පොල් ගෙඩි පනහකට ත‍්‍රීරෝද රියක් විකිණුනු යුගයක් තිබුණි. පොල්ගෙඩි දෙකකට යතුරු පැදියක් විකිණුනු යුගයක් විය. එපමණකුදු නොවේ. හාල් ගෝනියකට මෝටර් රථයක් මිල කෙරුණු යුගයක් ද තිබුණි. ඒ අවසන් මානුෂීය මෙහෙයුම ක‍්‍රියාත්මක වෙද්දී වෙල්ල මුල්ලවෛක්කාල් සටන් බිමේ උග‍්‍ර ආහාර හිඟයක් පැවති කාලයේදීය. බඩගින්න නිවාගන්නට ආහාරයක අවශ්‍යතාව මිස වාහනයක වටිනාකම ගැන සිතන්නට ජනතාවට නිනව්වක් නොවූ කාලයේදී පොල් ගෙඩියට සහල් ගෝනියට මිල කෙරුණු වාහන පිළිබඳව මතකය නැවතත් සිහිගැන්වුණේ තීරු බදු රහිත වාහන බලපත් ලාභීන් එම බලපත‍්‍රය දඩමීමා කරගෙන කරන වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය කළ යුතු යැයි සිතුණු පසුබිමකදීය.

 

 

අප රටේ බහුතරය ආර්ථිකමය වශයෙන් අර්බුදකාරි තත්ත්වයකට මුහුණදී සිටිය ද ඉකුත් කාලයේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් කළ පරිදි එකක් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් වාහන දහයකට වැඩි සංඛ්‍යාවක් දිනකට ලියාපදිංචි කෙරේ. අප රටේ පවතින ආර්ථික විෂමතාව අනුව සුළු පිරිසක් අතරේ ධනය හා සම්පත් කේන්ද්‍රගත වීමත් මීට බලපා ඇත.

ඉකුත් කාලයේ ප‍්‍රවාහන අමාත්‍යංශය මගින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළිදරව් වූ කරුණු අනුව වාහන අයත් ජනගහනය පුද්ගලයන් 1000කට 130කි. 2021 වර්ෂය වන විට පුද්ගලයන් 1000කට 270ක් වශයෙන් වාහන භාවිත කිරීමේ ප‍්‍රවණතාව දෙගුණ වේ යැයි විශ්වාස කෙරේ. අධික මිල ගණන් යටතේ වූ වාහන බොහෝමයක් දේශපාලඥයන් සතු ඒවා වීම ද විශේෂ ලක්‍ෂණයකි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පළාත් ආණ්ඩුකාරවරුන්ට, පළාත් පාලන ආයතන සභාපති හා උපසභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්ට, වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, රජයේ ඉහළ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත් හිමි වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වසර පහකට වරක් ද පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට අදාළ නිල කාලයේ එක් වතාවක් ද පළාත් පාලන සභාපති හා උපසභාපතිවරුන්ට අදාළ නිල කාලයේ එක් වතාවක් ද මෙම තීරුබදු රහිත වාහන බලපත් හිමිවේ.

රාජ්‍ය සේවයේ නිරත විධායක මට්ටමේ කළමනාකරණ නිලධාරීන් හා වෘත්තියමය තනතුරු දරන්නන්ට සහනදායි කොන්දේසිවලට යටත්ව වාහනයක් ආනයනය කර ගැනීමට ලබා දී තිබූ වරප‍්‍රසාදය දැන් මෙම ප‍්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන්ට ද හිමිය.

2011 වසර වෙද්දී තීරුබදු රහිතව ලක්‍ෂ 40කට මිලදී ගත හැකිව තිබූ බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක බලපත‍්‍රය ඇතැම් මන්ත‍්‍රීවරුන් විසින් විකුණන ලද්දේ ලක්‍ෂ 200ක පමණ මුදලකට වූ අතර ලක්‍ෂ 30කට ලබාගත හැකි වූ වොල්වෝ වර්ගයේ මෝටර් රථයක තීරු බදු රහිත වාහන බලපත‍්‍රය අලෙවි කෙරුණේ ලක්‍ෂ 150කට ය. එමෙන්ම එම කාලයේදී තීරුබදු රහිතව ලක්‍ෂ 25ක මුදලට ලබාගත් වාහන බලපත‍්‍රය ලක්‍ෂ 175කටත් ලක්‍ෂ 40ක ප‍්‍රාඩෝ වාහන බලපත‍්‍රය ලක්‍ෂ 200කටත් ඒ කාලයේදී අලෙවි කෙරුණි.

තීරු බදු රහිත වාහන බලපත‍්‍රය මින් පෙර පැවැතියේ නීතිය අනුව වසර 5ක් යන තෙක් විකිණීමට හෝ පැවරීමට නොහැකි ආකාරයෙනි. එහෙත් නව නීති සංශෝධනය අනුව තීරු බදු රහිත වාහන බලපත‍්‍රලාභියාට බලපත‍්‍රය විකිණීමට හෝ පැවරීමට බාධාවක් නැත. එමෙන්ම තමන්ට අවශ්‍ය වාහනයක් ගෙන්වා එය ඒ මොහොතේම අලෙවි කිරීමට ද අද කිසිම බාධාවක් නැත.

පෙර පැවති සීමා යටතේ වුව ද මෙම තීරු බදු රහිත වාහන බලපත් විකිණීම හෝ වාහනයක් ගෙන්වා නාමිකව අලෙවි කිරීමට කිසිදු ආකාරයේ නීතිමය බාධාවක් දේශපාලනඥයන්ට පැවතී යැයි ප‍්‍රායෝගිකව භාවිතය මගින් තේරුම්ගත හැකිය. මක්නිසාදයත් ඔහු එම නීතිමය බාධාව නමැති බන්ධනයෙන් සූක්‍ෂ්ම ලෙස රිංගා යෑම සඳහා පසුබිම සකස් කරගෙන තිබූ හෙයිනි.

එදා මෙම තීරු බදු රහිත වාහන බලපත‍්‍රය පසුබිම් කරගෙන ගෙන්වූ වාහන දේශපාලනඥයන් විසින් දෙවැනි පාර්ශවයක් වෙත අලෙවි කිරීම පිටුපස ජාවාරම ක‍්‍රියාත්මක වූයේ මේ අයුරිනි.

උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා හෝ පළාත් සභා මන්ත‍්‍රිවරයා තම වරප‍්‍රසාද ලෙස රජයෙන් ලැබෙන ඩොලර් 40,000 (ලක්‍ෂ 40ක්) පමණ වූ වාහන බලපත‍්‍රය මගින් ඔහු එය අලෙවි කිරීමට අදහස් කරන අයගේ ඉල්ලීමට සරිලන සේ වාහනයක් ඇණවුම් කර ගෙන්වා ලක්‍ෂ 100කට අවම තරමින් අලෙවි කරයි. එහෙත් තීරු බදු සහිතව මෙහි සැබෑ වෙළෙඳපොළ වටිනාකම ලක්‍ෂ 120ක් පමණ වෙයි. ඒ පසුබිම මත ගැනුම්කරුටද රුපියල් ලක්‍ෂ 20ක පමණ ලාභයක් හිමිවෙයි. මෙම ගණුදෙනුවේදී ඇත්ත වශයෙන්ම දේශපාලනඥයා ලක්‍ෂ 60ක පමණ අයුතු ලාභයක් ලබාගනියි.

මෙහිදී දැකිය හැකි තවත් විශේෂිත කරුණක් වනුයේ දේශපාලනඥයාට ලැබුණු මෙම බදු රහිත වාහන බලපත‍්‍රයේ වටිනාකම වාර්ෂික ක්‍ෂය වීමේ ක‍්‍රමය යටතේ තම මාසික දීමනාවෙන් කොටස් වශයෙන් අඩුකර ගැනීමේ පදනමට යටත්ව මෙය ලබාදීමයි. මේ අනුව දේශපාලනඥයා ලබන ලාභය තව තවත් ඉහළ පරාසයකට ඔසවා තැබේ.

තවත් පැත්තකින් රටේ කවර ප‍්‍රශ්න අර්බුද පැවතියත් දේශපාලනඥයන්ගේ සුබ සාධනය උදෙසා ගැනෙන තීරණයන්ගේ නම් අඩුවක් නැත.
නිල කාලය දීර්ඝ කර ඇති උතුරු හා නැගෙනහිර පළාත් පාලන ආයතන 11ක ප‍්‍රධානීන්ට බදු සහන වාහන බලපත‍්‍ර ලබාදීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වීම ඊට එක් නිදසුනක් පමණි.

ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව ඞීසල් එන්ජින් ධාරිතාව 2500ක හා පෙට‍්‍රල් එන්ජින් ධාරිතාව 1500 නොඉක්මවන වාහන ආනයන කිරීමේ ඉඩහසර මේ යෝජනාව අනුව හිමිවනු ඇත. මෙම යෝජනාවට අනුව නගරාධිපතිවරු තිදෙනකුට ප‍්‍රාදේශීය සභා 8ක සභාපතිවරුන්ට හා උපසභාපතිවරු 16 දෙනකුට මෙම වරප‍්‍රසාදය හිමිවේ.

අප රටේ ස්ථාපිත මහනගර සභා සංඛ්‍යාව 23කි. නගර සභා සංඛ්‍යාව 41ක් වන අතර ප‍්‍රාදේශීය සභා සංඛ්‍යාව 271 කි.

මෙකී පළාත්බද දේශපාලන ආයතනවලට නගරාධිපති, සභාපති සහ උපසභාපති තනතුරු දරණ අනුයුක්තව සිටින දේශපාලනඥයන්ගේ සංඛ්‍යාව 606කි. දළ වශයෙන් මේ දේශපාලනඥයන්ට පමණක් තීරු බදු රහිතව වාහන මිලදී ගන්නේ නම් ඒ සඳහා දරන්නට වන මුදල දළ වශයෙන් රුපියල් කෝටි 120කි. තීරු බදු සහිතව එම දේශපාලනඥයන්ට වාහන මිලදී ගන්නේ නම් ඒ සඳහා වැය කළ යුතු මුදල රුපියල් කෝටි 365 කි. රජයට ඒ අනුව අහිමි විය හැකි මුදල රුපියල් කෝටි 245කි.

උතුරු-නැගෙනහිරට අයත් පළාත් පාලන ආයතන 11ක නගරාධිපතිවරු, සභාපතිවරු හා උපසභාපතිවරු සහ දේශපාලනඥයන් 19 දෙනාට තීරු බදු රහිත වාහන ලබාදීමේ වරප‍්‍රසාදය හිමිකර දීමෙන් රජයට දළ වශයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මූල්‍යමය පාඩුවක් විඳින්නට සිදුවෙයි.

පාසලෙන් ගෙන එන්න යැයි කියූ මුදල දෙන්නට වත්කමක් නැතිකමට පොල් ගෙඩි අටක් සොරකම් කරන්නට සිදුවූ දරුවන් සිටින රටක, ආබාධිත මවුන් රකින්නට පාසල් යන්නට සහ ජීවත්වන්ට පාසල් යන අතරතුරම පෙට්ටි කඩයක් කරමින් ජීවිතය සරිකරගන්නා දරු පැටවුන් සිටින රටක දේශපාලනඥයන්ගේ සුබසාධනය උදෙසා ලබාදෙන වරප‍්‍රසාදයන්හි වපසරිය සැබැවින්ම කණගාටුවට කාරණාවකි.

අනෙක් අතට ලැබෙන වරප‍්‍රසාද පවා ජාවාරමක් බවට පත් කරගත් බහුතරයක් දේශපාලනඥයන්ගේ කල්ක‍්‍රියාව මෙන්ම සංවර්ධනයට මුවා වී තම ගිණුම් තර කරගන්නා බහුතරයක් දේශපාලනඥයන්ගේ පැටිකිරිය ද බරපතළ ඛේදවාචකයකි.

එහෙත් ”වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” අපට අසන්නට සිදුව ඇත්තේ ද එයමයි.

 

 

සටහන - සංජීවිකා සමරතුංග