයින්ට පමණි.
වසන්ත සමරසිංහ වැන්නන් ජවිපෙ තුළ දේශපාලන වශයෙන් ක්‍රියා කිරීම ප්‍රශ්නයක් වන්නේ නම් ඒ ලෝකයේ බොහෝ රටවලත් මේ රටේත් වාමාංශික පක්ෂවල ඉතිහාසය නොදන්නා අයට පමණි.
කෙසේ වෙතත් වසන්ත සමරසිංහ, නලින් හේවගේ වැනි නායකයන්ගේ වත්කම් ප්‍රකාශවලින් නිර්ධන පන්ති දේශපාලනයට ඇති නොගැළපීමක් හෝ නීතිමය ප්‍රශ්නයක් හෝ මතු නොවුවද සදාචාරමය ප්‍රශ්න නම් මතුවන බව පෙනේ. එකක් නම් සමරසිංහ මහතා ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයකු වශයෙන් කටයුතු කරද්දී ඔහුට වඩා විශාල වශයෙන් අඩු ආදායම් ලබන පක්ෂ සාමාජිකයන්ගෙන් ලැබෙන ස්වේච්ඡා ආධාර පිළිගැනීමය. ඔහු ඒවා පක්ෂ කාර්යාලයට බාර දෙන බව යමකු පවසා තිබිණි.
එසේම සමරසිංහ මහතා තමන් සතුව ක්‍රිප්ටෝකරන්සි යම් ප්‍රමාණයක් ඇති බව සිය වත්කම් ප්‍රකාශනයේ සඳහන් කර ඇත. මෙම වර්ගයේ මුදල් පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති නැති බවත් එහෙයින් ඒවා නීත්‍යනුකූලද නැද්ද යන්න කිව නොහැකි බවත් එහෙත් ඒවා මුදල් විශුද්ධිකරණය සඳහා යොදා ගත හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා පවසයි. එය බරපතළ ප්‍රකාශයක් වන හෙයින් තමන් සතු එම මුදල්වලින් මුදල් විශුද්ධිකරණයක් සිදු වූවාද යන්න ගැනත් එවා තවදුරටත් තබා ගන්නේද යන්න ගැනත් සමරසිංහ මහතා රටට පැහැදිලි කළ යුතුය. ඒ ඔහු දූෂණය පිටු දකින පක්ෂයක නායකයකු වන හෙයිනි.
එසේම නලින් හේවගේ මහතා තමන් සතු රුපියල් ලක්ෂ 22ක මුදලින් කොටසක් තම දියණියට ලැබුණු මුදල් යැයි කියයි. ඒ අතරම තම ගිණුමේ මුදල් දියණියගේ මුදල් යැයිද වරෙක කියයි. එසේ නම් එම ලක්ෂ 22න් වැඩි කොටසක් දියණියට ලැබුණු මුදල් විය යුතුය. එවැනි විශාල මුදලක් ත්‍යාග වශයෙන් ලැබිය හැකිද යන ප්‍රශ්නය මතුවේ. ඇතැම් ජාජබ මන්ත්‍රීවරුන් තමන්ගේ දේපළවල වටිනාකම් දැක්වීමේදී ඒවා මිලදී ගත් මිල ගණන් අනුව එම වටිනාකම් ගණනය කර ඇතැයිද චෝදනාවක් එල්ල වේ. එසේ වී ඇත්නම් එහිදී ද පැහැදිලිවම සදාචාරමය ප්‍රශ්න මතුවේ.
මේවා ගැන ජනතාවට ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇත. ජනතාව පුද්ගලයන් වශයෙන් එසේ ප්‍රශ්න කරන්නට යන්නේ නැත. එහෙයින් ජනතාව වෙනුවෙන් එය කළ යුත්තේ ජනමාධ්‍යයි. නැතිනම් සිවිල් සංවිධානයි.
දේශපාලන පක්ෂ ද මේවා ගැන ප්‍රශ්න කළ යුතු වුවද මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ දේශපාලනඥයන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවලට එරෙහි වුවන් හෝ මිනිසුන් ගෑස් හා ඉන්ධන පෝලිම්වල සිටියදී මහජන මුදලින් රුපියල් කෝටි 50ක් පමණ වියදම් කර දේශපාලනඥයන් නිවාස අලුත් වැඩියා කරද්දී එය සාධාරණීකරණය කළ වුන් මෙන්ම මහ බැංකු බැඳුම්කරය සාධාරණය කළෝද වූහ. එසේම රජයේ ඉඩම් අක්කරය රුපියල් 370ට විකුණා ඇති බවටත් රුපියල් 250 එන්නත් රුපියල් 40,000ට ගෙන්වා ඇති බවටත් කෝප් කමිටුව කියද්දීත් නිහඬව සිටි දේශපාලනඥයෝද වූහ. ඉදින් එවැනි වටපිටාවක් තිබුණු රටක වසන්ත සමරසිංහ තමන්ට ලැබුණු කෙසෙල් කැන ගෙන යාම ගැන ප්‍රශ්න කිරීම සාහසික ක්‍රියාවක් බව පෙනී යයි.
(*** එම්.එස්.එම්. අයුබ්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ප්‍රභූ - නිර්ප්‍රභූ මාලිමාවේ වත්කම් - බැරකම්
AK Sunday, 28 September 2025 07:28 AM
කැට සොලවා දුප්පතා රවටමින් ඔවුන්ගෙන් යැපෙන කෝටිපති JVP දේශපාලන නායකයින්ට තවදුරටත් පුරවැසියන් රැවටිය හකිද?
Joni Tuesday, 30 September 2025 11:59 AM
මුන්ගේ කටවල් නෙමෙයි තියෙන්නේ
චමින්ද Tuesday, 30 September 2025 04:22 PM
A S .M වැනි කොලේ වසා ක්‍රීඩා කරන මාධ්‍යවේදීන් ද රටට හෙළිදරව් කලයුතුයි. කොහෙද මොන එන්නත ද 250 එක හතලිස් දහසක් වෙන්නේ...?