ලංකාවට අවශ්‍ය දේවල් පිටරටවලින් ගෙන්වා ගැනීමට දැනට අවුරුද්දකට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 21කි. එහෙත් රටින් පිටට අපනයනය කරන දේවලින් අවුරුද්දකට ලැබෙන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 11කි. විදේශ විනිමය අවශ්‍යතාවේ කොතරම් හිඟයක් තිබෙන්නේ දැයි ඉන් අනාවරණය වෙයි. විදෙස් ණය වාරික හා පොලිය ගෙවීමට ද අවශ්‍ය වන්නේ විදේශ විනිමයයි. ඒවා උපයා ගැනීමට අපට තිබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.

සංචාරක කර්මාන්තයේ පැවැත්මට මුහුද, වෙරළ හා හිරු එළිය සේම පුරාවිද්‍යා නටබුන් පමණක් ප්‍රමාණවත් නොවන බව කියන ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ උප සභාපති නිෂාඩ් විජේතුංග මහතා මෙරට වන සම්පතින් හා වන ජීවීන්ගෙන් ඒ සඳහා මහා මෙහෙවරක් ඉටු වන බවද කියයි. පාරිසරික සංවිධාන සම්මේලනයේ භාරකරුවකු ද වන ඒ මහතා සංචාරක කර්මාන්තයේ පැවැත්ම සඳහා වනය හා වනජීවීන් රැක ගැනීමේ අත්‍යවශ්‍යතාව මෙසේ  විස්තර කරයි.

2015 දී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 17,98,380කි. ඉන් 5,58,521 ක් මෙරට වනජීවී උද්‍යාන නැරඹූහ. 2016 දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 20,50,832 කි. ඒ අතරින් අපේ වනජීවී උද්‍යාන නැරඹූ පිරිස 7,83,203කි. එය ප්‍රතිශතයක් ලෙස 2016 දී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 38කි. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් එනම් සියයට 13.3ක් නරඹා තිබෙන්නේ යාලය. හෝර්ටන්තැන්න නරඹා තිබෙන සංඛ්‍යාව සියයට 6.4කි. උඩවලව වනෝද්‍යානය නරඹා තිබෙන සංචාරකයන් සංඛ්‍යාව සියයට 6.2කි. මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන නැරඹූ සංචාරකයන් පිරිස සියයට 5.6ක් වන අතර අනෙක් වනෝද්‍යාන නැරඹූ විදෙස් සංචාරකයන් සංඛ්‍යාව සියයට 6.6ක් වෙයි.

ඒ තොරතුරුවලින් අනාවරණය වන්නේ විදෙස් සංචාරකයන් වැඩි පිරිසක් යාල වනෝද්‍යානය නැරඹීමට කැමැති බවය. 2016 යාල වනෝද්‍යානය නරඹා තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 2,72,834කි. ප්‍රතිශතයක් ලෙස එය 13.3කි. යාල නැරඹීමට පැමිණි ඒ සංචාරකයන්ට හා ඔවුන් පැමිණි වාහනවලට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් පමණක් වනජීවී දෙපාර්තමේන්තුවට 2016 දී ලැබී තිබෙන ආදායම රුපියල් කෝටි 61කි. ඒ සංචාරකයන් නැවතී සිටි හා ආහාර පාන ලබා ගත් හෝටල්වලට ලැබුණු ආදායම රුපියල් කෝටි 631කි. ඒ සංචාරකයන් වනෝද්‍යානයට රැගෙන ගිය ජීප් රියැදුරන්ට ලැබී තිබෙන ආදායම රුපියල් කෝටි 53කි. ඒ සංචාරකයන් පිරිස මෙරටට ගෙන්වා ගත් සමාගම් හා පුද්ගලයන්ට ලැබුණු ආදායම රුපියල් කෝටි දෙකහමාරකි. සමස්තයක් ලෙස 2016 දී විදේශීය සංචාරකයන් 2,72,834ක් යාල වනෝද්‍යානය නැරඹීමෙන් පමණක් මෙරටට ලැබී තිබෙන ආදායම රුපියල් කෝටි 746කට ඉතා ආසන්නය. වනෝද්‍යාන හා වන සතුන් පෙන්වීමෙන් පමණක් අපේ රජයට හා ජනතාවට කොතරම් ආදායමක් ලැබෙන්නේදැයි ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි.

