පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්‍රකටය. පරිවර්තකයකු, ශාස්ත්‍රීය කෘති රචකයකු, කවියකු, ළමා කෘති රචකයකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු වශයෙන් ඔහු මෙරට සාහිත්‍යයට අගනා කෘති පෙළක් දායාද කොටදී ඇත. ඔහු රචනා කළ ‘මම දැන් නිදමි’ කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර ඔහු ලියූ කුරුලු හදවත,  අහම්බකාරක යන නවකතාවලට ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය.

ගෙදර වට සිතියම, ඔහුගේ නවතම කෙටිකතා සංග්‍රහයයි. විදර්ශන ප්‍රකාශනයක් වන එය ඔහුගේ කෙටිකතාවලියෙහි අටවැන්නයි. ඔහු සමඟ මේ සංවාදය ඒ නිමිත්තෙනි.

• ඔබගේ කෙටිකතා සංග්‍රහයක් නිකුත් වුණේ වසර හතරකට පසුව. ඒ අතරතුර කාලයේ කෙටිකතා සංග්‍රහ විශාල සංඛ්‍යාවක් ලංකාවේ නිකුත් වෙනවා. විශේෂයෙන් තරුණ නිර්මාණකරුවන් කෙටිකතා රචනයේ දක්වන අලුත් උද්‍යෝගය ඔබ දකින්නේ කෙසේද?
    
ඇත්තටම ගත්තොත් තරුණ නිර්මාණකරුවන් අතින් කෙටිකතා සංග්‍රහ පළවීම අඩුයි. කවියට සාපේක්ෂව ඉතාම අඩුයි. ඒක කොච්චරද කියනවා නම් දැන් වයස අවුරුදු විසිගණන්වල හෝ තිස් ගණන්වල පසුවෙන ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබුණ කෙටිකතාකරුවො කවුද? එහෙම ජාතික මට්ටමේ කවියො කිවිඳියො විශාල පිරිසක් ඉන්නවා. ඒ ප්‍රසිද්ධිය පැත්තෙන්. කලාත්මක විශිෂ්ටත්වය සහ ගැඹුර අතින් ඒ වයස් කාණ්ඩයේ කෙටිකතාකරුවො අඩුයි. පසුගිය අවුරුදු දහයෙදි කෙටිකතා ක්ෂේත්‍රයෙ අලුතින් ස්ථාවර වුණු කෙටිකතා රචකයො තමයි ප්‍රභාත් ජයසිංහ, ඉසුරු චාමර සෝමවීර වගේ අය. ඊළඟට සුමුදු සෙනෙවිරත්න, කාංචනා ප්‍රියකාන්ත, විරාජිනී තෙන්නකෝන් වැනි අය. ඒ අය සියලු දෙනාම හුඟක් තරුණ අය නෙමේ. වෙනුර සරත් කුමාර වගේ කෙනෙක් තමයි තරුණ කෙනෙක් කියන්න පුළුවන්. විශාල කෙටිකතා පොත් ගණනක් වසරකට පළවෙනවා ඇති. ඒත් කතා කලාව තුළ විශිෂ්ටයෙකු ලෙස ස්ථාපිත වෙමින් ඉන්න තරුණ රචකයො මදි. ඉසුරු චාමර සෝමවීර වගේ කෙනෙකුට හැකියාව තියෙනවා අලුත් පිරිසක් සමග ඉදිරියෙන් යන රචකයෙක් විදියට වැඩෙන්න.

• නවක කෙටිකතාකරුවන් තමන්ගේ නිර්මාණ තුළ ශිල්පීය විචිත්‍රත්වයට වඩා නිර්මාණයේ දාර්ශනික ප්‍රවේශය ගැන වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙනවා නේද?
    
ඒ ප්‍රශ්නයෙ යම් අර්ථයක් තියෙනවා. හැබැයි ශිල්පීය කාරණා ගැනත් ලොකු උනන්දුවක් අද තියෙනවා. විශේෂ දාර්ශනික ප්‍රවේශ ගැන අවධානය යොමු කරන කෙටිකතාකරුවො නවක අය අතර ඉන්න බවක් මට පේන්නෙ නෑ. ඔබ ඉන් අදහස් කරන්නෙ අපැහැදිලි අදහස් වියුක්ත ලෙස විදහා දක්වන උනන්දුව නම් ඒකෙ ඇත්තක් තියෙනවා. කෙටිකතා කලාවෙදි කතාව තලයෙදි විතරක් නෙමේ ප්‍රතිනිර්මාණ ශිල්පක්‍රම තලයෙදිත් නිර්මාණශීලී වෙන්න ඕනෙ. එහෙම තමයි කෙටිකතාව නමැති සෞන්දර්ය වස්තුව බිහිවෙන්නෙ. ඒ සමබරතාව නැති වුණොත් එක්කෝ සරල වාර්තාවක් නැත්නම් දුෂ්කර ප්‍රහේළිකාවක් තමයි බිහිවෙන්නෙ. මේක ප්‍රවීණ අයට වුණත් අභියෝගයක්.

• ඔබගේ කෙටිකතා හා නවකතා තුළත් ප්‍රබලම තැන හිමිකර ගන්නේ කතාව. නිර්මාණයේ දාර්ශනික ප්‍රවේශය එහි අන්තර්ගතයක් මිස එහි එකම එළඹුම නොවෙයි. ‘ගෙදර’වට සිතියම’ හී කතා අටත් ඊට හොඳ උදාහරණ. ඔබ දක්ෂ කතන්දරකරුවෙක්. ඒ ගැන ඔබේ අදහස?
    
ඒක නම් හරියට හරි. ඒ නිරීක්ෂණයට ස්තුතියි. මනුෂ්‍යයා කියන්නෙ හෝමෝ ස්ටෝරිටෙලර් කෙනෙක්. මම බය නැතිව කතා කියනවා. කතාව කියන්නෙ ආදිකාලීන මනුෂ්‍යයාගේ සිට පැවති මනුෂ්‍ය උරුමයක්. මේ මනුෂ්‍ය උරුමයට හරියට නිග්‍රහ කළා ඇතැම් නූතනවාදී සහ අතිනූතනවාදී කලා ප්‍රවණතා. ඒ වුණත් පස්සෙ කාලෙ ආඛ්‍යාන න්‍යායධරයො පෙන්නලා දුන්නා “කතාව” කියන්නෙ ප්‍රබන්ධ කලාවෙ වැදගත් අංගයක් බව. හැබැයි මගෙ සියලුම කතාවල මම ඒ කතා ඉදිරිපත් කරන ප්‍රතිනිර්මාණ තාක්ෂණවල තියෙනවා නූතනවාදී ලක්ෂණ. අන්න එතනදි අපට හිටපු හොඳ කතාකාරයෙක් වන ඇරැව්වල නන්දිමිත්‍ර වගේ කෙනෙකුගෙන් මම වෙනස්.
    
අනික තමයි නූතනවාදී යුගයෙ වැදගත්ම ප්‍රබන්ධ රචකයොත් කතා කීමට නිගරු කළේ නෑ. මම මගෙ කෙටිකතා කලාව කියන පොතේ පෙන්නල දීල තියෙනවා ජේම්ස් ජොයිස් වගේ නූතනවාදියොත් හොඳ කතාකාරයො බව. හොඳ කතාවක් අහන මොහොතෙදි අපට දැනෙනවා අපේ ආදීකාලීන මානවයාත් සමග අපි වැදගත් සංස්කෘතික කාර්යක් සාමූහිකව කරන බවක්. අපේ ආදිම මුතුන්මිත්තන් මෙවැනි මොහොතවල් කතා කළ බව අපි උපවිඥානයෙන් දන්නවා. ප්‍රබන්ධ රචකයො මනුෂ්‍යයන් තුළ පවතින මේ ආදිකාලීන විඥානයෙන් ප්‍රයෝජනගන්න ඕනෙ.

