20_SLMA_Back_P6 

 

 

”ටී.එන්.ඒ. එක මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරයි ද?”


”පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දෙන්න මෛත‍්‍රීයි-ටී.එන්.ඒ. එකයි අතර ගිවිසුමක්”


”සම්බන්ධන් ඉන්දියාවට ගිහින් මේ පාර ජනාධිපතිවරණයේ දී කළ යුත්තේ කුමක් ද යන්න ගැන ඉන්දියාවේ  බලධාරීන් සමග සාකච්ඡා කරයි”
ජනාධිපතිවරණය අල්ල පනල්ලේ මේ කතා දසතින් ඇසේ. මාතෘකාව දෙමළ ජාතික සන්ධානය. ඔවුන්ගේ සහාය කාටද යන්නය. ඉකුත් සතියේ ඉරිදා ලංකාදීපයෙහි මුල් පිටුවේ තිබූ පුවතක සඳහන් වූයේ ද එළැඹෙන ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවටත් අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවරෙකුට හෝ සහාය පළ කළ  යුතු බවටත් පොදු අපේක්ෂක මෛත‍්‍රී ජනාධිපති කරවීමට කටයුතු කළ යුතු බවටත් යනාදී වශයෙන් ටී.එන්.ඒ. එකේ පිරිස් පාරවල් තුනකට වැටී තම තමන්ගේ පාරවල්වල පක්ෂය දක්කාගෙන යෑමට වලි කමින් සිටින බවය.


2010 දී නම් ජනාධිපතිවරණයට මේ තරම් දින ළං වන විට ටී.එන්.ඒ. එක හිටියේ ෆොන්සේකා පාරේය. ඒත් ටී.එන්.ඒ. එක මේ වන තුරු යන්නේ මොන පාරේ ද යන්න තීරණය කරගත නොහැකිව සිටින බවක් පෙනේ. එක් පැත්තකින් ජනපති මහින්දගේ පාරය. තවත් පැත්තකින් පොදු අපේක්ෂක මෛත‍්‍රීගේ පාරය. මහින්ද මෛත‍්‍රී නැති වෙනත් පාරක් ද ටී.එන්.ඒ. එකට පෙනෙන්නේ වී නමුදු ඔවුන් එම පාරේ ගමන් කරනු ඇතැයි සිතිය නොහැකිය. තවත් අතකට එල්ටීටීඊයේ යුදමය පරාජය හමුවේත්, ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සොයන අටියෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එහි කටයුතු ගෙන ගිය ස්වරූපයේදීත් උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සහ ටී.එන්.ඒ එක අතර ගොඩ නැගුණු දේශපාලන සමීකරණයේදීත් පැහැදිලිවම පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවත් ටී.එන්.ඒ. එකත් එකම පාරක ගමන් කිරීමට අසමත් බව පමණක්  නොව එවැනි ගමනක සේයාවක්වත් දක්නට  නැති බවය.

rsg
කෙසේ වෙතත් දැන් ආපහු සැරයක් උතුරු නැගෙනහිර ඡුන්දවලට ඉහළ ලන්සුවක් හිමි වන මොහොතක් එළැඹ තිබේ. රටේ සෙසු පළාත් සමග සසඳන විට උතුරු පළාතේ තිබෙන්නේ ලක්ෂ හතක් වැනි ඡන්ද ප‍්‍රමාණයක් වුව ද මේ ඡන්ද තීරණාත්මක නොවන්නේ යැයි කිව නොහැකිය. ඒ බව 2005 ජනාධිපතිවරණයේ දී ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. 2005 ජනාධිපතිවරණයේ දී එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ අණින් උතුරු නැගෙනහිර වැසියන්ට ඡන්දය භාවිත කිරීමට ඉඩ ප‍්‍රස්ථා අහිමි වූ අතර ජනපතිවරණයේ ජයග‍්‍රාහකයා වූයේ මහින්දය. මහින්දට ඡන්ද 48,87,152ක් (50.29%) වැටෙන විට රනිල්ට වැටුණේ 47,06,366කි (48.43%). පරතරය සටහන් වූයේ ඡන්ද 1,80,786කිනි. උතුරේ ඡන්ද වැටුණා නම් 2005 දී රට බාර ගන්නා කෙනා ජනපති මහින්ද නොවී රනිල් වීමට ද ඉඩ තිබිණි. විශේෂත්වය වූයේ රනිල්ගේ යුරෝපා කෝට් එකට වඩා මහින්දගේ කුරහන් සාටකයට (බෞද්ධකම එකතුවී) දකුණේ සිංහල සමාජය ඇතුළත විශාල ආකර්ශනයක් හිමිව තිබුණ ද දකුණෙන් සිංහල බෞද්ධ ඡුන්ද මහින්දගේ ඡන්ද මල්ලට වගේම රනිල්ගේ ඡන්ද මල්ලට ද යහමින් වැටීමය.

