
රජයට සේවය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ ඇති කරන ලද රාමුවකි. තෝරාගත් නිලධාරී පැලැන්තියක් කාර්යාලවල රඳවන ලද අතර වැසියන් හා නිලධාරීන් අතර සෑහෙන පරතරයක් තිබුණි. විශාල අවකාශයක් ඇති කාමර, පිරිසුදු ඇඳුම්, පළඳින ටයි පටිය හා කතාකරන ඉංග්‍රීසි තද නිලධාරීවාදයක් ඇති කළේය. නිදහස ලැබීමෙන් පසු රජයේ සේවයේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ජනතාව උපකල්පනය කළහ.
දශක හතකට පසුව පවා රාජ්‍ය සේවය තුළ පුළුල් වෙනස්කමක් සිදුවී නැත. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරනු සඳහා අද පවතින තාක්ෂණික පහසුකම් සෑහෙන ප්‍රයෝජනයට ගත හැකිය. මේසය මත සවිකරන පරිගණකය නිලධාරීවාදය තවත් ආඪ්‍ය කර ඇති අතර සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කර තිබේ. රට තුළ වෙනසක් ඇති කරන හා පරිවර්තනයක් කරන බව කියන දේශපාලන නායකයන් රජයේ සේවය වෙනස් කිරීමෙන් ජනතාවගේ පහසුව ඇති කරන්නේ කෙසේදැයි අවධානය යොමු කිරීම අවශ්‍යය.
ජනාධිපතිවරයා රජයේ සේවයේ පවතින අගතිය නොබෝදා අනාවරණය කළේය. ඉඩමක්, නිවසක් අනුමත කරගැනීමට පවා අත යටින් ලක්ෂ ගණනින් අල්ලස් දිය යුතු බව එතුමා දැන සිටින බව පැහැදිලිය. රජයේ කාර්යාලවල දී පුරවැසියෝ නිතිපතා අනේක විධ කරදර හිරිහැරවලට ගොදුරු වෙති. එක ගැටලුවක් ලිහා ගන්නට වසර ගණනක් කාලය හා ධනය වැය කළ යුතු බව නොරහසකි. මේවා සුළු දේ නමුත් රජයේ රෙගුලාසි හා විධිවිධාන අනුව ඉතා බරපතළ කාරණා වශයෙන් නිර්වචනය කර තිබේ. නිලධාරීන් බලය ඇති කොටසක් බවට පත් කර ඇති අතර ඔවුහු වැඩිදෙනා ජනතා සේවයක් නොකරන ජනතාවට බලය පෙන්වන පුද්ගල කොට්ඨාසයක් බවට පත්ව සිටිති. නිදහස් ශ්‍රී ලංකාවක, නිවහල් ජන ජීවිතයක් ඇති කරන්නට නොහැකිවන හේතුව කුමක්ද?
ජනතාවට සේවය කරනු සඳහා අති විශාල නිලධාරී කණ්ඩායමක් රජයට සම්බන්ධ වී සිටී. මෙරට ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වන පරිදි ජන අනුපාතයට අනුව වැඩිම නිලධාරී පිරිසක් සේවය කරන රටක් බවට පත්ව තිබේ. සෑම අංශයකටම නිලධාරීහුය. නිලධාරීන් වෙනුවෙන් කාර්යාල හා යාන වාහන සපයා ඇත. මිලියන විසි එකක් ජීවත්වන රටක මිලියන එකහමාරක නිලධාරීහු පිරිසක් සිටිති. මෙම නිලධාරීන්ට වැටුප් හා දීමනා ගෙවීමට රජය අපොහොසත්ය. මහා භාණ්ඩාගාරයේ තොරතුරු වලට අනුව රජයේ බදු ආදායමෙන් සියයට අනූවක් කලින් ගත් ණය වාරික හා ඒවායේ පොලිය ගෙවන්නට වැය කළ යුතුව ඇත. රජයේ සේවක වැටුප වෙනුවෙන් රජය වැය කරන පිරිවැය 2014 දී රු. බිලියන 455 කි. 2018 දී එය රු. බිලියන 646.8 ක් වූ අතර 2019 වසරේ දී රු. බිලියන 711 ක් වනු ඇතැයි සැලකේ. විවිධ වෘත්තීය සමිති වැඩි වැටුප් හා දීමනා ඉල්ලා අරගල දියත් කර තිබේ. වැඩ කරන ජනතාවට ජය අත්වන පරිදි ඒවා සාර්ථක වුවහොත් මෙම වසරේ වැටුප් පිරිවැය තවත් ඉහළ යනු සැකයක් නැත. දළ වශයෙන් ආණ්ඩුව උපයන මුදලින් තුනෙන් එකක් රජයේ සේවක වැටුප් වෙනුවෙන් වැය කරයි. ජනතාවට පනවන බදු වලින් වැටුප් ගෙවන නමුත් වැසියන්ට ලැබෙන සේවය ප්‍රමාණවත් ද?
පැවැත්ම වෙනස් කරන සමාජයක් වශයෙන් වැඩි මුදලක් රජයේ සේවයට ගෙවීමට ජනතාව අකමැති නැත. ප්‍රමාදය වළක්වන්නට අවශ්‍යය. රජයේ ආයතනයකින් සේවයක් ඉල්ලන විට එය ඉල්ලුම්කරන්නා වෙත පැමිණ ඉටු කර දී මිලක් නියම කිරීම සුදුසුය. එය ජනතා සේවය වෙනුවෙන් රජයේ පිරිවැය පාලනය කරනු ඇත. අනෙක සේවයට ගෙවනවා පමණක් නොව එය ලබා ගැනීමට නැවත නැවතත් කාර්යාල වලට යන අතිරේක වියදම නැති කිරීමෙන් ජනතාවට වාසියක් ලැබේ.
පළමුවෙන් අත්හදා බැලීමක් වශයෙන් පියවරක් ඉදිරියට තැබිය හැකිය. සෑම පළාත් පාලන ආයතනයක්ම පිරිවැටුම් බදු අය කරයි. නිසි අවස්ථාවේ ගෙවන සේ දෙතුන් වර ලිපි එවන අතර සමහර පළාත් පාලන ආයතන බදු අය කරගැනීමට විශාල අතිරේක මහන්සියක් දරයි. නාගරික ආයතනවල අය නොවී පවතින බදු හිඟ බදු මුදල බිලියන ගණනකි. මේවා කල් යවන්නට නොදී මුල් කාලයේ දීම නිවසටම ගොස් අය කළ හැකිය. නොඑසේනම් ගිණුමෙන් හෝ වැටුපෙන් අය කරගන්නා සේ ගෘහ මූලිකයාගෙන් ලිපියක් ලබා ගැනීමට බැරි කමක් නැත. නිසි වගකීමක් සහිතව වරිපනම් ගෙවන පදිංචිකරුවන් ඉඩම වෙන් කිරීමක්, අලුත් ඉදිකිරීමක අනුමැතියක් හෝ වෙනත් අවශ්‍ය අනුමැතියක් වෙනුවෙන් විද්‍යුත් පණිවුඩයක් හෝ එස්.එම්.එස් එකක් එවීමෙන් පසු අදාල නිලධාරි පිරිසක් කෙළින්ම සම්බන්ධවී අවශ්‍යතාව ඉටු කළ නොහැකි ඇයි? එම කාර්යයට අය කරන ගාස්තුව තක්සේරු කළ හැකිය. අවශ්‍යනම් ගාස්තු ගැන ඇපෑලකට අයිතිය දෙන්නට යෝජනා කරන්නට බැරිකමක් නැත. කාර්යාලයක සිටින නිලධාරීන්ගෙන් කොටසක් ක්ෂේත්‍රයට යැවූ විට ලිපිගොනු ගොඩගැසෙන්නේ නැත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත යුතු බලපත්‍ර තිබේ. ඒවා අලුත්වන වකවානු ඇත. පෞද්ගලික අංශයේ රක්ෂණ නිලධාරීහු සේවා දායකයා අමතා නිසි අවස්ථාවේ දී රක්ෂණ වාරිකය අයකරගන්නා සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අය කිරීම් අංශයට කටයුතු කිරීමේ හැකියාවක් තිබේ. එය සේවය ගෙදරටම එන ක්‍රමයකි. වාහන ආදායම් බලපත්‍ර අන්තර් ජාලයෙන්ම ගත හැකි බව කියයි. එහෙත් ප්‍රායෝගිකව සිදුනොවේ. අන්තර්ජාල