මෑත යුගයේ ලාංකික කෙටි කතාකලාවට විශිෂ්ට නිර්මාණාවලියක් එක්කළ නිශ්ශංක විජේමාන්න කෙටි කතා රචකයකු මතු නොව නවකතාකරුවකු ලෙස ද ප්‍රකටය. ඔහුගේ නිර්මාණ බොහොමයක් රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන ඇතුළු විවිධ සම්මානාදියට බඳුන් වී තිබේ. හඳ පළුව තනි තරුව, තිත්ත සීනි, කීඩෑවෝ ඇවිල්ලා, වැලන්ටයින් කුමාරයා ආදී කෘති ඔහුගේ නිර්මාණ අතරින් කිහිපයකි. නිශ්ශංකගේ අලුත්ම නවකතාව කඳ අරනී’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. මේ සංවාදය ඒ පිළිබඳවය.

● ඔබේ අලුත්ම නවකතාව කඳ අරනී’ තේමාත්මකව ඉතා වෙනස් අනන්‍යතාවක් අරගන්න නවකතාවක්. වැදි ජන සංස්කෘතිය ගැන විශාල ලෙස අධ්‍යයනය කර රචනා කළ නවකතාවක්. කොපමණ කාලයක් මේ අධ්‍යයනයන් හා රචනයන් සඳහා ගත වුණා ද?

 අවුරුදු දෙකකටත් වඩා කාලය ගොඩක් ගෙව්වා මේ නවතකාව ලියන්න. සමහර කරුණු තහවුරු කරගන්න ඇවිදින්න වුණා. මූලාශ්‍ර හොයන්න මහා මහන්සියක් ගන්නට වුණා. දඹානේ ගුණවර්ධන මේ කාලය අතරේ වැදි භාෂාව’ කියා පොතක් ලියමින් හිටියා. එය මුද්‍රණයෙන් එළියට එනතුරු මං හිතාමතාම ප්‍රමාද වුණා. එය විතරක් නෙවේ. භූමියට ගොස් අධ්‍යයනය කිරීම ඇතුළු පූර්ව ලේඛන පරීක්ෂා කිරීමට බොහෝ කාලයක් ගෙව්වා. හරියටම කිව්වොත් පොත් 40ක් පමණ නැවත නැවත කියවන්නට සිදුවුණා. කාලය ගෙවුණා. මට හදිසියක් තිබ්බේ නැහැ. තවත් කල් ගියත් හොඳයි කියලයි හිතෙන්නේ

● මේ නවකතාවේ ප්‍රධාන චරිතය ඌරුවරිගේ සුගන්ධිකා කියන්නේ අධිපති කථිකාව විසින් ප්‍රබන්ධගත කරපු ඉතිහාස කතාව තුළ ආන්තික කරන ලද සමාජ කණ්ඩායමක ඉතිහාසය සොයා යන තරුණියක් කිව්වොත් එය නිවැරැදි ද?

 අධිපති කථිකාවක් තුළ අපි ඉතිහාසයේ හිරකාරයො වෙලා. අධ්‍යාපනය ඇතුලේ ඒක වඩාත් බලවත්. රවුම් කරලා පෙන්වන ටික තමා අපි දන්නේ. ඒක නොලීවොත් ෆේල්. මේ කැලෑ ගම් බිම් ඇතුලේ අපි නොදන්නා ඉතිහාසයක් නෙවේ. අපි හංගපු ඉතිහාසයක් තියෙනවා. ඔබ හිතනවා ශිෂ්ටාචාරය යනු නාගරික වීම කියලා. මම කීවොත් නැහැ, වනාන්තරය තුළ ශිෂ්ටාචාරගත විය හැකි බව, ඔබ කියයි මට පිස්සු කියලා. මේ පොත අතීතයට විදින ඊයක්. ඇය හොයන්නේ ඇගේ ශිෂ්ටාචාරය. ඒ නිසා නිර්මාණකරුවා ඉතිහාසයේ හිරකාරයකු විය යුතු නෑ. 

● සුගන්ධිකාගෙ චරිතය නවකතාව තුළ ගොඩනැගෙන්නේ පිරිමි චරිත දෙකක් දෙපසින් තබමින්. එක්කෙනෙක් ආදිවාසි නායකයෙක්. අනෙක් කෙනා සුගන්ධිකාගේ පෙම්වතා අමිත්. ඔවුන් දෙදෙනා තුළින් වැදි ජන සංස්කෘතියේ නූතන අන්ත දෙකක් නේද ඔබ නිරූපණය කරන්නේ?