ප‍්‍රතිඵලය වූයේ මහින්ද ඡන්ද ලක්ෂ දෙකකටත් වඩා අඩු පරතරයකින් ජනපති පුටුවට ගොඩවීම සඳහා වරම්  ලැබීමය.


2005 සිට අවුරුදු දහයක් ගිය තැන මහින්දගේ කුරහන් සාටකයෙන් උත්කර්ෂවත් වන දේශීය අනන්‍යතාවත් සමග සටනට අවතීර්ණ වී සිටින්නේ තවත් එවැනිම අනන්‍යතාවක් සහිත සිංහල බෞද්ධයෙකි. මහින්දටයි මෛත‍්‍රීටයි දකුණේ සිංහල බෞද්ධ ඡුන්ද බෙදී යන විට උතුරේ ඡන්දවල වැදගත්කම කෙබඳු ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.


උතුරේ  ඡුන්ද හසුරුවන දේශපාලන බලවේගය දෙමළ ජාතික සන්ධානය යන්න සැබෑය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට කාලයක් තිස්සේ එල්ල වූ ප‍්‍රබල චෝදනාවක් වූයේ එම සන්ධානය කොටි සංවිධානය ක‍්‍රියාකාරී සමයේ දී ඔවුන්ගේ අතකොළුවක් බවට පත්ව තීන්දු තීරණ ගත් බවටය. මේ නිසාම සමහරු එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන පෙරමුණ බවට මතවාදීමය වශයෙන් ටීඑන්ඒ එක තල්ලූ කර දැමීමට ද කටයුතු කළහ. එදා 2005 දී ප‍්‍රභාකරන් උතුරේ වැසියන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම තහනම් කරන විට ටීඑන්ඒ එක ද ඒ අණට කීකරු වීම හැරෙන්නට ඉන් එපිට ක‍්‍රියා මාර්ග තෝරන්නට ගියේ නැත.


2010 ජනපතිවරණය ආවේ ප‍්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ සංවිධානය යුදමය  වශයෙන් පරාජය කළ පරිසරයකය. 2005 දී උතුරේ වැසියන්ට ප‍්‍රභාකරන්ගෙන් ඡුන්දය වර්ජනය කරන ලෙසට නියෝග ලැබුණ නමුත් 2010 දී ටී.එන්.ඒ. එකෙන් උතුරේ වැසියන්ට ලැබුණේ මහින්දට එරෙහිව ෆොන්සේකා වෙනුවෙන් ඡුන්දය භාවිත කරන්න යන ඉල්ලීමය. මහින්දට යාපනය දිසාවෙන් ඡුන්ද 44,154ක් (24.75%) ලැබෙන විට ෆොන්සේකාට ඡුන්ද 1,13,877ක් (63.84%) ලැබී තිබිණි. වව්නියාවෙන් මහින්දට 28,740ක් (27.31%) ලැබෙන විට ෆොන්සේකාට 70,367 (66.86%) ලැබී තිබිණි. ටී.එන්.ඒ. එකේ ඉල්ලීමට උතුරේ වැසියන්ගෙන් හොඳ ප‍්‍රතිචාරයක් ලැබී තිබෙන බව මින් පෙනේ. 2015 දී ටී.එන්.ඒ. එක සිය ඡන්දදායකයන්ට කුමක් කියනු ඇති ද? ඒ ඉල්ලීමට 2010 දී මෙන් උතුරේ වැසියන් අවනත වනු ඇති ද?


මෙවර ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ හත් ලක්ෂ අසූඑක් දහස් නවසිය අසූහතර දෙනෙක් (7,81,984) ඡුන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබ සිටිති. ඒ අතරින් වැඩිම ඡුන්දදායක පිරිස සිටින්නේ යාපනය දිස්ත‍්‍රික්කයේය. සංඛ්‍යාව 4,50,132කි. දෙවැනි තැන වව්නියාව දිසාවටය. ගණන 1,09,695කි. මුලතිව් දිස්ත‍්‍රික්කයෙන් 63,840 දෙනෙක් ද කිලිනොච්චියෙන් 79,086 දෙනෙක් ද මන්නාරමෙන් 79,231 දෙනෙක් ද සුදුසුකම් ලබා සිටිති. ටී.එන්.ඒ. එක ඡුන්දය වර්ජනය කරන තීරණයකට ගමන් කළහොත් මේ ඡුන්ද ලක්ෂ හතෙන් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රතිශතයක් වැටෙන්නේ නැති වීමට ද පුළුවන.


2010 ජනපතිවරණයේ දී සහ 2013 උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට සහ ඔවුන්ගේ මතයට උතුරේ දමිල ජනයා තබා තිබූ විශ්වාසයෙන් ඒ බව පැහැදිලි වේ. කෙසේ වෙතත් 2005 දී  ප‍්‍රභාකරන්ගේ අණට මරණ බියෙන් අවනත වූ ආකාරයට 2015 දී ටී.එන්.ඒ. එකේ ඉල්ලීමට හෝ ස්ථාවරයට උතුරේ දමිළ ජනයා හූමිටි තියයි කියා සිතිය නොහැකිය. අනිත් අතට ආණ්ඩුවේ සහායට ඩග්ලස්ලා සිටින බැවින් උතුරුකරේ ඡන්ද ගැන ආණ්ඩුවට ද අපේක්ෂා දල්වා ගෙන සිටිය හැකිය.


මේ ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය කරන්නේ කුමක් වුව පක්ෂ  පහේම  එකඟත්වයෙන් යුතු තීරණයකට ගමන් කිරීම නම් සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. හේතුව එම සන්ධානයේ නියෝජිතයන් ජනපතිවරණය ගැන පරස්පර ප‍්‍රකාශ සහ මතවාද ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇති නිසාය.


සුමන්තිරන් නිවේදන නිකුත් කරමින් කියන්නේ උතුරේ වැසියන්ට තමන් කැමැති අපේක්ෂකයකුට සහාය පළ කළ හැකි බවය. තවත් කොටසක් පක්ෂය ඇතුළේ ඉඳගෙන වපුරන්නේ මෛත‍්‍රීට සහාය දිය යුතුය යන මතයය. ඒ එක්කම මේ තීරණයට අදහස් දැක්වූ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට සිටියේ තම සන්ධානය පොදු අපේක්ෂක මෛත‍්‍රී සමග කිසිදු ගිවිසුමකට නොඑළඹුණු බවය. ජනපති මහින්දට සහාය දීමට හෝ නොදීමට හෝ ඔහුත් සමග ඉදිරියේ දී සාකච්ඡුා කරන්නේ දැයි විමසූ විට පැවසුවේ ආණ්ඩුව ටී.එන්.ඒ. එකත් සමග සාකච්ඡුා නොකරන බවට මීට ඉහත දී අවධාරණය කර තිබෙන බැවින් ඉදිරියේ දී එවැනි සාකච්ඡුාවක් සිදු විය නොහැකි බවය. සම්බන්ධන් තවම සිටින්නේ ඉන්දියාවේ නිසා ඔහු රටට පැමිණි පසු කරන්නේ කුමක් ද යන්න ගැන තීරණයක් ගන්නා බව සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්  පවසයි.


