IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


ඡන්ද විමසීමට විද්‍යුත් ක්‍රමවේදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන ලද අතර මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්වීමට නියමිතව තිබුණේය. එහෙත්, මාර්තු 11 දින පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වය හමුවේ, ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය.

කෙසේ වුවද, මහ මැතිවරණය ලබන ජූනි 20 දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මේ වන විට තීරණය කර තිබේ. මේ අතර, කොරෝනා වසංගතය මුළුමනින්ම පහව නැති පසුබිමක් තුළ, ඡන්ද විමසීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් භාවිත කිරීම පිළිබඳ කථිකාවක් දියත්ව ඇත්තේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැනට භාවිත කෙරෙන ක්‍රමවේදය වෙනුවට විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම්, රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද මීට පෙර කිහිප වතාවක් අවධාරණය කොට තිබුණේය. ඡන්දය ප්‍රකාශ කිරීමට විද්‍යුත් යන්ත්‍රයක් භාවිත කිරීමෙන්, මුද්‍රිත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි යනාදිය සඳහා යන වියදම ඉතිරි වන අතරම, ඡන්ද ගණන් කිරීම සඳහා වැයවන ශ්‍රමය සහ කාලය ද අවම කරගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර පෙන්වා දී තිබුණේය.

ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශන යන්ත්‍රයක් ද ඇතුළුව නවීන තාක්‍ෂණික උපකරණ මැතිවරණ ක්‍රියාදාමය සඳහා නිසි පරිදි භාවිත කිරීමෙන් අත්කරගත හැකි වාසි බොහොමයක් වන බව විශේෂඥයන්ගේ පිළිගැනීමය. විශේෂයෙන්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා නවීන තාක්‍ෂණය ආධාර කරගත හැකි බව ලෝපුරා විශේෂඥයන් බොහොමයකගේ පිළිගැනීම වන්නේය. මේ සම්බන්ධයෙන්, මිලියන 814ක ඡන්දදායකයන් පිරිසක් සිටින, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාවෙන් අපට උගත හැකි පාඩම් බොහොමයක් ඇත්තේය.

ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිරීක්‍ෂණය සහ නියාමනය මෙන්ම, මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට අවසාන ප්‍රතිඵලය නිවේදනය කිරීම දක්වා වූ සෑම අදියරකදීම, අද ඉන්දියාවේ නවීන තාක්‍ෂණික උපකරණ භාවිත කරනු ලැබේ.

මැතිවරණ සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද, “විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍රය” (Electronic Voting Machine) නමින් හැඳින්වෙන කැල්කියුලේටරයකට සමාන කුඩා ඩිජිටල් උපකරණයක්, 2004 වසරේ සිට ඉන්දියාවේ සියලු මැතිවරණවලදී භාවිත කෙරේ. ඉන්දියානු රජය යටතේ පවතින, සීමාසහිත භාරත් ඉලෙක්ට්‍රොනික සමාගම සහ සීමාසහිත ඉන්දියානු ඉලෙක්ට්‍රොනික කර්මාන්තායතනය යන ආයතන දෙක විසින් මෙම ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශන යන්ත්‍රය නිෂ්පාදනය කරනු ලබන අතර, ආයතන දෙකෙහිම නිෂ්පාදන හැම අතකින්ම එකිනෙකට සමාන බව කියැවේ. තවද, 2014 පැවති ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන 930,000කදී මෙම කුඩා ඡන්ද විමසීමේ උපකරණ මිලියන 1.4ක් භාවිත කළ බව වාර්තා වේ.

මෙම ඉන්දීය විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍රය එකිනෙකට සම්බන්ධ වූ ඒකක දෙකකින් යුක්ත වන අතර, එකක් ඡන්දදායකයා විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහාද (Voting Unit) අනෙක මැතිවරණ නිලධාරීන් විසින් ඡන්ද ගණන් කිරීම හා නියාමනය සඳහා ද (Control Unit) භාවිත කරනු ලැබේ.

කුඩා මයික්‍රෝ චිපයක් උපකරණය තුළ සවිකර තිබෙනාතර, ඡන්දදායකයා බොත්තමක් ඔබා ඡන්දය ප්‍රකාශ කළ විට එය ඒ මොහොතේම මයික්‍රෝ චිපය තුළ සටහන් වේ. අනතුරුව එම දත්ත පාලන ඒකකයට ගලා ගොස් එහි ගබඩා කෙරේ. මේ සියල්ල කෙරෙන්නේ උපකරණය තුළ අඩංගු පරිගණක මෘදුකාංගයක ආධාරයෙනි.