අඩවි ඒවාට සකස් කර නැත. නිසි ක්‍රමවේද අනුගමනය කළහොත් රාජ්‍ය සේවය ගැන ජනතාව තුළ පවතින විරෝධය සමනය කරන්නට බැරිකමක් නැත. දුරකතන සම්බන්ධතාවක් ඉල්ලූ සැණින් නිවසටම පැමිණ අවශ්‍යතා සපුරන්නට රජයට කොටස් හිමි දුරකතන සමාගම සූදානම්ය. එහෙත් රජයට අයිති විදුලිය බල මණ්ඩලය හෝ ජල සම්පත් මණ්ඩලය අලුත් සම්බන්ධතාවක් වෙනුවෙන් පාරිභෝගිකයෝ හොඳටම හෙම්බත් කරති. එකක් ලියැවිලි ගෙන ගිය පසු අනෙක් ලියැවිල්ලක් පළාත් පාලන ආයතනයෙන් රැඟෙන එන සේ දන්වති. එවැනි ලේඛන සහතික කරගැනීමට සති ගණන් ගතවෙයි. අවසානයේ ග්‍රාම නිලධාරී පවා අවශ්‍යවෙයි. තමන්ගේ ඉඩම ගැන ලේඛන ඇති පළාත් පාලන ආයතනය හා විදුලිය බල මණ්ඩලය ජාල ගත කළ හැකි නම් ඉල්ලන සැනෙකින් නිලධාරියකු එවා විදුලිය දෙන්නට හැකිය. ජල සම්බන්ධතාව ද එසේය. මේවා රජයට ආදායම් ලැබෙන මාර්ග විනා ජනතාව පීඩාවට පත් කිරීමෙන් නිලධාරී පුළුවන්කාරකම් පෙන්වන තැන් නොවේ.
රජයේ සේවය දෙස පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන ක්‍රමයක් හදන්නට අවශ්‍යය. එය කළ හැකි අලුතින් හිතන වැඩ පිළිවෙළකට පමණකි. දේශපාලනඥයන් පරිවර්තන ගැන කතා කරන නමුත් විශාල දේ ජනතාවට අවශ්‍ය නැත. සුළු දෙයක් ගෙදරටම පැමිණ කරදෙන, එයට සාධාරණ මිලක් අය කරන රජයේ සේවයක් රටට නරක නැත. එය විශාල ආර්ථික පරිවර්තනයකට මුල පුරනු නිසැකය.
සාරා කන්දෙගොඩ
COMMENTS
ඉතා වටිනා අදහස්... සෞඛ්‍ය, අධ්‍යාපන සේවා ඇරෙන්න අනිත් සේවක සංඛ්‍යාව භාගයක් මේ රටට ප්‍රමාණවත්..
සම්පුර්ණ ඇත්ත . මහජනයා හෙම්බත් කරනවා පමණක් නොව, දේශපාලනයකරණය නිසා අසාධාරණයටද ලක් කරනවා. දේශපාලනඥයන්ගේ කීමට නටනවා ඇරෙන්න නීතියට වැඩ නේ. අපේ මුදල් භාවිතා කරන්නේ එයාලට ඕන විදියට මහජන අවශ්‍යතා සපුරලන්න නොවේ. පාරවල් හදනවා පපඩම් හදනවා වගේ. මාස 6න් නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන . තව ගානක් ගිලිනවා. ඉන් එහාට කිසිම වැඩක් නෑ. ගහපු පදයකුත් නෑ නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. රාජ්‍ය සේවය ස්වාධීන විය යුතුයි.
