දියණියක සිත පියකු කෙරෙහි ජනිත වෙන ආදරයේ සීමාව මෙතෙකැයි දක්වාලිය නොහැකි තරමේ අසීමිත ආදරයකි. හදවතේ සියුම් අක්මුල් පවා විනිවිද යමින් ඒ ආදරය ජීවිතයටම කතා කරන ආදරයක් වග අප්සරාගේ නෙතින් ගලා හැලූණු කඳුළ තවත් වරක් පසක් කළාය. හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබෙන බවට පැතිර ගිය රාවය ඉකුත් බ‍්‍රහස්පතින්දා වන විට වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබුණි. ඇමෙරිකාවේ ඩලාස් නුවර පදිංචිව සිටින  හිටපු යුද හමුදාපතිවරයාගේ වැඩිමහල් දියණිය අප්සරා ෆොන්සේකා සමග අප කතාබහක යෙදෙන්නට අපේක්ෂා කළේ ඒ වාතාවරණය මධ්‍යයේය. 2006 අපේ‍්‍රල් 25 වැනිදා යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන කොටි කාන්තාවකගේ බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිටපු යුද හමුදාපතිවරයා ඒ බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන් පසු බරපතළ රෝගී තත්ත්වයකට බඳුන් විය. පෙනහළු පසාරු කර ගිය යකඩ කෑලි අදටත් ඔහුගේ හදවතට අඟලක් පමණ දුරින් රැඳී ඇති අතර වකුගඩු හා බඩවැල් ළඟත් එම යකඩ කෑලි රැඳී තිබේ.   ඔයාගේ තාත්තා නිදහස් කරන්නට යනවා කියන ප‍්‍රවෘත්තිය ඉස්සරලම අහපු වෙලාවේ ඔබගේ හිතට දැනුණු සිතුවිල්ල මොකක්ද? අප්සරා ෆොන්සේකාගෙන් අප විමසූ පළමු ප‍්‍රශ්නය එයයි. මට එක් වරම ලොකු සතුටක් දැනුණා. ඒත් හුඟාක් සතුටු වෙන්න ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති කර ගන්න, ලොකු හීනයක් දකින්න ඊළඟ තත්පරයේ මම ආයෙත් බය වුණා. ඒ තාත්තා සිරකරුවකු බවට පත්වීමේ සිට ඒ මොහොත දක්වා අතීතය මතකයට ආව නිසයි. මොකද ගිය වසරේ අවසානයේදීත් අපට විශ්වාසයක් ආවා අපේ තාත්තා නිදහස් වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. එහෙත් මෙවර නම් ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. තාත්තට නිදහස ලැබෙයි කියලා. මම නංගි, අපේ අම්මා වගේම මගේ රටේ ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුත් හුඟ දෙනෙක් මගේ තාත්තාව නිදහස් කර ගන්න ලොකු මහන්සියක් ගත්තා. අපි අඬන්නෙ නැතුව වාවගෙන හිත ශක්තිමත් කරගෙන හැම දේටම මුහුණ දෙන්නෙ වෙලාවකට ධෛර්යය ගත්තේ ඒ මිනිස්සු නිසා. මම මූල්‍ය විශ්ලේෂක කෙනෙක් විදිහට රැකියාව කරනවා. නංගි ව්‍යාපෘති කළමනාකාර කෙනෙක් විදිහට රැකියාව කරනවා. ඒ ඉගෙනීමේ කටයුතුත් කරගෙන යද්දි. මේ හැම දේම අතරේ අපි තාත්තාව නිදහස් කර ගන්න ජාත්‍යන්තරව ලබා ගන්න පුළුවන් සෑම සහයක්ම ලබා ගත්තා. තාත්තා නිදහස් වුණොත් මම හිතන්නෙ නෑ තාත්තා නිදහස් කළේ මොන පසුබිමක් නිසාද? කවර හේතුවක් නිසාද කියලා. කවර හේතුවක් මත හෝ එහි ප‍්‍රතිඵලයයි අපට දකින්නට  ඕනෑ වුණේ. අපි ඉකිගහලා ඇඬුවේ නැතුවාට අපේ හිත් ඇතුළෙ කැකෑරෙන වේදනාව මෙච්චරක් කියලා කීවේ නැතුවට සීමාවක් කියන්න බැරි තරම් කඳුළු අපේ ඇස් යට හැංගිලා තිබුණා. අපේ එකම