2015 ජනපතිවරණයේ දී කරන්නේ කුමක් ද යන්න පිළිබඳව  සම්බන්ධන්ගේ දෙමළ ජාතික සන්ධානයත්, හකීම්ගේ මුස්ලිම් කොංග‍්‍රසයත් හැරුණු විට සෙසු සුළු ජාතික පක්ෂ සහ කණ්ඩායම් තීරණය කර හමාරය. හකීම්ගේ කොංග‍්‍රසයේ වගේම සම්න්ධන්ගේ සන්ධානයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර පරස්පරතා ඔවුන්ගේ ස්ථාවරයන් එළි දැක්වීම පමා කරමින් සිටියි. දැනට වාර්තා වන තොරතුරුවලට අනුව නම් හකීම් මොන තීරණය ගත්ත ද කොංග‍්‍රසයේ කොටසක් නාය යෑම වැළැක්විය නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. සම්බන්ධන්ගේ සන්ධානයේ තිබෙන පරස්පරතා ඒ තරම් ඔඩු දුවා තිබෙන බවක් පෙනෙන්නට නැතත් 2010 දී මෙන් තනි මතයකට පැමිණීමට හිතන තරම් පහසු නොවන බව පෙනෙන්නට  තිබේ.

 

 

අපි තාම තීරණයක් අරගෙන නෑ


දෙමළ ජාතික  සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්

 


ප‍්‍රශ්නය : ටී.එන්.ඒ. එකේ කොටසක් මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවටත් තවත් කොටසක් පොදු අපේක්ෂකට සහාය දිය යුතු බවටත් දක්වමින් බෙදී සිටින බව පැවසෙනවා. ඔබලා මොකද කරන්නේ කියලා තීරණය කරලා ඉවර ද?

පිළිතුර : අපි තාම තීරණයක් අරගෙන නෑ. අපේ පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඉන්දියාවට ගිහින්  ඉන්නේ. ඔහු ලංකාවට පැමිණි පසු අපි අපේ තීරණය ගන්නවා.

 


ප‍්‍රශ්නය : නමුත් සුමන්තිරන්  මන්ත‍්‍රීවරයා පැහැදිලිවම ප‍්‍රකාශ කරලා තිබුණා උතුරේ ජනයාට තමන් කැමැති අපේක්ෂකයකුට සහාය පළ කළ හැකි බව?
පිළිතුර :
ඒක ඔහුගේ ස්වකීය තීරණයක් විය හැකියි. නමුත් අපි අපේ ජනතාවට කියන්නේ ඡුන්දය පාවිච්චි කරන්න ඡුන්ද පොළට යන්න කියලා. දෙමළ ජාතික සන්ධානය හැම විටම වගකීම් සහගතව කටයුතු කරන දේශපාලන පක්ෂයක් හැටියට අපිට වගකීමක් තියෙනවා අපේ ජනතාවට කළ යුත්තේ කුමක් ද යන්න ගැන කියා දීමට.

 


ප‍්‍රශ්නය : ඔබලා සහ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන  අතර ගිවිසුමක් අස්සන් කළ බවත් කියනවා. ඒක ඇත්ත ද?
පිළිතුර :
ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ හෝ මෛත‍්‍රීපාල  සිරිසේන හෝ යන මේ දෙදෙනා මේ වන තුරු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය ගැන කිසිදු ප‍්‍රතිචාරයක් දක්වල නෑ. අපි මේ සියලූ දේ ගැන අපේ නායකයා ලංකාවට පැමිණි පසු සාකච්ඡුා කරලා තිීරණයක් ගන්නවා.

 

 

අපි මෛත‍්‍රීපාල සමග ගිවිසුමක් ගහල නෑ


දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්

 


ප‍්‍රශ්නය : මීළඟ ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මොකක් ද කරන්නේ.
පිළිතුර :
අපි  තවම ඒ තීරණය අරගෙන න.


ප‍්‍රශ්නය : ඔය කාරණය මුල් කරගෙන දෙමළ ජාතික සන්ධානයේ පිල්  බෙදීම් ඇති වෙලා කියලා ආරංචියි?
පිළිතුර :
නෑ. ඒ වගේ ගැටලූවක් නෑ. අපේ ජනතාව ඉන්න ප‍්‍රදේශවලට ගිහින් ඒ ජනතාවත් සමග මේ ගැන සාකච්ඡුා කරමින් ඉන්නවා. නමුත් ගැටලූවක් ඇති වෙලා  නෑ.


ප‍්‍රශ්නය : නමුත් ඇතුළෙ පිරිසක් පොදු අපේක්ෂකට සහාය දිය යුතුයි කියන කොට ඔබ කියනවා තමන් කැමැති අපේක්ෂකයකුට ඡුන්දය දෙන්න කියලා. ගැටලූවක් තියෙනවා නේද?
පිළිතුර :
නෑ. විවිධ මත හෙළිදරව් වෙන එක සාධාරණයි. මේ වෙලාවෙ  අපි ජනතාවගෙ මතය  විමසන කොට හැමෝම එක මතයක් ප‍්‍රකාශ කරන්නේ නෑනෙ. ඒ හැම මතයක්ම  සලකා බලා අපි අන්තිමට තීන්දුවක් ගන්නවා.


ප‍්‍රශ්නය : ටී.එන්.ඒ. එක  මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ගිවිසුමකට  එළැඹුණා කියන කතාව ඇත්ත ද?
පිළිතුර :
ඒක අමූලික බොරුවක්. ඒ විදියෙ මොන ගිවිසුමක්වත් නෑ.


ප‍්‍රශ්නය : අඩුම තරමේ එතුමා සමග මේ ගැන සාකච්ඡුා කළේවත් නැද්ද?
පිළිතුර :
අපි හැම එක්කෙනාවත්  සමග සාකච්ඡුා කරනවා. නමුත් අපේ දේශපාලන ස්ථාවරය සඳහා කා එක්ක හෝ ගිවිසුමක් අස්සන් කළ යුතුයි කියා අපි එකඟතාවකට ඇවිත් නෑ.


ප‍්‍රශ්නය : ආණ්ඩුවත් එක්කත් මේ ගැන සාකච්ඡුා කළා ද?
පිළිතුර :
ආණ්ඩුව පැහැදිලිවම ප‍්‍රකාශ කරලා තියෙන්නෙ දෙමළ ජාතික සන්ධානයත් සමග සාකච්ඡුා කරන්නෙ නෑ කියලා. ඒක අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ශ්‍රී ලනිපයේ මහ ලේකම් හැටියට දිවුරුම් දුන්නට පසුවත් ප‍්‍රකාශ කළා. ඒ තත්ත්වය අනුව ආණ්ඩුව අපිත් සමග සාකච්ඡුා කරයි කියලා අපි හිතන්නේ නෑ.


ප‍්‍රශ්නය : සම්බන්ධන් මහත්තයා ඉන්දියාවට ගියේ ජනාධිපතිවරණයේ දී කළ යුත්තේ කුමක් ද යන්න ගැන සාකාච්ඡුා කිරීමට බවටත් මතයක් යනවා.  ඒක ඇත්ත ද?

පිළිතුර : නෑ. නෑ. සම්බන්ධන් මහත්තයා හැම අවුරුද්දකම අන්තිම මාසෙ ඉන්දියාවට යනවා එයාගෙ වෛද්‍ය පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා. දැනුත් එයා රෝහලේ ඉන්නෙ.

 

 

 

ඡන්ද වර්ජනය කරයි කියලා මට හිතා ගන්න බෑ


ආචාර්ය දයාන් ජයතිලක

 


ඇත්තටම මට හිතා ගන්න අමාරුයි ටී.එන්.ඒ. සංවිධානය මෙවර ජනාධිපතිවරණය වර්ජනය කරයි කියලා. අපි මතක තියා ගන්න  ඕනෑ 2005 දී කරපු ඒ වර්ජනය සිදු වූයේ කුමන හේතුවක් නිසා ද කුමන තත්ත්වයක් නිසා ද  කියලා. 2005 දී උතුරේ ඡන්ද වර්ජනය සිදු වන විට ටී.එන්.ඒ. සංවිධානය පැහැදිලිවම එල්ටීටීඊ සංවිධානයෙ ඉත්තෙක් හැටියට තමයි කටයුතු කරමින්  සිටියෙ. 1999 ඉඳන් ටී.එන්.ඒ. එක ඡුන්දවලට ආවේ ඒ පදනම මතයි. 2005  ජනාධිපතිවරණයේ දී ප‍්‍රභාකරන් ඡුන්දය වර්ජනය කරවන්න කටයුතු කළේ. ඔහුගේ සුපැහැදිලි තක්සේරුවක් තිබුණා මහින්ද රාජපක්ෂ  මහත්තයා ජයග‍්‍රහණය කළොත් සිංහල-බෞද්ධ දැඩි මතධාරී ප‍්‍රතිරූපයක් සහිතව කටයුතු  කරන බවත් ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සහමුලින්ම හුදකලා වන බවත් ඒ  හේතූන් දෙක නිසා ශ්‍රී ලංකා රාජ්‍යයට විරුද්ධව අවසන් යුද්ධයක් කර ජයග‍්‍රහණය කිරීමට කොටි සංවිධානයට මග පෑදෙන බවටත්. ඒ ඡන්දය වර්ජනය කිරීමේ දී ප‍්‍රභාකරන් කිව්වේ නෑ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡුන්දය නොදී මහින්ද රාජපක්ෂ මහතාට දෙන්න කියලා. ඔහු කිව්වේ කාටවත් ඡුන්දය දෙන්න එපා කියලා. ප‍්‍රශ්නයක්  මතු වෙනවා එය මහින්ද රාජපක්ෂ මහතාට වාසි වෙන්නත් රනිල්  වික‍්‍රමසිංහ  මහතාට අවාසි වෙන්නත් බලපෑ හේතුව මොකක්ද කියන කාරණය මත. එසේ වූයේ වික‍්‍රමසිංහ මහතා සුළු ජාතික ඡුන්ද මත විශාල වශයෙන්  රැඳී පැවතීම නිසා සහ මහින්ද රාජපක්ෂ ඔහු ජාතියෙ ඡුන්ද මත රැඳී පැවතීම නිසා. මේ හේතුව නිසා එල්ටීටීඊයෙ මේ තීන්දුව මහින්ද රාජපක්ෂට බලපෑවේ නෑ. නමුත් එය කුළුගෙඩි පහරක් ලෙස වික‍්‍රමසිංහ මහතාට බලපෑවා.


