කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පසුගිය ජනවාරි 9 වැනිදා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාව සම්බන්ධ කරගැනීමට දැඩි උත්සාහයක් දරමිනි. අගමැතිවරයා ඒ වන විට සිටියේ ඔහුගේ ඡන්ද බල ප්‍රදේශය වන කුරුණෑගල, ඡන්ද දායකයින් හමුවීමට ගොසිනි. ඉරිදා සන්ධ්‍යාවේ ඔහු කොළඹ පැමිණි වහාම මෙරට ඉන්දියානු මහකොමසාරින් ගෝපාල් බග්ලේ මහතා අගමැති රාජපක්ෂ මහතා හමුවීමට විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියේය.

යාපනය සරසවි භූමියේ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය විනාශ කර තිබීම අතිශය බරපතල කාරණයක් යැයි සදහන් කළ ඔහු, එම සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයට පසුවම වාගේ වීම - ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ විරෝධතා මතුවීමට හේතුවක් විය හැකි යැයි අගමැතිවරයා හමුවේ පවසා තිබෙන බවද, දැනගන්නට ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ නැගෙනහිරට වන්නට පිහිටා තිබෙන මුල්ලිවයික්කාල් ප්‍රදේශය, එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කෙරුණු, විශේෂයෙන්ම අවසන් සටන් කිහිපය පියවි ලෙසම අත්දුටු ප්‍රදේශයකි. යුද මුක්ත කලාපයක් යැයි නම්කර තිබූ මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් සිවිල් ජනතාවද වාසය කළ අතර, ඇවිලුනු සටන්වල දී, සාමාන්‍ය වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වූයේ යැයි දෙමළ කණ්ඩායම් අදටත් චෝදනා නඟති. නමුත් එම චෝදනා ආරක්ෂක අංශ සහ පොලිසිය තරයේම බැහැර කරයි.

2019 වසරේ පෙබරවාරි මාසයේ එවක යාපනය සරසවියේ සිටි උපකුලපතිවරයාගේ අනුමැතිය යටතේ මෙම ස්මාරකය විවෘත කිරීම සිදුව තිබේ. ඊට පෙර, 2018 වසරේ මෙම ස්මාරකය ගොඩනැගීම ආරම්භ කෙරුණු අවස්ථාවේ විශ්විද්‍යාල කොමිෂන් සභාව එකී කටයුතු වහාම නවතාලන ලෙස නියෝගයක් නිකුත් කළ ද, එය අනුගමනය නොකෙරිණ.

පැවැති යහපාලන රජය සමයේ දෙමළ ජාතික සන්ධානයට හිමිව තිබූ දේශපාලන බලය ඊට හේතුවයි.

ස්මාරකයේ කොටස් සරසවියෙන් පිටතදී, නිර්මාණය කර පසුව ඒවා සරසවි භූමියට ගෙනවිත් එකළස් කෙරිණ.

අගමැති රාජපක්ෂ වහාම ක්‍රියාත්මක විය. උද්ගතව තිබූ තත්ත්වය සමනය කිරීම සදහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ යාපනය සරසවියේ උපකුලපති මහාචාර්ය සිවකොලුන්තු ශ්‍රී සත්කුණරාජා යන මහත්වරු සදුදා දින අලුයම් කාලයේම එකිනෙකා සමග අදහස් හුවමාරු කරගත්හ. එහි ප්‍රතිඵලය වූයේ තවත් මුල්ලිවයික්කාල් ස්මාරකයක් ගොඩනැගීමට ඒ වන විට විරෝධතා පවත්වමින් සිටි සරසවියේ ශිෂ්‍ය කණ්ඩායම්වලට අවසරය හිමිවීමය.

විනාශ කර තිබූ මුල් ස්මාරකයේ නටඹුන්වලින් නව ස්මාරකය සදහා මුල් ගල තැබීම සිදුවිය. සිකුරාදා වන විට පාදම තැනීම සදහා කොන්ක්‍රීට් ඇතිරීමට ඔවුන් අගල් කපා අවසන් කර තිබිණ. මේ ආකාරයෙන් නව ස්මාරකය ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනපති ලේකම් කාර්යාලය කිසිත් දැන සිට නැත. එහි නිලධරයන් වහාම යාපනය සරසවියේ උප කුලපතිවරයාව අමතා මෙම ස්මාරකය විනාශ කරන්නට උපදෙන් දුන්නේ කවුදැයි විමසා ඇති බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. එම සිදුවීමෙන්, තවත් අතුරු සිදුවීම් රැසක් උපත ලබා තිබීම එයට හේතුවයි.
“උද්ගතව තිබූ තත්ත්වය මම ඉතාම හොදින් ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරියකුට පැහැදිලි කළා” යයි මහාචාර්ය ශ්‍රී සත්කුනරාජා මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.

එහෙත් ස්මාරකය විනාශ කිරීමේ සිට නැවත එයට මුල් ගල තැබීම දක්වා ගෙවුණු පැය 60 ක කාලයේ සිදුවූ දේ සම්බන්ධ තොරතුරු තිරය ඉදිරියට පැමිණීමට යම් කාලයක් ගතවිය. කෙසේ වෙතත්, ඒ වන විට, රජයට මෙන්ම රටටත් සිදුවන්නට තිබූ හානිය සිදුව අවසන්ව තිබිණ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක කටයුතුවල පවතින බරපතල දුර්වලතා මෙම සිදුවීමෙන් මනාව පිළිඹිඹු වූ අතර, මෙවන් සිදුවීමක් පාලනය කිරීමට සහ අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හෝ වේවා දේශපාලනමය හෝ වේවා කිසියම් මධ්‍යගත යාන්ත්‍රණයක් නොමැතිවීම ඒ අතරින් කැපී පෙනිණ. බුද්ධි අංශවලින් සිදුව තිබෙන ඉතාම බරපතල අතපසුවීමක්ද මෙතැන පවතින අතර රටේ එකදු හෝ බුද්ධි සේවයක් මෙවන් සිදුවීමක් වන්නට යන බවට හෝ එවැන්නකින් අත්විය හැකි අනිටු ඵලවිපාකයන් සම්බන්ධයෙන් හෝ රජයේ නායකයින්ට අනතුරු අගවා තිබුණේ නැත. එවැන්නට ඔවුන්ට හැකියාවක් හෝ නොතිබූ ගානය.

දැඩි අවධානයට ලක්කළ යුතු මෙවන් ගැටලු ඔහේ විසදෙන්නට ඉඩ හැර බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කැරෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත.

වර්තමානයේ ක්‍රියාත්මක කෝවිඩ්-19 මර්දන වැඩපිළිවෙල මෙම තත්ත්වයට ඌණ පූර්ණයක් සපයයි. එහිලා, රජයේ විවිධ අංශයන් කටයුතු කරමින් සිටින්නේ එකිනෙකාගෙන් ස්වාධීනව මෙන්ම එකිනෙකාට පරස්පර අයුරින්ය. කෙසේවුවත්, යාපනයේ සිදුවීම එයට වඩා අතිශයින් බරපතලය.

මෙම සිදුවීම හමුවේ සදුදා දිනයේ යාපනයේ සහ නැගෙනහිර වෙනත් ප්‍රධාන නගරවල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය. සියලු වෙළදසැල්, කාර්යාල සහ වෙනත් ආයතන වසා දැමිණ.

දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවත් මෙම විරෝධයට එක්ව සිටීම අලුත් දෙයක් වූ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාර්යප්පර් මහතා හර්තාලයට සහාය දක්වමින් නිවේදනයක් නිකුත් කළේය. සිලෝන ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතාද නිවේදනයක් නිකුත් කරමින් විරෝධතාවයට සහාය දක්වන බව ප්‍රකාශ කළේය. මේ හමුවේ උතුරු අර්ධද්වීපයේ සහ නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල සියලුම කටයුතු ඇණ සිටියේය.

