නේ මුදලාලි අපේ දරු පවුල් බඩ ගින්නේ කියා, උයාගෙන කන්න හාල් කිලෝවක් ණයට ඉල්ලූවාම නොදී ඉන්න බෑ මහත්තයෝ. මේ වන විට මේ ප‍්‍රදේශයේ සිටින ගොවියන් මට රුපියල් ලක්ෂ 10ක් පමණ ණයයි. කොතරම් ණය වුණත් මේ අහිංසක මිනිස්සුන්ගේ මූණ දිහා බලල කඬේ තියෙන දෙයක් මට නොදී ඉන්න බෑ’’ යැයි මහවිලච්චිය නොච්චියාගම මාර්ගයේ බෝගහ හන්දියේ වෙළෙඳසලක් පවත්වාගෙන යන සරත් ප‍්‍රියන්ග රත්නායක මහතා පැවැසීය.

මේ වන විට මුළු රජරටම නියඟයෙන් ගොවිතැන් විනාශ වී හමාරය. මේ වන විට අනුරාධපුරයේ 1,22,000 පමණ නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.

වසර දෙකකට අධික කාලයක් පැවැති නියඟය නිසා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තන්තිරිමලේ, කහටගස්දිගිලිය, හොරොව්පොතාන, කැබිතිගොල්ලෑව, පදවිය, මහවිලච්චිය, පේමඩුව, ඔයාමඩුව සහ මන්නාරම් හන්දිය යන ප‍්‍රදේශ වල වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අයුරු එම ප‍්‍රදේශයේ සිදු කළ සංචාරයකදී අපට දැක ගත හැකි විණි.

මඤ්ඤොක්කා අලයක් තම්බාගෙන දෙවේලටම පිරිමහා ගන්නා මවුපියන් රාත‍්‍රී ආහාරය සොයාගැනීමට නොහැකිව ලත වෙමින් සිටින බව එහි ගිය අපට දැනගත හැකි විය.

මෝසම්වැසි නොලැබීම නිසා හේන් ගොවිතැන් කටයුතු හා කුඹුරු වගා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ගොවීහු පවසති. මහවැව් කීපයක බීමට පමණක් ජලය රඳවා ගෙන ඇති අතර, කුඩා වැව් සම්පූර්ණයෙන්ම වියලී ගොසිනි. ලඳු කැලෑ ගිනිගෙන ඇති අතර සතා සිවුපාවෝ පවා දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

මහවිලච්චිය ප‍්‍රදේශයේ වැසියන් දෛනික ජීවිතය ගැටගසා ගැනීමට දරන වෙහෙස ගැන අදහස් දැක්වූ ප‍්‍රියන්ග රත්නායක මහතා මෙසේ ද කීය.

කන්න කීපයකින් වගාකටයුතු කර ගන්න බැරිවූ මිනිස්සු දැඩි ආර්ථික අපහසුතාවයකට පත්වී සිටිනවා. කනකර උගස්කර අවසන්. තවත් උගස් තියන්න දෙයක් ඒ මිනිසුන්ට ඉතිරිවෙලා නෑ. කුසට ආහාරයක් සොයගැනීමට නොහැකි තත්ත්වයක දිවිගෙවනවා. දවස් කීපයකට පෙර මහවිලච්චියේ ගොවි මහතකු මන්නා පිහියක් ගෙනත් රුපියල් තුන්සියයක් ඉල්ලූවා. මා ඇසුවා ඇයි කියලා.

දරුවාට අසනීපයි බෙහෙත් ටිකක් ගන්න විදියක් නෑ රෝහලට යන්න රුපියල් තුන්සීයක් ඉල්ලූ බව ඔහු මා හට කීවා. දරු පවුල්වල කුස ගින්න නිවන්න මෙම තැනැත්තා ණයට බඩු අරගෙන තියෙනවා. ඒවා ගෙවා ගැනීමටත් නොහැකි තත්ත්වයකයි ඉන්නෙ. අන්තිමට ඔහුට ඉතිරිවෙලා තියෙන්නෙ මේ මන්න පිහිය විතරයි. ගොවියා ගැන මට අනුකම්පාවක් හිතුනා මා රුපියල් 300ක් දීලා කීවා මන්නයත් අරන්යන්න කියලා.

