(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදියා 96 වැනි වියට පා තබමින් තවමත් සිය කාර්යයන් කරනුයේ සිය වියපත්බව තඹයකට නොතකමිනි.

ඔහුට කාලය ගෙවීයනු නොදැනේ. එනිසාම ඔහු වයසට යන බවක්ද නොසිතන්නට ඇත. ඔහුගේ හොඳහිත නිසාම අදහන ආගම විසින් ඔහුට ඒ ආශිර්වාදය හිමිකර දී ඇත්තේ පූර්ව පින් මයහිමය හේතුකොටගෙනය.

මේ භාග්‍යවන්තයා අන් කිසිවෙකු නොව එඩ්වින් ආරියදාස නම් සම්මානනීය ප්‍රවීණ පුවත්පත් කලාවේදියාය. ජනමාධ්‍යවේදියාය.  

ඔබතුමන් ගැන යමක් ලියන්න ඕනෑ යයි කී විට ‘‘ඔව් ඒකට නිමිත්තක් තියනවා. මගේ 96 වැනි උපන්දිනය මේ 03 වැනිදා ට එනවා. විශේෂයකුත් තියනවා. මා ඉපදුන දවසත්   96 වැනි ජන්ම දිනය එළඹෙන දිනයත් දෙකම ඉරිදා දවසක් වගේම පසලොස්වක පෝය දවසක්“ යැයි කීවේ සතුටිනි.

පරසිදු දකුණු ලක ගාල්ල උණවටුනේ වී.කේ. ඒබ්‍රහම් අප්පුහාමි මහතා සහ සිසිලියානා හමීනේ දෙදෙනාගේ බාල දරුවා ලෙසින් එක්වූ   එඩ්වින් ආරියදාස  අද දැවැන්ත චරිතයකි. ප්‍රවීණ පුවත්පත් කලා වේදියකු පමණක් නොව  ඔහු පුවත් පත් ලේඛන කලාවට අමිල සේවය කළ,  අව්‍යාජ අවිහිංසක හා මානුෂික කරුණාගුණයත් ගැමිකමත් රඳවා ගත් දයාබර ගුරුපියෙකි.

මෙම ප්‍රවීණ පුවත්පත් කලාවේදියාගේ උපන්දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 03 වැනිදාය.

වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකු හා වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුතු පවුලේ  බඩපිස්සා වෙමින් ගාල්ල උණවටුණ නම් වු සුන්දර ගමෙහි ඉපිද ජනමාධ්‍ය ක්ෂේත්‍රය දිග් විජය කළ මේ බහුස්‍රැත වියතා තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරන සිසුන්ට දැනුම බෙදන්නට එයි.  සිය ගෝලබාලයන්ගේ ආධාරයෙන් තට්ටුතුනේ තරප්පු පෙළ  නගිමින් පැමිණෙන මේ අව්‍යාජ මිනිසා  සිය දිවියේ විශේෂ මතක සටහන් සිහිපත් කළේ මේ අයුරිනි.

“මං උපන්නේ දකුණෙ ගාල්ලෙ උණවටුන කියන ‍ඓතිහාසික ගම්මානයේ. රූමස්සල කන්ද සෙවනේ අපි හැදුනා වැඩුනා. මම ගොවි පවුලක . ගැමි පවුලක්. මම බාලයා. වැඩිහිටි කව්රුවත් දැන් ජීවතුන් අතර නෑ.

මං හිතන්නේ මට තරම් පවුලේ ආදරය ලැබුන දරුවෙක් තවත් නෑ. අයියණ්ඩිල 3 යි. අක්කණ්ඩිල දෙන්නයි. දෙම්ව්පියොවත් සහෝදරයොවත් මට කිසිම දිනක රළුවචනයක් පාවිච්චිකර නැහැ. පුදුම ආදරයක් මැද මා වැඩුනා.

අක්කණ්ඩිලා යාලුවොත් එක්ක ඇවිත් ඉගෙන ගන්නවනෙ. අවුරුදු දෙක විතර වෙනකොට මට ඒ අය කියන ගාථා ඇහෙනවා. මට නිතැනින්ම ඒවා පාඩම්වෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය උණවටුනේ බෞද්ධ මිශ්‍රපාසලේදී ලැබුණා. හැමදාම පළවෙනියා. දෙවෙනියා තෙවවෙනියා. .