2016 දී යාල වනෝද්‍යානය නරඹා තිබෙන දේශීය සංචාරකයන් සංඛ්‍යාව 3,85,442කි. ඔවුන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් ලැබී තිබෙන ආදායම රුපියල් ලක්ෂ 158කි. 2016 දී යාල නැරඹූ විදේශිකයන් 2,72,834න් වනජීවී දෙපාර්තමේන්තුව පමණක් ලද ආදායම රුපියල් ලක්ෂ 6,122කි. කෝටිවලින් නම් 61කි. 2016 දී මෙරට සියලු වනෝද්‍යාන නැරඹූ ලාංකිකයන් සංඛ්‍යාව 14,06,113කි. ඔවුනට හා ඔවුන් පැමිණි වාහනවලට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් 2016 දී වනජීවී දෙපාර්තමේන්තුව උපයාගෙන තිබෙන ආදායම රුපියල් කෝටි හතකි. 2016 දී මෙරට සියලු වනෝද්‍යාන නැරඹීමට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව 7,83,203 කි. ඔවුනට හා ඔවුන් පැමිණි වාහනවලට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වනජීවී දෙපාර්තමේන්තුව උපයාගෙන තිබෙන ආදායම රුපියල් ලක්ෂ 14,459 කි. කෝටිවලින් නම් 144කි. ඒ අනුව 2016 දී දෙස් විදෙස් සංචාරකයන්ට මෙරට වනෝද්‍යාන පෙන්වීමෙන් පමණක් වනජීවී දෙපාර්තමේන්තුව හෙවත් රජය උපයාගෙන තිබෙන ආදායම රුපියල් කෝටි 151කි. ඒ 2016 දීය. 2018 දී ඒ ආදායම රුපියල් කෝටි 160 ඉක්ම වූවා නිසැකය. රජය ඒ ආදායම උපයාගන්නේ මහා වියදමකින් තොරවය. මක් නිසාද යත් වනෝද්‍යාන නඩත්තුවට රජය අතිවිශාල මුදලක් වැය නොකරන නිසාය.

දැනට පවතින වනෝද්‍යාන රැකගෙන ඒවා තව තවත් වඩා වර්ධනය කළහොත් අනාගතයේදී ඒවායෙන් ඉපයිය හැකි ආදායම තවත් ඉහළ යයි. වනෝද්‍යාන රැකගත යුත්තේ මුදල් ඉපයීමටම නොවේ. වනාන්තරවලින් ලැබෙන ප්‍රයෝජන වචනවලින් කිව නොහැකි තරම් සුවිශාලය. බරපතළය. ජෛව විවිධත්වය රැක ගැනීමටත්, පරිසර සමතුලිතතාවටත්, අපට උරුම දේශගුණය රැක ගැනීමටත් ජල සම්පත රැකගැනීමටත් වනාන්තර රැකගත යුතුමය. සරලව කිවහොත් හුස්ම ගැනීමට හෝ වනාන්තර ටික රැකගත යුතුය.  මිනිසාගේ පැවැත්මට ගස් වැල් තරම් ප්‍රයෝජනවත් වෙනත් කිසිවක් නැත. අප හුස්ම ගන්නා වාතය ගස් වැල් නිසා පිරිසුදු වෙයි. අපේ සියලු අවශ්‍යතා සඳහා වුවමනා කරන ජලය සම්පාදනය වන්නේද ගස් වැල් නිසාය. අප ජීවත්වන මහ පොළවේ පස හා එහි සරුසාර බව රැකෙන්නේ ද ගස් වැල් නිසාමය. අපේ සිත් සතන් පහන් කරන පරිසරය සුන්දර වන්නේද ගස් වැල් හේතුවෙනි. එහෙයින් වනාන්තර හා වන සතුන් රැක ගැනීමේ වැදගත්කම ඉතා ඉහළය. ඒවා රැකගත යුත්තේ ඩොලර් ඉපයීමට නොව අපේ දිවි පැවැත්ම සඳහා බව දැන් ඉතා පැහැදිලිය.

සංචාරක කර්මාන්තය තව තවත් ඉහළ නැංවීම අපේ සේම රජයේ ද අරමුණයි. විදෙස් සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට රජය ද නොයෙක් පියවර හා උත්සාහයන් ගනිමින් සිටියි. සංචාරකයන් ලෙස අප වැඩි වැඩියෙන් ගෙන්වා ගත යුත්තේ වැඩි දින ගණනක් මෙරටෙහි රැඳෙන හා මෙරටදී වැඩි මුදලක් වැය කරන සංචාරක විදේශිකයන්ය. එවැන්නන් මෙරටට පැමිණෙන්නේ ඉන්දියාවෙන් හෝ චීනයෙන් නොවේ. ඉන්දියානුවන් හා චීන ජාතිකයන්ගේ සංචාර සාමාන්‍යයෙන් සතියකට අඩු දින ගණනකට සීමා වෙයි. එසේම ඔවුන් මෙරටදී මුදල් වැය කරන්නේද අඩුවෙනි. එහෙයින් ඔවුන් මෙරටට ගෙන්වා ගත යුතු නැතැයි මම නොකියමි. මා කියන්නේ වැඩි වැඩියෙන් මුදල් වැය කරන වැඩි දින ගණනක් මෙරටෙහි රැඳෙන සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වාගත යුතු බවය.

එවැනි සංචාරකයන් පැමිණෙන්නේ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වැනි යුරෝපීය  රටවලිනි. එවැනි රටවලින් එන සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ පවුල් පිටිනි. පවුල් පිටින් පැමිණීමේ අරමුණ වන්නේ හුදෙක් දැක බලා ගැනීම නොව ජීවන අත්දැකීම් ලබා ගැනීමය. මෙරට සුන්දරත්වය අත්විඳීම එය භුක්තිවිඳීම ඔවුනගේ ප්‍රමුඛ අරමුණකි. රටක් ලෙස අපට ඒ අරමුණු ඉටු කළ හැක්කේ වනාන්තර හා වන සතුන් රැක ගැනීමෙනි.

වන සතුන් හා පරිසරය රැකගත හැක්කේ රක්ෂිත පමණක් රැක ගැනීමෙන් නොවේ. රක්ෂිතවලට අමතරව රක්ෂිත ආශ්‍රිත වනාන්තර සේම ගම්මාන හා ජනාවාස ආශ්‍රිත වනාන්තර රැකගත යුතුය. ඒවා රැකගත යුත්තේ ද ඉහත කී අරමුණු මතය, වුවමනා හා අවශ්‍යතා ඉටු කර ගැනීමටය. වන සත්ත්වයෝ විශේෂයෙන් වල් අලි එක වනයක, රක්ෂිතයක හෝ එක් වන ලැහැබක පමණක් ජීවත් නොවෙති. වල් අලියකු දිනකට ආහාර කිලෝ ග්‍රෑම් 150ක් පමණ ගන්නා බවත් ඒ ආහාර සොයා ගැනීමට දිනකට කිලෝමීටර් 15ක් පමණ ඇවිදින බවත් වන ජීවී විශේෂඥයෝ කියති. වල් අලි රක්ෂිතවල පමණක් ජීවත් නොවෙති. කඳුකර කොටි ජීවත් වන්නේ රක්ෂිතවල නොව ජනාවාස ආශ්‍රිත වන ලැහැබ්වලය. වෙනත් බොහෝ සතුන්ද එසේමය. එහෙයින් රක්ෂිතවලට අමතරව ජනාවාස ආශ්‍රිත වනාන්තර හා වන ලැහැබ් ද රැක ගත යුතුමය. එහෙත් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් මේ වනාන්තර හඳුන්වන්නේ රෙසිඩුවල් ෆොරස්ට් (Residual Forest) නමැති නීච නාමයකිනි. එහි අරුත ඉතිරි වනාන්තරය. ඒ අරුත හිස මුදුනට ගන්නා ඇතැම් පුද්ගලයෝ රක්ෂිත නොවන සියලු වනාන්තර වැනසීමට ප්‍රතිපත්ති සම්පාදනය කරති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති වනාන්තර සංවර්ධනය සඳහා බව කියමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරීම ශ්‍රී ලංකාවේ සියලු වනජීවීන්ට මරණීය දණ්ඩනය පැනවීමක් බව මගේ විශ්වාසයයි. ඇදහීමයි. මේ නිසා දැනටත් වැඩි වෙමින් පවතින අලි මිනිස් ගැටුම් තවත් ඉහළ යනු නිසැකය.

සතුන්ට අවශ්‍ය තරම් වනාන්තර නොමැතිකම නිසා රිළවුන්, වඳුරන්, දඬුලේනුන්, ඉත්තෑවන්, ඌරන්, මොනරුන් වැනි වන සතුන්ගෙන් ගැමියන්ගේ වගාවලට දැනටත් බරපතළ හානි වෙයි.

ගැමි ගොවීන්ගේ අස්වැන්නෙන් සියයට 41 ක් ඒ වන සතුන් විසින් කා දමනු ලබන බව මෑතකදී හෙළිකර තිබුණේ එවැනි පළාතක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැවේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාය.
එහි වරද වන සතුන්ගේ නොව මිනිසුන්ගේය. ඒ ද සාමාන්‍ය ගැමි ගොවීන් නොව ප්‍රතිපත්ති සම්පාදක නිලධරයන්ගේ මහිමයෙනි. එහෙයින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට භාරදුන් වනාන්තර වනසා දැමූ පසු අස්වැන්න විනාශ වීමේ ප්‍රතිශතය සියයට 41 සිට තවත් ඉහළ යනු නියතය. අවසානයේ වැනසෙන්නේ ගැමි ආර්ථිකයයි. එහෙයින් ගැමි ආර්ථිකය රැක ගැනීමට නම් වනාන්තර ද රැක ගෙන ඒවායෙහි වන සතුන්ට අවශ්‍ය කෑම බීම සුලබ කළයුතුය. එසේ නොකර, තිබෙන වනාන්තර ටිකත් වැනසීමෙන් විනාශයක් මිස සංවර්ධනයක් වන්නේ නැත.

එහෙයින් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතට පැවරූ වනාන්තර යළි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දිය යුතුය. එය එසේ කළ යුත්තේ රටේ සංවර්ධනය හා අභිවෘද්ධිය සඳහාය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට දුර නොපෙනීම බරපතළ කාරණයකි.

අලි ඇතුන් ඇතුළු සියලු වන සතුන් එක් ආරක්ෂිත ප්‍රදේශයක සිට තවත් ආරක්ෂිත ප්‍රදේශයකට යන්නේ ඉහත කී නීච නාමයෙන් හඳුන්වන වනාන්තර හරහාය. ඒ වනාන්තර අත්‍යවශ්‍ය ඒවා මිස ඉතිරි හෝ අවශේෂ වනාන්තර නොවේ. වන සතුන් ස්ථානීයව සංරක්ෂණය වන්නේ ඒ වනාන්තරවලය. එසේම ඒ වනාන්තරවලින් ජාන හුවමාරුවට අවශ්‍ය මං පෙත්ද නිර්මාණය වෙයි. එමගින් සියලු ජාන ආරක්ෂා වී ඒවායේ දිගු කාලීන පැවැත්ම තහවුරු වෙයි. ඒ අත්‍යවශ්‍ය වනාන්තරවල සතුන් ඇතුළු අනෙක් ජීවීන් රැඳී සිටීම නිසා ඔවුන් මගින් ආදායම් උපයන ජනතාවගේ ආදායම් මාර්ගද තහවුරු වෙයි.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 70 ක් තවමත් ජීවත්වන්නේ ගම්බද පළාත්වලය. අස්වැන්නෙන් සියයට 41 ක් වන සතුන්ට බිලිවන්නේ ඒ ගැමි ගොවීන්ගේ මිස ප්‍රතිපත්ති සම්පාදක නිලධරයන්ගේ නොවේ.

එහෙයින් ඒ ගැමි ගොවි ජනතාවගේ අස්වැන්න රැක දීමට කළයුතු වන්නේ වන සතුන්ගේ නිජ භූමි ඔවුනට රැක දී ඔවුනට අවශ්‍ය ආහාර පාන ඒ වනාන්තරවල සුලබ කිරීමය.

ගැමි ආර්ථිකය රැකගත හැක්කේ එසේ කිරීමෙන් මිස තිබෙන වනාන්තර ටිකත් වැනසීමෙන් නොවේ. වන විනාශයෙන් ආර්ථිකයද වැනසෙනවා මිස සංවර්ධනය වන්නේ නැත.

අලි ඇතුන්ගෙන් සියයට70ක් ජීවත් වන්නේ රක්ෂිතවල නොව ජනාවාස ආශ්‍රිත වන ලැහැබ්වලය. ඒ වනාන්තර වැනසූ කල අලි ඇතුන්ට ආහාර සොයා ගැනීමට තව තවත් ගම් වැදීමට සිදුවෙයි. එමගින් ගැමියන්ගේ අස්වැන්න වන සතුන්ට බිලිවීම තවත් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස අලි මිනිස් ගැටුම් තවත් ඉහළ යයි. අවසානයේ දෙපිරිසේම මරණ ගණන ද ඉහළ යයි. මරණ ගණන  එසේ ඉහළ යාම සංවර්ධනයක් වන්නේ කෙසේද?

අලි ඇතුන් ඇතුළු සියලු වන සතුන්ගෙන් පැහැර ගත් ඔවුන්ගේ නිජ භූමි යළි ඔවුන්ට ලබාදී ඒවායේ ඔවුනට අවශ්‍ය කෑම බීම සුලබ කිරීමෙන් මිනිසුන් හා සතුන් අතර ඇති වී තිබෙන ගැටුම් අවසන් කළ හැකිය. ඒ ගැටුම් අවසන් වූ කල ගැමි ආර්ථිකයේ ඇතිවන පිබිදීමෙන් සමස්ත රටේම ආර්ථිකය වර්ධනය වෙයි. එහි ප්‍රතිඵල රටටය. රජයටය. ප්‍රතිපත්ති සම්පාදකයන් තේරුම් ගත යුත්තේ ඒ සත්‍යය.

දුර දැක්මක් හා නිසි වැඩපිළිවෙළක් තිබේ නම් රක්ෂිත නොවන වනාන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහාම යොදාගත හැකිය. බලධාරිනට එවැනි සැලසුම් නැතිනම් අපට එවැනි සැලසුම් සකසා දිය හැකිය. ස්වභාවික පරිසරයට කිසිදු හානියක් නොකළ සංචාරක අවන්හල් දැන් රටේ නොයෙක් තැන්වල තිබේ. විදේශිකයන්ගෙන් ඒ තැන්වලට තිබෙන්නේද ඉහළ ඉල්ලුමකි. එහෙයින් වැඩි වැඩියෙන් විදේශ විනිමය ඉපයිය හැක්කේ වනාන්තර රැකගැනීමෙන් මිස වැනසීමෙන් නොවන බව බලධරයෝ තේරුම් ගත යුත්තෝය. විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ තුරු ලතාවන්ගෙන් පිරි පරිසරයේ දිවි ගෙවන මිනිසුන් හා සතුන් සමග කාලය ගත කර ජීවන අත්දැකීම් ලබා ගැනීමටය. එසේ නොමැතිව කාන්තාර නැරඹීමට සංචාරකයන් මෙරටට නොපැමිණෙන බව බලධරයෝ තේරුම් ගත යුත්තෝය. එසේම වනාන්තර වැනසූ කල විදේශිකයන්ට නොව ස්වදේශිකයන්ට ද හුස්ම ගැනීමට පවා නොහැකිව සතා සිවුපාවුන් ඇතුළු සමස්ත පරිසර පද්ධතියටම මළගම උදාවන බවද බලධරයෝ අවබෝධ කරගත යුත්තෝය.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)