මෙම තත්ත්වයෙන් දැඩි අපහසුතාවයකට පත්වූ රජයේ නිලධාරීහු කෝවිඩ්-19 වසංගතය නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇතැයි ගැටලුව වසන් කිරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.

යුද්ධයෙන් මියගියවුන් සිහිපත් කිරීම වෙනුවෙන් තැනූ ස්මාරකයක් විනාශ කර ඇතැයි අසා තමා කම්පනයට පත්වූ බව තමිල්නාඩු මහ ඇමැති එඩාප්පඩි පලනිස්වාමි පැවසුවේය. එසේ කර තිබීම උතුරු හා දකුණ අතර සමගියට බාධකයක්යැයි ඔහු කීවේය. විඩුතලෙයි චිරුතයි පුලෙයිකල් පක්ෂයේ නායක තොල් තිරුමාවලන්, චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට තමා වයිකෝ ගෝපල්සාමිගේ මරුමාලර්චි ද්‍රවිඩ මුන්නේත්ත්‍ර පක්ෂය හා එක්වන බව පැවසුවේ ය.

“සරසවි භූමියේ මෙම ස්මාරකය නැවත ඉදිකරන්නැයි අපි ශ්‍රී ලංකා රජයට බලකර කියා සිටිනවා” යයි ඔහු කීවේය. මේ අතර තවත් කණ්ඩායම් සිටියේ තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වීමට පිඹුරුපත් සකස් කරමින්ය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ මිචම් සහ මෝර්ඩෙන් ප්‍රදේශ නියෝජනය කරන කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සියෝබාන් මැක්ඩොනා, මෙම ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටි අතර එය ආගමික නිදහසට තිබෙන අයිතිය බැහැර කිරීමක් ලෙස හදුන්වාදුන්නාය. ඇයගේ ඡන්ද කොට්ඨාසයේ සැළකිය යුතු ඡන්ද දායකයින් ප්‍රමාණයක් දෙමළ ජාතිකයින් වන නිසාම, සියෝබාන් මැක්ඩොනා සැළකෙන්නේ දෙමළ ජාතික ගැටලුව වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙසය.

ඒ අතරම සරණාගතයින් ලෙස කැනඩාවට ගොස් දැන් එරට පදිංචිව සිටින දෙමළ ජාතිකයන් මෝටර් රථ පෙළපාලියක සහායෙන් මාධ්‍ය අවධානය ඔවුන් වෙත ලබාගැනීමට උත්සාහ කළේය. නළා හඩ නංවමින් වීදි සැරූ එම රථවල එල්.ටී.ටී.ඊ ධජය ප්‍රදර්ශනය කර තිබිණ. මෙම රථ බහුතරයක් නවතම මාදිලියේ බෙන්ස් හා අවුඩි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ බව අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝ පටවලින් හදුනාගන්නට හැකිවිය. කැනඩාවට ගොස් පොහොසතුන් බවට පත්ව සිටින මෙම පුද්ගලයෝ අද වන විට එරට දේශපාලඥයින්ටද බලපෑම් කළ හැකි තරමට බලවත්ව සිටිති.

ස්මාරකය ඉවත් කිරීම හෙළා දුටු යෝජනාවක් ගෙවුණු බදාදා යාපනය නගර සභාවේ දී සම්මත විය. විනාශ කර දැමුණු ස්මාරකය එම ස්ථානයේම නැවත ඉදිකළ යුතුව තිබෙන බවට එයින් යෝජනා කර තිබිණ.

මුල්ලිවයික්කාල් ස්මාරකය විනාශ කිරීම පසුපස තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය සරසවියේ උපකුලපති ශ්‍රී සත්කුනරාජා මහතා වෙත යවා තිබෙන රහසිගත වාර්තාවක් බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. ආරක්ෂක අමාත්‍යංශය වෙත ඒ වන විටත් යවා තිබූ ඇතැම් තොරතුරුද ඇතුලුව විවිධ බුද්ධි අංශවලින් ලබා දී තිබූ තොරතුරුත් එම වාර්තාවේ ඇතුළත්ව තිබී ඇත.

