ශ්රී ලංකාව කොවිඩ් 19 ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල්ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂිය අයුරින් කළ යුතු බවත් ශ්‍රී ලංකාව විදේශිකයන්ට සත්කාර කළ ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති ඒ මහතා එය එසේ වූයේ නම් ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නයට මුහුණ නොදෙන්නේ යැයි පැවසූ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
මෙම සටහන තබන මොහොත වනවිට මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1631 කි. අප රටේ කොරෝනා රොගීන්ගේ සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට බලපෑ ප්‍රධාන සාධක දෙකකි. පළමු සාධකය නාවික හමුදා කොරෝනා රෝගී පොකුරය. එබඳු රෝගී පොකුරක් බිහිවීම කෙසේ හෝ වළක්වා ගත යුතු වුවද කුමන හෝ අත්වැරැද්දක ප්‍රතිඵලයක් ලෙස එම පොකුර බිහිවිය. මත් කුඩුවලට ඇබ්බැහි වු කොරෝනා රෝගීන් වැටලීමේ මෙහෙයුමක් නිසා එම තත්ත්වය ඇතිවු අතර එය උපේක්ෂාවෙන් දරා සිටීමට අපට සිදුවී තිබේ. දෙවැනි කොරෝනා පොකුර ‘කුවේට් පොකුරය’ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයට නිමිත්තද එම කුවේට් පොකුරය.
ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුව සහ ශිෂ්ට සම්පන්න සෑම රාජ්‍යයක්ම පිළිගත් මානව හිමිකම් මෙන්ම ගිවිසුම් ද පොදු සම්මුතීවලට අනුව රෝගියකු තවත් රටකට පිටුවහල් කළ නොහැකිය. එහෙත් කුවේට් රටෙන් මෙන්ම මැද පෙරදිග රටවල් ගණනාවක්ම කොරෝනා රෝගීන් මෙරටට පිටුවහල් කර තිබේ. කුවේට් රාජ්‍ය කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට එවා ඇත්තේ ඔවුන්ගේම ගුවන් යානාවලින් බවද වාර්තා වේ.
සෑම රාජ්‍යයක්ම රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කළ යුතුය. රටකින් රටකට කිසියම් පුද්ගලයකු එවන්නේ නම් පළමුව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු වූ පසු එම රටට එවීම කළ යුතුය. එය එක් අතකින් නීතිරීති, සම්මුති හා සම්ප්‍රදායන් ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ සදාචාර බලය මෙන්ම ආචාර ධර්ම ආරක්ෂා කිරීමකි.
මේ සම්බන්ධ කදිම නිදසුන වන්නේ මෙරටින් හමුවූ පළමු කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාවය. ඇය මෙරටට පැමිණ සිටියේ සංචාරයකටය. ඒ අතරතුර ඇයට කොරෝනා රෝගය වැළඳුණි. ශ්‍රී ලංකා රජය විශේෂ ගුවන් යානයක් මගින් ඇයව නැවත චීනය බලා පිටත් කර ඇරියේ නැත. ඒ වෙනුවට ඇය සම්පුර්ණයෙන්ම සුවපත් වනතුරු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සතුටු සිතින් ඇයට චීනයට යාමට අවස්ථාව උදා කළේය.
සෑම රටක්ම එම ආදර්ශය ගුරුකොට ගත යුතුය. යම් පුද්ගලයකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැන දැනම එම පුද්ගලයාගේ රටට විශේෂ ගුවන් යානයක් මගින් එවන්නේ නම් එය ඉතා අශිෂ්ට වූවකි. රටක් එතරම් පහළට වැටීම එක් අතකින් විමතිය දනවන්නකි. මන්දයත් නිරෝධායන නීති, ජාත්‍යන්තර නීති, සම්මුති හා සම්ප්‍රදායන් පනවා තිබෙන්නේ ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ඒවා උල්ලංඝණය නොකර කටයුතු කිරීමටය. මනුෂ්‍ය ශිෂ්ටත්වය රැකෙන්නේ එමගිනි.