හීනය වුණේ තාත්තාගේ නිදහස. ඒ නිදහස වාරණයකින් තොරව කොන්දේසි විරහිතව පූර්ණ නිදහසක් විදිහට මගේ තාත්තට ලැබෙනව නම් ඊටත් වඩා සතුටක් මගේත් නංගිගෙත් අම්මාගෙත් ජීවිතයේ නෑ. ඊටත් වඩා අපි හැබෑ කර ගන්න හීන දැකපු හීනයක් අපේ ජීවිතවල නෑ. නැගෙන ඇගේ සුසුමකට ඉඩ හැර මම මොහොතක් බලා සිටියෙමි. ප‍්‍රශ්නයකට පිළිතුරක් නොව ගලා යන කතාබහකට ඇයට ඉඩදී හිඳින්නට මට සිත් විය. ඇය යළි කතා කළාය. අපි ඉස්සරවෙලාම තාත්තා නිදහස් කරන්න යනවා කියලා දැනගත්තේ පත්තරවලින්. ජනාධිපතිතුමා "ද හින්දු” පුවත්පතටත් ඒ බව ප‍්‍රකාශ කළ බව දුටුවම අපේ විශ්වාසය හා බලාපොරොත්තුව වැඩි වුණා. අම්මා කිව්වා ටිරාන් අලස් මහතා මැදිහත් වෙලා තමා දිගින් දිගටම සාකච්ඡුාව සිදුවුණේ. තාත්තට නිදහස ලැබෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒත් හරියටම දිනයක් දන්නෙ නැහැ. අපට ඒ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වෙයි කියලා. අම්මා එහෙම කීවත් මේ කාලය මුළුල්ලේ අපි ජීවත් වෙච්ච මානසිකත්වය ලබපු අත්දැකීම් ගැන හිතද්දි හුඟාක් බලාපොරොත්තු තියා ගන්න නම් නංගිත් මමත් බය වුණා. තාත්තා නිදහස ලැබුණට පසුව ආයෙමත් කාලයක දී දේශපාලනයට එනවට පෞද්ගලිකව නම් මම කැමැති නැහැ. මම දන්නැහැ නංගියි අම්මයි ඉන්න මතය මොකක්ද කියලා. ඒත් අපේ තාත්තා හුඟාක් දුරදිග හිතලා වැඩ කරන කෙනෙක්. එයා දේශපාලනය කරනව නම් ඒ කරන්නේ දේශපාලනයෙන් හරිහම්බ කර ගන්න නෙමෙයි. එයා යුද හමුදාපතිවරයා වශයෙන් තමන්ගේ ජීවිතය ගැන නොහිතා රට වෙනුවෙන් කැප වුණා වගේම රට වෙනුවෙන් කැප වෙන්න. මිනිසුන් වෙනුවෙන් සේවයක් කරන්න. මගේ තාත්තා මේ රටට හමුදාවට හුඟාක් ආදරෙයි. එයා කවදාවත් මේ රටට හමුදාවට ද්‍රෝහිකමක් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තාත්තා දේශපාලනය කළත් මොන දේ කළත් මායි අම්මයි නංගියි තාත්තාගේ සෙවණැල්ල වගේ තාත්තට ශක්තියක් වෙමින් එයා එක්ක ඉන්නවා. ලංකාවේ මගේ රටේ මිනිස්සු ළඟ හුඟාක් මනුෂ්‍යත්වය තියෙනවා. තාත්තා හිරකාරයෙක් වුණාම සමහර අය කීවා ලංකාවේ මිනිස්සුන්ට සති දෙකෙන් හැම දේම අමතක වෙයි කියලා. ඒත් මගේ රටේ මිනිස්සුන්ට එහෙම වුණේ නෑ. මිනිස්සු හුඟාක් අප එක්ක හිටියා. ධෛර්යය දුන්නා. මට නංගිට ඊමේල් (විද්‍යුත් තැපැල් පණිවිඩ) එවලා තිබුණා. දවසක් එයි ඒ දවස වෙනකම් අපි ඔයාලා ළඟ ඉන්නවා. අපි අපේ හිටපු  හමුදාපතිතුමා අමතක කරන්නෙ නෑ කියලා. මේ විදිහට හුඟාක් පණිවිඩ එවලා තිබුණා. තාත්තා ආයෙමත් දේශපාලනය කළොත් අපව අත්නොහැරිය ඒ අය තාත්තා එක්ක ඉදියි. තාත්තා තනි නොකරයි. මගේ තාත්තා සාධාරණ මිනිහෙක්. වැරදි කරන මනුෂ්‍යයෙක් නොවෙයි. එයා ළඟ තියෙන්නෙ නොසැලෙන පෞරුෂත්වයක්. ඒක නිසා තමා යුද හමුදාපති නිල ඇඳුම ඇන්ද මනුස්සයාට ජම්පරය අඳින්න වුණා කියලා ඒ මනුස්සයා බිංදුවක්වත් මනසින් නොවැටුණේ. යුද්ධයක් කරපු යුද්ධයකට නායකත්වය දීපු තාත්තාට විඳින්න