නොවැම්බර් 16 වැනිද‌ා පැවැති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූයේ වැඩි ඡන්ද දහතුන් ලක්ෂ හැට ද‌හසයකිනි. (13,60,016) මේ ජනවරමෙහි තිබෙන පණිවිඩය නැතහොත් අන්තර්ගතය ගැන තමන්ට පැහැදිලි අවබෝධයක් තිබෙන බව පෙරේදා (18) අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී  පැවැති දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය අමතා කළ මංගල කතාවේදී රටට අනාවරණය කළේය. මෙය නව ජනපති හමුවේ තිබෙන අභියෝග සහ ඒවා ජය ගැනීමට කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කෙරෙන ලිපියකි. මේ ලිපිය ඔස්සේ රටට කරුණු හෙළිදරව් කරන්නේ ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ මහතාය.

නව ජනපති තේරී පත්වූයේ සිංහල ජනතාවගේ වැඩි ඡන්දයෙනි. උතුරු නැගෙනහිර පළාත්වලින් සේම සිංහල නොවන ජාතීන් බහුලව වෙසෙන රටේ වෙනත් ප්‍රදේශවලින්ද නව ජනාධිපතිවරයාට ඡන්ද ලැබුණේ ඉතා අඩුවෙනි. පුත්තලම ඒ වෙනත් ප්‍රදේශවලට කදිම උද‌ාහරණයකි. ඇත්තෙන්ම නව ජනපතිට ලැබුණු ඡන්දවලින් සියයට අනූපහක්ම සිංහල ඡන්දය. එහෙයින් මේ නව ජනපතිට සුළු ජාතික දේශපාලන නායකයන්ගේ වුවමනා මත තීරණ ගැනීමේ අවශ්‍යතාවක් නැත. මෑත දශක තුනක පමණ සිට ඒ සුළු ජාතික දේශපාලන නායකයන් දකුණේ දේශපාලන නායකයන් සමඟ කළේ අනවශ්‍ය කේවල් කිරීම්ය. ඔවුහු තමන්ගේ සැබෑ ශක්තිය හා තරම අවබෝධ කරගෙන නොසිටියහ.

දකුණේ බොහෝ නායකයන් තීන්දු තීරණ ගැනීමට පෙර ඒ සුළු ජාතික දේශපාලකයන්ට සවන්දීම නිසා රටේ එතෙක් නොතිබූ ප්‍රශ්න රාශියක් ඇතිවිය. අප්‍රේල් 21 වැනිද‌ා මිනිස් බෝම්බ ප්‍රහාර මාලාවකින් සිදු වූ මහා මිනිස් සංහාරය ද ඒ දොළ පිදේනි දේශපාලනයේ ප්‍රතිඵලයකි. නව ජනපතිට ඒ පිළිබඳව මනා අවබෝධයක් හා වැටහීමක් ඇතැයි අපි විශ්වාස කරමු. එහෙයින් මේ දොළ පිදේනි දේශපාලනයට තිත තැබීම නව ජනපති හමුවේ තිබෙන පළමු හා ප්‍රබල අභියෝගය වෙයි. දෙමළ හා මුස්ලිම් ජනතාව නොසලකා හැර සහ ඔවුනට හිරිහැර කරමින් රට පාලනය කළ යුතු බවක් අපි නොකියමු. එසේ කිරීම වැරැදිය. ඔවුහු අපේ සහෝදරයෝය. අප කියන්නේ ඔවුනගේ දේශපාලන නායකයන්ගේ පදයට නැටීමේ වුවමනාවක් නැති බවය.

ඒ දේශපාලන නායකයන්ට ඔවුනගේ තරමට වැඩි බලයක් ලැබී තිබෙන්නේ අද රටේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයෙනි. මේ ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණවලට සේම පළාත් සභා මැතිවරණවලදී අද‌ාළ වෙයි. නැතහොත් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණ දෙකම පැවැත්වෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. එය හඳුන්වාදීමේදී තිබුණේ පාවිච්චි කළ වලංගු ඡන්දවලින් සියයට දොළහයි දශම පහක් ලබා ගන්නා දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට නියෝජනයක් ලබාදීමේ කොන්දේශියකි. එහෙත් පසුව කළ සංශෝධනයකදී ඒ 12.5% කෝටාව සියයට පහ දක්වා පහත හෙළුවේය.

සුළු ජාතික පක්ෂවලට ඔවුනගේ තරමට වැඩි බලයක් ලැබුණේ ඒ අමන තීරණයේ මහිමයෙනි. එහෙයින් මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම නව ජනපති හමුවේ තිබෙන තවත් අභියෝගයකි. සමානුපාතික මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර යළි පැරැණි ආසන ක්‍රමයටම යාම දැන් කළ නොහැකිය. සුළු ජාතිකයන්ට ඔවුන්ගේ ජන අනුපාතයට ගැළපෙන සාධාරණ නියෝජනයක් ලැබිය යුතුය. එහෙයින් සරල බහුතර හා සමානුපාතික ක්‍රම දෙකේම පවතින හොඳ ලක්ෂණ ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වහාම රට හඳුන්වා දිය යුතුය. ඒ සංශෝධන කළ යුත්තේ ජනවරමේ උණුසුම පැවැතියදීමය. අත්‍යවශ්‍ය සංශෝධන කිරීම කල් දැමුවහොත් වන්නේ ඒවාට ජනතා අනුමැතිය ලබාගත නොහැකිවීමය. එසේම කල් යනවිට ජන මනසට විස එන්නත් කිරීමට විරුද්ධ පාක්ෂික දේශපාලකයන්ට හැකියාවද නොඅඩුව ලැබෙයි.

මැතිවරණ ක්‍රම සංශෝධනය මේ පවතින පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත නොහැකිය. මේ පාර්ලිමේන්තුවේ යම් බලයක් දොළ පිදේනි දේශපාලකයන්ට සේම මස් රාත්තලම ඉල්ලමින් දේශපාලනය කරන්නන්ට ද හිමිවී තිබේ. එහෙයින් කළ යුත්තේ හැකි ඉක්මනින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉතා ඉක්මනින් යළිත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමය. මහා මැතිවරණයක් ඉක්මනින් පැවැත්වීමේ තවත් අත්‍යවශ්‍ය වුවමනාවක්ද තිබේ. එය නම් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ජනාධිපතිවරයා නියෝජනය නොකරන පක්ෂ හා කණ්ඩායම්වලට හිමිවී තිබීමය.

අරමුණු, පරමාර්ථ හා වැඩ පිළිවෙළ අතින් ඒකමතික භාවයක් නැති ඒ බහුතරය සමඟ නව ජනපතිට කටයුතු කළ නොහැකිය. ගමනක් යා නොහැකිය. පවතින තත්ත්වය හෙවත් පවතින පාර්ලිමේන්තුව විලංගුවකි. නව ජනපතිට තම අරමුණු කරා යාමට නම් සහ එතුමන්ට ජනවරම දුන් ජනතා අභිලාෂ ඉටු කිරීමට නම් මේ විලංගුව ගලවා දැමිය යුතුමය. පාර්ලිමේන්තුවේ වර්තමාන සංයුතිය සමඟ රටට ඉදිරි ගමනක් නැති බව පසුගිය අවුරුදු පහ පුරාම ප්‍රදර්ශනය වූ අවස්ථා කෙළවරක් නැත. එහෙයින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර හැකි ඉක්මනින් නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය. එය කරගත හැකි ක්‍රම වේදය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. ව්‍යවස්ථානුකූලව ජාතික අභිවෘද්ධිය තකා කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වගකීමකි. යුතුකමකි.

ඉහත අප සඳහන් කළේ නව ජනපති හමුවේ පවතින දේශපාලන අභියෝග කීපයකි. දේශපාලන වශයෙන් රට ස්ථාවර වන්නේ ආර්ථිකමය වශයෙන්ද සුරක්ෂිත වුවහොත් පමණකි. ආර්ථික සංවර්ධනයේ යාන්ත්‍රණය පෞද්ගලික අංශයයි. රාජ්‍ය ව්‍යවසායකයන් අති විශාල බහුතරයකින් සිදුවන්නේ මහ භාණ්ඩාගාරය හිස් වීමය. හිස් වන භාණ්ඩාගාරය පුරවන්නට සිදුවන්නේ බදු ආද‌ායම මගිනි. එහෙත් රටේ පවතින්නේ සරල බදු ක්‍රමයක් නොවේ. එය ඉතා සංකීර්ණය. වැට් (Vat) පැල් (Pal) හා එන්.බී.ටී ලෙස බදු ද රාශියකි. බරපතළ ප්‍රශ්නය වන්නේ බදු රාශියක් තිබීම නොව තියෙන බදු සරල නොවීමය. ඒවා ඉතා සංකීර්ණය. ඒ නිසාම රජයට අපේක්ෂිත බදු ආද‌ායම්ද නොලැබී යයි.

නව බදු ක්‍රම හඳුන්වාදීමේදී මෙන්ම තියෙන බදු සංශෝධනයෙදීද රාජ්‍ය නිලධාරීන් හා විෂය භාර ඇමැතිවරුන් න්‍යායාත්මකව සිතා මතා තීරණ ගන්නවා මිස ප්‍රායෝගිකව නොසිතති. කල්පනා නොකරති. ඒ නිසාම බදු නොගෙවා රිංගා යාමට බොහෝදෙනා උනන්දු වෙති. උනන්දු කරවති. එහි අවසාන ප්‍රතිඵලය රජයට අය කරගත හැකි තරම් බදු අය නොවීමය. එහි වගකීම භාරගත යුත්තෝ පොතේ ගුරු රාජ්‍ය නිලධාරීන් හා ඔවුන් කියන හැටියටම කටයුතු කරන විෂය භාර ඇමැතිවරුය. ඔවුහු ව්‍යාපාරික ප්‍රජාවට සවන් නොදෙති. ඕනෑම නීතියක රීතියක කොන්දේසියක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය මැනවින් දන්නෝ ව්‍යාපාරිකයෝය, කර්මාන්තකරුවෝය. රටට – ජාතියට ආදරයක් නැති ජාවාරම්කරුවන්ද සිටින බව කවුරුත් දනිති. එහෙත් ජාති මාමක දේශීය කර්මාන්තකරුවන්ගේ හඬට සවන් දුන්නොත් රාජ්‍ය බදු ආද‌ායම ඉතා පහසුවෙන් ඉහළ නංවා ගත හැකිය. එය නව ජනපති හමුවේ තිබෙන එක් ප්‍රබල ආර්ථික අභියෝගයකි.

දේශීය කර්මාන්තකරුවන්ගේ සහාය රජයට ලබා ගැනීමට නම් නව ජනපති අනිවාර්යයෙන් කළයුතු පළමු කටයුත්ත වන්නේ කර්මාන්ත සඳහාම වෙන්වූ අමාත්‍යංශයක් ස්ථාපිත කර ඒ ඇමැතිකම දැන උගත්, පුළුල් දැක්මක් තිබෙන, අනුන්ට සවන් දීමට උනන්දුවන සිංහල බෞද්ධයකුට භාරදීමය. පසුගිය රජයන් දෙක යටතේම කර්මාන්ත අමාත්‍යාංශය වෙළෙඳ අමාත්‍යංශය සමඟ ගැටගසා තිබිණි. එසේම ඒ ආණ්ඩු දෙක යටතේම ඇමැති හැටියට සිටියේ එක පුද්ගලයෙකි. ඔහු වෙළෙඳ‌ාමට උනන්දු වූවා මිස කර්මාන්ත දියුණු කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත. ඒ ඇමැති සේම අමාත්‍යංශයේ නිලධරයෝද කර්මාන්තකරුවන්ට සවන් නොදුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට තිබූ ඇතැම් කර්මාන්ත වැසී ගිය අතර ඇතැම් කම්හල් හිමියෝ රට හැර ගියහ. වැසුණු කම්හල්වල සේවය කළ ලාංකිකයෝ පාරට වැටුණහ. කර්මාන්ත සඳහාම වෙන් වූ අමාත්‍යංශයක් සේම ඒ අමාත්‍යංශය භාරදිය යුත්තේ කෙබඳු පුද්ගලයකුටදැයි අප ඉහත සඳහන් කළේ යළි යළිත් එසේ නොවීම සඳහාය.

එය නව ජනපතිට පහසුවෙන් ජයගත හැකි අභියෝගයක් බව අපේ විශ්වාසයයි. අනවශ්‍ය සහනාධාර අහෝසි කර සහනාධාර දිය යුතු සැබෑ ක්ෂේත්‍ර හඳුනා ගැනීම නව ජනපති හමුවේ තිබෙන තවත් ආර්ථික අභියෝගයකි. රසායනික පොහොර සඳහා දෙන සහනාධාරය රටට කරන මහා විනාශයකි. වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට රසායනික තෙල් පොහොර භාවිතය සෘජුව බලපා තිබෙන බව දැන් මේ රටේ නොදරුවන් දන්නා කාරණයකි. එහෙත් සහනාධාර දිදී මහ පොළොවට තව තවත් රසායනික පොහොර පොම්ප කරයි. එයින් මහ පොළොව නිසරුවෙයි.

විස වෙයි වස විස මුසු මහ පොළොවේ ජලය බොන ජනයා රෝගී වෙති. ඒ පොළොවේ හැදෙන ගඩා ගෙඩි හා අල බතල කන ජනතාවද රෝගීහු වෙති. වකුගඩු රෝගීන් සංඛ්‍යාව සේම මරණ ගණන ද වාර්ෂිකව ඉහළ යන්නේ ඒ හේතුවෙනි. එහෙයින් රසායනික ගොවිතැනට ආයුබෝවන් කියා හැකි ඉක්මනින් කාබනික ගොවිතැනට මුළු රටම යොමු කළ යුතුය. ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය දිරිමත් කළ යුතුය. එය දිරිමත් කිරීමට සහනාධාර දිය යුතුය. රසායනික පොහොරට දෙන සහනාධාරය රටින් පිටට ඇදී ගියත් කාබනික පොහොරට දෙන සහනාධාරය රටින් පිටට ඇදී යන්නේ නැත. එමගින් රටත්, පරිසරයත්, ජනතාවත් සුඛිත මුදිත වන්නා සේම එමගින් කුණු කසළ ප්‍රශ්නයට ද යම් පිළියමක් ලැබෙයි. එසේම රටින් පිටට ඩොලර් ඇදීයාමද නවතිනු ඇත.

කාබනික පොහොර නිෂ්පාදනයට සහනාධාර දී එය දිරිගැන්වීමෙන් ලැබෙන ප්‍රතිඵල එතරම් සුවිශාලය. එසේම ඒ ඔස්සේ හාල් නිෂ්පාදනය ද දිරිමත් කළ යුතුය. හාල් පිටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් ආරම්භ කළ යුතුය. සියයට 100 ක් හාල්පිටිවලින්ම පාන් නිෂ්පාදනය කළ හැකි වුවත් ආරම්භ කළ ඒ කර්මාන්ත ශාලා අඩපණ වූයේ ඉතා අඩු මිලට පාන්පිටි ලබා දීමෙනි. පාන් පිටි රටින් ගෙන්වීම සඳහා රටේ තිබෙන ඩොලර් රටින් පිටට ඇදී යයි. එසේම පාන් පිටි ආහාරයට ගැනීම නිසා රටේ බෝ නොවන රෝගීන් සංඛ්‍යාව දිනපතා ඉහළ යයි. එහෙයින් රජයේ සෞඛ්‍ය වියදමද ඉහළයයි. ඒ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හා වෙනත් වෛද්‍ය උපකරණ රටින් ගෙන්වීමට ද රටින් පිටට ඇදී යන්නේ අපේ ඩොලර් සංචිතය. ඒවා එසේවීම වළක්වා ගැනීමට කළ යුත්තේ තිරිඟු පිටි සඳහා අතිරේක බද්දක් පැනවීමය. එමගින් තිරිඟුපිටි නිෂ්පාදන භාවිතය පහළ ගොස් බෝනොවන

රෝගීන් සංඛ්‍යාවසේම රටින් පිටට ඇදීයන ඩොලර් ප්‍රමාණය ද පහළ යනු ඇත. එසේම කෘෂිකර්මාන්තය දියුණුවී හාල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කම්හල් බිහිවීමෙන් නව රැකියා උත්පාදනයවී විරැකියාවද අවම වෙයි. එසේ වන තැනට කටයුතු කිරීමට මුදල් වැය නොවෙයි. අවශ්‍ය වන්නේ දෑ හිතකාමී දැක්මකි. එසේම ඒ දැක්ම යථාර්ථයක් කළ හැක්කේ අධිෂ්ඨානශීලි කර්මාන්ත ඇමැතිවරයකුටය. නව ජනපතිට එයද පහසුවෙන් ජයගත හැකි අභියෝගයක් බව අපේ විශ්වාසයයි.

විදේශ විනිමය සංචිත රැකගැනීම සඳහා කළයුතු තවත් වැදගත් කාර්යයක් වන්නේ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමය. අලෙවිකරුවන් විසින් ආනයනය කරනු ලැබ ගාල් කරගෙන සිටින වාහන ඉදිරි අවුරුදු තුනකට ප්‍රමාණවත් බව වාහන වෙළෙඳපොළ පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි. අලුත් වාහන ගෙන්වීම නැවැත්වීමෙන් පාවිච්චි කළ වාහන සඳහා වෙළෙඳ පොළක් (Second Hand) ද නිර්මාණය වන අතර එමගින්ද විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරිවෙයි.

යම් හේතුවක් මත වාහන ගෙන්වීමට අවශ්‍ය වුවත් විශාල වශයෙන් පෙට්‍රල් භාවිත කෙරෙන එන්ජින් ධාරිතාව 2000 ට වැඩි වාහන ගෙන්වීමට ඉඩ නොදිය යුතුය. එවැනි එන්ජින් ධාරිතාවයක් සහිත වාහන පැදවීමට සුදුසු පාරවල් ලංකාවේ නොමැති බව අප වටහා ගත යුතුය. වාහන ආනයනය සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීම අභියෝගයක් නොවේ. එය සෘජු තීරණයක් ගැනීමෙන් කළ හැකි කටයුත්තකි. තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය නැවැත්වීමට අවස්ථානුකූලව සෘජු තීරණ ගත් නව ජනපතිට එවැනි සෘජු තීරණ ගැනීමේ හැකියාවක් තිබෙන බව රටවැසියන්ගේ අවබෝධයයි.
සෘජු තීරණ ගැනීමෙන් නවතා දැමිය යුතු තවත් කටයුතු කීපයක්ද තිබේ.

එනම් හඳුන්කූරු, සරුංගල්, සියඹලා හා ගොරකා රටින් ගෙන්වීම වහාම නැවැත්විය යුතුය. වියළි කලාපයේ ඉබේ පැළවී හැදී වැඩි විශාලවන සියඹලා ගස්වල කරල් හැදෙන්නේ කිසිම සාත්තුවකින් තොරවය. සියඹලා වැටී ගස් යටම කුණුවී යයි. ගොරකා සම්බන්ධයෙන් ද කිවයුත්තේ ඒ ටිකමය. එහෙයින් සියඹලා හා ගොරකා රටින් ගෙන්වීම ලැජ්ජාවිය යුතු කාරණයකි. එසේම සෙල්ලම් බඩු රටින් ගෙන්වීමද සීමා කළ යුතුය. ඒවා රටින් ගෙන්වීම තහනම් හා සීමා කළ යුත්තේ විදෙස් විනිමය සීමිත බැවිනි. තියෙන සංචිත රැක ගැනීමටය. සෘජු තීරණයකින් නැවැත්විය යුතු තවත් කාරණයක් වන්නේ විදේශිකයන් මෙරට සිල්ලර වෙළෙඳ‌ාමෙහි නියුතු වීමය. ඒ පියවර ගත යුත්තේ මෙරට සිල්ලර වෙළෙඳුන් සේම පාරිභෝගිකයන්ද රැකගත යුතු හෙයිනි.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්