ඇත්තටම මට හිතෙන්නේ අදිවාසි නායකයා අහිංකයි, අසරණයි. ඔහු අවංකව හිතනවා මෙන්න මේකයි ආදිවාසින්ගේ මොඩලය කියලා. ඒක ඔහුගේ විතරක් නොවේ සුද්දාගේ හා ලාංකික අපේත් ප්‍රාර්ථනය. මට හිතෙනවා ඔහු තමා ඒ ගණයේ අන්තිම නායකයා. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන කවුරුත් පේන්න නෑ. පොලා පනින නව නායකත්වයකට (කැරිස්මා) ඉඩකඩ වැඩියි. ඔහු තාම එතන ඉන්නවා. තමන් විශ්වාස කරන දේ මත රැඳෙනවා. ඒ චේතනාවේ ආත්ම වංචාවක් නැහැ. 

අමිත් එහෙම නෙවේ. ඔහු ආදිවාසි බිමේ පැළවුණු බීජයක් නොවේ. ඔහු සිංහල සමාජයට ආ සිංහල ගෝත්‍රය පිළිගත් පියෙක්ගේ පුතෙක්. පළමුව ඔහු එය වසැංගුවත් ඔහු දන්නවා මේක මාර්කට් කරන්න පුළුවන් වග. ඒක ඉල්ලමක් වග. ඒත් සුගන්ධිකා එක්ක ඉඳලා ඒක කරන්න බැහැ. ඔහුට උපයාගන්න දෙයක් නෑ. ආපහු අතීතය කසාද බැඳීමක්. ඔහු හිතන්නේ එහෙමග කොළඹට ආවම ඔහු චරිතයක් වෙනවා. වැදි විතරක් නෙවේ අපි දැකලා තියෙනවා ඒ වගේ චරිත කොච්චරවත්.

● නවකතාවේ එක් තැනකළ කුකුළාපොළ කිරිඅම්මා ගැන කියන තැනේදි, සුගන්ධිකාගෙ නංගි කියනව 'අක්කි උඹ බොරු හද හද කියනවා’ කියලා. මම යෝජනා කළොත් 'කඳ අරනී’ නවකතාව නම් මන්දිරයේ එක් දොරක් අරින යතුරක් එතැන තියෙනවා කියලා ඔබ ඊට එකඟ ද?

සුගන්ධිකා කියන්නෙම අලුත් ප්‍රවාදයකට පණ දෙන්න හදන චරිතයක්නේ. අපේ ඉතිහාසඥයො සමහරක් කළෙත් ඔය ටික. උදාහරණයක් විදියට මං යෝජනා කරනවා 'සංසෝනි කොමිසම’ හොයාගෙන කියවන්න. නැතිනම් නිර්මාල් දේවසිරිගේ 'ලංකාවේ ඉතිහාසයේ දෘෂ්ටිවාදී විචාරයක්’ පොත කියවන්නග සුගන්ධිකා කරන්නේ දැනටමත් ඈ උපකල්පනය කළ දේ තහවුරු කරන්න.මේක කෘතිය තුළ පුනරුච්චාරණය විය යුතු විශේෂ වාක්‍යයක්. 'අක්කි උඹ බොරු හද හදා කියනවා’ යන්න. එත් මම කියන්නේ ඊට විරුද්ධ වෙන්න ඕන නෑ. අපි කරන්නේ ප්‍රවාද හදන එක.

● ඇයි ඔබේ හැම නවකතාවකම පාසල් වියේ අහිමි පෙමක් ගැන කියැවෙන්නේ?

මට මේකට දෙන්න තියෙන උත්තරේ මේකයි. මගේ .කීඩෑවෝ ඇවිල්ලා’ කෙටි කතා පොතේලි 'එක වගේ දෙන්නෙක්’ කතාවේ ගුරුතුමිය පාසල් ශිෂ්‍යාගෙන් අහනවා සාලින්ද කාට ද ඔයා ඒ ලියුම ලීවේ කියලා. ඒ වනවිට ඔහු පෙම් ලිපියක් ලියා විදුහල්පතිගෙන් ගුටි කා හමාරයි. ඒ සිද්ධිය වී අවුරුදු හයකුත් ගෙවිලා. ඔහුට තිබ්බ උත්තරේ මේකයි. කාටවත් නැහැ ටීචර්. එහෙම කෙනෙක් හිටියේ නැහැ. ඔන්න ඔහේ කාට හරි කියලා ලීවා. මාත් තාම උත්සාහ කරනවා මේක විසඳගන්න. හැබැයි පාසල් වියේදී මට අහිමි වූ දේ නම් බොහෝමයි. 