තවමත් විදුලිය නොමැති ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවලදී බැටරිවලින් ක්‍රියාකරන ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර භාවිත කරන අතර, විදුලිය විසන්ධි වූ විටෙක හෝ බැටරි ක්‍රියා විරහිත වූ අවස්ථාවක යන්ත්‍රයේ ගබඩා කෙරුණු දත්ත යළි ලබාගැනීමට මෘදුකාංගයට හැකියාවක් ඇත. 2004 සිට මේ දක්වා වූ කාලය තුළ, මෙම කුඩා ඡන්ද මැෂින්වල හැකියාව හා විශ්වාසනීයත්වය පිළිබඳ පැමිණිලි ගණනාවක්ම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණද, ඒ සෑම අවස්ථාවකදීම අධිකරණයේ තීන්දුව වූයේ මෙම උපකරණ දෝෂ රහිත බවයි.

මහජන ඡන්ද විමසීම්වලදී මුල්ම වරට පරිගණක තාක්‍ෂණය යොදාගෙන ඇත්තේ, 1960 තරම් වූ ඈතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඒ කාලයේ පැවති කොම්පියුටර් සඳහා සිදුරු විදින ලද කාඩ්පත් යොදාගත් ආකාරයටම, ඡන්ද පත්‍රිකාවේ අදාළ අපේක්‍ෂකයාට ඉදිරියෙන් වූ ස්ථානය සිදුරු කොට භාවිත කොට ඇත.

1964 පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රාන්ත 7ක (සියලුම ප්‍රාන්තවල නොවේ) මෙම ක්‍රමය භාවිත කොට ඇත. වර්තමානයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පරිගණක තාක්‍ෂණය යොදා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේද තුනක් දක්නට ලැබෙනාතර, යටකී පරිදි ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලයේ ද දක්නට ලැබෙන ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර භාවිතය ඉන් පළමුවැන්නයි.

දෙවැනි ක්‍රමවේදය වන්නේ මුද්‍රිත ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා විසින් සලකුණු කිරීමෙන් පසුව එය ස්කෑන් කොට ඩිජිටල්කරණයට ලක්කිරීමයි. මෙම තාක්‍ෂණය දැනටත් බොහෝ රටවල, බහුවරණ ප්‍රශ්නවලින් සමන්විත පොදු විභාගවල පිළිතුරුපත් ඇගයීමේදී භාවිත කෙරේ. මෙහිදී ඡන්දදායකයා සිය සුපුරුදු ඡන්ද පත්‍රිකාවේ කතිරය (හෝ වෙනත් සලකුණක්) යෙදීමෙන් පසුව එය සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රයක ආධාරයෙන් ස්කෑන් කොට සටහන් කරගනු ලැබේ. අනතුරුව ඡන්ද ගණන් කිරීම සඳහා පරිගණක මෘදුකාංගයක් උපයෝගී කරගනු ලැබේ.

තුන්වැනි ක්‍රමවේදය වන්නේ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමයි. පැරණි සෝවියට් සමූහාණ්ඩු සංගමයට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපීය රටක් වන එස්තෝනියාවේ මෙම ක්‍රමය බහුලව භාවිත කෙරෙන අතර, ඒ සඳහා එස්තෝනියානුවන්ගේ ජාතික හැඳුනුම්පතට මයික්‍රෝ චිපයක් ඇතුල් කොට ඇත. එම චිපය තුළ අඩංගු මෘදුකාංගයට අදාළ පුද්ගලයා හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනාතර, ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට ඇතුළු වී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එස්තෝනියානුවන්ට දැන් හිමිව ඇත. එස්තෝනියාවේ පමණක් නොව එංගලන්තය, ස්විස්ටර්ලන්තය වැනි රටවල ද ජනමත විචාරණ පැවැත්වීමේදී මෙම ක්‍රමය යොදාගනු ලැබේ.

යටකී පරිදි, මැතිවරණ ක්‍රියාදාමය තුළ මෙයාකාරයට නවීන තාක්‍ෂණික මෙවලම් නිසි පරිදි යොදා ගැනීමෙන් අත්කර ගත හැකි වාසි බොහොමයක් වන බව විශේෂඥයන්ගේ පිළිගැනීම වෙයි. එකී වාසි අතර මුල් තැනට එන්නේ තාක්‍ෂණයේ උදව්වෙන් ඡන්දය සඳහා වැය වන කාලය සහ මුදල් ඉතිරි කරගැනීමට හැකි වීමයි.

නිදසුනක් ලෙස, 2010 වසරේ බ්‍රසීලයේ පැවති ජනාධිපතිවරණයට ඡන්දදායකයන් මිලියන 130කට නොඅඩු පිරිසක් සහභාගී වූ අතර, ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී මිනිත්තු 75ක් තරම් වූ කෙටි කාලයක් තුළ අවසාන ප්‍රතිඵලය නිවේදනය කරනු ලැබීය. ඒ අන්කිසි හේතුවක් නිසා නොව, බ්‍රසීලයේ භාවිත කෙරෙන (ඉන්දියාවට සමාන) විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍රයට පින්සිදු වන්නටය.

එමතුද නොව, මෙම යන්ත්‍ර නිෂ්පාදනය සඳහා කෙරෙන මූලික ආයෝජනය, ඒවායේ ආයුකාලය තුළ ