IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


නව පනත් අර්බුදයට විසඳුමක්ද?

2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හිඟයයි. මෙම පරතරය පියවීමට දේශීයව සහ විදේශීයව ණය ගැනීමට දිගින් දිගටම සිදු විණි. ණය බර ආර්ථිකයට දරාගත නොහැකි මට්ටම‍ට ඉහළ ගියේය. එසේම, සාර්ව ආර්ථික ස්ථායිතාව බිඳවැටුණු අතර, ඒ හේතුවෙන් විදේශීය මෙන්ම දේශීය ආයෝජනවලට අහිතකර පරිසරයක් නිර්මාණය විය. එබැවින්, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය තිරසාර නොවීය. අයවැය පරතරය දිගින් දිගටම පැවැතීමට හේතුව කුමක් ද?

බලයට පැමිණීමට සහ බලය දිගින් දිගටම පවත්වාගැනීමට දේශපාලන පක්ෂ කටයුතු කිරීමේදී රාජ්‍ය විදයම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට කටයුතු කළත් ඊට සමානුපාතිකව රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු නොකළේ එවැන්නක් දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවූ නිසාය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ, රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ප්‍රතිශතයක් ලෙස සියයට 19-20 පමණ වන විට රාජ්‍ය ආදායම සියයට 11-12 දක්වා පහත වැටීමය.

ඉහළ යන හිඟ ගෙවුම් ශේෂයක් දිගින් දිගටම පැවැතීමට හේතු වූ මූලික කරුණ වූයේ, රටේ ආනයන, අපනයන මෙන් දෙගුණයක් පමණ වීමය. අපනයන අංශය ප්‍රසාරණය කිරීම පසෙකලා වෙළෙඳ-නොවන අංශය (non-tradable) ප්‍රසාරණය 2000ට පසු කාලීනව සිදු කරන ලදී. ‍ඊට අමතරව විදේශගත ශ්‍රමිකයන් රටට ප්‍රේෂණය කරනු ලබන මුදල මත යැපුණි. එසේ නම්, ආර්ථික අර්බුදය විසඳීමෙහිලා අප කුමක් කළ යුතු ද? අයවැය පරතරය පහත හෙළිය යුතුය, ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ හිඟය පහත හෙළීම සඳහා අපනයන දිරි ගැන්විය යුතුය.

මෙ‍ම දිගු කාලීන අරමුණ ජයගත හැක්කේ කෙසේ ද? ඒ සඳහා දිගු කාලීන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වේ. ලාංකේය දේශපාලන ඉතිහාසය ඇතුළත දැකිය හැකි මූලික ලක්ෂණය නම්, දේශපාලන බලය පක්ෂ අතර හුවමාරු වන විට එකම දේශපාලන පක්ෂයේ වුව ද බලයට පැමිණෙන පුද්ගලයා මත රටේ ප්‍රතිපත්ති වෙනස් වීමය.

රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්තිය වූයේ, කිහිප දෙනකු එකතු වී සකස් කරනු ලබන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකශනයයි. එහෙත්, අප තවදුරටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් අද අප මුහුණපා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ හැකියාවක් නොමැත. ඉහත කී මූල හේතු විසඳීම උදෙසා ජාතික එකඟාතාවකින් යුතු ප්‍රතිපත්ති/ නීති හඳුන්වා දිය යුතව ඇත. ආර්ථිකමය සිද්ධාන්ත මත රාජ්‍ය මූල්‍ය සහ රටේ සංවර්ධන ප්‍රතිපත්තිවලට අදාළ තීන්දු තීරණ ගත යුතුය. ‍එහි එක් පියවරක් වශයෙන් රජය පසුගිය සතියේ පනත් දෙකක් පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු අනුමැතිය ලදහොත් කුමන දේශපාලන පක්ෂයක් ඉදිරි මැතිවරණයකදී බලයට පත්වුව ද එම පනත්වල අන්තර්ගත මූලික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇත.

 

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පාර්ලිමේන්තුවට පැව‍ැරෙන එක් ප්‍රධානතම වගකීමක් වුවත්, පසුගිය දශක හතක කාලසීමාවේදී ඊට අදාළව ඉදිරිපත්ව ඇති පනත් ගණන ඉතා සීමිතය. 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත රාජ්‍ය මූල්‍ය නීති පැනවීමට අදහස් කළ නීති සම්පාදනයකි. රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය පිළිබඳ වැඩි විනිවිදභාවයක් සහතික කිරීම සහ ඒවා පිළිබඳ වැඩි මහජන පරීක්ෂාවකට පහසුකම් සැලසීම සඳහා වාර්තා කිරීම සඳහා පියවර ගැනීම වෙනුවෙන් මෙම පනත මගින් විධිවිධාන සලසා ඇත. 2003 දී පනවන ලද පනතෙන් නිශ්චිත කාලසීමාව ඇතුළත සාක්ෂාත් කරගත යුතු ප්‍රධාන මූල්‍ය සීමා දක්වා ඇත. ඒ අතරින්, 2006 වසරේ සිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ඉක්ම වන අගයක පවත්වාගැනීමත්, 2006 වසර අවසන් වන විට මධ්‍යම රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 85 සීමාවට ගෙන ඒමත් සහ 2013 වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 නොඉක්ම විය යුතුය යන්නත් වැදගත්ය. මෙම ඉලක්ක සපුරා ගැනීමට අදාළව බදු ආදායම් ඉහළ නැංවීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය අවධාරණය කරන ලදී. ඉදිරි පරම්පරාවට අධික ණය බරක් ඇති නොකිරීමට නම්, ඉහත ඉලක්ක සපුරාලිය යුතුය යන්න එම විධිවිධානවල හරයයි.

එහෙත්, පසු කාලීනව හඳුන්වා දුන් විවිධ පනත් මගින් ඉහත සීමා ලිහිල් කෙරුණු අතර, 2013 දී ගෙන එන ලද සංශෝධනයක් මගින් දළ දේශීය නිෂ්පාදනය සියයට 60 ලෙස නියම කර තිබූ රජයේ ණය සීමාව සියයට 80 දක්වා වැඩි කෙරිණි. එමෙන්ම, සියයට 60 ළඟා වීමේ කාලසීමාව 2020 දක්වා දීර්ඝ කරන ලදී. 2021 ජුනි මාසයේදී, දළ දේශීය නිෂ්පාදිතය සියයට 80ක මධ්‍යම රජයේ ණය සීමාව 2030 දී ළඟා කරගැනීම දක්වා දීර්ඝ කිරීමට පනත තවදුරටත් සංශෝධනය කරන ලදී. එසේම, අයවැය හිඟයට අදාළව ද 2003 දී පනවන ලද ඉහත සඳහන් සීමා විටින් විට ඉහළ නැංවිණි. මේ ආකාරයට සම්මත කරන ලද සංශෝධනවල අවසන් ප්‍රතිඵලය 2022 දී උද්ගත වූ ආර්ථික අර්බුදයෙන් උච්චස්ථානයට පැමිණියේය. රාජ්‍ය මූල්‍ය විනය බරපතළ ලෙස බිඳ වැටීමට බලයේ සිටි සියලු ආණ්ඩු වග කිව යුතුය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළව වඩාත් ශක්තිමත් නීති රාමුවක් සකස් කිරීම වෙනුවෙන් රජය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය සතියේදී සභාගත කරන ලදී. රාජ්‍ය මූල්‍ය විනයක් ඇති කිරීම සම්බන්ධයෙන් වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බව එම පනත් කෙටුම්පත පරිශීලනය කිරීමේදී පැහැදිලි වේ. එහි සඳහන්ව ඇති ආකාරයට, මෙම පනත් කෙටුම්පතෙන් රාජ්‍ය මූල්‍යයට අදාළ වගවීම ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍යය අධීක්ෂණය සහ කළමනාකරණය ශක්තිමත් කිරීම, වඩා හොඳ සාර්ව ආර්ථික පරිසරයක් සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමට අනුබල දීම සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මහජන පරීක්ෂාවට ලක් කිරීම වැනි අංශවලට අදාළව විධිවිධාන සපයයි.