හමුදා බුද්ධි අධ්‍යක්ෂ අංශයෙන් යොමුකර තිබූ තොරතුරු ඒ අතරින් වඩාත් වැදගත් වන අතර, එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාතී සිසුන් සහ වෙනත් අදාළ ක්‍රියාකාරකම් හා මෙම ස්මාරකය අතර සම්බන්ධයක් පවතින බව එම තොරතුරුවලින් දක්වා ඇත.

ආරක්ෂක අමාත්‍යංශයට සරසවියේ උපකුලපතිවරයා සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් සිදුකිරීමට අවසරයක් නොමැති නිසා එය සිදුව තිබෙන්නේ පොලිසිය හරහාය. ස්මාරකය ස්ථාපිත කිරීමට විරුද්ධ සිසුන්ද සරසවියේ සිටින නිසා එය තර්ජනයක් බව මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධ සැමරුම් සහ වෙනත් අවස්ථාවලට එය යොදා ගැනෙමින් තිබෙන බවද මෙහිදී අවධානයට ලක්ව තිබේ. අවසන් වුවමනාව වී තිබෙන්නේ මෙම ස්මාරකය විනාශ කර දැමීමය.

මෙයටම අදාළ තවත් කාරණයක් ඇත.

ශ්‍රී සත්කුනරාජා මහතා ආරක්ෂක අංශ හෝ පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් හමුවන සෑම අවස්ථාවකම පාහේ ඔහුගෙන් විමසා තිබෙන්නේ මුල්ලිවයික්කාල් ස්මාරකයේ ගැටලුව සම්බන්ධයෙන්ය. එය විනාශ කෙරෙන්නේ කවදාදැයි ආරක්‍ෂක අංශ ඔහුගෙන් අසා ඇත.

“ලිඛිතව කර තිබූ ඉල්ලීම අනුව කටයුතු කරන්නැයි නැවත නැවතත් දැනුම්දෙනු ලැබුණු නිසාම ඔහු සිටියේ දැඩි පීඩනයකට ලක්වෙලා. එහි උච්ඡම ස්ථානය සනිටුහන් වුනේ මීට සතියකට පමණ පෙරයි” යයි බුද්ධි අංශ මූලාශ්‍රයක් පිළිගත්තේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව සරසවියක කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමට නොහැක යැයි ඔහුට දැනුම් දී තිබී ඇත. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාද මෙම සිදුවීමට පසුව පැවැති මාධ්‍ය හමුවකදී අවධානය යොමුකළේය. පසුව සදුදා පැවැති සතිපතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද අමාත්‍යවරයා සිටියේ එම ස්ථාවරයේමය.

නව ස්මාරකයක් ගොඩනැගීමට මුල්ගල තැබීමට අවසර දුන්නේ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා යාපනය සරසවියේ උපකුලපතිවරයාව හෙළා දැක්කේ ය.

“වම් අත කරන දෙය දකුණු අත දන්නා බවක් පේන්න නැහැ” යයි මෙම සිදුවීම සහ රටේ ඒ වන විට පැවැති පසුබිම හමුවේ නොසන්සුන්ව සිටි හෙයින්ම, කෝපයෙන් අදහස් දැක්වූ එක් අමාත්‍යවරයෙක් පැවසුවේය.

ඔහු අදහස් කළේ ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මෙම සිදුවීමට යන්තම් පෙර දිනයේ සිදුව තිබීම පිළිබදවය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම, පළාත් සභා මැතිවරණය කල්දැමීම සහ කෝවිඩ්-19 ආසාදනයව මරණයට පත්වන්නන් භූමදානය කිරීමට අවසර දෙන්නැයි මුස්ලිම් ජනතාව කරමින් සිටින ඉල්ලීම් ප්‍රතික්ෂේප කැරෙමින් පැවතීම ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී අවධානයට ලක්වූ කාරණා විය.


- ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර