ජාතික කෞතුකාගාරයේ මහා සොරකමක් ඉකුත් සතියේ වාර්තා විය. මිල කළ නොහැකි පෞරාණික මුදු, කඩු ආදිය එයට අයත් යැයි වාර්තා විය. 1965 වසරේද ජාතික කෞතුකාගාරයේ මෙවැනි සිදුවීමක් වාර්තා විය. එදින සොරකමක් නොවූවත් සිංහල රජුගේ සිංහාසනයේ වාඩිවූ පුද්ගලයකු නිසා මෙම කලබගෑනිය වාර්තා විය. සිංහාසනයේ වාඩිගත්තේ අප්පුහාමි නැමැත්තෙකි. මේ අප්පුහාමි රජවූ හැටි, රත්නපාල විතාන එවකට ලංකාදීපයට වාර්තා කළ අන්දමයි. ‘‘ටෙලිපෝනයට රටේ කොතැනක හෝ වැදගත් සිදුවීමක් ගැන මොකක් හෝ ආරංචියක් ලැබෙන්නේය.’’ යන්න පත්තර කන්තෝරුවල හතර බිත්තියට පමණක් සීමා වූ විශ්වාසයෙකි. ප‍්‍රවෘත්ති ලේඛකයන් කොයි කවුරුත් ටෙලිෆෝන් පණිවුඩයකට පිළිතුරු දෙනවිට ‘‘හලෝ’’ කියන්නේ බලාපොරොත්තු සහගත කුහුලකින්ය’’ නවසිය හැට ගණන්වල දී එක් ඉරිදා උදෑසනක කර්තෘ මණ්ඩලයේ ටෙලිෆෝනය නාද විය. කන්තෝරුවට ආ හැටියේ නමුදු මම වහාම ටෙලිෆෝනය අතට ගෙන කනෙහි තබා ‘‘හලෝ’’ කීවෙමි. ‘‘හලෝ-හලෝ-හලෝ මේ කතා කරන්නේ කොළඹ කටුගෙයි ඉඳලා’’ කලබලයට පත්වූ කිසියම් පුද්ගලයෙක් හති දමමින් කතා කළේය. ‘‘ඔය කවුද ඔහෙන් කතා කරන්නේ?’’ මම ඇසුවෙමි. කුරුඳුවත්තේ පොලීසියෙන් ඇවිත් රජ්ජුරුවෝ අල්ලා ගත්තා. මෙහෙ හරි ජරමරේ. තව පොඞ්ඩ බැරිවුණා නම් රජ්ජුරුවෝ පොලීසියට කඩුවෙන් කොටනවා. පිංතූර ගන්න මහත්තයෙක් එවනවද?’’ පැහැදිළිව ඇසුනේ එපමණකි. මා ඔහුටත් වඩා අන්දමින්ද වී ඔහු කී වචන සමූහය ගළපා තේරුම් ගැනීමට වෑයම් කරමින් ‘‘හලෝ හලෝ හලෝ’’ යැයි කී නමුදු ටෙලිෆෝනයේ කතාව හිටි හැටියේම නතර විය. ‘‘තිබ්බා’’ යැයි මට ඉබේටම කියැවුණේය. ‘‘මොකද උදේ පාන්දරම ලෙඩක් ද?’’ මගේ පිටුපසට වී පොතේ අත්සන තබන අපේ ඡුායාරූප ශිල්පියා විල්ප්‍රෙඞ් ජයතිලක ඇසුවේය. මා වගේම ඔහුත් කන්තෝරුවට අඩිය තිබ්බා පමණි. ඔහුට අවුල පැහැදිළි කෙළෙමි. ‘‘අපි කටුගේ ළඟට දුවමු. කාර්එක තිබුණොත් හොඳා’’ යැයි කියද්දීම කඩදාසි කොළයක් සොයන්නට මේසය උඩ අතපත ගෑවෙමි. ‘‘උදේ පාන්දරම ලණුවක් ගිල්ලා’’ මගේ මිත‍්‍රයා විල්ප්‍රෙඞ් ජයතිලක මට සමච්චල් කරද්දී මම ඔහුගේ කැමරාව කරේ එල්ලාගෙන ‘‘ඉක්මන් කරමු’’ යැයි පෙරැත්ත කෙළෙමි. ‘‘මම හූනා කියන්නා වාගේ කියන්නම් උඹ ජීවිතේට මේ වගේ ලණුවක් නම් ආයෙත් කෑවේ නෑ කියා හිතාගනින්’’ මෝටර් රියට නගිද්දී මගේ මිත‍්‍රයා මුණු මුණු ගෑවේය. රිය වේගයෙන් කොළඹ කටුගෙයි දොරටුව බලා ඇදුණේය. දුරතියාම මුරකරුවා ගේට්ටුව ඇරියේ අපේ රිය හඳුනා ගෙන විය යුතුය. රියෙන් පිටතට හිස දැමූ මම ‘‘මොකක්ද කලබලයක් ද’’ ඇසිමි. ‘‘ඔහොම ඉක්මනට ගිහිල්ලා සර්ලාම බලා ගන්නකෝ’’ මුරකාරයා අපේ රිය කටුගෙට ඇතුළු කර ගේට්ටුව වසා දමා අප පසු පස්සේ දුවන්නට විය. පොලිස් නිලධාරීන් පිරිසක් කවුදෝ කෙනකු කටුගෙය ඇතුළේ සිට බෙල්ල පිටිකරෙන් අල්ලා තල්ලූ කැරගෙන පිටතට කැඳවාගෙන විත් මිදුලේ කෙළවරක නතර කැර තිබුණු ජීප් රියක් වෙත ගෙන යන සැටි අපට දුරතියාම දැකගත හැකිවිය. රිය නතර කළ වහාම කැමරාව ගෙන ඔවුන් පසුපස හඹා ගිය මගේ මිත‍්‍රයා ඡායාරූප කිහිපයක් ගත්තේය. ‘‘මොකක්ද කලබලේ?’’ ඉදිරියට හමු වූ හැම දෙනෙකුගෙන්ම විමැසීමි. මගේ ප‍්‍රශ්නයට උත්තර දෙන්නට පමා නොවූ ඔවුහු එකිනෙකා පෙරළාගෙන පොලිස් රිය වටකැරගෙන මහත් කුහුලින් රිය ඇතුළට එබිකම් කරන්නට වූහ. ‘‘රජ්ජුරුවෝ! රජ්ජුරුවෝ’’ යැයි සමහරු කෑගැසූහ. පොලිස් කණ්ඩායමේ සිටි සියලූ දෙනාටම වඩා උස, සුවිශාල දේහයක් තිබුණු කාලවර්ණ පොලිස් පරීක්‍ෂකවරයෙක් අත්අඩංගුවට ගත් මිනිසාත් සමඟ පොලිස් කොස්තාපල් කණ්ඩායම ජීප් රිය ඇතුළට ඇහුරුම් පැට්ටුම් කැර දොර වසා දමා රිය ඉදිරිපසට ගොස් වාඩිවෙද්දී ජීප් රිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය. ‘‘කොහේ පොලීසිය දැයි’’ කවුදෝ ප‍්‍රශ්න කරද්දී කුරුඳුවත්ත පොලීසිය යැයි රැස්වූ සෙනඟ අතරින් පිළිතුරක් ලැබිණි. සිද්ධිය කුහුල දනවන්නක් මෙන්ම ත‍්‍රාස ජනක විය. එහෙත් තොරතුරු විමසා බැලූ විට සංවේගදායක සිද්ධියක් බවද හෙළිදරව් විය. එදා ඉරිදා උදේ කටුගෙයි සේවකයෙක් සිංහල සිංහාසනය ප‍්‍රදර්ශනය කැර තිබුණු කුටිය පවිත‍්‍ර කරමින් සිටියේය. සිංහාසනය ඔටුන්න සහ කඩුව ඇතුළු මහනුවර රජවරුන්ගේ රාජකීය කුකුධ භාණ්ඩ තැන්පත් කැර තැබුවේ ඇතුලේ දූලි ගසා දමා පවිත‍්‍ර කිරීමේ කාරියෙහි නිරතව සිටි සේවකයා වෙනත් කටයුත්තකට ප‍්‍රදර්ශන ශාලාවේ කෙළවර පිහිටි කාමරයට ගියේය. කටුගෙය නරඹන්නට උදෙන්ම පැමිණ සිටි පිරිස් විවිධ අංශවල තැන්පත් කැර තිබුණු භාණ්ඩ නරඹමින් සිටිනු දක්නා ලදී. සිංහාසනය තැන්පත් කැර තිබුණු මැදිරිය දෙසට හදිසියේ පෙරළා පැමිණි සේවකයා සිය දෙනෙත් අදහා ගත නොහැකි දර්ශනයකින් අන්දමන්ද වූයේය. මහනුවර සිංහල රජ පරපුරේ රාජකීය සිංහාසනයේ ‘‘රජතුමා’’ වාඩිවී සිටියේය. ඔහුගේ හිස මත අගනා