එසේම, මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත විශේෂ අංග කිහිපයක් තිබේ. රජයේ ප්‍රාථමික වියදම (මුළු වියදම - පොලී ගෙවීම්), අදාළ මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තුගත නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහතුනක් (13) නොඉක්ම විය යුතුය යන්නත් පනත ක්‍රියාත්මක වන වර්ෂය ද ඇතුළත්ව වසර පහක් යන තෙක් මෙම සීමාව පවත්වාගැනීම අනිවාර්ය විය යුතුය යන්නත් ඒවා අතරින් එකකි. මෙය රාජ්‍ය මූල්‍යයට අදාළ වියදම් රීතියක් වන අතර, එමගින් රාජ්‍ය වියදම යම් සීමාවක පවත්වාගැනීම සහතික කරනු ලබයි.

දෙවනුව, පස් අවුරුදු කාල සීමාවක් වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය රාමුවක් සකස් කිරීම ද අවශ්‍යතාවක් වශයෙන් මෙම පනත් කෙටුම්පතෙන් හඳුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ රාජ්‍ය මූල්‍යය මැදි කාලීන රාමුවක් ඇතුළත සැලසුම් කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වේ. බොහෝ විට ලංකාවේ මෙතෙක් දක්නට ලැබුණේ (රාජ්‍ය ආයෝජන වැඩසටහන හැරුණු විට)‍ කෙටි කාලීන රාමුවක් ඇතුළත රාජ්‍ය අයවැයට අදාළ තීන්දු තීරණ ගනු ලබන තත්වයකි.

තෙවනුව, මේ පනත් කෙටුම්පතෙන් රාජ්‍ය ආදායම් කළමනාකරණ කමිටුවක් ඇති කිරීමට යෝජිතය. මෙම යෝජනාව අතිශය වැදගත් එකකි. ඒ මන්ද යත්, දියුණු වෙමින් පවතින රටවල් සමග සැසඳීමේදී, ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, ඉතාමත් පහළ මට්ටමක පවතින හෙයිනි. මෙම තත්වය නිවැරැදි කිරීමට නම්, රජයට ආදායම් එකතු කරනු ලබන ප්‍රධාන ආයතන සහ මුදල් අමාත්‍යාංශය අතර ඉතා කිට්ටු සබඳතාවක් මෙන්ම එක් පොදු වැඩසටහනක් මත කටයුතු කළ යුතුය. එමගින් රාජ්‍ය ආදායම නිසි මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍ය වන ප්‍රතිපත්ති/ ක්‍රියාමාර්ග ගැනීම පහසු වනු ඇත.

සිව්වැනුව, රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් නොවන රාජ්‍ය, රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් සඳහා අයවැය මගින් යම් විසර්ජනයක් වෙන් නොකිරීමට මුදල් අමාත්‍යවරයා සහතික විය යුතුය. මෙමගින් නිසි අධ්‍යයනයක් සිදු නොකර දේශපාලන වුවමනාවන් මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වළක්වනු ඇත.

පසුගිය දශකවලදී දක්නට ලැබුණු මූලික ලක්ෂණයක් වූයේ, නිසි ශක්‍යතා අධ්‍යයනවලින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. ඒවා සංවර්ධන ප්‍රමුඛතා නොවූ අතරම, රටට විශාල ණය බරක් ද ඉතිරි කරන ලදී.

