නිදහසින් පසු 2019 දක්වා මාරුවෙන් මාරුවට ශ්‍රී ලංකාව පාලනය කළ පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා පිළිවෙළින් තම 75 වැනි හා 70 වැනි සංවත්සර පැවැත්වීය. එහෙත් අභාග්‍යය නම්, එම පක්ෂ දෙකම තම සංවත්සර පැවැත්වූයේ රටේ දේශපාලනයට කිසිදු බලපෑමක් කළ නොහැකි කුඩා පක්ෂ වශයෙනි.

එම සංවත්සර උත්සව රටේ ජනතාවට දැනුණේවත් නැති තරම්ය. ඊට හේතු වූයේ එම පක්ෂ ඉතා කුඩා පක්ෂ බවට පත් වී සිටීම නිසා පමණක් නොව කොවිඩ් 19 රෝගය නිසා රටේ ඇති වී තිබෙන තත්ත්වය නිසාය. මෙම රෝගය නිසා පසුගිය මාසයේ 20 වැනිදා සිට රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබ තිබේ. ඒ නිසා මුද්‍රිත පුවත්පත් නැති තරම්ය. අනෙක් අතට මෙම උත්සව පැවැත්වුණේ සූම් තාක්ෂණය මගිනි.

මෙම පක්ෂ දෙකේම දෙවැනි පෙළ හා ප්‍රාදේශීය නායකයන් වැඩි දෙනකු හා ආධාරකරුවන් වැඩි දෙනකු අලුත් පක්ෂ දෙකක් වන සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතට ඇදී ගොසිනි. රට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගන්නා විට රටේ තිබූ ප්‍රබලතම පක්ෂය හා නිදහසින් පසු ගත වූ වසර 73න් වසර 35කට වැඩි කාලයක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයට පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් හිමි වූයේ එක් ආසනයක් පමණි.

එය ද කිසිදු දිස්ත්‍රික්කයකින් දිනාගනු ලැබූ ආසනයක් නොව ජාතික ලැයිස්තුවෙන් ලැබුණකි.

ශ්‍රී.ල.නි.ප.යට නම් ආසන 16ක් ලැබිණි. එහෙත්, ඒ පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමෙනි. අනෙක් අතට පොහොට්ටුවට එම මැතිවරණයේදී මෙම ආසන 16 ද ඇතුළුව ආසන 145ක් ලැබී ඇති හෙයින් ශ්‍රී.ල.නි.ප.යට ආණ්ඩුව තුළ කිසිදු කේවල් කිරීමේ බලයක් ද නැත.

ශ්‍රී.ල.නි.ප.යේ සංවත්සරය යෙදී තිබුණේ සැප්තැම්බර් 2 වැනිදාටය. එ.ජා.ප. සංවත්සර උත්සවය පැවැත්වුණේ සැප්තැම්බර් 5 වැනිදාය. ශ්‍රී.ල.නි.ප. නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා තම පක්ෂ සම්මේලනයේදී පක්ෂය ගොඩනගන්නට කිසිදු නව වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළ ද එ.ජා.ප. නායක හා සිරිසේන මහතාගේ ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ‘ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් සඳහා වූ වෙනස් නොවන අයෝමය ප්‍රතිපත්ති රාමුව’ නම් වූ තම නව වැඩපිළිවෙළ ඉදිපත් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කාන්තා අයිතීන් ආරක්ෂා කිරීම තම ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා වැඩපිළිවෙළේ ප්‍රධාන අංගය යැයි කී වික්‍රමසිංහ මහතා, එම වැඩපිළිවෙළ සිව් වැදෑරුම් ආරක්ෂාවන්ගෙන් සමන්විත වූවකැයි පැවැසීය. එසේම එය බිඳවැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ කෙටි කාලීන වැඩසටහනකින් හා තවත් වසර 27කින් ශ්‍රී ලංකාව නිදහසේ ශත සංවත්සරය සමරන අවස්ථාව වනවිට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණකින් යුක්ත වූවකැයි ද ප්‍රකාශ කළේය.