අද දවසෙ  තත්ත්වය හුඟක් වෙනස් වෙලා තියෙනවා. ප‍්‍රභාකරන් ජීවතුන් අතර නෑ. කොටි හමුදාව ලංකාවේ දූපත ඇතුළේ නැති නමුත් බාහිරව ප‍්‍රබල ජාත්‍යන්තර ජාලාවක් හැටියට කටයුතු කරනවා. 2005 දී එල්ටීටීඊය ඡන්දෙ වර්ජනය කළේ යුද්ධය දිනන්න පුළුවන් කියලා හිතාගෙන. නමුත් ඒ සියල්ල පරාජයට පත් වුණා.  ඒ නිසා අද දමිළ ඩයස්පෝරාවේ මේවා තමිල්නාඩුවේ වේවා උතුරු නැගෙනහිර දමිළ ජාතිකවාදී මතය මත පිහිටා කටයුතු කරනවුන් මේවා ඇත්තේ යුදමය මූලෝපායයක් නොවේ. දමිළ ඊළාම් සිහිනය සාමකාමීව ලබා ගැනීම ඔවුන්ගේ මූලෝපාය වී තිබේ. එතන දී දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ පොදු විපක්ෂ අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන විධායක ජනාධිපති ක‍්‍රමය ලහි ලහියේ  අහෝසි කිරීම ගැන වැඩ පිළිවෙළ ටී.එන්.ඒ. සංවිධානයට කිසි ලෙසකවත් ප‍්‍රශ්නයක් වීමට ඉඩ නැත. ශ්‍රී ලංකා රාජ්‍යයේ කුඹ ගහ ලෙස සැලකිය හැකි විධායක ජනාධිපතික‍්‍රමය දින 100න් හෝ ඊට වැඩි ගණනකින් හෝ දිය කර දමන්නේ නම් එයින් වාසි සැලසෙන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව අර දමිළ ජාතිකවාදී ව්‍යාපාරයටයි. මන්ද රාජ්‍යයේ ශක්තිය හීන වූ විට පරිවාරයෝ ආණ්ඩුවලට නැති නම් පළාත් සභාවලට ලිස්සා  යා හැකි බැවිනි. 1987 දී 13 වැනි සංශෝධනය සුප‍්‍රිම් උසාවිය විසින් සම්මත කරනු ලැබුවේ එක වැඩි ඡුන්දයකින් පමණයි. එදා සුප‍්‍රිම් උසාවිය කියා සිටියේ 13 වැනි සංශෝධනයෙන් බිහි වෙන ස්වායන්ත‍්‍ර පළාත් සභා රටේ ඒකීයභාවයට හානියක් නොවී ඒ ඒකීයභාවය යාන්තමින් හෝ රැඳී පවතින්නේ එක හේතුවක් නිසාය. එනම් ශක්තිමත් විධායක ජනාධිපති ක‍්‍රමය නිසාය. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය විසින් ආණ්ඩුකාරයා පත් කරන අතර ආණ්ඩුකාරයාට පළාත් සභාව සහ මහ ඇමැති මත යම් බලතල හිමි වේ. ඇත්ත වශයෙන්ම පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලයේ දී වර්ධරාජා  පෙරුමාල් මහ ඇමැතිතුමා වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කිරීමට තර්ජනය කළ අවස්ථාවේ 13 වැනි සංශෝධනයේ යම්කිසි වෙනසක් කර මධ්‍යම  ආණ්ඩුව සතු බලතල ශක්තිමත් කිරීමට පේ‍්‍රමදාස මහතාට සිදු විය. ඒ අනුව ඔහු උතුරු පළාත් සභාව විසුරුවා හැරියා. ඒ  ජනාධිපති බලතල එදා නොතිබුණා නම් වර්ධරාජා පෙරුමාල්ගෙ තැත ව්‍යර්ථ කර ක්ෂණිකව උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට ලංකාණ්ඩුවට හැකියාව ලැබෙන්නේ නෑ.


එළැඹෙන ජනාධිපතිවරණයේ දී විශාල වෙනසක් සිදු වුවහොත් පොදු අපේක්ෂකතුමා කියන ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු ලැබේ. එය අහෝසි කිරීමේ දී සිද්ධ වෙන්නේ කුමක් ද? විධායක බලතල කැබිනෙට්ටුවට සහ අගමැතිට මාරු වීමයි. සුක්කානම මාරු වන්නේ පාර්ලිමේන්තුවටයි. මෑත කාලයේ දී අපේ ඇස් ඉදිරිපිට දුටු ආකාරයට පාර්ලිමේන්තුව වනාහි සංගීත පුටු තරගයක් සිදු වන ස්ථානයකි. එවැනි ආයතනයක සංයුතිය වෙනස් කිරීම ඉතාම පහසුයි. ඊළාම් ඩයස්පෝරාවේ මහා ධනස්කන්දරාව යොදවා අද සිද්ධ වෙන ආසන මාරුවට වඩා පහසුවෙන් ආසන මාරු සිදු කිරීමට පාර්ලිමේන්තුවේ දී හැකි වනු ඇත. එවැන්නක් සිදු වුවහොත් උතුරින් හමුදාව ඉවත් කරන ආකාරයේ සභාග ආණ්ඩුවක් පත් කර ගැනීම කිසි ලෙසකවත් අපහසු වන්නේ නැත. එවැනි තත්ත්වයක් යටතේ එය තුලනය කිරීමට විධායක ජනාධිපති ධුරයක් ඉතුරු වන්නේ නැත. මෙය කිසි ලෙසකින් මනඃකල්පිත තත්ත්වයක් නොවේ.
මේ සියලූ හේතූන් නිසා මෙවර ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ටී.එන්.ඒ. සංවිධානය  මොන මොන මොන සංඥා මේ දවස්වල දුන්නත් අවසාන විග‍්‍රහයේ දී පැහැදිලිවම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන පැත්තට මහා පරිමාණයෙන් සහයෝගය දෙන බව මට නම් පැහැදිලියි.


m