නමුත් මා දැක්වූ සහායෝගය අගයමින් පෙර ලබා ගෙන ඇති ණයත් ආපසු දෙන තෙක් මන්නය තියා ගන්න කීවා. මේ මන්නය රුපියල් 800ක් විතර වටිනවා. තමා කිසිවිටක උකසට කිසිවක් තබාගෙන වෙළෙඳාමක් කර නොමැති බව ද පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවිලච්චිය ඒකබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති ආර්.එස්.එම්. ඒකනායක මහතා පැවැසුවේ මෙවන් අදහසකි. අපි ජීවත්වෙන මුළු ගෙවත්තම අව්වට වේලිලා. ගමේ පොල්ගස්වල කරටි කඩා වැටිලා. ඇලවල් සිඳී ගිහිල්ලා. වැවේ දෝව හතරහට පුපුරලා. දිය බිඳක් පේනමානයේවත් නෑ.

මේ සියල්ලටම පිළියමක් ලෙස අපි වසර ගණනාවකට පෙර සිට මහවිලච්චිය වැවට වතුර ලබාදෙන ක‍්‍රමවේදයක් ගැන කථාකළා. තලාවේ ඇළ ඔස්සේ මහවිලච්චිය වැවට වතුර රැගෙන ඒමයි. කෘෂිකර්ම කමිටුවේ කොපමණ කථා කළත් ඊට පිළිතුරක් මෙතෙක් ලැබුනේ නෑ. මම ලංකාදීප පුවත්පතින් යැයි කියා ඔයාමඩුව, නිකවැව මාර්ගයේ වෙළඳසලකට ගොඩවුණෙමි. එහි හිමිකරු වූයේ උදාර මලලරත්න (45) මහතාය. විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් ඔහු කථාවට මුලපිරුවේ නියං පාළුව ගැනය.

‘‘අද කිසිදු දේශපාලනඥයකු ගානකටවත් ගන්නේ නෑ. මහවිලච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සාමාජිකයින් හැටියට අපි නියං ආධාර ලබාදෙනලෙස ඉල්ලීමක් කරමින් අපි ප‍්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකළා. කිසිදු පිළිතුරක් නෑ.

මේ ප‍්‍රදේශයේ ඇතැම් නිවාසවල දරුවන් උදේ 10.00 පමණ වනතුරු නිදාගන්නවා. දහයට විතර අවදිවෙලා මඤ්ඤොක්කා අලයක් වගේ දෙයක් කනවා. එකෙන් දෙවේලක්ම පිරිමසා ගන්නවා. මේකයි අද තත්ත්වය මහත්තයෝ?වේල පිරිමසාගන්න බැරිව වැඩිහිටියන් ලතවෙනවා.ගිය කන්නයේ පොද වැස්සට හදපු බඩ ඉරිඟු ගස්වල කරල් හටගත්තේ නෑ. ඊට පස්සේ ගස් කපලා ඔයාමඩුව ගොවිපලට කිලෝ එකක් රුපියල් තුන ගණනේ වික්කා. එදිනෙදා කුලිය දුන්නට පස්සේ අතට ඉතුරු වුණේ සොච්චමක්. අපි මූල්‍ය ආයතන වලට ණයකරුවෝ වෙලා ඉවරයි. මේවට රජය කිසිදු පිළිතුරක් දෙන්නේ නෑ යනුවෙන් ඔහු පැවසීය.

ඔයාමඩුව හන්දිය, ඇලයාපත්තුව පදිංචි අජන්ත රොමනිල් මහතා (43) මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුලාන 17ක් තියෙනවා. වතුර ලබාදීමට තියෙන්නේ ජල බවුසර් 04යි.

ඉන් එකක් කැඩිලා. ඉතිරි ජල බවුසර් තුනෙන් දහස් ගණනකට වතුර දෙන්නේ කොහොමද......? අද මෙහි වෙසෙන කිසිවෙකුට ළිං වතුර නෑ. ෆිල්ටර් කරපු වතුර බොන්නෙත් මුදලටයි. වගා ළිං කපාගන්න ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩ දෙන්නේ නෑ. නළ ළිං කපපු අයටත් නීතිය හරස් වෙලා.