ඔටුන්නකි. සුරතේ රන් කඩුවකි. සිංහාසනයේ පාමුල විල්ලූද අල්ලා තිබුණු පා පුටුව උඩ රජුගේ දෙපය තැන් පත් වී තිබුණි. මෙම පා පුටුව සඳහා විල්ලූදයෙන් නිම කැර තිබුණු කොට්ටය නාමල් රේණුවලින් පුරවා ඇතැයි කියනු ලැබේ. මෙය සිහිනයක්ද, හොල්මන් වූ සිතේ මායාවක්දැයි සේවකයාට ඉක්මනින් අවබෝධ කැර ගැනීමට නොහැකි වූයෙන් මේ අසමාන රාජකීය විලාශය දෙස ඔහු නොකන්වැ නොඇස්ව බය භිරාන්තයෙන් බලා උන්නේය. මෙම සිංහාසනය 1693 දී මහනුවර දෙවැනි විමලධර්මසූරිය රජතුමාට  ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන්රි කළ පරිත්‍යාගයෙකි. ඒ අවදියේ අපේ රටේ මුහුදුබඩ පෙදෙස් පාලනය කෙළේ  ඕලන්දයන්ය. පරිත්‍යාගය  ඕලන්දයන්ගෙන් වූවද මෙහි දකින්නට ලැබෙන සියුම් කැටයම් සමකාලින සිංහල කලා ශිල්පීන්ගේ යැයි බොහෝ විචාරකයෝ විශ්වාස කරති. සිංහාසනය උසින් අඩි පහකි. දිග අඩි තුනකි. ලීයෙන් නිමවා රන්තහඩු වලින් වසා මහීපාලකයෙකුහට උචිත රාජකීය සාඩම්බර ආටෝපයෙන් විචිත‍්‍ර කැර මැණික් ගල් අල්ලා උත්තම ගණයේ නිර්මාණයක් බවට පත් කැර තිබේ. සිංහාසනය මුදුනේ සූර්ය දේවතා රූපයකි. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු වූ සිරිමල් ලක්දුසිංහයෝ එය මෙසේ අගැයූහ. ‘‘සිංහාසනයේ අත් හැඳි දෙකෙහි සිංහ රූ යුවලකි. මඳක් ඉවතට හැරී සිටිනා ආකාරයට තනා ඇති මේ අලංකාර හිස් දෙකෙහි ඇස් අඹතෙස්මිණි යැයි සිතිය හැකි දම්පාට ගල් විශේෂයකින් දක්වා ඇත. පසු ඇන්දෙහි පහළින් සූරියකාන්ත මල් මෝස්තරයෙකි. එහි මැද අඹතෙස් වර්ගයේ ලොකු මැණික් ගලකි. දෙපස ලියවැල් මෝස්තර දෙකකි. එහි දැක්වෙන කාන්තා රූප දෙක සිරි සහ සරසවි දෙදෙන මූර්තිමත්  කෙරෙතියි සිතිය හැකිය. මේ සියල්ල මැදිවන ලෙස රන්තහඩුවෙහි සවිකරන ලද දියමන්තියෙන් නිමවන ලද ලීස්තරයක් වේ. පසු ඇන්දේ පිටි පැත්තේ මුදුනෙහි නෙරා සිටින සේ කැටයම් කළ තරු පෙළක් මත නැගී ලොකු අඩසඳක් ද ඒ සියල්ලටම පහළින් සූරියකාන්ත මල් පොකුරක්ද නිරූපිතය. සිංහාසන පා පුටුවද අලංකාරයෙන් සිංහාසනයට අඩුවක් නොවන ආකාරයෙන් නිමවන ලද්දෙකි. අඩි දෙකහමාරක් දිග අඩියක් පළල අඟල් දහයක් උස ඇති එය තද රතු පැහැති පට රෙද්දකින් වසා රනින් වැඩ දමා නිමවන ලද්දෙකි. එහි ඉදිරිපස නිල් සහ සුදු පැහැති ගල් දෙවර්ගයකින් ඔබ්බවා කළ මල් මෝස්තර මඟින් අලංකාර වන අතර වටේ පිහිටි ලීස්තර සුදු පැහැති