(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

(tharindudld@gmail.com,bingungamage88@gmail.com

ලෝකය තිරසාර සංවර්ධනය ගැන කතා කරද්දී ලංකාවේ සංවර්ධනය වැඩි හරියක් සිදුවන්නේ දැඩි පාරිසරික හානියන් සිදුකරමිනි. ඇතැම් දේශපාලකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් වැඩකටයුතු කර ගෙන යෑමට හැකියාව ලැබී ඇත්තේ නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය නිසාය.

පාරිසරික හානිය නිසා ශ්‍රී ලංකාව දැවැන්ත දේශගුණ විපර්යාස වල අහිතකර බලපෑම්වලට ලක්වෙමින් තිබෙන පසුබිමක මෙවර ‘සත්‍ය ගවේෂණ’ විශේෂාංගයෙන් පෙන්වා දෙන්නේ ද නිලධාරීන් අහක බලාගෙන සිටියදී කළ දැවැන්ත පාරිසරික හානියක් ගැනය.

වයඹ පළාත යනු ඉපැරණි ක‍්‍රමය අනුව ඉදි කළ කුඩා වැව් කිහිපයකින් සමන්විත පළාතකි. පුත්තලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විලූක වැව ද ඒවැනි කුඩා වැවකි. එය පිහිටා ඇත්තේ අංක 606 මනල්තිව් ග‍්‍රාම නිලධාරී වසමේය.

මී ඔයේ අතු ගංගා දෙකක් වන මහ ඇළ සහ නොතාරිස් ඇළ ගලා බසින්නේ ද අංක 606 මනල්තිව් ග‍්‍රාම නිලධාරී වසම හරහාය. ගඟ දෙපස වැඩිපුරම ඇත්තේ විශාල කුඹුක් ගස්ය. පරිසරවේදීන්ට අනුව මෙම කුඹුක්ගස් අවුරුදු සියයටකටත් වඩා ඉපැරණි ශාඛා වේ.

මීට වසර කිහිපයකට පෙර සිට ගංගා දෙපස ඇති කුඹුක් ගස් එකිනෙක කපා දමන්නට පටන් ගෙන තිබිණි. එය පසුගිය මාසය කිහිපය වන විට එය ඉතා සීඝ‍්‍ර තත්ත්වයට පත් විණි. මෙය සංවිධානාත්මක කණ්ඩායමක සැලසුම්සහගත වැඩක් බව ප‍්‍රදේශවාසීන්ට අවබෝධ වූයේ දැවැන්ත ගස් එකිනෙක බිම පතිත වෙද්දීය.

එන්න එන්නම තත්ත්වය දරුණු අතට හැරිණි. මේ සා විශාල පාරිසරික විනාශයක් සිදුවන විට ප‍්‍රදේශයේ ඇතැම් නිලධාරීහු කිසිත් නොදැක්කා සේ මුණිවත රැක්කහ. ගම්මුන් එකා දෙන්නා බලධාරීන් දැනුම්වත් කළත් කිසිම ප‍්‍රතිචාරයක් නොලැබිණි.

කැළෑ පාලූවෝ තම අභිමතය පරිදි දැවැන්ත කුඹුක් ගස් බිම හෙළමින් සිටියහ. කුඹුක් යනු කැපීම තහනම් ශාඛයකි. එනමුත් පුත්තලමේ කැලෑපාලූවන්ට එය වැදගත් කරුණක් නොවීය.

මෙතරම් විශාල කුඹුක් ගස් සංහාරයක් ගැන 2011 වසරෙන් පසු බොහෝ දෙනෙකු ඇසුවේ මෙවරය.2011 වසරේදී ද මේ සා විශාල කුඹුක් ගස් සංහාරයක් සිදුවිය. ඒ වව්නියාවේ බෝගස්වැව ප‍්‍රදේශයේය.

බෝගස්වැව නව ගම්මානය වැසී තිබුණේ විශාල රක්ෂිතයකිනි. උතුරු වසන්තය වැඩසටහනත් සමඟ වව්නියාවේ ජන පදනමේ වෙනසක් ඇති කිරීමේ යටි අරමුණ ඇතිව බෝගස්වැව ඇතුලූ නව ගම්මාන පහක් ඉදි කිරීම ආරම්භ විය. ඒවායේ පදිංචි කැරුණු බහුතරයක් දකුණේ වැසියෝය.

නාමල්ගම, සැලළිහිණිගම, නන්දිමිත‍්‍රගම බෝගස්වැව එක සහ බෝගස්වැව දෙක යන නව ගම්මාන පහ ඉදි කිරීමට මහා රක්ෂිතයේ ගස් එකිනෙක බිම හෙළීම බාර කැරුණේ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකටය. අවුරුදු ගණනක් පැරණි දැවැන්ත කුඹුක් ගස් අති විශාල ප‍්‍රමාණයක් කපද්දී ඇතැම් නිලධාරීහු පුත්තලමේ මෙන්ම දෑස් පියාගෙන සිටියහ. ප‍්‍රදේශයේ වන සංරක්ෂණ කාර්යාලයේනොහැකි විය. ඔවුහු මෙම වන සංහාරයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නට සැරසුණා පමණි.

