සීත මීදුම් සළු දවටා ගත් සමනොළ අඩවියේ කඳු පන්තිය අපූර්ව සිත්තමකි. මීදුමින් හා වලාකුළින් බරවූ කඳු මුදුන් අපට නොපෙනේ. වන අඩවිය පිස හමන මඳ සුළඟ ගතට සිසිලක් ගෙනේ. මහ පොළොවේ සිට අහස සිපගත් කඳු පන්තිය දෙස අපි බොහෝ වේලා බලා සිටියෙමු. ඇති නොවන තරමේ දර්ශනයකි. කඳු පන්ති කිහිපයක් අතරේ පෙනෙන ශ්‍රී පාදය පූජනීය හැඟුම් ජනිත කරවයි. මළුවේ සිට පහතට විහිදෙන ලයිට් එලිය අලූයම නිසා තවම එළිය විහිදුවයි. සිරිපා කරුණා කරන බැතිමත්හු අප සිිටින මානයට පැහැදිලිව පෙනේ. ‘සිරිපා කරුණා කළ හැකිනම්’ යන හැඟීමක් සිත පහළ කළත් මේ ඊට අවස්ථාව නොවේ.


අද අපේ ගමන සිරිපා අඩවියේම වෙනත් කථාන්දරයකි. සිරිපා අඩවියේ වැඩ සිටින යෝගී හිමිනමක් පිළිබඳ ආරංචිය අපට අසන්නට ලැබුණේ කලකට පෙරදීය. අද උන්වහන්සේ මුණ ගැසෙන පින්වන්ත චාරිකාවයි.


1980 වර්ෂයේ පැවිදි වී 1982 වසරේ සිරිපා අඩවියේ වනගත වූ උන්වහන්සේ තවමත් මේ ගන කැලයේ බවුන් වඩති. ලාභ, ප‍්‍රසංශා, සැප සොයා දුවන ලෝකයෙන් මිදී උන්වහන්සේ මහා පාරමී දහමක් පුරති. මිනිස් වාසයෙන් කිලෝමීටර් හත අටකට එහා රූස්ස කැලයේ ගල් ලෙනක හුදෙකලාවී උන්වහන්සේ සසර විමුක්තිය සොයති. ධර්ම ඥානය අතින් ස්වාමින් වහන්සේ ස්ථිර වශයෙන්ම ඉහළ තැනෙක සිටින බව දෙවරක් නොසිතාම අපට හැඟේ.


අලි, කොටි, වලසුන් ගහන කැලයක අල, ගෙඩි, කොළ වළඳමින් තිස් වසක් තිස්සේ කරන මේ උත්තරීතර වෑයම අපට නම් පුදුමයකි. එහෙත් මේ ඇත්තකි. මාසයේ පෝදිනට පමණක් වනඅඩිවියට නුදුරු ගමේ පන්සලට පැමිණ ධර්ම දේශනයක් පැවැත්වීම උන්වහන්සේගේ සිරිතයි. යළි එදිනම වනගත වීමටද උන්වහන්සේ වග බලා ගනී.


සිරිපා අඩවියේ වෙසෙන යෝගී භික්ෂුව අප හමුවන්නේ ලොවුතුරු සද්ධර්මයෙන් බිඳක් ඔබට ලබාදීමේ බලාපොරොත්තුවෙනි. නම්, ගම්, ස්ථාන කිසිවක් සටහන් නොකිරීමේ වගකීමක් අපට පැවරී තිබේ. එසේ හෙළි කිරීම අපට බාධාවක් නොවුණත් මේ යෝගාවචර භික්ෂූන් වහන්සේට බාධාවකි. උන්වහන්සේ ඔබ උදෙසා දේශනා කරන ධර්මය පමණක් ඔබට ගෙන එමු. මේ කාර්යය වෙනුවෙන් අපට අවස්ථාව දුන් ගමේ විහාරාධිපති හිමියන්ට ගෞරවය පුද කරමු.
බණ අසන හෝ ඇසූ පමණට කෙනෙක් ධර්මය පිළිපදින බවක් නොපෙනේ. එසේ වී නම් ධර්මකාමී පරිසරයක් රටේ සාමාජයේ ස්ථාපිත වීම අරුමයක් නොවන්නකි. ධ්‍යාන, මාර්ගඵල බොහෝ දුරට සමාජයේ වැසී පවතී. අධර්මිකයන් මතුවී ධාර්මිකයන් යටපත්වී තිබේ. සමහරු තුළ ධර්ම මාර්ගයක් පිළිබඳ උනන්දුවක් තිබුණත් ඒවා වැඩිවශයෙන් ආමිසයට පමණක් සීමා වී තිබේ. ධර්ම මාර්ගයක් අපේක්‍ෂා කරන්නකු තුළ තිබිය යුතු ගුණාංග කවරේද, යන්න පිළිබඳව සිරිපා අඩවියේ යෝගී හිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.


සද්ධර්ම මාර්ගයේ ඉදිරියටයන්න නම් මුලින්ම ඇති කර ගත යුතු දේ තමයි ශ‍්‍රද්ධාව. ශ‍්‍රද්ධාව ධනයක්. ධනය නැතිව මොකුත් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ කෙරෙහි ඉතාමත් පැහැදීමෙන් යුතුව උන්වහන්සේ ගුරු උපදේශ රහිතව දේශනා කළ ධර්මය කෙරෙහි දැඩි විශ්වාසය ඇතිකර ගත යුතුයි.


ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් ඒ ධර්මය කෙරෙහි මහත්වූ ශ‍්‍රද්ධාවක් ඇතිකර ගත යුතුයි.
ඒ ඇතිකරගත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ධර්මය ඉගෙන ගැනීමට විශාල කැමැත්තක් තිබිය යුතුයි.
ධර්මය කෙරෙහි කැමැත්තෙන් යුතුව අසා දැනගත යුතුයි. කියවා තේරුම් ගත යුතුයි.
අසා දැනගත් ධර්මය, කියවා තේරුම් ගත් ධර්මය පිළිබඳව නුවණින් විමසිය යුතුයි.
නුවණින් විමසන ධර්මය තමන්ට ගළපා ගෙන ප‍්‍රායෝගිකව අත්දැකීමට උත්සාහකළ යුතුයි.


ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් මේ කාරණා මුලින්ම ඇතිකරගන්න  ඕනෑ. මේ සඳහා අවශ්‍ය කරන්නේ ප‍්‍රඥාවමයි. වීර්යයෙන් යුතුව සිහිය දියුණු කරගන්න  ඕනෑ. වීර්යයයි, නුවණයි, සිහියයි තියෙනවා නම් එයා දිගටම ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා.


ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට ප‍්‍රඥාව අවශ්‍ය බව උන්වහන්සේ පවසයි. ආර්ය මාර්ගයේ ප‍්‍රඥාව වර්ධනය වන ආකාරය යෝගී හිමියෝ මෙසේ සඳහන් කරති.
ආර්ය මාර්ගයට බැහැලා, ඒ අනුව ජීවිතය සකස් කර ගන්න කොට තමන්ට ඒ පිළිබඳව නිවැරදි දර්ශනය ගැන වැටහෙන ස්වභාවය, ඒකට තමයි ප‍්‍රඥාව වර්ධනය වෙනවා කියන්නේ. ප‍්‍රඥාව  ඕනෑම පුද්ගලයකුට තියෙනවා. තියෙන දේ දියුණු කර ගන්නයි  ඕනෑ. මූලික වශයෙන් දියුණු වන මාර්ගය තමයි,
යහපත් දේවල නිරත වෙමින් ඒ කුසල කටයුතු කිරීම තුළ වර්ධනය වෙනවා.


ධර්මය ඇසීම, ධර්මය කියවීම මගින් වර්ධනය වෙනවා.
මාර්ගය වැඞීම මගින් සම්පූර්ණ ප‍්‍රඥාව වර්ධනය වෙනවා.


කෙනෙක් ප‍්‍රඥාව ලැබෙන්නැයි ප‍්‍රාර්ථනා කරති. ප‍්‍රාර්ථනාවෙන් ලැබෙන ප‍්‍රඥාවක් ඇත්ද?
ප‍්‍රාර්ථනා කිරීම මත ප‍්‍රඥාව ලබන්න බෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා කියන්නෙ නිවන් අවබෝධ කිරීම. අරහත්වයට පත්වෙන්න නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා, අවිද්‍යාව, තණ්හාව දුරුකළ යුතුමයි. ප‍්‍රාර්ථනා කිරීම කියන්නේ ඉච්ඡුාව, ඉච්ඡුාවෙන් ලබන්න පුළුවන් දෙයක් නෑ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න නම් මාර්ගය වැඩිය යුතුයි.  මාර්ගය නොවඩා නම් කිසිවක් දකින්න ලැබෙන්නෙ නැහැ.


මේ මාර්ගය ඇත්තේ කොහිද?
මාර්ගය තියෙන්නේ විදර්ශනාවේ. විදර්ශනාවේ පළවැනි ඥානය උදයව්‍ය ඥානය. සම්මා දිට්ඨියට ආවට පස්සේ එයා ලෝකෝත්තර පැත්තට ගමන් කරනවා. ඔය විදිහට මාර්ගය වඩාගෙන යනකොට සංස්කාර සංසිඳෙනවා. නැවත නැවතත් වඩමින් යනකොට සංස්කාර සන්සිඳෙනකොට උදයව්‍ය ඥානය, භංග ඥානය, භයතු පච්ච ඥානය ආදී විදර්ශනා ඥාන ටික ඔතන ඇතිවෙනවා. වැඩි වැඩියෙන් බිදි බිඳී යන ස්වභාවය භංග ඥානය. මේ බිඳි බිඳී යන ස්වභාවය පේන කොට මේ බිඳී යන ස්වභාවය පවතීද කියල බියක් ඇතිවෙනවා. ඒක භයතුපච්ච ඥානය.

 


ඊළඟට සංස්කාර පිළිබඳව උපේක්ෂාවට පැමිණීම සංස්කාර උපේක්ඛා ඥානය. ඒ කියන්නේ දැන් ඔය දකින දර්ශනය නොපෙනී යනවා. සංස්කාරයන්ගේ දකින උදවිය නොපෙනී යනවා. එය නොපෙනී යෑම නිසා සංස්කාර පිළිබඳ උපේක්ෂාවට එනවා. සංස්කාර උපේක්ෂා ඥානයට පස්සේ ගෝත‍්‍ර භූ ඥානය. ඔය ඥාන ටික ඔතනදී වඩ වඩා යනවා. ගෝත‍්‍ර භූ ඥානය දියුණු කළාට පස්සේ මග්ගා මග්ග ඥානය. මග්ගා මග්ග ඥානයෙන් මාර්ගය අමාර්ගය දෙක තෝරාගෙන මාර්ගයේ ගමන් කළාට පස්සෙ ඥාන දස්සන විසුද්ධිය ඇතිවෙනවා.


ඔය ආකාරයට ඥාන ටික ඇතිවේගෙන ගිහිල්ලා ගෝත‍්‍ර භූ ඥානය ඇති කරගත්තට පස්සේ කිසි බියක් ඇති කර ගන්න දෙයක් නෑ. ගෝත‍්‍ර භූ ඥානය කියන්නේ මේ ගෝත‍්‍රයේ හිටියා, දැන් ආර්ය ගෝත‍්‍රයට පැමිණුනා. මේ පැත්තෙන් එහා පැත්තට තල්ලූවෙන එකයි තියෙන්නේ. පෘථග්ජන ගෝත‍්‍රයෙන් ආර්ය ගෝත‍්‍රයට පිවිසුනා කියන එක. ගෝත‍්‍ර භූ ඥානයට පස්සේ මග්ගා මග්ග ඥානය. ඒ වැඞීගෙන යන්නෙ ලෝකෝත්තර මාර්ගය. ඔය විස්තර කළේ බොහොම කෙටියෙන්. ප‍්‍රායෝගිකව අත්දකින දෙයක් මිස අසා දැනගෙන ප‍්‍රත්‍යක්ෂ අවබෝධයට එන්න බෑ. විදර්ශනා වැඞීමෙන්ම තමයි විදර්ශනා ඥාන ඇතිකරගත හැක්කේ. ඒක අවබෝධයක්. ඒ අවබෝධයට යන්න  ඕනේ ප‍්‍රායෝගිකව යෙදිලයි.


මතු සම්බන්ධයි.


(ප‍්‍රණාමය: විහාරාධිපති සුනන්ද හිමියන්ට, මහින්ද අමුගොඩ හා රංජනී මැතිනියට)

 

සටහන : අසංක ආටිගල