මා සිද්ධියක් කියන්න ඕනේ. ඒකාලෙත් වාර විභාග තියනවා. යෂී කියල ළමයෙක් හිටියා එයා මට ඇවිත් කියනවා  අනේ මේ ළමයා අසනීපවත් වෙන්නේ නෑනේ අපට පළවෙනියා දෙවෙනියා වෙන්න කියලා. ඒ ළමයා එහෙම කිව්වේ තරහට නොවෙයි ඒ තරගකාරී ගතියට.”  යනුවෙන් සිය මතකය අවදි කළේය.

පසුව දේවාතුර ඉංග්‍රීසි පාඨශාලාවටත් ඉන් ශිෂ්‍යත්වයක් ලැබ ගාල්ල මහින්ද විද්‍යාලයට යාමේ  අවස්ථාව හිමිකරගක් කුඩා ආරියදාසයන් ලොකු කුඩා හිතමිතුරන් මෙන්ම ගුරුදෙගුරු ඇසුරෙහි වැඩෙමින් කාගේ සිත් දිනා ගනිමින් අධ්‍යාපනය ලැබීය. පසුව එවකට ස්වාධීන විශ්වවිද්‍යාලයක්ව පැවති කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ වරම 1945 දී හිමිකර ගත්තේය. එහිදී සිංහල හා ඉංග්‍රීසි භාෂව පිළිබඳව උපාධිය ලබා ගත්තේය.

“එතකොට උපකුලපතිව සිටියේ අයිවර් ජෙනිංග්ස් මහතා”

ඔහුගේ වහරෙහි තවමත් ගැමිසුවඳ විහිදේ.

“අපේ හොස්ටල් එක තිබුණෙ ගල්කිස්සේ. එතන ඉඳන් බස්එකේ හරි කෝච්චියෙ හරි එනවා. ඒ කාලෙ පුදුමාකාර ඉගෙනීමක් තිබුණේ . කවදාවත් ස්ට්‍රයික් කරලා නෑ . කිසිම කලෙක අපේ ගුරුවරුන් සම්බන්ධයෙන් අයහපත්දේ සිතුවේ නැහැ. මහින්දේ හිටපු අයත් එකට නේවාසිකාගාරයේ හිටියා මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය සිරීගුණසිංහ වැනි අය. අපේ සමකාලීනයන් තමයි ඩබ්. එස්. තිලකරත්න, ඩී.පී. ආරිවංශ වැනි අය. පුදුම කැපවීමකින් කටයුතුකළා .

දේශන අවසන්ව අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් චිත්‍රපටයක්වත් බලන්න යන්නේ නෑ.

 

ගුරු ගෞරවය ඉතා ඉහළින් පැවතුනා. උතුරෙන් ආපු මිතුරෙක් හිටියා අමිර්තලිංගම් කියලා. අපි දෙන්නා ඉංග්‍රීසි භාෂාව හැදෑරුවේ  එකට. පස්සේ ඔහු දේශපාලනයට ගියා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ  ප්‍රතිඵල එනකන් මහින්ද විදාලයට ගිහින් ඉගැන්වුවා. ඉන්පස්සේ මහාචාර්ය ඊ.ඩබ්. අදිකාරම්, මහාචාර්ය මලලසේකර  මට ලිපියක් එවා  තිබුණා.

මං ඒකාලේ විශ්වවිද්‍යාලයෙ ඉන්නකොට බෞද්ධ ශිෂ්‍ය සමිතියේ සභාපති. සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී. ඒ අය කිව්වා  ගාල්ලෙ ඉඳන් වැඩකරන්න බෑ. කොළඹ එන්න.  අපි ඔයාට රස්සාවක් දෙනවා. කාරෙකක් නොමිලේ. සති අන්තයේ ඕන වන්දනාවක යන්න බස් දෙනවා කියලා.

ඊට පස්සේ කොළඹ අවා. ජීවිතේ බොහොම සතුටින් ගතකළා. හොඳවැටුපක් , ඇවිදින්න උවමනා කරන රථවාහන ලැබුණා .රස්සාව තමයි ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ලේකම්. ඔය කාලේ ලේක්හවුස් ආයතනයේ සභාපති එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා එයාගේ පෞද්ගලික ලේකම් අතේ මට පණිවුඩයක් එවල තිබුණා. ලේක්හවුසියට ඇවිත් වැඩකරන්න කියලා.