ලෝකයේ බොහෝ රටවල ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙති. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් දෙනා තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි ඉල්ලා සිටිති. ඔවුහු අපගේම පුරවැසියෝ වෙති. ඔවුන් යම් විපතකට ගොදුරුව සිටින්නේ නම් මානව දයාවෙන් යුතුව ඔවුන්ට උපකාර කළ යුතුය. ලෝකයේ කුමන රටක ජීවත් වුවද අපගේ පුරවැසියන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ෙජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ විදේශවල සිරවී සිටින කිසිදු පිළිසරණක් නැති සෑම ශ්‍රී ලාංකිකයකු මෙන්ම රෝගී ඕනෑම ශ්‍රී ලාංකිකයකු නැවත ගෙන්වා ගැනීමට ආණ්ඩුව කිසි විටෙක නොපැකිලෙන බවය.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය පහසු නැත. එසේ ගෙන්වන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යෙන් දින 14ක් නිරෝධායනයට යටත් විය යුතුය. ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් තිබිය යුතුය. වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් විය යුතුය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඔරොත්තු දිය යුතුය. ඒ අනුව එම ක්‍රියාවලිය කියන තරමට හිතෙන තරමට පහසු කාර්යයක් නොවේ.
කරුණු කාරණා එපරිදි වනවිට විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීමේ ක්‍රියාවලිය අංග සම්පූර්ණ සාකච්ඡාවකට බඳුන් කළ යුතුය. එමෙන්ම තානාපති කාර්යාල හරහා ඒ ඒ රටවල බලධාරීන් සමග සාකච්ඡා කර සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එසේ නොවුණ හොත් එක් අතකින් විදේශයන්හි සිටින අපගේ පුරවැසියෝ අසරණ වෙති. අනෙක් අතින් අපගේ රට කොරෝනා පාරාදීසයක් බවට පත්වනු ඇත.
COMMENTS
ඉතාම වටිනා ලිපියක්.. ඉක්මනට ක්‍රමවේදයක් හදන්න...
ලෙඩ්ඩු යැවීම අමානුෂික වගේම නැති විද්‍යාත්මක පදනමක් පෙන්වමින් මලසිරුරු දරකොටයක්, මළකුණක් සේ සලකා පවුලේ උදවියටත් නොදන්වා පුච්චලා මෙන්න ඔබේ පියා/මව කියලා කුඩා මුට්ටියකට දමා අළු ටික ලබාදීමත් මානුෂික නොවන බව අධ්‍යක්ෂ ජෙනරාල් තුමා පිළිගත යුතුයි..
ඕකට කරන්න තිබෙන්නේ එකම ක්‍රමයකි... ලංකාවේ සංචාරක හෝටල් සියගණනක රුපියල් 2500 - 10000 අතර මිලගණන් වලට අලෙවි වන කාමර දහස් ගණනක් මේ වෙලාවේ හිස්, පිටරට ඉන්න මිනිස්සු ගෙනත් මේ කාමරවල වෙන්වෙන් වශයෙන් හමුදාවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය කරන්න පුළුවන්... විදේශ සේවා එකේ රක්ෂණය වෙලා ගිය පුද්ගලයින්ට එම වියදම් විදේශ සේවා එකෙන් ගෙවන්න.. අනිත් කට්ටියට අතින් ගෙවන්න කියන්න.. මුදල් ගෙවීමට අකමැති පුද්ගලයින් රජය මගින් නොමිලේ නිරෝධායනය කරන මධ්‍යස්ථාන වලට යවන්න. වෙන්වෙන් වශයෙන් නිරෝධායනය කරනකොට බෝ වීම අවමයි... දැනට නිරෝධායන මධ්‍යස්ථානවල තිබෙන ලොකුම ප්‍රශ්නය ඔවුන් 30-40 එකම ශාලාවක වාසය කරනකොට එකම වැසිකිලි භාවිතා කිරීමත්ය. එහෙම කරහම එක් කෙනෙකුට රෝගය තිබුණොත් දින දෙක තුනක් තුල 30-40 රෝගය බෝ වෙනවා.. මේ ක්‍රමය අනුගමනය කලොත් දිනකට 1000ක් විතර ලංකාවට ගෙනත් නිරෝධායනය කළ හැකිය. එහෙම කලොත් මාසයක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳෙනවා...
අනේ පව්! පිටරට වල වෙසෙන දේශප්‍රේමීන්ට ඡන්දෙ දාන්න වත් අවස්ථාවක් නැද්ද? ඡන්දෙ දැම්මට පස්සේ කොරෝනා හැදිලා මලත් කමක් නැහැ. අනික මේ වෙලාවේ අවමංගල්‍යයවත් ජයට සමරන්න පුළුවන් වන්නේ ලංකාවේ විතරයි. ඡන්දෙ දැම්මට පස්සේ, බැරි වෙලාවත් ජීවත් වෙන්න පිනක් තිබුනොත්, අර මන්ත්‍රීලා පිනට දෙන රුපියල් 5000 ගන්න ලැබුනොත් ඉතින්, ජීවිතයම ගොඩ...
අනේ බොසා, පොඩ්ඩක් කට වහගෙන ඉන්න. අපි දැක්කා කාගේ කාගේත් නීතිය ක්‍රියාත්මක කරපු හැටි... අහිංසක මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම නීති... ඔයයි, අර පොලිස් ලොක්කයි දැන් පජාත වෙලයි ඉන්නේ...
වැදි බණ... රජයේ නිරෝධායන නීති සියල්ලම සාමාන්‍ය පුරවැසියන්ට පමණයි.. දේශපාළුවන්ට සහ ඔවුන්ගේ වරිගයට එය ක්‍රියාත්මක වෙන්නේ නැතිය. ඡන්දයට පෙර රට විරුවන් යැයි නම්බු නාම දුන් අයම දැන් මිනිස් බෝම්බ යැයි කීමට පෙළඹීම තුළ ඇත්තේ අවස්ථාවාදීකම සහ බලලෝභය පමණක් බව වටහා ගත යුතුයි...
සමන් මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුර - ඔව් සාමාන්‍ය සමාජයේ කොරෝනා රෝගීන් හමුවුනේ නැහැ. නමුත් හමුදා කඳවුරු සහ නිරෝධායන මධ්‍යස්ථාන එක දිනක් තුළදී එකවර 40-60 පොකුරු හමුවුණා කියලා ජාසිංහ දොස්තර මහත්මයා පසුගිය දිනවල මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා.. ලංකාවට ඇතුල් කරගන්න කොට කරන වෛද්‍ය පරීක්ෂණ වලදී කිසිම රෝගලක්ෂණයක් නොපෙන්වපු පුද්ගලයන් එකට නිරෝධායනය වනකොට 40-50 එකම දින එකවර රෝග ලක්ෂණ පෙන්වන කොට ඒවා නිරෝධායන මධ්‍යස්ථාන තුළදී බෝ වුණු බවට උපකල්පනය කරන්න වෙනවා... එකම ශාලාවක තට්ටු ඇඳන් වල 40-50 එකට දමල එකට වාසය කරනකොට ඒ අතර කොරෝනා රෝගියෙකු සිටියොත් හැමෝටම බෝ වෙනවා. හමුදා කඳවරු තුළත් පවතින්නේ මෙවැනිම තත්වයක්... වෙන් වෙන් වශයෙන් නිරෝධායනය කරන කඳවුරක් තිබෙනවා දියතලාවේ... එ්කට යවන්නේ ලොකු ලොක්කන්ගේ ළමුන්, එවැනි පොකුරක් එහෙ නම් වාර්තාවුනේ නැහැ. ඔවුන් වෙන්වෙන් වශයෙන් නිරෝධායනය කරන නිසා...
චීන නෝනට අපි සැලකුවේ 'රාජ්‍යතාන්ත්‍රික' ලාභාපේක්‍ෂාවෙන්… සංචාරක කාන්තාවකට... අනික අපේ පළමු කොරෝනා රෝගියා ... මෙතැන එහෙම දෙයක් නැහැ. රැකියා සොයාගෙන ගිය අපේ උදවිය. පිටරටකදී වීසා නැතිව සිටීම බරපතළ වරදක්... කෙනෙක් දෙදෙනෙක් නොව දහස් ගණනක්... කාත්කවුරුත් නැති රටක මාරාන්තික ලෙඩක් වැළඳුනොත් අපේ මේ දහස් ගණනක් 'රටවිරුවන්'ට අපේ රටේ ලැබෙන සැලකිළි ලැබේවිද? එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? හොඳම දෙය, මොවුන් මව්රටට ගෙන්වා ගැනීමට ක්‍රමවේද යෙදීමයි.. ඒ මිසක් පිටරටවලට යුතුඅයුතුකම් උගන්වන්නට යාම නෙවෙයි...
ලංකාව කියන්නේ ඉතියෝපියාවක් නොවේ.. මේ කාර්යය කරන්න අවශ්‍ය ගුවන්යානා, නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතයට සුදුසු වසාදමලා තිබෙන සංචාරක හෝටල් සහ වෙනත් ගොඩනැගිලි සහ පහසුකම් තිබිලත් මේ නිලධාරීන්ට සහ දේශපාලකයින්ට මේක කරගන්න බැරුව දඟලනවා.. අතීතයේදී පුරවා දැනුම් දීමකින් තොරව එකවර සිදුවුණු සුනාමි, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර වැනි ව්‍යවසනවලට පවා සාර්ථකව මුහුණ දීපු අපේ රටට මේක කළමනාකරණය කර ගන්න බැහැ කියන්නේ මේ නිලධාරීන් ඔක්කොම සම්පූර්ණයෙන් අසාර්ථකයි කියන එකයි..
අපි චීන නෝනාට සැලකුවේ මෙහෙමයි.. එ්කනිසා ඔයගොල්ලත් අරක කරන්න, මේක කරන්න යනුවෙන් පිටරටවල බලධාරීන්ට උපදෙස් සහ අවවාද දෙන ඔබට අයිතියක් නැත... ලෝකෙට විහිලු සපයන්නේ නැතිව ඉන්න.. කොමිස් කුට්ටිය නිසා ලංකාවේ දේශපාලකයින්ට චීන්නු ලොකු වුණාට... ලෝකයේ බොහෝ රටවලට චීන්නු වහකදුරු මෙනි..
ලංකාවේ දේශපාලකයන් කොමිස් කුට්ටිය අරන් චීන්නු ලංකාවේ මිතුරකු ලෙස හැඳින්වූවත් චීන්නු කරන්නේ, එකඑක ව්‍යාපෘති වලට අපට ගිනි පොළියට ණය දීමයි.. ඉන්පසු එම ඉදිකිරීම් චීන සමාගම් වලට දෙන්න සිදුවේ.. ඔවුන් විසින් දේශපාලකයින්ට සහ නිලධාරීන්ට කොමිස් කුට්ටියක් දී ප්‍රමිතියෙන් අඩු නොරෙච්චෝලේ විදුලි බලාගාරය වැනි දේවල් අපේ රටේ ඉදිකරනු ලැබේ... ඒවා කැඩුණාම ඔවුන් විසින් කිසිම වගකීමක් දරනු නොලැබේ. අන්තිමට ණය පොලි ගෙවන්න බැරි වුණාම ඔවුන් විසින් හම්බන්තොට වරාය වැනි ඉඩම් අපෙන් සින්න කරගනු ලැබේ.. විදේශ වලින් ගිනිපොලියට ණය අරන් කරන, ක්‍රිකට් ක්‍රීඩාපිටි වැනි නිෂ්ඵල සංවර්ධන වැඩ ඉදිරියට නවත්වන්න.. ගත්තු විදේශ ණය ටික පියවලා එ්කෙන් නිදහස් වෙන්න බලන්න.