ලිබරල්වාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවත්නා මතවාද විවිධාකාරය. මේවා සම්බන්ධයෙන් ලොව ප්‍රකට දේශපාලනික විද්වතුන්ගේ අදහස්, මතවාද, අපේ සමාජය හැඩගස්වා ගැනීමට, ඒ සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන්නේය. අපේ ගමන් මග තෝරා ගැනීමට, නිවැරදි කර ගැනීමට ද ඒවායෙන් ලැබෙන්නේ මග පෙන්වීමකි. මේ කාරණා ගැඹුරින් වටහා ගැනීමට පසුගිය ලිපි දෙකෙන් ද කටයුතු කළෙමු. ඒ ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම්වූ දේශපාලන විද්වතාගේ මතවාද, අදහස් ඔස්සේය. 

ලිබරල්වාදය, ගැඹුරින් විග්‍රහ කරන ෆුකුයාමා විශ්ව ඉතිහාසයට දිශානතියක් තිබේදැයි ප්‍රශ්න කර තිබුණි. 
එම කාරණය විස්තර කිරීමට ස්වාභාවික විද්‍යාව යොදාගැනීමට ෆුකුයාමා කටයුතු කර තිබුණි. මේ පසුගිය ලිපියේ දිගුවකි. 

මිනිසා ස්වභාවික විද්‍යාව උපයෝගී කරගෙන මෝටර් රථය සහ ගුවන් යානය භාවිත කිරීමට ප්‍රථමයෙන් අශ්ව කරත්තයත් දුම්රිය මාර්ගත් පාවිච්චි කිරීමට හේතු වූ කාරණා හොඳින් වටහා දිය හැකි බව මොහුගේ අදහසය. ඒ වගේම පසුකාලීන සමාජ නගරබදව වාසය කිරීමට හේතු වූ කාරණා නවීන දේශපාලන පක්ෂ, කම්කරු සංගම්, රාජ්‍ය යනාදිය ගෝත්‍ර සහ කණ්ඩායම් වෙනුවට ඇතිවූයේ ඇයි ද යන්නත් ස්වභාවික විද්‍යාව ඇසුරෙන් පැහැදිලි කළ හැකි බව ෆුකුයාමාගේ අදහසය. 

තාක්ෂණය සහ සංවිධානාත්මක ශ්‍රම බලකායක් කර්මාන්තකරණය සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියකි. නාගරීකරණය, නිලධාරිවාදය සහ පවුල් හා ගෝත්‍රික බැඳීම්වල කඩා වැටීම, අධ්‍යාපන මට්ටම ඉහළ යාම මේ සමග ඇතිවන සංසිද්ධියකි. තාක්ෂණය මුල්වූ ආර්ථික නවීකරණයක් හේතුවෙන් සංවර්ධිත රටවලට ගෝලීය ධනවාදී ආර්ථික සංස්කෘතියක් පිළිගැනීමට සිදුවනු ඇත. ඒ අනුව සැලකිය යුතු ආර්ථික තරගකාරිත්වයක් සහ වෙළඳපොළට අනුව මිල නියම කිරීමට ඔවුන්ට සිදුවන බව ද පැහැදිලිය. 

විසිවැනි ශතවර්ෂයේ අවසන් දශකය වනවිට දියුණු රටවලට ධනවාදය අනිවාර්ය සාධකයක් බව තිබූ සාමාන්‍ය මතවාදයකි. ඒ වගේම ධනය නිපදවීමට සහ නවීන තාක්ෂණික ශිෂ්ටාචාරයක් ඇති කිරීමට මාක්සිස්ට් හා ලෙනින්ස්ට්ගේ සමාජවාදය බාධකයක් බවට සාමාන්‍ය පිළිගැනීමක් ඇතිවූවේය. තුන්වැනි ලෝකයේ සංවර්ධන උපක්‍රමයක් ලෙස සමාජවාදය තෝරා ගැනීම පිළිබඳව තර්ක කිරීම ශක්තිමත් වූයේ ලතින් ඇමෙරිකාව ආදී ප්‍රදේශවල ආර්ථික සංවර්ධනයට ධනවාදය කිසිදු රුකුලක් නොවූ නිසාය. 

පශ්චාත් යුද ආසියානු අත්දැකීම පෙන්නුම් කරන්නේ පසුව නවීකරණය වන රටවලට සන්සන්දනාත්මකව වාසියක් සලසන බවය. ඒ, ඒ වනවිටත් කාර්මීකරණය වී තිබූ බලවතුන්ට සාපේක්ෂවය. මේ සිද්ධාන්තය මුල් ලිබරල් වෙළෙඳ න්‍යායවලට අනුකූල බව ෆුකුයාමාගේ පැහැදිලි කිරීමය. ඇමෙරිකාව සහ යුරෝපයෙන් නවීනතම තාක්ෂණය ලබා ගැනීමට පසුව නවීකරණය වූ ආසියාතික රටවලට හැකි වුණි. ජපානය මෙහිදී විශේෂිතය. බටහිර බහුජාතික සමාගම් ලිබරල් ආර්ථික පොත පතෙහි දක්වා ඇති ආකාරයටම මෙහිදී කටයුතු කර තිබේ. මෙම බහුජාතික සමාගම් ආසියාවේ ලාබදායක ශ්‍රමය සූරාකන අතරම ඔවුන් ආසියාවට වෙළෙඳපොළක්, ප්‍රාග්ධනය සහ නව තාක්ෂණය ලබාදී ඇත. මෙම දේශීය ආර්ථිකයනට ස්වයං තිරසාර වර්ධනයට යාමට මෙය හේතු වුණි. 

19 වැනි ශත වර්ෂයේ අවසන් භාගයේදීත් 20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේදීත් ජර්මන් සහ ජපන් අත්දැකීම් යළිත් ලබන ආසියාතික රටවල්වලට ඔප්පු කිරීමට හැකිවූ විශේෂ කාරණයක් තිබේ. එනම් ආර්ථික ලිබරල්වාදයෙන් මුලින් නවීකරණය වූ රටවල් හා සමානව හෝ ඉන් ඔබ්බට යාමේ හැකියාව පසුව නවීකරණය වූ රටවල්වලට තිබෙන බවය. ආර්ථික වර්ධනය, අධ්‍යාපන තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර තිබෙන දැඩි සම්බන්ධතාව ඉතා පැහැදිලිව දකුණු යුරෝපයේ පෙන්නුම් කරන්නකි. ඒ හා සමාන සම්බන්ධතාවයක් ආසියාතික රටවල ද පෙන්නුම් කර තිබේ. නවීකරණය වූ පළමු ආසියාතික රටවන ජපානය ස්ථාවර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලබාගත් පළමු රට වශයෙන් ද පෙන්වා දිය හැකිය. 

දෙවැනි සහ තුන්වැනි ඉහළ අධ්‍යාපනයක් ඇති සහ ඉහළ ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් වන තායිවානය සහ දකුණු කොරියාව මහා දේශපාලනික විපර්යාසයක් වූ රටවල්ය. ඉහළ කාර්මීකරණයක් වීමෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් උත්පාදනය වන බව තේරුම් කිරීමට ඉදිරිපත්ව ඇති තර්ක තුනකි. නවීන ආර්ථිකයේ පරස්පර ආශාවන් තුළින් ඇතිවන සංකීර්ණ තත්ත්වය සමථයකට පත්කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයට බව ඉන් පළමු වැන්නය. ඉහළ තාක්ෂණික සමාජයකට මුහුණ දෙනවිට ඒකාධිපතිවාදය හෝ එක් පක්ෂ පාලනයක් කාලයත් සමග ඉතා ඉක්මනින් පරිහානියට පත්විය හැකි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බව දෙවැනි කරුණය. සාර්ථක කාර්මීකරණයකින් මධ්‍යම පාංතික සමාජයක් බිහිවන අතර එම මධ්‍යම පාංතික සමාජය දේශපාලනයට සම්බන්ධවීම සහ සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටීම තුන්වැනි කරුණය. 

මධ්‍යම පාංතික සමාජ ඇතිවන්නේ විශ්ව අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙනි. කර්මීකරණය වූ සමාජයක් තුළ ඉහළ නිපුණතාවක් සහ අධ්‍යාපනයක් ලද කාර්යක්ෂමව වැඩ කරන්නන් අවශ්‍යය. ඒ වගේම කළමනාකරුවන්, තාක්ෂණික ශිල්පීන්, බුද්ධිමතුන් අවශ්‍ය බව ද සඳහන් කළ යුතුය. ඒනිසා අධ්‍යාපනයේ අවශ්‍යතාව මග හරින්නට ඒකාධිපති රාජ්‍යයන්ට නොහැකි වනු ඇත. අධ්‍යාපනයට තිබෙන අසමාන පිවිසුම්වලින් සමාජය තුළ ඇතිවන්නේ අසමානතාවකි. ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට පවා එරට වෙසෙන කළු ජාතිකයන්ගේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාදීමට නොහැකි වී තිබේ. 

ආර්ථික නවීකරණ ක්‍රියාදාමය හරහා සමහර විශාල සමාජීය පරිවර්තනයක් ගෝත්‍රික සහ කෘෂිකාර්මික සමාජවල ඇති කළ හැකිය. එම සමාජ නාගරීකරණයටත් උගත් මධ්‍යම පංතිකයන් බවටත් පත්වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු භෞතික තත්ත්වයක් ද නිර්මාණය කරනු ඇත. 

ඉතිහාසයේ අවසානය සම්බන්ධයෙන් ප්‍රශ්නය ඉදිරි ලිපියෙන් සලකා බලමු. 

සටහන - චමින්ද මුණසිංහ