ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය වූ කලී එක් අතකින් බලන විට රෝද තුනක් උඩ දුවන වාහනයකට සමාන වේ. වඩාත්ම ජනප්‍රිය සමාජගත භාෂාවෙන් කියනවා නම් ත්‍රී වීලර් එකකට සමාන වේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මෙම රෝද තුන වේ. ආණ්ඩුක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ මෙම රෝද තුන නිසියාකාරව මෙන්ම අවශ්‍ය ආකාරයට කරකැවුණහොත් පමණි. මෙම රෝද තුන නිසි පරිදි කරකැවීමට අවශ්‍ය සුළං ප්‍රමාණය කොපමණද, කොපමණ වේගයකින් ඒවා කරකැවිය යුතුද සහ කවුරුන් එම කරකැවීම කළ යුතුද යන්න පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි.

මේ අනුව බලන විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය අවශ්‍යයෙන්ම ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් වේ. වෙනත් ආකාරයකට කියනවා නම් එයින් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති මාවත උඩ ධාවනය කරන ත්‍රී වීලර් එකකට සමාන වන බවය. යම්හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති මාවතෙන් පිටපැන, එමගින් දක්වා තිබෙන සීමා නොසලකා හරිමින් ත්‍රී වීලරය ධාවනය වන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය නමැති මාවතෙන් පිට පැන එයට ප්‍රතිවිරුද්ධ මාවතක ධාවනය වන බවය. මෙම මාවත හඳුන්වන්නේ ආඥාදායක නැතිනම් ඒකාධිපති මාවත ලෙසය. මෙම කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය නමැති ත්‍රී වීලය දෙස බලන විට එය ධාවනය වෙමින් තිබෙන මාවත කුමක්ද? අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයේ ගමන් මග ගැන උනන්දු වන සෑම අයකුම මතුකරන මූලිකම ප්‍රශ්නය බවට මෙය පත්ව ඇත.

මෙම ප්‍රශ්නයෙන් මතු කරන්නේ ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ගමන් කරනවාද, නැතිනම් එම මාවතෙන් පිට පැන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආඥාදායක මාවතක ගමන් කරනවාද යන්නය. රට තුළ දෛනිකව ප්‍රකාශ වන ජනතා අදහස්වලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙන් පිට පැන වෙනත් මාවතක ගමන් කරමින් තිබෙන බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙන බවය. බොහෝදෙනා මෙම මාවත හඳුනාගෙන තිබෙන්නේ මිලිටරිකරණය පදනම් කරගත් ආඥාදායක මාවතක් හැටියටය. මෙම විශ්වාසයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් රටේ ආණ්ඩුක්‍රමය ආශ්‍රිතව සිදුවන සමහර සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට නොගැළපෙන බවය. නිදසුන් ලෙස රාජ්‍ය පරිපාලනය පවත්වාගෙන යාම සඳහා සිවිල් පරිපාලකයන් වෙනුවට හමුදා නිලධාරීන් පත්කිරීම, සිවිල් පරිපාලනයේ සාම්ප්‍රදායික හස්තයන් වූ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ක්‍රමය යටපත් කොට එයට පටහැනි අයුරින් කාර්ය සාධක බලකා නමැති විධික්‍රමය යොදා ගනිමින් සිවිල් පරිපාලනය ක්‍රියාවට නැංවීම, අගමැති සහ කැබිනට් අමාත්‍යවරුන් පසෙකට තල්ලුකරමින් බොහෝ අවස්ථාවලදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පවරා නැති සමහර විධායක බලතල භාවිතා කරමින් රාජ්‍ය පාලනය හා සම්බන්ධ තීන්දු තීරණ ගැනීම, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකය මත පනවන ලද සීමා නොසලකා හරිමින්  සමහර විධායක බලතල ජනාධිපතිවරයා ක්‍රියාවට නැංවීම, පාර්ලිමේන්තුව නොසලකා හරිමින් විධායකය සහ අධිකරණය මත පමණක් ආණ්ඩුක්‍රම යාන්ත්‍රණය පවත්වාගෙන යාම යනාදී කරුණුවලින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුක්‍රමය නමැති ත්‍රී වීලය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය නමැති ගමන් මාර්ගයෙන් පිට පැන එයට පටහැනි ආඥාදායක මාවතක ගමන් කරමින් තිබෙන ආකාරයයි.     

ආණ්ඩුක්‍රමය තුළ සිදුවෙමින් පවතින මෙම විකෘති භාවයෙන් පෙන්නුම් කරන එක් ප්‍රධාන කරුණක් තිබේ. එනම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරගත් රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙමින් තිබෙන බවය. රටේ ජනතාව 2019 නොවැම්බර් මාසයේ 16 දින පවත්වන ලද ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්කරනු ලැබූයේ මනාප 69,24,255 ක් ලබා දෙමිනි. එය ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 52.25% ක් විය. ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්කරමින් ඉටුකරන ලෙස ඉල්ලා සිටි ඉල්ලීම් රාශියක් විය. මෙයින් ප්‍රධානම එක වූයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙදෙනා යහපාලනය නමැති විකාර රූපී කඩතුරාවට ආවරණය වෙමින් 2015 ජනවාරි මාසයේ සිට පවත්වා ගෙනගිය ආණ්ඩු පාලනයෙන් රට මුහුණ දී තිබුන අනාරක්‍ෂිතභාවයෙන්, දේශපාලන අර්බුදයෙන්, ආර්ථික පසුබෑමෙන් සහ සමාජ ව්‍යාකූලභාවයෙන් රට මුදවාගෙන රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කොට පැනනැගී තිබුන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න විසඳමින් දේශපාලන ස්ථාවරභාවය, ආර්ථික ප්‍රගමනය සහ සමාජ ස්ථාවරභාවය ස්ථාපිත කරන ලෙසය.

 මෙම ප්‍රධාන ඉල්ලීමේ රාමුව තුළ ඉදිරිපත් කළ තවත් ඉල්ලීම් ගණනාවක් විය. ඒවායින් එකක් වූයේ මහබැංකු හොරකමට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් කරන ලෙසය. අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් කරන ලෙසය. රටපුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා යැයි විශ්වාස කළ මුස්ලිම් අන්තවාදයෙන් රට බේරා ගන්නා ලෙසය. ද්‍රවිඩ ඩයස්පෝරාව රට බෙදීම සඳහා ගෙනයන බෙදුම් ව්‍යාපාරයෙන් රට මුදවා ගන්නා ලෙසය. බුද්ධාගමට සහ බෞද්ධ සංස්කෘතියට සිදුවෙමින් පවතින හානියෙන් එය මුදවා ගන්නා ලෙසය. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රට සහ ජනතාව මුදවා ගන්නා ලෙසය. දූෂිත නිලධාරිවාදයෙන් ජනතාවට සිදුවී තිබෙන අසාධාරණකම්වලින් ජනතාව මුදවා ගන්නා ලෙසය. බිඳවැටී තිබෙන සමාජ සාමය සහ සමාජ විනය යළි ස්ථාපිත කරන ලෙසය. පාතාල කල්ලිවලින් අහිංසක ජනතාව බේරා ගන්නා ලෙසය. මේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි දහසකුත් එකක් ඉල්ලීම්වලින් සමහරක්ය. තවත් බොහෝ ඉල්ලීම් ඒ අතර විය.

රටේ පාලකයාගෙන් ජනතාව මෙවැනි ඉල්ලීම් ඉල්ලා සිටීමේ කිසිදු වරදක් නොමැත. එය ඕනෑම ආණ්ඩුක්‍රමයක් තුළ ජනතාවගේ දේශපාලන හැසිරීමේ සාමාන්‍ය සිදුවීම් වේ. එහෙත් මෙම සමහර ඉල්ලීම් බහුවාර්ගික ජන සමාජයක් පවතින දේශපාලන ක්‍රමයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හරහා ඉටුකිරීමට ඇති හැකියාව ගැන ජනතාව සැලකිලිමත් වූයේ නැත.