• ඔබ කෙටිකතා කලාව ගැන වෙනමම පොතක් පළ කළා. එයට පාඨකයන් අතර හොඳ පිළිගැනීමක් ලැබුණු බවත් අපට දැනගන්නට ලැබුණා. පාඨකයන්, නිර්මාණකරුවන් මෙලෙස නිර්මාණකරණය විද්‍යාවක් ලෙස භාර ගැනීමට උනන්දුවීම ගැන ඔබේ අදහස කුමක්ද?
    
ඒ පොත සරසවි ප්‍රකාශනයන්සේ පළ වුණා. 2018දී. දැන් එය දෙවෙනි මුද්‍රණයට ඇවිල්ලා. ඒක පිටු 400 කට වැඩි පොතක්. සිංහල කෙටිකතා අධ්‍යයන ක්ෂේත්‍රයෙ මෙතෙක් සාකච්ඡා නොවුණු බොහෝ කරුණු එහි තියෙනවා. එය පළ වූ අවුරුද්දේ සිටම තරුණ පිරිස් අතර පැතිර ගියා. අනික සාහිත්‍ය කලා ගැන මම ලියපු අනික් හැම පොතක්ම වගේ ඒ විදියට පැතිරුණා. කලාව සහ මිනිසා තරුණ නවකතාකරුවෙකු වෙත අමුතු කතාව පහන සහ කැඩපත වගේ පොත්.
    
ඒකත් එක සාක්ෂියක් සාහිත්‍ය කලා අධ්‍යයනය බරපතළ ලෙස බාරගන්නා පිරිසක් ඉන්න බවට. නිර්මාණකරණය යනු ජීවිතය කැපකොට කළ යුතු වෘත්තීය කාර්යයක් කියන අවබෝධය පැතිරෙන එක හොඳයි. අපි වගේ ශාස්ත්‍රාලිකයො කරන්න ඕනෙ එහෙම කැපවෙන පිරිසකට අවශ්‍ය දැනුම සම්පාදනය සහ දැනුම විසරණය කිරීම. එහෙම නැතුව තරුණ පරම්පරාවට බැණ බැණ ඉඳලා හරියන්නෙ නෑ.

• ඇමරිකානු මහචාර්යවරයකු වන චාල්ස් හැලිසි සිංහල සාහිත්‍යය ගැන ලියූ දීර්ඝ ලිපියක් ඔබ මෑතකදී කෘතියක් ලෙස පළ කළා. එය වටිනා ශාස්ත්‍රීය අධ්‍යයනයක්. මහාචාර්ය හැලිසි ගැන යමක් කිව හැකිද?
    
මහාචාර්ය චාල්ස් හැලිසි කියන්නෙ 1980 වර්ෂයේ විතර සිට ලංකාව ගැන සිංහල සාහිත්‍යය ගැන අධ්‍යයනය කරන විද්වතෙක්. ඔහු තරුණ කාලෙ ලංකාවට ඇවිල්ලා සිංහල භාෂාව ඉගෙනගෙන තියෙනවා. ඔහුට චතුර ලෙස සිංහල කතා කරන්න බෑ. ඒ වුණාට සම්භාව්‍ය සිංහල හොඳට කියනවා. ඔහු තමන්ගෙ ආචාර්ය උපාධිය කළේ සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයෙහි නිරූපිත ආචාරධර්ම ගැන. දැන් ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගන්නවා. මම පරිවර්තනය කළ ‘ඉතිහාසයක් තුළ සාහිත්‍යය’ කියන කුඩා පොත අපේ සාහිත්‍ය කලා ගැන     පර් යේෂණ කරන අයට අත්පොතක් වගේ.

සංවාදය - ගාමිණී කන්දේපොළ