මට ඒක එච්චර බරක් විදිහට දැණුනේ නැහැ. මොකද ඔක්කොම මෙහෙම ලැබෙනවා නම් ආයිත් රස්සාවක් හොයන්න ඕනවුනේ නැහැනේ.

දෙවෙනි සැරෙත් පණිවුඩ එව්වා. අපි හිටපු තැනට කිට්ටුව මාටින් වික්‍රමසිංහ මහතත්තයගේ ගේ තියෙන්නේ. මං ගියා එයාගෙන් උපදෙසක් ගන්න.

“ඇයි ආරියදාස මහත්තයා පුංචිකාලෙ ඉඳන් මාධ්‍යට කැමති‍නේ එහෙනං යන්න“ කියලා මට කිව්වා.

මට එතකොට අවුරුදු 23 ක් විතර ඇති . මං ගියා. ලේක්හවුස් එකට. සාමාන්‍යාධිකාරියි, සභාපතිතුමයි මාව සම්මුඛ සාකච්ඡාවකට කැඳවුවා.

“ඔයා එන්න වැඩකරන්න . ඉස්සර තැනට වඩා වැඩියෙන් සල්ලි ටිකකුත් දෙන්නම්. කාරෙකක් නම් දෙන්න බෑ. ආයතනයේ කාර් පාවච්චි කරන්න. ඕනතරමක් නිවාඩු දෙනවා“ කිව්වා බෞද්ධ කටයුතු වලට.

ඉස්සෙල්ලම දිනමිණේ වැඩ කළා. වර්ෂ 1949 මාර්තු 03 ලේක්හවුසියට බැඳිලා දවස් 21 කින් එස්මන්ඩ් වික්‍රමසිංහ මත්තයාගේ පුත්‍රයා උපන්නා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ උන්නැහෙ. දැන්වුනත් මුණගැහුනොත් මං කියන්නේ මගේ වෘත්තීමය  ජීවිතයට වඩා මෙයා දවස් 21 ක් බාලයි කියලා. පුදුම කැපවීමකින් කටයුතු කළා. ඒ කැපවීම හේතුවෙන් විදේශ ශිෂ්‍යත්ව සංචාර, අධි ශිෂ්‍යත්ව බහුලව ලැබුණා. මේ දේවල් කරන අතරේ තවත් බොහෝ දේවල් ඉගෙන ගත්න කටයුතු කලා.

පාසලේදිවත් කොහේදිවත් මා කවදාවත් විද්‍යාව ඉගෙනගෙන නැහැ. නමුත් මට පරමානු බලශක්ති අධිකාරියේ උපදේශක ධූරයක් ලැබුනා. ඇමරිකාවේ හවායි ජනපදයේ අධිශිෂ්‍යත්වයක් ලැබුනා. මිහිබට සුරපුරයක් වගේ. විනෝදාත්මක ස්ථානයක්. සර්ෆින් කරන අයට මහ රාජධානියක් වගේ.  

රටරටවල ඇවිද්දා සිංගප්පූරුවට විතරක් 32 දෙපාරක් ගිහින් තියනවා. මා පුරෝගාමී වුනා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ජනසන්නිවේදනය එකතු කරන්නට.

1969 දී මහාචාර්ය ආතර් සී ක්ලාක්ගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ලත් මේ ප්‍රවීණ මාධ්‍යවේදියාට මහාචාර්ය ආතර් සී ක්ලාක් ආරියදාස මහතාගේ 85 වැනි උපන්දිනයේදී මෙසේ ලියා එවා තිබිණ.

“ඔබතුමා ම‍ගේ දැනුම සිංහලෙන් ඉංග්‍රීසියෙන් මාධ්‍යවලින් ප්‍රකාශ කර තිබෙනවා. ඔබ ශ්‍රී ලංකා මාධ්‍යයේ මහෝපාධ්‍ය ලෙස සලකනවා යනුවෙන්“ යනුවෙනි.