ගල් වර්ගයක් අල්ලා සකස් කොට ඇත.’’ 1815 දී ඉංග‍්‍රීසීන් ශ්‍රී ලංකාව සහමුලින්ම යටත් කැරගෙන උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එවක අපට රජකම් කළ නායක්කාර් වාංශික ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු පාවිච්චි කළ මෙම සිහසුන ඇතුළු රාජකීය කකුද භාණ්ඩ වලට වල්විදුනාවල නළල් පටය සහ මඟුල් කඩුවත් සේසත සහ රන්මිරිවැඩි සඟලද අයත් විය. මෙම සිංහාසනය රජුගේ ඇමැති මණ්ඩල රැුස්වීම් වලදී ද ‘‘මහනඩුව’’ හෙවත් ඉහළ උසාවිය සඳහා ද රජතුමාට ප‍්‍රයෝජන පිණිස තැන්පත් කැර තිබුණේ මහනුවර වත්මන් මඟුල් මඩුවේ බව පසුගිය කාලයේ මඟුල් මඩුව ගොඩනැගිල්ල තහවුරු කිරීමේ සංස්කෘතික ත‍්‍රිකෝණයේ කටයුතුවලදී හෙළිවිය. මෙම සිංහාසනය සහ ඔටුන්න එන්ගලන්ත වින්සර් මාලිගයේ තැන්පත් කරන ලද්දේ මහා බි‍්‍රතාන්‍යයේ 3 ජෝර්ජ් රජු රජකම් කළ අවදියේය. එන්ගලන්තයේ වින්සර් රජමාලිගයේ මේ අවදියේම තවත් සිංහාසනයක් සහ ඔටුන්නක් ද තැන්පත් කැර තිබිණි. එය ඉන්දියාවේ මයිසූර් පෙදෙස් රජ කළ තිප්පුසුල්තාන් වරයාගෙන් ඉංග‍්‍රීසීහූ පැහැර ගත් එකකි. ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ විසූ මහලේකම්වරයෙක් වූ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ටබ් 1913 කිසියම් ප‍්‍රදර්ශනයක පැවැත්වූ දෙසුමක දී මෙම සිංහල සිංහාසනය එන්ගලන්තයේ රජගෙදර තැන්පත් කැර ඇතැයි ලංකාවට පළමුවැනි වරට දැන ගැනීමට හැකි විය. සිංහාසනය සහ ඔටුන්න නැවත ලංකාවට ලැබුණේ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ට්බ් ලංකාවේ ආණ්ඩුකාර පදවියේ වැඩ බලද්දීය. 1934 සැප්තැම්බර් මාසයේ දී අපේ සිංහාසනය සහ ඔටුන්න ලංකාවට ගෙනැවිත් මහනුවර මඟුල් මඩුවේදීම මේ රටට භාරදුන්නේ එකල එන්ගලන්තයේ රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුගේ අවදියේ ඔහුගේ පුත් කුමරුවකු වූ ග්ලෝස්ටර් හී ආදිපාදවරයාය. නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජුහටත් පෘතුගාලයේ විසූ ළමා රජෙකුහටත් ‘‘ගාටර්’’ නමැති බි‍්‍රතාන්‍ය රාජකීය නම්බුනාමය පිරිනමන ලද්දේ අපේ සිංහාසනය වින්සර් මාලිගයේ තැන්පත් කැර තිබූ අවදියේ එකල එංගලන්තයේ රජකම් කළ මහරජු අපේ සිංහාසනයේ අසුන් ගෙන ඉදිද්දීය. මේ නිසා අපේ සිංහල සිංහාසනය ඒ අවදියේ ලෝකය පුරා පතළ වී තිබුණේ. ‘‘ගාටර් සිංහාසනය’’ යන නාමයෙනි. දැනට ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වන ඔටුන්න සහ සිංහාසනය දෙවැනි විමලධර්මසූරිය (කි‍්‍ර.ව 1693) ශ්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1737) කීර්ති ශ්‍රී රාජසිංහ (ක‍්‍රි.ව 1747-1780) ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1798-1815) රජවරු ප‍්‍රයෝජනයට ගෙන ඇති බව වාර්තා වේ. සිංහාසනය සැලසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ ඒ අවදියේ පැවැති රාජකීය ආසනවල මෝස්තර අනුගමනය කිරීමෙන් යැයි ද මූලික ශෛලිය ප‍්‍රංශයේ xiv ලූවී රජු (ක‍්‍රි.ව. 1690-1700) සමයේ ප‍්‍රචලිත ලියකම්වලින් යැයි ද කියනු ලැබේ. ඇස් නිලංකාරව අන්දමන්දවැ සිටි කෞතුකාගාර සේවකයා පියවි සිහිය ලත් වහාම සිංහාසනයේ විරාජමානව සිටි ‘‘රජතුමා’’ දෙස බලා වේගයෙන් කෑගැසුවේය. කලබලයට පත් වූ කෞතුකාගාර නිලධාරීහූ කුරුඳුවත්ත පොලීසියට ටෙලිෆෝන් පණිවුඩයක් දී කිසියම් ‘‘මහරජ කෙනෙකු’’ කෞතුකාගාරය තුළ පිහිටි සිංහල සිංහාසනයට නැගී වාඩි වී සිටින බවද අතේ රන් කඩුවක්ද හිසෙන් තුන් සිංහලයේ අණසක පැතිර වූ ඔටුන්න ද දරණ හෙයින් ‘‘රජතුමා’’ අපට නම් සිංහාසනයෙන් ‘‘පහ’’ කැර දැමිය නොහැකි යැයිද වැඩිදුරටත් පොලීසියට පැමිණිලි කැර සිටියහ. වහාම කෞතුකාගාරයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රජතුමා ඉදිරියේ පෙනී සිටියද රජතුමා උදාර ලෙස රාජකීය කකුධ භාණ්ඩ කිහිපයකින් සන්නද්ධව සිංහාසනය පිටම අසුන් ගෙන සිටියේය. ‘‘ආසනයෙන් බසින්නැයි’’ පොලිස් පිරිස රජුහට ආයාචනය කළද රජු නොබැණ නොබා - නිහඬව  - උදාරව සිටියේය. රජු බලෙන් සිංහාසනයෙන් ඇද දැමිය හැකි නමුදු සුවිසල් වීදුරු කූඩුවක සිංහාසනය තැන්පත් කොට තිබුණු නිසා වීදුරු බිත්තිවලට හානි නොවන පරිදි රජු එළියට ඇද දැමීම අසීරු කරුණක් වූ හෙයින් පොලිස් කණ්ඩායම රජු පැදකුණු කරමින් ප‍්‍රයෝගයක් කල්පනා කරමින් සිටියහ. රජු සරමකුත් බැනියමකුත් ඇඳ සිටි මැදිවිය පසුවූවකු ලෙස පෙනුණි. ‘‘අනේ උන්නැහේ අපට පව් නොදී සිංහාසනයෙන් බැහැලා එන්නැයි’’ කෞතුකාගාර සේවක පිරිස කිහිපවරක්ම බැගෑපත් වූ නමුදු රජු නිහඬව අතෙහි වූ කඩුව උරපිට තබා රජලීලාවෙන් මෑ ‘‘වැඩ’’ සිටියේය. පොලිස් කණ්ඩායමේ සිටි අති දැවැන්ත පොලිස් නිලධාරියා එකවරම රජතුමා ඉදිරියට පැන අතෙහි වූ රන්කඩුව ගිලිහී බිම වැටෙන