ලබන මාසයේ ජිනීවා නුවරදී රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන නැතහොත් යුද අපරාධ ගැන යම් යම් යෝජනා ඉදිරිපත් විය හැකි බව වාර්තා වෙමින් තිබේ. දෙමළ ඩයස්පෝරාවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස් උත්සාහ කරනු ඇත්තේ යුද්ධයේ අවසාන කාලයේ සිදුවීම් මත ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කිරීමටය. ඒ ආකාරයෙන්ම නැතත් ඇමරිකාවද යම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට යන බව වාර්තාවිය. ඒ අතර ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා සිටින උදවියටද මේ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය ගැන එක්සත් ජාතීන්ට කියන්නට දේවල් තිබෙන බව පැහැදිලිය. අනෙක් සියලූ දේ පසෙක තැබුවද මෙහි සුදු වෑන් සංස්කෘතිය තවමත් අවසන් නැති බව කවුරුත් දන්නා දෙයකි. එය මානව හිමිකම් සමග හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග හෝ ගැළපීමක් නැත. විවිධ පාර්ශව මෙම ප‍්‍රශ්න විවිධ ආකාරවලින් ඉදිරිපත් කරන විට ඇතිවන්නේ අවුල් සහගත තත්වයකි. සමහරුන් කරන්නේ මේ සියල්ල එකට ගෙන රටට එරෙහිව කුමන්ත‍්‍රණයක් ලෙස පෙන්වාදීමට උත්සාහ දැරීමයි. මේ සියල්ල අප රට බෙදීමට නැතහොත් තම ග‍්‍රහණයට ගැනීමට බටහිර රටවල් කරන කුමන්ත‍්‍රණයක් බවද කියති. බටහිර රටවල කුමන්ත‍්‍රණ කතාවට පදනමක් නැතිවාම නොවේ. එබඳු දෑ සිදු වූ අවස්ථා අපට දැක ගන්නට ලැබී ඇත. එයට හොඳම උදාහරණය නම් ඉරාකයට කළ පහරදීමයි. සදාම් හුසේන් ඒකාධිපති පාලකයකුය යන්න වෙනම කතාවකි. ඇමෙරිකාවත්, බි‍්‍රතාන්‍යයත් ප‍්‍රමුඛව බටහිර රටවල් ඉරාකයට පහර දුන්නේ වෙන කතාවත් කියමින්ය. ඉරාකය සතුව රසායනික ආයුධ ඇති බව කියමිනි. දැන් හෙළිදරව් වී ඇත්තේ එබඳු ආයුධ නැති බව බටහිර රටවල් දැන සිටි බවයි. ඇතැම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කියන්නේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ ටෝනි බ්ලෙයාර් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට එයම ප‍්‍රමාණවත් බවය. එසේ වූවද එවැනි පියවරක් ගැනීම ප‍්‍රායෝගිකව සිදුවේද සිතාගැනීම අසීරුය. ලිබියාවේ ගඩාෆිට එරෙහිව නැගීසිටි ජනයාට කුලී හේවායන් යොදා වෙඩි තැබූ බව හා ගුවනින් බෝම්බ හෙළු බව අපි දුටුවෙමු. එක්සත් ජාතින්ගේ සංවිධානය තීරණය කළේ සිවිල් ජනයාට ආරක්ෂාව සඳහා ගුවන් ගමන් තහනම් කලාපයක් ඇති කිරීමටය. එසේ වූවද නේටෝව කැරලිකාරයන්ගේ ගුවන් හමුදාව ලෙස කටයුතු කිරීම විවාදාත්මක සිදුවීමකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බෙදීමට බටහිර කුමන්ත‍්‍රණ කතාවට නොගැළපෙන සිදුවීම් බොහොමයක් ඇත. එය ආරම්භයේ සිටම තිබෙන්නේ වෙනත් කතාවකි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම්වලට යුද පුහුණුවත් ආධාරත් ලබා දුන්නේ ඉන්දියාවයි. ඒ බටහිරට හිතවත් පාලකයකු වූ ජේ.ආර්. ජයවර්ධනට පාඩමක් උගන්වන්නටය. එකල පැවැති සීතල යුද්ධයේදී ඉන්දියාව සිටියේ ඇමෙරිකාවට හා බටහිරට එරෙහිවය. යුද ගිවිසුම් තුබුණේ සෝවියට් දේශය සමගය. රට බෙදීමේ බටහිර කුමන්ත‍්‍රණ කතාව සමග මෙම යථාර්ථය ගැළපෙන්නේ නැත. ඉන්දියාවද මුලදී දෙමළ කණ්ඩායම්වලට යුද පුහුණුව දී සන්නද්ධ කළද දිගටම කියා සිටියේ ශ්‍රී ලංකාව නොබෙදා වෙනත් විසඳුමකට එකඟ විය යුතු බවය. පසුව ඉන්දු ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක‍්‍රමයකට එකඟත්වයක් ඇති කරගෙන දෙමළ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට ඉන්දීය හමුදා මෙරටට එවනු ලැබීය. අනෙකුත් කණ්ඩායම් නිරායුධ වූවද එල්.ටී.ටී.ඊ. ය ඉන්දියානු හමුදාව සමග ද සටන් වැදිණි. ඉන්දියානු හමුදා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත ආපසු  ගියේය. ඉන්දියාවේ එවකට අගමැති වූ රජීව් ගාන්ධි එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලද්දේ ඉන් පසු අවස්ථාවකය. ඇමෙරිකාව හා බි‍්‍රතාන්‍යය එල්.ටී.ටී,ඊ.ය තහනම් කළේ 1997 තරම් ඈත කාලයේ දීය. ප‍්‍රභාකරන් සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ මෙම තහනම් ඉවත් කරගැනීමේද අරමුණ ඇතිව බව සමහරු කියති. කෙසේ වෙතත් එම රටවල් තහනම ඉවත් කළේ නැත. එපමණක් නොවේ සාම සාකච්ඡාවලින් එල්.ටී.ටී.ඊ. ඉවත් වූ විට ඇමෙරිකාව කීවේ දැන් යුරෝපා සංගමය එල්ටී.ටී.ඊ.ය තහනම් කළ යුතු බවයි. ඔවුන් එය කීවේ ප‍්‍රසිද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය. යුරෝපා සංගමයද එල්.ටී.ටී.ඊ.ය තහනම් කළේය. එල්.ටී.ටී.ඊ.යට මුදල් එකතු කිරීම වැළක්වීමට ක‍්‍රියා කළේය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අත්අඩංගුවට ගෙන සිරගත කළේය. මේ සිදුවීම් කිසිවක් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතාව සමග ගැළපෙන්නේ නැත. යුද සමයේ බොහෝ සිදුවීම් ද ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ කතාව ගැන මතු කරන්නේ වෙනස් චිත‍්‍රයනි. එල්.ටී.ටී.ඊ යේ නාවුක බලය මැඬලමින් නැව් 11 ක් විනාශ කරන්නට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට හැකි වීය. ඇතැම් ප‍්‍රහාර එල්ල කළේ ජාත්‍යන්තර මුහුදේදී බවද  කියති. එසේ වූවද තතුදත් විචාරකයන් කීවේ එම හැකියාව මෙරට නාවික හමුදාවට ලැබුනේ ජාත්‍යන්තර ඔත්තු සේවා ලබාදුන් තොරතුරු නිසා බවයි. එනම් ඇමෙරිකාවේ හා ඉන්දියාවේ ඔත්තු සේවා, එල්.ටී.ටී.ඊ. නැව් පැමිණීම ගැන තොරතුරු ශ්‍රී ලංකා රජයට ලබා දුන් බවයි. ඇතැම් විට එල්.ටී.ටී.ඊ නැව් අත්අඩංගුවට ගැනීමට ඉන්දියා නාවික හමුදාවද කටයුතු කිරීමෙන් එම කරුණ වඩාත් තහවුරු වෙයි. තවත් අවස්ථාවක වාර්තා වූයේ එල්.ටී.ටී.ඊ.