රජයේ කාර්යාලවලදී පුරවැසියන් නිතිපතා අනේකවිධ කරදර හිරිහැරවලට ගොදුරුවේ. එක ගැටලුවක් ලිහා ගන්නට වසර ගණනක් කාලය හා ධනය වැයකළ යුතුය. මේවා සුළු දේ... නමුත් රජයේ රෙගුලාසි හා විධිවිධාන අනුව ඉතා බරපතළ කාරණා ලෙස නිර්වචනය කර තිබේ. නිලධාරීන් බලය ඇති කොටසක් බවට පත් කර ඇති අතර ඔවුහු වැඩිදෙනා ජනතා සේවයක් නොකරන ජනතාවට බලය පෙන්වන පුද්ගල කොට්ඨාසයක් බවට පත්ව සිටිති. ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වන පරිදි ජන අනුපාතයට අනුව වැඩිම නිලධාරී පිරිසක් සේවය කරන රටක් බවට පත්ව තිබේ. සෑම අංශයකටම නිලධාරීහුය. නිලධාරීන් වෙනුවෙන් කාර්යාල හා යාන වාහන සපයා ඇත. මිලියන විසිඑකක් ජීවත්වන රටක මිලියන එකහමාරක නිලධාරීහු පිරිසක් සිටිති. විවිධ වෘත්තීය සමිති වැඩිවැටුප් හා දීමනා ඉල්ලා අරගල දියත් කර තිබේ. වැඩ කරන ජනතාවට ජය අත්වන පරිදි ඒවා සාර්ථක වුවහොත් මෙම වසරේ වැටුප් පිරිවැය තවත් ඉහළ යනු සැකයක් නැත. ආණ්ඩුව උපයන මුදලින් තුනෙන් එකක් රජයේ සේවක වැටුප් වෙනුවෙන් වැය කරයි. ජනතාවට පනවන බදු වලින් වැටුප් ගෙවන නමුත් වැසියන්ට ලැබෙන සේවය ප්‍රමාණවත්ද?
ගොඩාක් රජයේ නිලධාරීන් කැමති තම මේසය උඩ මුණ නොපෙනෙන තරමට ෆයිල් මිටි ගණන් ගොඩ ගසාගෙන මේසය උඩ නිදාගන්න . ෆයිල් මේසය උඩ පිරෙන්න පිරෙන්න එම මේසය වැඩ අධික ඇති තැනක් බවට ඔවුන් සිතයි . ජනතාවටද එසේ සිතන්නට වෙයි . නමුත් ඇත්තටම වෙන්නේ වැඩ නොකර නිකරුනේ කාලය ගතකිරීමයි . තම රැකියාව බේරාගැනීමට විවිධ වෘත්තීය සමිති හදාගෙන එයට බැඳී ප්‍රශ්නයක් වුනොත් කට්ටිය එකතු වී උද්ඝෝෂණද කරයි .
රාජ්‍ය සේවය පුද්ගලීකරණය විය යුතුයි. එහෙම වුනොත් ඔතන ඉන්න කිසිකෙනෙක්ට සුදුසුකම් සහ හැකියාව, පාරිභෝගික සම්බන්ධතාවය පෙන්නන්න හම්බවෙන්නේ නැහැ. කට්ටියටම ගෙදර ගිහින් පොල් කඩන්න තමයි වෙන්නේ...
අපි කවුරුත් අහලා තිබෙනවා නේද? බලුවලිග ගැන... එ්ක කවමදාවත් දිගහරින්න බැරිලු... අන්න ඒ වගේ තමයි රජයේ සේවකයන්. මොනවා කළත් වෙනස් කරන්න පුළුවන් නම් හිරු බටහිරින් පායයි. රාජකාරිය ඉටු නොකළත් වැටුප ලැබෙනවා.
සෞඛ්‍ය ,අධ්‍යාපනය, පොලිසිය, ආරක්ෂක හමුදා හැර අනිත් සියලුම සේවා පුද්ගලික අංශය මගින් කළ හැකියි. එහෙත් රාජ්‍ය සේවා සේවා නියාමනය සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම වගේ අධි බලති ආයතනයක් නිවැරදි වෘත්තිකයින් සමග ඇතිකළ යුතුයි. බොහෝ රටවල් බදු, රේගු වගේ දේවලුත් පුද්ගලික අංශය හරහා තමයි කරන්නේ. හරිම සාර්ථකයි.
මෙය මාගේ පෞද්ගලික අත්දැකීමක්. අප පළාතේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලබාගැනීමට දැන් අවරුදු එකහමාරක් බලාගෙන ඉන්නවා. හැමදේම සහතික කර අවසන් වෙලත් සභාපතිගේ අත්සන ගන්න මෙච්චර කල්.... ඉතින් කොහෙද රටක් දියුණුවෙන්නේ? මේවගේ රාජ්‍ය සේවයක් තමයි අපට තියෙන්නේ.....
ජනතාව හෙම්බත්කරන රාජ්‍ය සේවයේ විතරක් නොවෙයි අර 225 ඇතුළු මුළු රජයේම වෙනසක් ඕනෑ
මෙතන හරිහැටි සොයා බැලීමකින් ලිපිය ලියවිලා නෑ. රජයේ සේවකයෙකුට ලොකුම අවදානම එන්නේ තමන් මහජන සේවය සැපයුවාද නැද්ද යන්න මත නොව අදාළ නීති රීති හා රෙගුලාසි අන්නුමනය නොකරාද යන්න මත. මහජන සේවය වෙනුවෙන් රෙගුලාසි කඩ කිරීමක් වෙච්ච දවසට අර නිලධාරියා බේරා ගන්න කිසිවෙක් නෑ. 1970 ගණන් වල නැගෙනහිර පළාතේ සුලි සුළඟ වෙලාවේ අවතැන් වෙච්ච මිනිස්සු බේරා ගන්න ධීවරයින්ගේ ඔරු තෙප්පම් ඉල්ලන් ගිය නිලධාරයාගෙන් ඒ ධීවරයෝ සල්ලි වෙනුවට මත් පැන් ඉල්ලා සිටියා. ඒ නිලධාරියා මත්පැන් දීලා ධීවරයින් යවලා අවතැන් වෙච්ච මිනිස්සු බේරා ගත්තා. ඒත් අන්තිමේදි විගණන අංශය ඒ මනුස්සයාව ගෙදර යැව්වා රජයේ සල්ලි අපහරණය කළා කියලා.
මිනිස්සු රස්තියාදු වෙන්නේ රජයේ ආයතනවල වැරැද්දෙන් විතරක් නොවේ. ඒකට මිනිස්සුන්ගෙත් වැරදි තිබෙනවා. ගමකට ගිහිල්ලා බලන්න ඉඩම් නිරවුල් නෑ.ඉදිකිරීම් කරන්න හරියට අවසර අරගෙන නෑ. එතකොට ඒ වගේ ගෙයකට ලයිට් ගන්න ගියාම ගෙදර අයිතිය සම්බන්ධව ප්‍රශ්න එනවා. විදුලි බල මණ්ඩලෙයි පළාත් පාලන ආයතනෙයි ජාලගත කරත් ඔය වගේ ප්‍රශ්න වලදි කරන්න දෙයක් නෑ. සමහර පළාත් පාලන ආයතනවලට හරි හමන් අන්තර්ජාල සබඳතාවක් වත් නැතිව ඔය කියන ඒවා කරන්න බෑ.