● ඔබ ඔබේ මීට පෙර නවකතාව 'හඳ පළුව තනි තරුව’ ගැන කියද්දී කිව්වා හඳ පළුවේ නොකී කතා කියලා තවත් ලියැවුණු විශාල කොටසක් තියෙනවා කියලා. කඳ අරනී ගැනත් එසේම ද? නොලියැවුණු දේ තියෙනවා ද?

හඳ පළුව නොකී කතා කියලා එකල නවකතාවට රැස්කළ කොටස් ගොඩක් මා ළඟ තියෙනවා. සාමාන්‍යයෙන් තව පිටු අසූවකට විතර ලියාගන්න තරම් ගොඩක්. සිකුරාදා නිවාඩුව සබැඳි කතා, අරාබි නිසොල්ලාසයේ නැති අලුත් කතා, නූතන මුස්ලිම් නායකයාගේ භූමිකාව ආදී බොහෝ දේ මඟහැරියා මම. මේ පොතේදීත් ඒක එහෙමමයි. වැදි ජන සමාජය ගැන බොහෝ ලී දේ මමම අත්හරිනවා. මේ බිමේ තියෙන මහශිලා සොහොන් අත්හරිනවා. ඒ වගේ ගොඩක් ලේඛන මා ළඟ ඉතිරි වෙනවා.

ඔබේ ආසන්න නවකතා දෙකම ඉතා තදට කිටිකිටියේ බැදපුවා. එහෙම වෙන්නේ කෙටි කතාකරුවාගේ රචනා රටාවෙන් ගැලවෙන්න බැරි නිසා ද?

අධ්‍යාපන විද්‍යාවේ ඉගෙනුම් ක්‍රියාවලියේදී ශිෂ්‍යයන් සමඟ ගනුදෙනු කිරීමේදී භාවිත වෙනවා වචන දෙකක්. එකක් විස්තාරණය හා අනික විස්තරකරණය. නවකතාවක් ලියනකොටත් කාලය ගැන නොසිතා චරිත හා සිදුවීම්වලට මේ කාරණය භාවිත කරනවිට පාඨකයන්ට හරි පහසුයි. හිත විවේකීව කියවීම කරනවා. ඇත්තටම කතුවරයා චරිත ලිහන්න ඕනෑ. මට එහෙම විස්තාරණය කරන්න ඕනෑම චරිතය සුගන්ධිකා. ඒත් මම ඒක කරන්නේ නැහැ. ඇයම විමසනවා අපව විපරීත කරන්නේ ඉගෙන ගන්නා අතිවිශාල වචන සමුදාය ද කියලා. දීර්ඝ විස්තර කිරීම් විසින් චරිතයට එහි චාම් ස්වරූපයට හානියක් වේ යැයි මට හිතුණා. කොහොම වෙතත් ඔබ කියන දෙයත් හරි. කෙටි කතාවකදී බොහෝ විට එහෙම වෙනවා. චරිත හිර වෙනවා. එහි යම් ආභාෂයක් නවකතාව වෙත පැමිණියා වෙන්නත් පුළුවන්. සමහරවිට ඉදිරි නවකතාවක මේ බැමි ලිහේවි.

● ආදිවාසි ජන සමාජයෙන් කඳ අරනීට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

දඹානේ ගුණවර්ධන අද ප්‍රතිචාර දැක්වූවා. ඔහු පෙන්නුවා කතුවරයා සොයාගත් වැදි ගීවල වචන වැරැදී ඇති බව. සුද්දා හා සිංහලයා අනවබෝධයෙන් ලියූ ගී මාගේ කෘතියේ එසේම දක්වා තියෙනවා. ඔහු කීවේ ඒ ගැන. ඒ හැර ඔහු පැසසුවා ඇතැම් දේ ගැන. උදාහරණයක් කීවොත් බරතු යකා කියන්නේ ඔවුන්ගේ නෑ යකෙක්. එහෙත් ඔහු පෘතුගීසි සුද්දෙක්ව සිට වැද්දෙක් දක්වා පරිවර්තනය වීම ගැන ඔහු අසා තිබුණේ නැහැ. කුකුළාපොළ කිරිඅම්මාගේ මුල් ගම්බිම් ගැන ඔහුට අදහසක් තිබේබේ නෑ. ඔහු කීවා මේ පොත ඔහුගේ ශාස්ත්‍රීය විමර්ශන සඳහා පෙළඹවීමක් බව

සංවාදය - ගාමිණී කන්දේපොළ