පුස්තකාල සේවා මණ්ඩලයෙන් පුස්තකාල පරිශිලනය පිළිබඳ   ලංකාවේ ප්‍රධානියෙකුට පළවෙනිවරට ලැබුණ සම්මානය මෑත දිනකදී ඔහුවෙනුවෙන් පිරිනමන්නටද කටයුතු කර තිබුණි. නවයුගය පත්‍රයේ කර්තෘ ලෙස කටයුතු කර මින් එහි ජනප්‍රියතාවය ඉහල නංවන්නට කටයුතු කර ඇත. 

“ප්‍රේමදාස අගමැති කාලයේ  මට දුන්නා මධ්‍යම පරිසර අධීකාරියේ අධ්‍යක්ෂ කමක්. එහි අධ්‍යක්ෂක කෙනෙක් වීමට පරිපාලන සේවයේ නිලධාරියෙකු විය යුතුයි. අනිත් අය ඇහුවා කොහොමද පරිපාලන සේවයේ නැති කෙනෙක් ගත්තේ කියලා. එතකොට එතුමා ඇහුවා ඕගොල්ලො කියෙව්වාද මෙතුමා අවුරුදු ගානක් ලියපු ලිපිලේඛන කියලා. ඒ අනුව මට පත්වීම දුන්නා. පස්සේ මට විදේශ ශිෂ්‍යත්වයක් ලැබුණා කෙන්යාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යාලයට.

ඒ ආකාරයෙන් දෙස්විදෙස් සංචාරයන්ගේ හසල අත්දැකීමෙන් සපිරි ඔහුගේ ජීවිතය තනිකඩව ගෙවුනේ මන්දැයි විමසන්නටද මම  අමතක නොකළෙමි.

හොඳ ප්‍රශ්නයක්..

මම ගෙදර වැඩෙනවා. පුංචිකාලේ ඉස්කෝලෙ යනකොට ලොකු අක්කණ්ඩි ඔලුවෙ තෙල්ටික ගාලා  පීරලා පුයර ටික දාලා ඉස්කෝලෙ යවනවා. පුංචිකලෙ ඇඳුම් හරිගස්සලා අන්දවන්නේත් ඒ අයම තමයි. නිය කපන්නෙත් කව්රුහරි වැඩිහිටියෙක්. මගෙයි කියල මං කරන්නේ පොතපත කියවන එක විතරයි.

ඒ අයට තිබුණ එකම ප්‍රශ්නය මං සෙල්ලම් කරනවා මදියි කියන එක පමණයි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට යනකොට පවා අක්කණ්ඩි අඳුම් පැළඳුම් හරිගස්සල දෙනවා. ඔන්න හින්නිමල්ලි මෙතන ඇඳුම් පැළඳුම් මෙතන පොත්පත්. හැමදේම කරදෙනවා . ඒකෙ ප්‍රතිඵලය මොකද්ද මම වැඩෙනවා කියල, ලොකුමිනිහෙක් වෙනවා කියල හැඟීමක් මට ආවෙ නෑ. පොතපතේම තමයි හිටියේ.

මට පෙම්තියෝ හිටියා. ඉතාම හොඳ උදවිය මා සමග ප්‍රේමයෙන් හිටියා. නම් ගම් කියන්න හොඳ නැහැ. නමුත් ඒ එක්කෙනෙක් සමග විවාහ වියයුතුයි යන හැඟීමමක් තිබුණෙ නෑ.. දැඩිව දැනුනෙ නෑ. විවාහයට විරුද්ධවීමක් හෝ අකමැත්තක් නිසා නොවෙයි.” යනුවෙන් අව්‍යාජව පැවසූ ආරියදාස මහතා තමා පවුලේ බාලයා බැවින් සිය වැඩිමහල්ලන් සියලුදෙනා තමන්ගෙන් අහිමිවීම කණගාටුවක් බව කීවේය.

විවිධ පොතපත පරිශීලනයත්, විවිධ පොතපත ලීවීමත්, දැනුම පරිශීලනය කරමින් දැනුම බෙදාදීමත් කරන අරියදස මහතා බොහෝවිට අවීවේකීව ගතකරයි. විටෙක විශ්වවවිද්‍යාල දේශනයකට සහභාගීවේ. තවත් විටක සම්මන්ත්‍රණයකි. තවත් විටක රූපවාහිනී වැඩසටහනකය . එතුමාගේ නිවසට කථාකරන සෑමවිටම තවම ගෙදර ඇවිත් නැහැ. රෑ 10 න් පස්සෙ ගන්න. යනුවෙන් අසනන්ට ලැබේ. 

