පොලිසිය සම්බන්ධයෙන් බොහෝවිට ලිවීමට සිදුවන්නේ ඉහළ – පහළ පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙනි. පිහිටක්, පිළිසරණක් පතා පොලිසියට යන සාමාන්‍ය ජනයාට සිදුවන නොසලකා හැරීම් ගැනය. එහෙත් අද අපට ‘පොලිස් විරුවකු’ පිළිබඳව ලිවීමට සිදු වී තිබේ. එහෙත් තමන් පිළිබඳව ලියැවෙන මෙම සටහන කියැවීමේ වරම ඔහුට අහිමිය. ඒ පොලිස් රාජකාරිය වෙනුවෙන් සිය භද්‍ර වූ යෞවන ජීවිතය ඔහු පූජා කර ඇති හෙයිනි.
චාවකච්චේරියේ, තැපැල් කන්තෝරුව පාර පළමු පටුමග පදිංචි ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන්නේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් මහමෙරක් උසට බලාපොරොත්තු සහිතවය. පොලිස් පුහුණුවෙන් පසුව පොලිස් ස්ථාන ගණනාවක රාජකාරි කළ ඔහු අවසන් වරට සේවය කරමින් සිටියේ ජා ඇළ පොලිස් ස්ථානයේය.
ඉකුත් 23 වැනිදා ඔහු සේවයට වාර්තා කළේය. නිති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට ජා ඇළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු අත්විලංගු සමගින්ම පොලිසිය ආසන්නයේම ඇති ජා ඇළ ඇළට පැන ඇත. ඒ බේරී පලායාමටය. පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ද වහා ඇළට පැන සැකකරුට පැන යාමට ඉඩ නොදී තම ග්‍රහණයට ගැනීමට කටයුතු කළහ. මෙම පොලිස් පිරිස අතර ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් ද සිටියේය. ඇද හැලෙන මහ වැසි නිසා ජා ඇළේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
සැඩ දිය පහර බොහෝ සෙයින් අනතුරුදායක බව ක්‍රිෂ්ණ මූර්තිට තේරුම් යන්නට ඇත. එහෙත් රාජකාරිය සතු වගකීම ඊටත් වඩා හොඳින් ඔහුට දැනෙන්නට ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පිරිස සමත් වුවද ක්‍රිෂ්ණ මූර්ති සැඩ දිය පහරේ ගසාගෙන ගියේය. ඔහුගේ සිරුර ඊට පසු දා සොයා ගැනිණි.
රාජකාරිය, දේවකාරියටත් වඩා උසස් යැයි සැලකූ එහෙයින්ම රාජකාරිය අවංකව හා උපරිමයෙන් මෙන්ම වගකීමෙන් ඉටු කළ යුගයක් තිබිණි. එහෙත් පසුකාලීනව මෙම තත්ත්වය වෙනස් වී ඇති බව ඉතා පැහැදිලිය. බොහෝ දෙනකුට රාජකාරිය යනු මාසේ පඩිය ලැබීමට අවස්ථාවක් පමණි. ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් වීරයකු වන්නේ එම රාජකාරිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ හෙයිනි.
ඕනෑම අයකුට තමන්ගේ ජීවිතය තරම් වටිනා අන් යමක් මෙලොව නැත. අප සියලු දේ කරන්නේත්, සියලු බලාපොරොත්තු ගොඩ නගා ගැනෙන්නේත් ජීවිතය වෙනුවෙනි. ඒ ජීවිතය තම රාජකාරිය වෙනුවෙන් පූජා කළ හැකි නම් හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විරුවෙකි.
අප රට තිබෙන තැන සම්බන්ධයෙන් කිසිවකුට හෝ සතුටු විය නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. රට මෙම දරුණු ඉරණමට ගොදුරු වූයේ තම තමන්ගේ යුතුකම් සහ වගකීම් නිසි රිසි ලෙස ඉටු නොකළ නිසාය යන්නත් එපමණටම සත්‍යයකි. මෙම චෝදනාව පාලක පාලිත දෙපාර්ශ්වයටම පොදුය. අවසානයේදී පිළිතුර වශයෙන් ආදේශ කරගෙන ඇත්තේ රටින් පලා යාමය. දුරු රටකට ගොස් දුක් විඳීමය.
ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් අපට සුවිශේෂී වන්නේත් අගනා වටිනා ආදර්ශයක් බවට පත්වන්නේත් රාජකාරිය වගකීමකින් යුතුව ඉටු කළ නිසාය. රාජකාරියක් වෙනුවෙන් ජීවිතය පූජා කළ යුතු නැත. එහෙත් අවශ්‍ය වන්නේ නම් එම ජීවිත අවදානම බාරගත යුතුය. එම ආදර්ශය සපයමින් දිවියෙන් සමුගත් ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන්ට අපගේ ආචාරය මෙසේ පුද කරමු.
(***)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාතියට අහිමි වූ පොලිස් විරුවා
Perera Tuesday, 28 November 2023 06:10 PM
පොලිසියේ ඇතැම් ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙතුමාව නිදසුනකට ගත්තොත් පොලිස් දෙපාර්තමේන්තුවේ නැතිවී තිබෙන කීර්ති නාමය නැවත ගොඩනගාගැනීමට හැකිය.
ආරියපාල ටී. හේවගේ Tuesday, 28 November 2023 07:30 PM
තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට කැප වූ ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් මහතාට/ විරුවාට ශ්‍රී ලාංකික සැමගේ ගෞරවය හිමිවිය යුතුයි. එසේ වන්නේ... ශ්‍රී ලංකාව අද තිබෙන තත්වයට වැටී ඇත්තේ විශේෂයෙන්ම රජයේ සේවය කරන අති බහුතරය තම වගකීම් කොටස නිසිලෙස ඉටු කිරීමට කැප වී නොමැති බැවිනි. එම තත්වය තුළ ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් රටට අවශ්‍යම මිනිසෙකි, පුරවැසියෙකි, රජයේ සේවකයෙකි. රජය ඔහුගේ පවුලේ අයට සෑහෙන ප්‍රමාණයේ වන්දියක් ගෙවීම සිදුකරනු ඇතැයි සිතමි. එය රජයේ යුතුකමකි. එමෙන් ම ක්‍රිෂ්ණ මූර්ති සිරදුපන් විරුවාව පොලිස් විරුවන්ගේ නාම ලේඛනයේ ලියැවිය යුතුයි. ඔහුට උසස් වීමක් ද ලබාදිය යුතුයි...!
Ahamed Wednesday, 29 November 2023 10:12 AM
අපිට මේ වගේ පොලිස් නිලධාරීන් අවශ්‍යයි.
Vijaya Monday, 04 December 2023 03:19 PM
හොඳයි...!