තුරු රජුගේ ‘‘ශ්‍රී හස්තය’’ මිරිකා අඹරවන්නට වූයේය. කඩුව බිම ගිලිහිණි. අනතුරුව සිංහාසනයේ වාඩිවී සිටි රජු එකවරට එළියට ඇද දැමීමට පොලිස් නිලධාරියා සමත්වූයේය. බළල් පැටවකු වලිගයේ අගින් ඇද ළඟට ගත්තාක් මෙන් අයෝමය පොලිස් හස්තයකින් ‘‘රජතුමා’’ සිංහාසනයෙන් එළියට ඇද දමනු ලැබුවේ මොහොතකින්ය. එළියටද ඇදී එද්දී ද ‘‘රජු’’ දෑතින් ඔටුන්න බදාගෙන එය හිසෙහිම තදකර ගෙන පැළඳගෙන රජවී සිටීමට බලවත් උත්සාහයක් දැරූ සැටි කටුගෙයි සේවක පිරිස විස්තර කළහ. මේ කලබලය නිසා ‘‘අටමුළු තොප්පිය’’ ලෙස හැඳින්වෙන ඔටුන්නේ යටි පැත්තේ අල්ලා තිබුණු විල්ලූද රෙදි පටි දෙකක් ගැළවී තිබුණි. සිංහාසනය ආවරණය කැර තිබුණු දැවැන්ත වීදුරු මැදිරියේ එක් දොරක් බිඳී ලොකු පැලී ඉරක් මතුවිය. අපට එදා උදේ ලැබුණු ටෙලිෆෝන් පණ්ඩුඩය අනුව කටුගෙට යද්දී පොලිස් ජීප් රියේ පටවාගෙන ගියේ මේ ‘‘රජතුමා’’ ය. තමාගේම නම අප්පුහාමි යැයිද වරායේ අඟුරුමඩුවේ කලක් සේවය කළ බව පොලිසියට හෙළිදරව් කළ ඔහු විසිතිස් වාරයක්ම කටුගෙය බැලීමට පැමිණ සිංහාසනයේ වාඩි වෙන්නට අවස්ථාවක් එනතුරු බල බලා සිටියේ යැයිද අවස්ථාව උදාවූයේ මේ ඉරිදා යැයිද සිය කටඋත්තරයෙන් දක්වා සිටියේය. ‘‘ස්කිසො පේ‍්‍රනියා’’ නමැති මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන් මෙබඳු සිද්ධිවලට ගොදුරු වන බව බටහිර මනෝ විද්‍යාඥවරු පෙන්වා දෙති. උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අප්පුහාමි හොඳ ශරීර සනීපයෙන් තීන්දුවට මුහුණ දී සිටියේය. බරපතල වැඩ ඇතුව සති  කිහිපයක් සිරබත් කෑමට ඔහුට සිදුවිය. සිංහල සිංහාසනය සහ ඔටුන්න පිළිබඳ උරුමයක් තමාට ඇතැයි නඩු තීන්දුව අසාගෙන සිටි හෙතෙම උසාවියට කියා සිටියේය. එබඳු උරුමයක් ඇත්නම් තම අයිතිවාසිකම් දක්වා වෙනම නඩුවක් උසාවියට ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් විනිශ්චයකාරවරයා, මේ අන්දමට රටේ ජාතික පුරාවස්තු කෙළෙසීමට ඉඩ නොතිබිය යුතු හෙයින් උසාවියෙන් දී ඇති තීන්දුව පිළිගත් යුතු බවට විත්තිකරුට තේරුම් කැර දුන්නේය. මේ පරිද්දෙන් අප්පුහාමි ‘‘රජතුමා’’ සිංහාසනයෙන් පහකරනු ලැබ කම්වු පරිද්දෙන් හිරගෙයට ගියේය. (1965 - ‘‘ලංකාදීප’’)
රත්නපාල විතාන / 1965 ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි
සිංහල රජුගේ ඔටුන්න සිංහල රජුගේ සිංහාසනය