බොහොම සරල සාමාන්‍ය අල්පේච්ඡ ජීවිතයකට ඇලුම් කරන ප්‍රවීණ මාධ්‍යවේදියා තවමත් සිය කටයුතු තනිව කරගන්නා අතර සිය සොයුරියගේ පුතෙකුගේ නිවසෙහි වාසය කරන්නේ ලබන්නේ කොළඹ ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යානාංශය මගින් පවත්වන ජනමාධ්‍ය ඩිප්ලොමා පාඨමාලවේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර තෙවැනි මහල දක්වාම ගෝලබාලයන්‍ සමග දේශන පරිශ්‍රයට පැමිණෙයි. උපැස් යුවළක නොපළඳින එඩ්වින් ආරියදාස මහතා පොතපත, පුවත්පත් පරිශීලනය කරන්නේ පුර්ව පින අනුව සිය සැබෑ පෙනීම උපයෝගී කරගෙනෙය. එය ඔහු ලත් ජන්ම දායදයකි.

“මට මේ වෙලොව කියන එක පේන්නෙත් නැහැ.” ඔහු පවසයි.

හෙට දවසට නියමිත වැඩ කොටස අවසන් කර නින්දට යයි. ඇතැම් වැඩක් පටන් ගත්විට එය නවත්වනුයේ එහි අවසානයක් දැකීමෙනි. ඇතැම් දවස්හි නින්දට යනවිට පාන්දර 2 පසුවන බව කියයි. මගේ මුණුපුරෙක් ඉන්නවා සමහරවෙලාවට ඔහු “සීයා යූ හෑව් ගෝටු බෙඩ් නව්.” කියනවා.

විවිධ කටයුතුවල හැමදාම යෙදිල ඉන්නවා. මට අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය වෙනවා කාගෙත් ආදරය තියනවා. පුංචිකාලෙ තිබුණ ආදරය වගේ අද වෙනස්  ඒ ගැන මං හිතන්න කැමති නැහැ. ඒ ප්‍රියයන් අපේන් ඈත්වෙලා. හිතට ඒ දුක තියනවා.  පොතපත ලියනවා. පොතපත කියවනවා. ලිපි ලේඛන සපයනවා.

ජපානයේ බෞද්ධ සමුළුවකට අවශ්‍ය ලිපි බොහොමයක්ම සම්පාදනය කළා. සිනමාව ශාස්ත්‍රීය කටයුතු රූපවාහානිය, සමාජකටයුතුවල සක්‍රීය දායක්ත්වයක් සපයන අතර අද යම් කණගාටුවක් යම්කිසිවක් ඇත්දැයී අසූපැනයට එවන් පසුතැවිල්ලකට හේතුවක් නැති බව කීවේය. 

“ක්ෂෙත්‍රයට තියන්නට ඇත්තේ. අපේ කාලයට වඩා දහස් ගුණයක් අවස්ථාව මේ අයට තියනවා.ඒත් ඒවායින් ප්‍රයෝජන ගන්න බවක් පේන්නෙ නෑ.

අද තරුණයෝ හාරපන්දාහක් පාරට බැහැල ඉන්නවා. අපි ඉගෙනගන්න කාලෙ එහෙම දේවල්නෑ . සුඛෝපභොගී අවස්ථා තියනවා. .මහවැලි ගඟ අසල මනස්කාන්ත පරිසරයක පුස්තකාල පහසුකම් කොච්චර දේවල්ද? හිතට හරිම සංතාපයක් ඇතිවෙනවා. මොකද මේ අය ගන්නේ නියම මාර්ගයද කියලා.” 

මේ පුවත්පත් කලාවේදියාට සිය වෘත්තීය කටයුතු පහසුකර ගන්නට අවැසි  ඇතැම් විට සිය වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාගේ පුතු වන නැතහොත් ඔහුගේ මුණුබුරෙක් වන ජිනේද්‍ර ජනක පෙරේරා  අන්තර්ජාලයෙන් අවශ්‍ය තොරතුරු ලබාදීම කරයි. සියආදරණීය  සීයාගේ කටයුතු පිළිබඳව ඔහු දැක්වූයේ මෙවන් අදහස්ය.

