”ලොව ප‍්‍රබලම රාජ්‍ය සිය රට නීච තත්ත්වයේ ලා සැලකීමේ සිරිත වෙනස් කිරීම  තමන්ගේ අවශ්‍යතාව යැ” යි මියන්මාර් ජනාධිපති තෙයින් සෙයින් කළ ප‍්‍රකාශය පසුගියදා බී.බී.සී.ය වාර්තා කළේ අද මියන්මාර් දේශය යන අත ගැන සඳහන් කරමිනි. මියන්මාරය චීන දේශ සීමාවට මායිම් වූ රාජ්‍යයකි. ඔවුනට සිටි ප‍්‍රධාන ආරක්‍ෂකයා හා එකම ගැලවුම්කාරයා  වූයේ චීනයයි. එසේම ඔවුන්ගේ ගනුදෙනු රටවල් දෙක තුනකට පමණක් සීමා වෙමින් පැවතිණ. ක‍්‍රමයෙන් අන්තර් ජාතික වශයෙන් මියන්මාරය කොන්වෙමින් පැවතිණ. යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය මියන්මාරයේ දැඩිව පැවතීම නිසා බටහිර රටවල ආර්ථික තහංචි වැඩිවුණි. අඩුම ගානේ ආසියාන් සංවිධානයට වත් මියන්මාරය වැද්දගත්තේ නැත. මේ නිසා චීනය ලොවේ සෑම අර්ධ ගෝලයක් සමගම සබඳතා පවත්වද්දී මියන්මාරයට එය අහිමිවිය. සබඳතා වෙනුවට බටහිරින් විවිධ ආර්ථික තහංචි පැනවිණ. වත්මන් ගෝලීය සංදර්භය තුළ හුදකලා රාජ්‍යයකට පැවැත්මක් නොමැති බව තේරුම් ගත් මියන්මාරය වෙනස්වීමකට අවතීර්ණ විය. එම වෙනස යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්තෙන් ලොවට විදහා දැක්වීම ඔවුන්ගේ අරමුණ විය. මේ වන විට විපක්ෂ නායිකා අවුන් සාන් සූකී ඇතුළු හය දහසක් පමණ දේශපාලන සිරකරුවන් නිදහස් කළ මියන්මාරය තවත් 39,000කගේ පමණ දඬුවම් ලිහිල්කර ඇත. වෘත්තීය සමිතිවලට පැනවූ තහංචි ඉවත් කර, අවුන් සාන් සූකී සම්බන්ධ කරගනිමින් අතුරු මැතිවරණ හරහා පාර්ලිමේන්තුවේ පුරප්පාඩු පුරවමින් තමන් වේගයෙන් අලූත් ගමනක යෙදෙන බවක් මේ වන විටම මියන්මාරය ප‍්‍රදර්ශනය කර ඇත. එහි ප‍්‍රතිඵල දැනටමත් එම රට නෙළාගනිමින් සිටී. එහි අර්ථය තමන්ගේ ආරක්‍ෂාවට හයි හත්තිය ඇති කවුරු සිටියත් මේ ගෝලීය සංදර්භය තුළ තමන්ට හුදකලා ගමනක් නොමැති බවයි. ”තොපේ වැඩක් බලාගෙන තොපි සිටපියවු අපේ වැඩක් බලාගෙන අපට ඉන්න දියව්” කියා මියන්මාරය වුවද උජාරු කතා කීවා අපට මතකය. ඔවුන් අවුන්සාන් සූකී සම්බන්ධයෙන් අනුගමනය කළේ දැඩි පිළිවෙතකි. අවසානයේ සියල්ල වෙනස් කර ගැනීමට එම බෞද්ධ රාජ්‍යයට වුවද සිදු වී තිබේ. ලෝක යථාර්ථයට මුහුණ දීමට ඉගෙන ගන්නවා නම් මියන්මාරය  අපට හොඳ පාඩමකි. අනෙක් අතින් මියන්මාර් පාලකයන් මේ සිදුකරමින් සිටින්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ට රට පාවාදීමක් යැයි එරට අන්තවාදී පිරිස් එහි වත්මන් පාලනයට දොස් පවරනවා ඇත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලින් තොරව ඉදිරියට ගමනක් නැති බව ඔවුහු තේරුම් ගනිමින් සිටිති. එය තේරුම් ගැනීම යහපත්ය. රටේ බහුතරය සිටින්නේ එතැනය. යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කිරීම පාවාදීමක් හෝ දේශද්‍රෝහී කි‍්‍රයාවක් සේ කල්පනා කිරීමම මෝඩය. ග‍්‍රාම්‍යය. ඉන් රැකෙන දේශපේ‍්‍රමයක් හෝ අධිරාජ්‍ය විරෝධයක් හෝ නැත. මීට අපට ඇති ආසන්නම උදාහරණය මියන්මාරයයි. මියන්මාරයේ තරම් යහපාලනයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳවැටීමක් අපේ රටේ නැත. එහෙත් එම මාතෘකාවට අදාළ ප‍්‍රශ්න තිබේ. එසේම බටහිර සමග බද්ධ වෛරයක් හෝ අමනාපයක් ද අපට නැත. අපේ අපනයන ආදායම ඩොලර් 100ක් නම් ඉන් 70ක්ම එන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලිනි. තවමත් අප සැබෑ නොබැඳි පිළිවෙතින් වෙනස් වෙලා ද නැත. මේ නිසා අපේ අඩුපාඩු නම් හදාගැනීම ලෙහෙසිය. පහසුය. පසුගිය සමයේ අපේ ඉදිරි ගමනට එරෙහිව පැවැති එකම ප‍්‍රශ්නය වී තිබුණේ අභ්‍යන්තර කැරලි හා ඊට අනුරූපීව කි‍්‍රයාත්මක වූ සිවිල් යුද්ධ කලකෝලාහලයි. ඊට හේතුව ජාතික රාජ්‍යයක් ගොඩනගා ගැනීමට ඉවහල් නොවූ ව්‍යවස්ථාවකට අනුව රට පාලනය කිරීමයි. මේ වන විට නිදහස ලබා වසර 64ක කාල පරාසය තුළ උතුරේ හා දකුණේ කැරලි තුනකට අපට මුහුණදීමට සිදුවිය. මින් 1970ට පසු යුගය සම්පූර්ණයෙන්ම වාගේ රට නොසන්සුන්ය.  මේ නිසා ගලා ගිය ලේ ගංගාවල කෙළවරක් නැත. යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් අනතුරක් සිදු වුණා නම් එය වූයේ මෙම කැරලිකාරී පසුබිම හා ආණ්ඩු විදියට එ්වා මර්දනය කිරීමට යෑමේදීය. මෙහිදී උතුරේ බෙදුම්වාදී අරගලය ප‍්‍රධාන විය. දෙමළ ජනතාවගේ ජාතිකත්‍වය පිළිබඳ ප‍්‍රශ්නය ඊට හේතු වූ බව පෙනේ. සමහරු එය බෙදුම්වාදයට හේතුවක් සේ පිළිගන්නේ නැත. එහෙත් නිදහසට පෙර යුගයේ සිටම විවිධ ස්වරූපයෙන් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය ඉස්මතු වී තිබේ. විටෙක පනහට පනහේ යෝජනාව ලෙසද, තවත් විටෙක එය පෙඩරල් පක්ෂයේ යෝජනාවලියක් සේද, තවත් යුගයක බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම, ඩඞ්ලි - චෙල්වනායගම් ගිවිසුම ආදී වශයෙන් එය ඉදිරිපත් වී තිබේ. එල්.ටී.ටී.ඊ.යේ බෙදුම්වාදී ව්‍යාපාරයද දෙමළ ජාතිකත්වය පිළිබඳ ප‍්‍රශ්නයේම තවත් ප‍්‍රකාශනයකි. පසුගිය දා පරාජයට පත් වූයේ එහි සන්නද්ධ නැගිටීමයි. එහෙත් ප‍්‍රශ්නය නැවතත් වෙනදාටත් වඩා හොඳින් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මේ සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව මේ ආණ්ඩුව ද පිළිගනී. එය ”මහින්ද චින්තන ඉදිරි දැක්මේ” සඳහන් වන්නේ මෙසේය. ”සියලූ පුරවැසියන් සතු බලය උපරිම ලෙස ශක්තිමත් කෙරෙන සාමකාමී දේශපාලන විසඳුමක්” යනුවෙනි. එසේම ”අද අපට අවශ්‍ය බෙදී වෙන් වෙන දෙසට නොව, රටේ ඒ කීයභාවය තහවුරු වන ලෙස ගොඩ නැෙඟන ප‍්‍රාදේශීය පාලනයක් සිත්හි තබාගෙන විවෘත සාකච්ඡා මාර්ගයෙන් සම්මුතියක් ඇතිකර ගැනීමට කටයුතු කිරීමයි” යනුවෙන්ද මහින්ද චින්තනයේ සඳහන් වේ. එහි කිසිදු තැනක පළාත් සභා අහෝසි කරන බවක් ද කියා නැත. එවන් අවශ්‍යතාවක් තිබේ නම් ඊට අවශ්‍ය තුනෙන් දෙකටත් වඩා වැඩි බලයක් මේ ආණ්ඩුවට තිබේ. ඒ වෙනුවට ”මහින්ද චින්තන” ඉදිරි දැක්මේ සඳහන් වෙන්නේ ”නොපමාව 13 වන සංශෝධන යටතේ උතුරේ පළාත් සභාව යළිත් ස්ථාපිත කරමි” යන්නය. පළාත් සභා ක‍්‍රමයට අදාළ මැතිවරණ ක‍්‍රමය ද ප‍්‍රාදේශීය සභා හා දිස්ති‍්‍රක් අනුපාතය පදනම් කරගත් මිශ‍්‍ර ක‍්‍රමයක් බවට පත් කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කරමි.” යන්නද මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වේ. ”මහින්ද චින්තන ඉදිරි දැක්මේ” එසේ සඳහන් වුවද යුද්ධය අවසන් වී වසර 3කට ආසන්න වෙමින් පැවැතිය ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම හැරෙන්න ඒ සම්බන්ධයෙන් ගත් ස්ථිර දැකුම්කළු කි‍්‍රයා මාර්ගයක් නැත. දෙමළ සන්ධානය සමග පැවැති සාකච්ඡාවල ද ප‍්‍රතිඵලයක් නැති ගානය. මේ අතර එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව හරහා කි‍්‍රයාත්මක වන මතවාදයක් ලෙස බෙදුම්වාදය වර්ධනය කිරීමේ ජාත්‍යන්තර කි‍්‍රයාවලියේ අඩුවක් වී නොමැත. එහෙත් එල්.ටී.ටී.ඊ.ය තහනම් කර ඇති ජාත්‍යන්තරය නිල වශයෙන් වත්, මතවාදීව වත් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් බෙදුම්වාදය පිළිගන්නේ නැත. එසේම එල්.ටී.ටී.ඊ.ය පරාජය වී වසර 3කට ආසන්න වන නමුත් ඔවුනට තවමත් එම රටවල නිල පිළිගැනීමක් ලබා දෙන්නේද නැත. එයම අපට වාසියක් සේ කල්පනා නොකරන්නේ මන්දැයි කියන්න දන්නේ නැත. යුද්ධය දිනාගත් නුඹලා දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට කුමක් හෝ කරපල්ලා යැයි ඔවුන් නොකියා කියනවා වාගේය. එසේ නම් අපෙන් ඉල්ලා සිටින වගවීමේ කි‍්‍රයාවලිය ඊට අනුරූපව සංශෝධනය කර ගැනීමට ද ඔවුහු සූදානම්ය. එය කෙළින් කියන්නේ නැත. ඒවා කියන භාෂාවක් තිබේ. ඉන්දියාව දිගින් දිගටම පෙනී සිටින්නේ ඒ සඳහාය. උතුරට දෙන දේශපාලන විසඳුම සැකසෙන විට ඉන්දියාවට මීට වඩා ගැම්මකින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටිනු ඇත. එයම බටහිර ජාත්‍යන්තරය අපට එරෙහිව  ගෙන එන තෙරපුම අඩු කිරීමට හේතුවක් වේ. ජාත්‍යන්තරය ද සූදානම් වන්නේ දේශපාලන විසඳුම හා වගවීමේ කි‍්‍රයාවලිය ශී‍්‍ර ලංකාවේ දකුණ පිළිගන්නා නායකයෙකු වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ලවා ඉටු කරවා ගැනීමට බව පෙනේ.  මේ නිසා ඉන්දියාව ප‍්‍රමුඛ ජාත්‍යන්තරයේ අවශ්‍යතාව පැහැදිලිය. එනම් මහින්ද මාර්ගයෙන් ප‍්‍රශ්නය විසඳා ගැනීමය. ඊට හේතුව මහින්ද බහුතර සිංහල ජනයාට අවැඩක් කරන්නේ නැති නායකයකු ලෙස දකුණේ සිංහල ජනයා තුළ ඇති පිළිගැනීමයි. ජනාධිපති මහින්දට ඇති ප‍්‍රශ්නය අකැමැත්ත නොවේ. ඔහු බහුතර මතය සොයමින් කල් මරමින් සිටින්නේ මේ කාරණයේ දී අනෙක් අය තමා තනිකරාවිදෝ යන සැකයෙන් දැයි කියන්න දන්නේ නැත. ඔහු මේ රටේ දේශපාලනයේ හැටි අත්දැකීමෙන් ම දන්නා නායකයෙකි. දියතලාවේ  පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂයේ වැඩ මුළුව ඔහු තම දේශපාලන සගයන්ගේ නාඩි පරීක්‍ෂා කිරීමට යොදාගත්තා වාගේය. මෙහි දී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සංවිධානය කළ කමිටු සාකච්ඡා හරහා ශී‍්‍ර.