 ඔවුන් සැලකිලිමත් වූයේ ප්‍රශ්නවලට ක්‍ෂණිකව විසඳුම් ලබාදීම ගැන මිස එම ඉල්ලීම් ඉටුකළ හැකි ආණ්ඩුක්‍රම ක්‍රමවේදය ගැන නොවේ. මෙහි ප්‍රතිඵලය වූයේ ඉදිරිපත් කරන ඉල්ලීම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය මගින් ඉටුකිරීමට නොහැකි නම් සහ රට මුහුණ දී තිබෙන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න පවතින ආණ්ඩුක්‍රම ව්‍යුහයන් තුළින් විසඳීමට නොහැකිනම් ඒ සඳහා වෙනත් විකල්ප ආණ්ඩුක්‍රමයක් හෝ යොදා ගනිමින් අවශ්‍ය දේ කරන ලෙසය. මේ සඳහා ගෝඨාභයවාදීන් දුටු විකල්ප ආණ්ඩුක්‍රමය වූයේ ආඥාදායකත්වයයි. එයත් නොසෑහේ නම් මිලිටරි ආඥාදායකත්වයක් කරා ගියද වරදක් නොමැති බව අන්තවාදී සමහර ගෝඨාභයවාදීහු ප්‍රකාශ කිරීමට පටන් ගත්හ.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මෙයාකාරයටය. 69,24,225 ජනතාව 2019 නොවැම්බර් 16 දින ගෝඨාභය රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති තනතුරට පත්කර ගත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා තිබෙන  ව්‍යවස්ථාමය මූලධර්ම අනුව ක්‍රියාකරමින්ය. එසේ කළේ සාධාරණ සහ යුක්ති සහගත මෙන්ම සුජාතභාවය පදනම් කරගත් මැතිවරණයකින්ය. එමෙන්ම එය රටේ විධායකය තෝරා පත්කර ගැනීම සඳහා තිබෙන එකම ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගය වේ. මෙයාකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව තෝරාපත් කරන ජනාධිපතිවරයාගෙන් ජනතාව මී ළඟට ඉල්ලා සිටින්නේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයෙන් බැහැරව මිලිටරි ආඥාදායකත්වයක් පිහිටුවන ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතාවට හිමි වී තිබෙන අයිතිවාසිකම් එක අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව භාවිතා කරන ආකාරය සහ ඊළඟ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙම සිදුවීම් දෙක හොඳටම ප්‍රමාණවත් වේ.

මෙවැනි තත්ත්වයකට එනම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ තත්ත්වයට ජනතාව පත්වූයේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. මේ සම්බන්ධයෙන් බලපා ඇති හේතු දෙකක් පෙන්වා දිය හැක. මෙයින් එකක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ පුරා අවුරදු පහකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය විකාරරූපී යහපාලන ආණ්ඩුක්‍රමයෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය එපාවීමය. දෙවන කරුණ වන්නේ දේශපාලන දැනුම අතින් ජනතාව බෙහෙවින්ම දූගී තත්ත්වයක පසුවීමය. මෙයින් පළමු කරුණ සලකා බැලුවහොත් පෙනීයන්නේ 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයටත්, එම අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරටත් තෝරා පත්කර ගත්තේ ප්‍රධාන අරමුණු තුනක් ඉටුකර ගැනීම සඳහා බවය. මෙයින් පළමු අරමුණ වූයේ පුරා අවුරුදු 10 ට ආසන්න කාලයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවත්වාගෙන ගිය රාජාණ්ඩුවාදී ආඥාදායක පාලනය අවසන් කොට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය යළි ස්ථාපිත කිරීමය. දෙවන ඉල්ලීම වූයේ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ මිනීමැරුම් සහ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වූ සියලු දෙනාට හැකි ඉක්මනින් නීතියට අනුකූලව උපරිම දඬුවම් ලබා දීමය. තුන්වන වන කරුණ වූයේ ජනවාර්ගික අර්බුදය නිරාකරණය කරමින් එක් රටක් එක් ජාතියක් යන සිද්ධාන්තය යටතේ ජාතික එක්සත්භාවය ගොඩනගා රට තුළ දේශපාලන ස්ථාවරභාවය ස්ථාපිත කොට ආර්ථික සංවර්ධනය වේගවත් කොට ජනතාව මුහුණ දී සිටි ආර්ථික ප්‍රශ්නවලින් ඔවුන් මුදවා ගැනීමය. එහෙත් මේ කිසිදු ප්‍රශ්නයක් විසඳීම සඳහා මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට නිශ්චිත දැක්මක් හෝ දර්ශනයක් තිබුණේ නැත. ආරම්භයේ සිටම පෙනීගියේ මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව එල හරකෙකු සහ මීහරකෙකු එකට බැඳ කුඹුරක් මැඬවීමට ගන්නා උත්සාහයක් ලෙසය. හරක් දෙදෙනා දෙපසට ඇදීම හේතුවෙන් කුඹුර මැඬීම කළ නොහැකි වන්නේ යම්සේද මෛත්‍රී සහ රනිල් දෙදෙනා දෙපසට ඇදීම හේතුවෙන් සමස්ත ආණ්ඩු ක්‍රියාදාමයම අසාර්ථක විය. මෙහි ප්‍රතිඵලය වූයේ යහපාලන ආණ්ඩුකරණය විහිළුවක් බවට පත්වීමය.