මෙම සිව් වැදෑරුම් අයෝමය ප්‍රතිපත්ති රාමුව ආණ්ඩු වෙනස් වනවිට වෙනස් නොවන අයුරින් නිතීමය වශයෙන් ශක්තිමත් කරන බව වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මතභේදකාරීය. ආණ්ඩු වෙනස් වනවිට ප්‍රතිපත්ති වෙනස් වීම එක් අතකින් රටට හානිකරය. ඒ, ප්‍රතිපත්ති සැබැවින්ම යහපත් හා විද්‍යානුකූල වන්නේ නම්ය.

එහෙත් මෙරට ඉතිහාසයේ සෑම පක්ෂයක්ම ප්‍රතිපත්ති, නීතිරීති පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පවා සකස් කළේ පක්ෂ දේශපාලනයේ ඇසින් බලා තමන් සැමදා බලයේ සිටීමේ අරමුණෙනි. නැති නම් තමන්ගේ දූෂණ ආරක්ෂා කරමින් වෙනත් පක්ෂවල දූෂණ මර්දනය කිරිමේ අරමුණෙනි. මෙවැනි පටු ආකල්පවලින් වෙනස් වූයේ 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් කිරීමේදී පමණි. එවැනි පටු හා දූෂිත ආකල්පවලින් යුතුව සකස් කරන නීතිරීති සදාකාලික වුවහොත් රටකට කුමක් වනු ඇද්ද?

අනෙක් අතට, යහපත් අරමුණෙන් ගෙන එන නීති වුව ද කාලයේ පරීක්ෂාවට ලක් වීමේදී අවිද්‍යාත්මක බව පෙනී යා හැකිය. ප්‍රායෝගික නොවන බව පෙනී යා හැකිය. සියලු පක්ෂ අනුමත කළ මිශ්‍ර මැතිවරණ ක්‍රමය තවත් පඹ ගාලක් බව මේ වනවිට පෙනී ගොස් තිබෙන්නේ ඒ අනුවය.

ප්‍රතිපත්තිමය රාමුවක් නීතිමය වශයෙන් වෙනස් නොවන්නක් බවට පත් කළ හැක්කේ එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කිරීමෙන් පමණි. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මකව පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල විශේෂ බහුතරය ලෙස සඳහන් වූයේ තුනෙන් දෙකකි. එසේ වුව ද එම බහුතර බලය 1970, 1977 යන වසරවලදී වෙනස් පක්ෂවලට ලැබී තිබේ. 2010 හා 2019 දී බලයට පත්වූ ආණ්ඩු විවිධ උපක්‍රම මගින් තුනෙන් දෙකේ බලය ලබාගෙන තිබේ. ඒ අනුව, එක් පක්ෂයක් තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන නීතියක් වුව ද තවත් පක්ෂයකට වෙනස් කිරීමට හැකි විය.

මීට වඩා ඉහළ (හතරෙන් තුනක හෝ හයෙන් පහක) විශේෂ බහුතර බලයකින් යම් පනතක් සම්මත කළහොත් එය බොහෝ විට සැමදා පවතිනු ඇත. එහෙත් එතරම් විශාල බලයක් මේ දක්වා ලැබී ඇත්තේ 1977 මැතිවරණයේදී බලයට පත්වූ එ.ජා.ප. ආණ්ඩුවට පමණි. එම පක්ෂය ද 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළේ තුනෙන් දෙකේ නීතියට යටත්වය.

ගැටලුව වන්නේ අවංකව කළ ද හතරෙන් තුනක හෝ හයෙන් පහක බහුතර බලයකින් සම්මත කරනු ලබන නීතියක් අවිද්‍යාත්මක වුවහොත් හෝ කාලයේ වෙනස්වීම්වලට ඔරොත්තු නොදුනහොත් කරන්නේ කුමක් ද යන්නයි.

සෞඛ්‍ය සුරක්ෂිතභාවය, ආර්ථික සුරක්ෂිතභාවය, දැනුම් සුරක්ෂිතභාවය හා පාරිසරික සුරක්ෂිතභාවය වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ආයෝමය ප්‍රතිපත්ති රාමුවේ සිව් වැදෑරුම් අංගයි. ආර්ථික සුරක්ෂිතභාවය විස්තර කරන ඔහු එහි අරමුණ වන්නේ ආර්ථික වශයෙන් සමාජ සාධාරණත්වය ඇති කිරීම හා ලෝකය සමග තරග කළ හැකි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම බව ප්‍රකාශ කරයි.

දැනුම සම සේ බෙදාහරින, නවීන අදහස්වලින් යුත් නවීන, අධ්‍යාපන ක්‍රමයකින් සමන්විත වූ 21 වැනි සියවසේ සමාජයක් ගොඩනැගීම එ.ජා.ප.ය යෝජනා කරන දැනුම් සුරක්ෂිතභාවයයි. පාරිසරික සුරක්ෂිතභාවය යනු දේශගුණික විපර්යාස පාලනය කරන පැරිස් එකඟතාව මත පදනම් වූ රටක් නිර්මාණය කිරීමයි.

මෙම යෝජනා හෝ සටන් පාඨවලට කිසිවකුටත් විරුද්ධ විය නොහැකිය. ගැටලුව ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමෙහිය. එ.ජා.ප.ය මෙම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කළ පමණින් බලයේ සිටින පොදුජන පෙරමුණ එය ක්‍රියාත්මක කරන්නේ නැත. ඉදිරියේදී වෙනත් පක්ෂයක් බලයට පත්වුවහොත් එම පක්ෂය ද මෙය ක්‍රියාත්මක කරන්නේ නැත. මෙය ක්‍රියාත්මක කරන්නට නම් එ.ජා.ප.යම බලයට පත්විය යුතුය. එ.ජා.ප.ය බලයට පත්වන්නට නම් ඒ සඳහා ආණ්ඩු පක්ෂවල හා විරුද්ධ පක්ෂවල ආධාරකරුවන් ලෙස දැනට සිටින ජනතාව දිනාගත යුතුය.

පක්ෂයක ප්‍රතිපත්ති හෝ එම පක්ෂයේ නායකයන්ගේ කැපවීම්, අවංක බව ආදිය නිසා ජනතාව එම පක්ෂයට ඡන්දය දෙන්නේ නැත. එසේ වන්නේ නම් මේ වනවිට බලයේ සිටිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතාව රට ගැන හිතන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් අපේක්ෂා කරන බව වික්‍රමසිංහ මහතා තම කතාවේදී සඳහන් කළේය. එය නිවැරැදි ප්‍රකාශයක් නොවේ. ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් අපේක්ෂා කරන්නේ ජනතාවගෙන් ඉතා සුළු පිරිසක් පමණි. ජනතාවගෙන් අතිබහුතරය දූෂිත දේශපාලනයෙන් මත්වූවෝය.

ජනතාව ඉකුත් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ තම පක්ෂයේ නායකයන් ප්‍රතිපත්තිගරුක යැයි ජනතාව සිතූ නිසා යැයි වික්‍රමසිංහ මහතා වුව ද නොපවසනු ඇත. ‘ජනතාවත් හොරුනෙ මල්ලි’ යැයි වරක් රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍යවේදීන් සමග පැවැසුවේ ජනතාවගෙන් බහුතරය ප්‍රතිපත්තිගරුක නොවන බව කියාපෑමටය.

එ.ජා.ප.ය හෝ වෙනත් විරුද්ධ පක්ෂයක් හෝ ජනතාව දිනා ගන්නට නම් එම ජනතාව වත්මන් පාලනය කෙරෙහි කලකිරවිය යුතුය. එවැනි තත්ත්වයක් යම් පමණකට දැන් ගොඩනැගී ඇති බව සැබෑය. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙස වූ ඇතැම් භික්ෂූන්වහන්සේලා කරන ප්‍රකාශවලින් ඒ බව පෙනේ. ජාතික සම්පත්, කළු සල්ලි, ආර්ථික සංවර්ධනය, රැකියා උත්පාදන ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ බලාපොරොත්තු මේ වනවිට බිඳ වැටී ගොසිනි. එය හුදෙක් කොවිඩ් වසංගතය නිසාම ඇති වූ තත්ත්වයක් නොවේ.

එම කලකිරීමට අනුරූපව එ.ජා.ප.යට ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය හැකි ආර්ථික හා සමාජ වැඩපිළිවෙළක් තිබිය යුතුය. එය හුදු න්‍යායික සූත්‍රයක් හෝ හුදු පොරොන්දු වට්ටෝරුවක් නොවිය යුතුය. සාමාන්‍යයෙන් මේ රටේ දේශපාලන පක්ෂ වැඩපිළිවෙළ, මැතිවරණ ප්‍රකාශන, ප්‍රතිපත්ති ප්‍රකාශන ආදිය ලෙස ඉදිරිපත් කරන්නේ පොරොන්දු ලැයිස්තුවකි. ඒවා ඉටු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව එම දේශපාලන පක්ෂ ඇතුළත හෝ සාකච්ඡාවක් කෙරෙන්නේ නැත.

රට සංවර්ධනය කිරීමේදී විවිධාංගීකරණය වූ කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතු වේ. එහිදී ප්‍රාදේශීයකරණය වූ නිශ්චිත කාර්මික හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වූ ඉලක්ක තිබිය යුතුය. ඒවා ක්‍රියාත්මක කිරීම එකවර කරන්නට මුදල් නැති හෙයින් ඒවා කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් ක්‍රියාත්මක කරන්නට සිදුවනු ඇත. ඒ සඳහා ශාරීරික හා බුද්ධිමය කුසලතාවෙන් යුත් අවශ්‍යතාව අනුව වෙනස් වන හා පුළුල් වන ශ්‍රම බළකායක් අවශ්‍ය වේ. එය ගොඩනැඟීම වෙතට යොමුවන අයුරින් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු වනු ඇත. ඒ සඳහා ද මානව හා භෞතික සම්පත් තිබිය යුතුය. මේ සඳහා ද නිශ්චිත ව්‍යාපෘති ඉලක්ක තිබිය යුතුය. මෙවැනි නිශ්චිත ඉලක්කගත වැඩපිළිවෙළක් ඇති දේශපාලන පක්ෂයක් මේ රටේ තිබේ ද? දේශපාලන පක්ෂ තුළ මෙවැන්නක් සඳහා සංවාදයක් හෝ සිදුවන්නේ ද?

1948දී ජපානය සමග සම තත්ත්වයේ පැවැති ශ්‍රී ලාංකාව අද සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් ඉදිරියෙනැයි වික්‍රමසිංහ මහතා පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් එක් පක්ෂයකට පමණක් දොස් පැවැරිය නොහැකිය. එම තත්ත්වය ඇති වූයේ 2019 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූවාට පසු නොවේ.

එ.ජා.ප.ය තමන්ට හා රටට වැරැදුණේ කොතැනදැයි සොයාගත යුතුය. ඒ අනුව අවංක ස්වයං විවේචනයක් පක්ෂ අභ්‍යන්තරයේ පමණක් නොව රටට ද ඉදිරිපත් කළ යුතුය. දේශපාලනයේදී එවැනි ස්වයං විවේචනයක් සඳහා දැඩි සංයමයක් හා විශාල ධෛර්යයක් අවශ්‍ය වේ. එසේම එ.ජා.ප.ය වෙත ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා වූ ප්‍රායෝගික වූ ද නිශ්චිත කාල සටහනක් හා සිතියම්ගත වැඩපිළිවෙළක්ය යන්න අඩු තරමින් උගත් තරුණ තරුණියන් හෝ වටහාගත යුතුය. මෙම කොන්දේසිය අනෙක් විරුද්ධ පක්ෂවලට ද අදාළය.

එම අවබෝධය ජනතාව තුළ ඇති කිරීමට එ.ජා.ප.ය පමණක් නොව අනෙක් විරුද්ධ පක්ෂ ද අසමත් වේ නම් දැන් ජනතාවගේ අපේක්ෂා බිඳ වැටෙමින් තිබුණ ද පොදුජන පෙරමුණ තම ජනමාධ්‍ය ශක්තිය යොදා ඔවුන් යළිත් යටපත් කරනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)