වුණ ඔය හැම අත්දැකීමක්ම විඳගන්න අසමාන ශක්තියක් තිබුණා. අපි හතරදෙනා අතරේ තිබුණේ පුදුම බැඳීමක්. යුද්ධය නිසා ඒ කාලයේ දී තාත්තට අපත් එක්ක හුඟාක් කිට්ටුවෙන් ඉන්න බැරි වුණාට ඒ බැඳීම අපේ හිත්වල තිබුණා. තාත්තා නාවික හමුදා බාරයේ ඉද්දි අපට කතා කරන්න පුළුවන් වුණා. ඊට පසුව ඒකත් නැතුව ගියා. නංගිට නම් තාත්තාව මේ කාලයේ දකින්න හරි ලැබුණා. මට ඒ වාසනාවත් නැති වුණා. අපි අම්මාට ලියුම් යවනවා. අම්මා ඒ ලියුම් තාත්තාට පෙන්වනවා. තාත්තා අම්මා මාර්ගයෙන් අපට ලියුම් එවනවා. ඒ හැම ලියුමකින්ම මේ කාලය පුරාම අප කළේ තාත්තා ධෛර්යමත් කරපු එක සහ අපි තාත්තාව ධෛර්යමත් කරපු එක. ඒ ලියුම්වල අපට තාත්තාගේ සුවඳ දැනුණා. මම නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානයේ සමහර දේවල් තාත්තට ලියලා යැවුවා. මට තාත්තාගෙන් විතරක් නොවෙයි භෞතිකව මගේ මහත්තයාගෙනුත් ඈත් වෙන්න වුණා. ඒත් අපි අධ්‍යාත්මිකව බැඳිලා ඉන්නේ. අපේ හීනය එයා, මම, නංගි, තාත්තා, අම්මා ආයෙත් පවුලක් විදිහට සතුටින් හමුවෙන එක. අපේ තාත්තා වැරදි කරලා නැති නිසා අපිවත් අම්මවත් කාගෙන්වත් සමාවක් ගන්න කැමැති වුණේ නෑ. ඒ ස්ථාවරය නම් කවදාවත් වෙනස් වුණේ නෑ.   හුඟ කාලයකට පසුව හුඟක් වේදනාකාරී අත්දැකීම්වලින් පසුව ඔබට ඔබේ පියා මුණගැසෙන පළමු තත්පරයේ කොහොම හැඟීමක් ඔබේ සිතට දැනෙයිද? මට හිතාගන්න බෑ කොහොම හැඟීමක් මගේ හිතට දැනෙයිද කියලා. මට දරාගන්න බැරි වෙයි ඒ සතුට. මම ආයෙමත් පුංචි දුවක් වගේ මගේ තාත්තාව වැළඳ ගනියි. තාත්තව බදාගෙන මම අඬයි. මට කඳුළු නවත්තා ගන්න බැරි වෙයි. ඇත්තටම මට ඒ මොහොත ගැන හිතා ගන්න බෑ. ඒක මහ පුදුම හීනයක් වගේ වෙයි. මගේ ජීවිතයේ මම සැබෑ කර ගන්න ආසම හීනය වෙයි.   තාත්තාට නිදහස ලැබුණොත් ඒ විගසම තාත්තව දකින්න ඔබ එනවාද? මේ මොහොතෙත් මට එන්න හිතෙනවා. ඒත් මට එන්න වෙන්නේ ලංකාවේ තියෙන වාතාවරණය අනුව අම්මයි තාත්තායි දෙන්නා එන්න කියලා කීවොත් විතරයි. එහෙම කීවොත් මම එනවා. නැත්නම් මට එන්න බැරි වෙයි. තාත්තා අපට හැමදාම කීවේ පිටරටක ඉගෙන ගත්තට කමක් නෑ කවදා හරි මේ රටට එන්න  ඕනෑ කියලා. අපෙත් තියෙන්නෙ ඒ බලාපොරොත්තුව. එහෙම පුළුවන් දවසක් ආවොත් අපි එනවා. තාත්තා දැන් ඉන්නේ අසනීපයෙන්. තාත්තට ඉක්මනට සුවපත් වෙයි. මගේ අම්මයි තාත්තයි කියන්නේ බොහොම සාමාන්‍ය පවුල්වල උදවිය. ඒ අය දේශපාලන පරම්පරාවලින් ආ අය නොවෙයි. මගේ තාත්තාට කවදාවත් මුල අමතක වෙන්නෙ නෑ. අපට අමතක වෙන්නෙත් නෑ. මේ මොහොත වෙනකම් අපි එක්ක හිටිය මිනිස්සුන්ට අපි අපේ හදවත්වලින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ තාත්තට නිදහස ලැබුණත් ඒ අය අපිත් එක්ක ඉඳලා අපේ දුක කඳුළ බෙදාහදා ගත්ත ඒ අතීතය අපට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ අප්සරාගේ හඬයි.

සරත් ෆොන්සේකා දෙටු දියණිය අප්සරා මහේෂිනී ෆොන්සේකා

සටහන - සංජීවිකා සමරතුංග