ල.නි.ප.යේ අභ්‍යන්තරය මතු විය. අමාත්‍ය ඩලස් සීරුමාරුවට තම සගයන්ගේ දේශපාලන අභ්‍යන්තරය දැන හැඳින ගැනීමට නායකයාට අවස්ථාවක් සලසා දුන්නා වැනි ය. මෙහි දී වත්මන් ප‍්‍රශ්න අරභයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ හා පැරණි නායකයන් ඉතා සාධනීය තැනක බව පැහැදිලි වුණි. විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්තී‍්‍රවරුන් සිටින්නේ සමහර ජ්‍යෙෂ්ඨයන් සිටින තැනක නොවේ. සමහරු දේශපාලනය තෝරාගෙන ඇත්තේ මසකට රු. ලක්ෂ ගණනින් ආදායම් උපදවාගත හැකි රැකියා අත්හැර දමලාය. ඔවුන් අතර වෛද්‍යවරු, කොම්පියුටර් ඉංජිනේරුවෝ, ගුවන් නියමුවෝ, ගොඩනැගිලි ඉංජිනේරුවෝ සිටිති. එසේම ඔවුනගේ දේශපාලන දැක්ම ද ඉදිරිගාමීය. පලක් නොවන රටක ඔවුන්ගේ කාලය නිකරුණේ කා දැමීමට සූදානම් නැහැ වගේය. මනාප ඡන්ද ක‍්‍රමයේ හා පරිපාලන ක‍්‍රමයේ පූර්ණ වෙනස්කම් සමග දේශපාලන විසඳුම්, බලය බෙදීමේ සාධනීය දේශපාලන යෝජනා මෙහිදී ඔවුන්ගෙන් ඉදිරිපත් විය. ඉන් මේ අය නිහඬව සිටින්නේ දැක්මක් සහිත බව පෙනේ. එය නායකයකුට සැබැවින්ම ශක්තියක් වනු ඇත. රටක නායකයකුට යුද්ධයට පක්ෂපාතී අය සමඟම පමණක් සාමයට ද යා නොහැකිය. ඒ සඳහා රට ගැන පටු ආකල්පයකින් නොසිතන රටට දීර්ඝ කාලීන සාමයක් අපේක්‍ෂා කරන පිරිස ද එක්කරගත යුතුය. එසේම යුද්ධයට වඩා ඉන්පසු ඇති කරගත යුතු දීර්ඝ කාලීන සාමය දුෂ්කරය. එය රටපුරා හමුදා කඳවුරු ඉදිකර හා හමුදා සීරුවෙන් තැබීමෙන් පමණක් කළ නොහැකිය. ඊට දේශපාලන කි‍්‍රයාදාමයක් අවැසි වේ. ඊට ප‍්‍රථම දෙපාර්ශ්වය අතර ඇති අවිශ්වාසය පහව යා යුතුය. මෙහිදී අප ඒකීය රටක පිටස්තරයන් නොවනවා යන හැඟීම සුළු ජනයාට තහවුරු වීම වැදගත් වේ. එය තහවුරු කරදීමට පෙරමුණ ගැනීම මහජාතියේ ද වගකීම වේ. බලය සිටින ආණ්ඩුව ඊට නායකත්‍වය දිය යුතුය. මේ සඳහා රට නොකැඩෙන සිංහලයාගේ හිත නොරිදෙන දෙමළාට ද මදිය නොකියන විසඳුමකට අප පැමිණිය යුතුව ඇත. පසුගියදා ජිනීවාහි පැවැති සමුළුවේ දී  ඇමරිකානු නියෝජිතවරිය සඳහන් කළේ මේක අතීතයට අදාළ ප‍්‍රශ්නයක් මිස අනාගතයට අදාළ වන්නක් නොවේය යන්නයි. අතීතය ගැටගැසී තිබෙන්නේ යුද්ධයට හේතු වූ කාරණා විසඳා ගනිමින් ගොඩ එන වගවීමේ කි‍්‍රයාවලියකය. එය ජාත්‍යන්තරයට තහවුරු වන ලෙස රට තුළ ක‍්‍රමයෙන් ප‍්‍රතිසංස්කරණ සිදුවන්නේ නම් ජිනීවාවල අපට එරෙහිව එන තෙරපුම කෙමෙන් වියැකී යනු ඇත.
වසන්තප‍්‍රිය රාමනායක
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානී අමාත්‍ය මහින්ද සමරසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