මෙම හැලහැප්පීම් මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය සේවය සහ පොලීසිය දේශපාලන බලපෑම්වලින් යම් ප්‍රමාණයකට මුදා ගත්තද ආණ්ඩුක්‍රමය තුළ සැබෑ විධායකය කුමක්ද යන්න හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් විධායකය අවුල් කර දැමිණ. හොරු ඇල්ලීම කෙසේ වෙතත් ඩීල් හරහා හොරු ආරක්‍ෂා විය. ජාතික සමගිය ගොඩනැගීම කෙසේ වෙතත් වාර්ගික කොටස් තව තවත් බේදකාරී වූහ. මෙම විහිළු යහපාලනයේ අවසාන ඛේදජනක ප්‍රතිඵලය වූයේ ජනතාවට යහපාලනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද වහකදුරු මෙන් එපා වීමය. එහි භයානක ප්‍රතිඵලය වූයේ ජනතාව ශක්තිමත් පාලකයකු මෙන්ම මිලිටරි පන්නයේ ආඥාදායක පාලන ක්‍රමයක් ඉල්ලා සිටීමය. ජනතාවගේ සිතුම් පැතුම්වලට වඩාත්ම ගැළපුණ පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ විය. ජනතාව ඔහු ජනාධිපති තනතුරට පත්කර ගත්තේය.

මිලිටරි පාලනයක් සඳහා ආශිර්වාද කළේය. ජනතාවගේ අනෙක් ඉල්ලීම් සපුරාලීම කෙසේ වෙතත් ජනාධිපතිවරයා මිලිටරි ආඥාදායකත්වය පිළිබඳ ඉල්ලීම නොඅඩුව ඉටුකිරීමට දැන් පියවර ගනිමින් සිටී. මෙයින් පෙනීයන්නේ වර්තමානයේ නිර්මාණය වෙමින් පවතින මිලිටරි ආඥාදායකත්වයට පාර කපා දුන්නේ මෛත්‍රී-රනිල් යහපාලනයෙන් බවය.

ඉහත දැක්වූ අනෙක් කරුණෙන් සඳහන් කළේ ජනතාව දේශපාලන දැනුම අතින් බෙහෙවින්ම දුගීභාවයක පැවතීම රට තුළ අද වර්ධනය වෙමින් පවතින මිලිටරිවාදී පාලන ක්‍රමයට හේතු වී තිබෙන බවය. යහපාලනය යටතේ මතුවන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රම අනුව විසඳා ගැනීමේ දේශපාලන අවබෝධය ජනතාවට නොතිබූ බව ඔවුන් මිලිටරි පාලන ක්‍රමයක් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වේ. මෙයින් පෙනීයන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ සහ මිලිටරි ආඥාදායකත්වයේ ඇති වෙනස කොතරම්ද යන්න ගැන ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවය. දේශපාලනය පිළිබඳ නිවැරැදි දැනුම අයත්කර ගත හැක්කේ දේශපාලන විද්‍යාව විධිමත් ලෙස අධ්‍යයනය කිරීමෙන් විනා අවිධිමත් හා අනියම් මාර්ගවලින් අයත් කර ගන්නා දැනුමෙන් නොවේ. එසේ විධිමත් ලෙස ජනතාව දේශපාලනය ඉගෙන ගත්තා නම් ඔවුන් කිසිම විටක මිලිටරි ආණ්ඩුක්‍රමයක් ඉල්ලා නොසිටිනු ඇත. එසේවූවා නම් ‘කුමන අඩුපාඩු හා දුර්වලතා පැවතියද සියලුම ආණ්ඩුක්‍රම අතුරින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය වඩාත්ම හොඳ ආණ්ඩුක්‍රමය වනවාය’ යන සිද්ධාන්තය අනුව ඔවුන් තමන්ගේ දේශපාලන තීන්දු තීරණ ගැනීමට පෙළඹීමට ඉඩ තිබුණ බව අවසාන වශයෙන් කිව හැකිය.

***
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද  සොයිසා