එක්තරා නිලධාරියෙකුගෙන් ලැබුණේ අමුතුම උපදෙසකි. ‘ඔව්වට අත දාන්න යන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්ඩ. මේක ඉහළින් ආපු  ඕඩරයක්.’’ වන සංරක්ෂණ නිලධාරීන්ට ඉන් එහාට යෑමේ හැකියාවක් තිබුණේ නැත. මේ අතර ඇතැම් නිලධාරීන්ගේ නිවෙස්වල බිමට සහ උඩට කුඹුක් දැවෙන් විවිධ දෑ තැනෙන්නට විය. මේ සංහාරය නැවැත්වීමට සඳහා වන සංරක්ෂණ නිලධාරීන් විවිධ දෑ කළත් පළක් නොවීය. වන සංහාරය තවදුරටත් ඈතට යෑම වැළැක්වීම සඳහා අලි වැටක් ඉදි කරන්නට ද වරෙක වන සංරක්ෂණ නිලධාරීහු තීරණය කළහ. එදා වවුනියාවේ බෝගස්වැව ප‍්‍රදේශයේ කුඹුක් ගස් සංහාරයට වඩා මෙවර පුත්තලමේ සංහාරය වෙනස්ය.

පුත්තලමේ කැලෑ පාලූවෝ මුලින්ම කරන්නේ කපා දැමීමට අවශ්‍ය කුඹුක් ගස තෝරාගෙන ඒ කුඹුක් ගස අසලට සවස් වරුවේ පැමිණ ගසේ මුල අසල ගිණි තැබීමයි. හුළු අතු සහ ටයර් පත්තු කර ගසේ මුල ගිනි ගොඩක් ගසා ඔවුහු පිටව යති. මුල පිච්චුණු දැවැන්ත කුඹුක් ගස් දින කිහිපයක් යද්දී කොළ වියළී ගොස් මලානිකවෙයි. ඉන් පසු පැමිණ ගස බිම හෙළා කොටන් කර රැගෙන යති.

මේ වන විට දැවැන්ත කුඹුක් ගස් 100ක් පමණ මේආකාරයට විනාශ කර හමාරය. ඒවායේ වටිනාකම කෝටි ගණනකි. තවදුරටත් නිලධාරීන් නෑසු කනින් සිටියහොත් පුත්තලමේ ඇති සියලූ කුඹුක්ගස්වලට අත් වන්නේ මේ ඉරණමය.

‘මේක කාලෙක ඉඳන් වෙන ජාවාරමක්. මේක නවත්වන්න නිලධාරීන් කිසිම දෙයක් කරලා නෑ. අපිට නම් තේරෙන්නේ ජාවරමුන් සමඟ සමහර නිලධාරීන් සම්බන්ධයි කියලයි.’ යැයි ප‍්‍රදේශවාසියෙක් කීවේය. කුඹුක් ගස් සංහාරය එළෙස සිදුවෙද්දී වැව් තාවුල්ල ආශ‍්‍රිත වැව රක්ෂිත බිම් කොටස් අනවරයෙන් අයිති කර ගැනීම ද යහමින් කෙරීගෙන ගියේය. වැව් පෙදෙස අක්කර 130කට ආසන්න භූමිභාගයකින් යුක්තය. වැව් තාවුල් කෙරවළක තිබූ වැටක් එන්න එන්නම වැව දෙසට ගෙන එමින් භූමිය අත්පත් කර ගත්තත් එය ද නිලධාරීන්ට නොපෙනිනි.

මේ පිටුපස සිටියේ ව්‍යාපාරිකයෙකි. මේ ඇතැම් ඉඩම් ව්‍යාජ බලපත් මගින් තවත් පිරිසකට විකුණා ඇතැයි ද දැනගන්නට තිබේ. ඩෝසර් වැනි යන්ත්‍රෝපකරණ භාවිත කරමින් ඉඩම පිළිසකර කිරීම ගැන අවශ්‍යතැන්වලට පැමිණිලි ලැබී තිබුණත් ඇතැම් නිලධාරීහු නිශ්ශබ්දව බලා සිටියහ.

මෙම විලූක ප‍්‍රදේශයේ ධීවර සමිතියක් පවා ඇති අතරධීවර කර්මාන්තයෙන් ජීවත් වෙන පිරිසක් ද සිටිති. ඒ සියල්ලන්ම බලා සිටිය දී හොර බලපත් සකස් කරමින් ඉඩම් අත්පත් කර ගත්තද ප‍්‍රදේශවාසීන් ප‍්‍රසිද්ධියේ ඊට විරෝධය පළ කිරීමට බියක් දැක්වූයේ එම ව්‍යාපාරීකයන්ගෙන් එල්ලවන තර්ජන නිසාය.

ව්‍යාපාරිකයා කිසිදු බයක් සැකක් නැතිව කම්බි වැටක් මගින් රජයේ ඉඩම් අත්පත් කරගෙන මායිම් ගැසීය.

දිගු කලක් තිස්සේ අනන්‍යෝන්‍ය සහයෝගයෙන් හා සම්බන්ධතාවකින් යුතුව කර ඇති මෙම ජාතික අපරාධය අනාවරණය කර ගැනීමට අසීරු වූයේ ඇයි ද යන්න ගැන විමර්ශන කණ්ඩායම් දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.

කෙසේ වෙතත් මෙවැනි ජාතික අපරාධ ඉදිරියේදී හෝ ඇතිවීම වැළැක්වීම සඳහා ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ. මෙවැනි සිද්ධියක් කඩිනමින් ඉහළ නිලධාරීන්ට වාර්තා වීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා වගකීම් ඇති ආයතනවල කඹ ඇදිල්ල නතර කර එකතු විය යුතුව තිබේ. රක්ෂිත ආදිය පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැකි පරිදි මායිම් ලකුණු කිරීම මීට වඩා විධිමත්ව කළ යුතුය.

මෙවැනි පාරිසරික හානි දිගින් දිගටම සිදුවෙද්දී බලාපොරොත්තු විය හැකි එකම දේ ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක් අර්ධ කාන්තාර බවට පත්වෙතිදි දී කර ඇති අනාවැකිය ඉක්මන් වීම පමණි.