ය යුක්රේනයෙන් මිලදී ගැනීමට කළ සැලසුමක් ඇමෙරිකන් ඔත්තු සේවා මගින් ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට දන්වා රුසියාවේ ආධාර ඇතිව එය ව්‍යාර්ථ කර දැමූ බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට යුද ආධාර දෙන බවත් හමුදාවට පුහුණුව හා විශේෂඥ උපදෙස් ලබා දෙන බවත් ඇමෙරිකාව ප‍්‍රකාශ කොට තිබිණි. ඒ අනුව එම පුහුණුවීම් හා විශේෂඥ සහාය ලැබුණු බවද වාර්තා වී ඇත. ජේ.ආර්. ජයවර්ධන මහතා 1987 ප‍්‍රකාශ කළේ යුද්ධයේදී තමන්ට වෙඩි උණ්ඩයක්වත් දෙන්න කිසිදු රටක් ඉදිරිපත් නොවූ බවයි. එසේ වූවද මෑත කාලෙක යුද්ධයේදී එබඳු ප‍්‍රශ්නයක් නොතිබුණි. ඇතැම් විට දුරකථන ඇමතුමක් මගින් රජයට ආයුධ ගතහැකි තත්ත්වයක් තිබූ බවද කියැවිනි. ප‍්‍රධාන සැපයුම්කරුවකු වූයේ ඇමෙරිකාව සමග යුද සහයෝගීතාවයක සිටි පාකිස්තානයයි. මෙම කරුණු පෙළ ගස්වන විට පෙනෙන්නේ කියනවාට වඩා වෙනස් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පිළිබඳවය. එයද අපට හරියටම කිව නොහැකිය. යුද්ධයේ අවසන් අවස්ථාවේ ප‍්‍රභාකරන් බේරා ගැනීමට නැව් එවීමට බටහිර රටවල සූදානමක් තුබූ බව එක් චෝදනාවකි. සත්‍ය වශයෙන්ම එබඳු සැලසුමක් තුබූ බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ද හෙළි කළේය. එහි විස්තර ද ඔහු හෙළි කොට තිබිණි. එය ඇත්ත වශයෙන්ම යටත්වීමේ වැඩපිළිවෙළකි. ප‍්‍රභාකරන් ඇතුළු ඉහළම නායකයන් පිරිසකට පිටරටක රැකවරණ ලබාදීමටත් ඉතිරි පිරිස හමුදාවට යටත් වී සුළු දඬුවම් ලබාදීමත් එම සැලසුමේ අඩංගු වී තිබිණි. කේ.පී. කියන පරිදි ප‍්‍රභාකරන් එය ප‍්‍රතික්ෂ්ප කළේ වචන තුනකිනි. ඔහු කීවේ ‘‘මෙය පිළිගන්න බැහැ’’ යනුවෙනි. ප‍්‍රභාකරන් මෙම සැලැස්ම නොපිළිගත්තේ එය ඔවුන්ට නින්දා සහගත අවසානයක් වන බව පෙනී ගිය බැවිනි යැයි සිතාගැනීම අපහසු නැත. එසේ වූවත් ප‍්‍රභාකරන්ගේත් හමුදාවේත්, එල්.ටී.ටී.ඊ. යේ හා සාමාන්‍ය ජනතාවගේත් ජීවිත දහස් ගණනකුත් රැකගැනීමට එම ක‍්‍රියාමාර්ගයෙන් හැකියාව තිබිණි. එසේ වූවද ඒ නින්දා සහගත යටත්වීම වෙනුවට ප‍්‍රභාකරන් සටන හා මරණය තෝරාගත්තේ තවත් දහස් ගණනකටද මරණයම උරුම කර දෙමින්ය. මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පිළිබඳ න්‍යාය යුද බිමේ සැබෑ සිදුවීම් සමග ගැළපෙන්නේ නැත. එසේ වූවද එවැනි කතාවක් නිර්මාණය වී හෝ නිර්මාණය කොට හෝ ඇත. මෙයද තවත් අලි කොටි ගිවිසුම් කතාවක්ද යන්න ඉතිහාසය විසින් ඔප්පු කොට පෙන්වනු ඇත. එහෙත් අපට සිදුවන්නේ තියන කරුණු මත තීරණ ගැනීමටයි. ඒ කෙසේ වෙතත් ඉන්දියාවත්, ඇමෙරිකාව හා බටහිර රටවලත් ශ්‍රී ලංකාවෙත් වරින් වර නොයෙකුත් විමසීම් කළ බවත් ඇතැම්විට ඒවා බලපෑම් ලෙස සැලකිය හැකි මට්ටමේ වූ බවත් රහසක් නොවේ මුල සිටම ඉන්දියාව උනන්දු වූයේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ගැනය. ශ්‍රී ලංකා ආණ්ඩුව එරටට පොරොන්දු වූයේ තිස්ස විතාරණ ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් සර්ව පාක්ෂික කමිටුව මගින් දේශපාලන විසඳුමක් සකස් කොට ක‍්‍රියාත්මක කරන බවයි. තවත් වරෙක කීවේ තර්ටීන් ප්ලස් හෙවත් දහතුන්වන ව්‍යවස්ථාව සංශෝධනයට එහා ගිය විසඳුමක් දෙන බවයි. ඇමෙරිකානු නියෝජිතයන්ටද ආණ්ඩුව දුන්නේ එබඳුම පොරොන්දුය. ඇමෙරිකාව හා බටහිර රටවල් තවත් ප‍්‍රශ්න මතු කළේය. මෙරටේ මානව හිමිකම් ප‍්‍රශ්න, මාධ්‍ය නිදහස පිළිබඳ ප‍්‍රශ්න මෙන්ම යුද්ධයේ අවසන් කාලයේදී යුද අපරාධ සිදුවීද යන්න ඔවුනට වැදගත් විය. එසේ වූවද ආණ්ඩුව තම එදා වේල දේශපාලනය අනුව ඒ ඒ වෙලාවට මොනවා හෝ කීවා කළා මිස මෙම ප‍්‍රශ්නවලට එම රටවලට ඒත්තුයන පැහැදිලි විසඳුම් දුන්නේ නැත. යුද්ධය සමයේ තමිල්නාඩුවේ ඇතිවූ උද්ඝෝෂණ මැඬලීමට ඉන්දියාව කටයුතු කළේය. එල්.ටී.ටී. හිතවාදී පිරිස් සිරගත කළේය. එහිදී ඔවුන් හිතන්නට ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලන විසඳුමක් පිළිබඳ තම පොරොන්දු ඉටු කරනු ඇතැයි කියාය. එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්ධයට ඉන්දියාවත් ඇමෙරිකාවත් උදව් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ගේ පොරොන්දු ඉටු කරනු ඇතැයි විශ්වාසයෙන් විය හැකිය. දැන් ආණ්ඩුව යුද්ධය ජයගෙන වසර තුනකි. තිස්ස විතාරණ කමිටුව තමන්ගේ වාර්තාව ජනාධිපතිතුමාට ලබාදී සෑහෙන කාලයක් ගතවී ඇත. එම වාර්තාව තවමත් හිරු එළිය දුටුවේ නැත. දැන් ආණ්ඩුව කියන්නේ කවුරුවත් කීවාට විසඳුම් දෙන්නේ නැති බවයි. දේශීය විසඳුමක් ගැන ආණ්ඩුව කියයි. ඒත් ඒ සියල්ල හිස් වචන පමණකි. මේ පුංචි රටේ ආණ්ඩුව තමන්ව කඬේ යවා ඇති බව මහ බලවතා වන ඇමෙරිකාවත් කලාපීය බලවතා වන ඉන්දියාවත් සිතනවා විය හැකිය. තමන්ට තර්ටින් ප්ලස් පොරොන්දුවී වැඬේ කෙරුණාට පසු කොකා පෙන්නුවා කියාද සිතීම සාධාරණය. දැන් මේ පෙනෙන්නේ එම තත්ත්වයට ඔවුන්ගේ ප‍්‍රතිචාරය විය හැකිය. එය එසේ නම් තත්ත්වය සුබදායක නැත. හැම ගහටම කොටන කොට්ටෝරුවාගේ හොට කෙහෙල් ගහට කොටපු දාට පැටලෙන කතාවක් ඇත. මෙරට ආණ්ඩුවට ද එය හොඳටම ගැළපෙන්නට ඉඩ ඇත. ආණ්ඩුව දැන් කල්පනා කළ යුතු වන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව තවදුරටත් කඬේ යවන ක‍්‍රම පිළිබඳව නොවේ. තමන් දුන් පොරොන්දු ඉටුකරන ආකාරයකි. රටේත් ආණ්ඩුවේත් ගෞරවය රැකෙන්නේ එවිටය. දුන් පොරොන්දු එලෙසම ඉටු කළ නොහැකි නම් ඒ වෙනුවට කළ හැකි දෙයක් සොයා ගැනීමට ආණ්ඩුවට සිදුවුණු ඇත. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය හෝ ජාතික නිදහස් පෙරමුණට පොරොන්දු දී කඬේ යැව්වාට ආණ්ඩුවට එයින් බරපතළ ප‍්‍රතිවිපාක නොලැබෙන බව ඇත්තකි. එසේ වූවද ඇමෙරිකාව හා ඉන්දියාව කඬේ යැවීමේ ප‍්‍රතිවිපාකද එතරම්ම සරල වේ යැයි නොසිතිය යුතුය. කුමක් හෝ බේරෙන පොටක් සොයා ගැනීමට තවත් කල් මැරීම නම් ආණ්ඩුවේ හිත සුව පිණිස නොවන්නේමය.
සී.ජේ. අමරතුංග