මේ නියඟය පිළිබඳව ආපදා කළමනාකර ඒකකය මොනවා කරනවාද කියන්න අපි දන්නේ නෑ. දැඩි සේ පීඩාවට පත් ගොවි ජනතාව වෙනුවෙන් රජය මැදිහත් නොවන්නේ මන්දැයි ගැටලූවක් බව’’ ඔහු පැවසීය.

‘‘පසුගිය කන්නයේ බඩඉරිඟුවගාව විනාශ වුණා. ඊට කලින් වී ගොවිතැනත් හානියට පත් වුණා. මේ වතාවේ තල වගාවත් නියඟයට හසුවී විනාශ වුණා. අපි ජීවත් වෙන්නේ කොහොමදැයි’’ විලච්චියේ පදිංචි අශෝකා ගුණසේකර (59) මහත්මියගේ ගැටලූවද විය.

ඉහළ ඔයාමඩුව පෙරුම්කුලම හා සාලියගම යන ගම්මානවල වැසියෝ දැඩිසේ නියඟයට මුහුණ පා සිටිති. නිවසකට ගොඩ වූ විට ආගන්තුක සත්කාරයක් ලෙස වතුර වීදුරුවක් දිය නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

මේ වෙසෙන ගම්මුන්ගේ මුහුණුවල දක්නට ඇත්තේ මලානික බවයි. බත බුලතින් පරිපූර්ණ වූ දසමහා යෝධයන් බිහි වූ රජරට අද මෙවන් තත්ත්වයකට පත්වීම අතිශයින්ම ඛේදජනකය. මේ දුක දැනෙනුයේ රජරට වෙසෙන්නන්ට පමණය.

අදටත් වගකිය යුත්තෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කරති. මේ හා-හූව දැනගත් අනුරාධපුර පළමුවන පියවරේ පදිංචි එස්.එම්. උදාර සුභසිංහ (27) තරුණ මහතා ඉකුත් 15 වෙනි දින සමාජ සත්කාරයක නියලූනේය.  ඕස්ටේ‍්‍රලියානු රාජ්‍යයේ මෙල්බන් නුවර ඉගෙනුම ලබද්දී එහි සිටි තම මිතුරන්ට තම පෙදෙසේ වෙසෙන්නන්ගේ දුක පවසා සිටියහ. ලාංකීය සමාජය තුළ බලධාරින්ට නොපෙණුන දුකක් වේදනාවක් රට කෙරෙහි ඇති වූ හැඟීමත් මේ සමාජ සත්කාරයට දායක විය. උදාර සුභසිංහ තරුණ මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ

‘‘zWe Need Your HelpZ’’ යන අරුතින් වෙබ් අඩවියෙන් ඔහුගේ මිතුරන්ට කතා කෙළේය. මිතුරන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ලැබූ දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් 80කට වියළි සලාක බෙදා දුන්නේය. පරිත්‍යාග ලැබූවන් අතරේ බොහෝ දෙනෙකු වකුගඩු රෝගය වැළඳුන පිරිස සිටීම විශේෂත්වයකි.

ඔය සීතල කාමර වල සිටින දේශපාලනඥයන්ට අපේ දුක මතක නෑ. ඔවුන්ට අප මතක් වෙන්නේ ඡන්දයක් කාලයටයි. මීළඟට මැතිවරණයට ගමට එනකොට සලකන්න ඉදල් හා කොසු අතට ගන්නා බව ද ඔවුහු පවසති.

මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් ඊ.ආර්. තිලකරත්න මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීය. මෙම ප‍්‍රදේශයේ විශාල පිරිසක් නියඟයෙන් බැට කනවා. විලච්චියේ පවුල් 3615ක දහදහසකට අධික පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. තමන්ගෙන් කුමක් හෝ වැඩක් අරගෙන සහනාධාරයක් ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.

අනුරාධපුර මහා දිසාපති ආර්.එම්. රත්නායක මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ පැවැසීය.

මෙම තත්ත්වය ගැන ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කර තිබෙනවා. දැනට කෘෂිකර්ම කම්කරුවන්ට මසකට හාල් කිලෝ 50ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

(සටහන - උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)