“ ගොඩක් වෙලාවට රෑ දෙක පහුවෙනකම් වගේ ඉන්නවා. දැනට සාමාන්‍යයන් ‍12 වගේ වෙනකම් වැඩ කරනවා. පහුවදාට විශේෂ වැඩක් නොතිබුනොත්  උදේ නමය වෙනකම් වගේ නිදියනවා.

විශ්වවිද්‍යාල දේශන , රූපවාහිනී වැඩසටහන් , වෙනත් සමාජමය වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා .ආටෝප සාටෝප නැති ගමේ කෑමබීම කන්න ප්‍රියයි. දන්න කාලෙ ඉඳන් එයාගේ දිනචරියාවේ වෙනසක් වෙලා නැහැ. අසනීපයක් කියලා එකතැන් ඉන්න මනුස්සයෙක් නොවෙයි.

අත්‍යාවශ්‍ය සහභාගීවීමවලට අනිවාර්යෙයන් යනවා.කණ්නාඩි දන්නේ නැහැ මොනව හරි ලියනවා ම් එය ලියා අවසන් කර මිස නැගිටින්නේ නැහැ. ටයිම් මැගිසින් එක කියවනවා අන්තර්ජාලයේ අවශ්‍ය යමක් තිබුනොත් මට කියල අරගන්නවා.”   

ඔහු ලද සම්මාන 300 ඉක්මවයි.

එඩ්වින් ආරියදාස මහතා ලේක්හවුස් ප්‍රකාශන බොහොමයක කර්තෘ මණ්ඩල සාමජිකයෙකු විය. ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ, ජනතා පුවත්පත්හි කර්තෘ මණ්ඩලයේ සේවයේ නිරතවු අතර නවයුගයේ ප්‍රධාන කර්තෘ විය. උසස් අධ්‍යාපනයට ජන සන්නිවේදන ක්ෂේත්‍රය එක්කිරීමෙහි ලා පුරෝගාමී වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය ඉගැන්වීමට ප්‍රථම විෂය නිර්දේශය සම්පාදනය කළේය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට මාධ්‍ය අධ්‍යාපනය හදුන්වාදීමටද ඔහුගේ මූළිකත්වයෙන් සිදුවිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා ආරම්භ කිරීමටද පුරෝගමීව කටයුතු කරනු ලැබීය.

ඔහු දැරූ තනතුරු අතර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රථම අධ්‍යක්ෂක ධූරය, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස මෙන්ම තොරතුරු හා මාධ්‍ය විකාශන ආයතනයේ උපදේශක තනතුර, ශ්‍රී ලංකා පොලිස් කොමිසම, ලේක්හවුස් ආයතනයේ උපදේශක, මහවැලි කේන්ද්‍රයේ උපදේශක, ශ්‍රී ලංකාව සඳහා ජනමාධ්‍ය සම්පාදනය සඳහා වූ කමිටුවේ සභාපති, යන ධූරයන්හි කටයුතු කර ඇත. ඔහු කළ සේවාවන් හමුවේ බොහෝ සම්මානයන්ටද පාත්‍රව ඇත.

ආරියදාස මහතා ලබාගත් ප්‍රධාන පෙළේ සම්මාන කිහිපයක් පහත දැක්වේ.

  • සාමය හා සහජීවනය සඳහා කැපවීම සඳහා ස්වර්ණ සිංහ සම්මානය - සෝක ගක්කායි සිංගප්පූරුව 2005
  • ඉදිරිපත් කර ඇති සේවවාන් සඳහා රොට්රැක් සම්මානය 2001
  • උණ්ඩා අභීනන්දන සම්මානය  2006
  • හොඳම මාධ්‍යවේදියා සඳහා වූ රන්සම්මානය - ශ්‍රී ලංකා ජනසන්නිවේදන ආයතනය
  • කැලණිය විශ්වවිද්‍යාලයේ සංජානනි මාධ්‍ය උපහාරය 2006
  • කලා ලංකා පදමේ සිනමාව වෙනුවෙන්  කලා ලංකා සම්මානය 2001
  • රණපාල බෝධිනාගොඩ අනුස්මරණ  සම්මානය - සිංහල සිනමාව සරසවි සම්මාන2005
  • සිංහල සිනමාව  සඳහා වූ  ඕ.සී.අයි.සී. සිරිල් බී.පෙරේරා අනුස්මරණ සම්මානය2001