පස්වනුව, එක් එක් මුදල් වර්ෂය අවසානයේදී හිඟ ඇති රජයේ ඇපකරවල මුළු එකතුව දළ දේශීය නිෂ්පාදිතය (‍පෙර වසර දෙක සහ එම වසරේ සාමාන්‍යය) ප්‍රතිශතයක් ලෙස සියයට 7.5ක් නොඉක්ම විය යුතුය. එසේම, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක් ඇතුළත රටේ මුදල් තත්වය පිළිබඳ ‍තොරතුරු ඇතුළත් මැතිවරණ පූර්ව අයවැය තත්වය පිළිබඳ වර්තාවක් මහජනයා වෙත නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළ යුතුය. එවැනි වාර්තාකරණයක් ඉතා වැදගත් වන්නේ පොරොන්දු දේශපාලනයේදී ‍ලබා දෙන ඡන්ද පොරොන්දු මෙන්ම මැතිවරණ ප්‍රකාශනවල අන්තර්ගත වන සංවර්ධන සහ අනෙකුත් ක්‍රියාකාරකම් ප්‍රායෝගිකත්වයට ගෙන ඒමට ඇති හැකියාව කුමක් ද යන්න ගැන එයින් මහජනතාවට යම් අදහසක් ලබා ගැනීමට හැකි වන නිසාය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතෙහි රාජ්‍ය මූල්‍යයට අදාළව බොහෝ කරුණු ඇතුළත් වන අතර, ඉහත ගෙනහැර දක්වනු ලැබූයේ ඉතා සීමිත යෝජනා ප්‍රමාණයකි. මෙම පනත නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් රටට අත්‍යවශ්‍ය වන්නා වූ රාජ්‍ය මූල්‍ය විනය ඇති කරගැනීමට හැකි වනු ඇත. බොහෝ රටවල් රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීමෙහිලා මෙවැනි අණපනත් හරහා පිස්කල් රීතීන් හඳුන්වා දී ඇත්තේ දේශපාලන වුවමනා වෙනුවෙන් රාජ්‍ය මූල්‍යය අවභාවිතය වළකනු පිණිසය. රට ආර්ථික වශයෙන් බංකොළොත් වීමෙන් පසුව හෝ මෙම අවශ්‍යතාව හඳුනාගෙන තිබීම යහපත් කරුණකි. ඒ සඳහා වඩාත්ම බලපෑ සාධකය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමු‍දලේ කොන්දේසිය.

(***)



අදහස් (1)

නව පනත් අර්බුදයට විසඳුමක්ද?

wimal Friday, 31 May 2024 07:56 AM

මීට කලිනුත් හොඳ වටිනා අත්‍යාවශ්‍ය අණ පනත් ගෙනත් තියෙනවා, ඒවා ක්‍රියාත්මක වන නීතිය ආධිපත්‍යය බල්ලට දැමූ අය තව මොනවා ගෙනාවත් ඔච්චරයි. මෙතුමා කරන්නේ වන්දිභට්ට වැඩේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වැටුණු වලෙන් ගොඩ එන ආර්ථිකයක්
2024 ජුනි මස 25 48 1

ජනපතිවරණ සූදානම, රට බංකොලොත්භාවයෙන් මිදීම, අලු‍ත් බදු යනාදී දේශපාලන කාරණා සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.


ප්‍රේමදාස දස වත
2024 ජුනි මස 24 282 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සියවැනි ජන්ම සංවත්සර සැමරුම (1924 -2024) ඊයේට (23) යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අර්බුද විසඳීමට සම්මුති අවශ්‍යතාව
2024 ජුනි මස 24 91 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආන්


තෙල් සංස්ථා වංචාව වසර 8 ක්ම යටගැහීම
2024 ජුනි මස 24 140 0

වංචාවක් සිදුකිරීම බරපතළ වැරැද්දකි. එයින් රජයට සිදුවන පාඩුව මකා ගැනීමට එම පාඩුව ජනතාවගේ කර මතට බද්දක් වශයෙන් පැනවීම තවත් වංචාවකි. මේ දෙකම තෙල් සංස්ථාවේ


පාස්කු දා ප්‍රහාර පරීක්ෂණ
2024 ජුනි මස 22 181 0

2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුව එ


ප්‍රමිතියෙන් තොර ඖෂධ නිකුත් කිරීම ජාතික අපරාධයක්
2024 ජුනි මස 22 114 1

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට පසුදින වුවද අපට ලිවීමට සිදුවී තිබෙන්නේ සිත් නිවී සැනසීම් බවට පත් කරන කරුණක් නොව සිත් කීරිගස්වන්නට හේතුවන භීතිය අවුළු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 239 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site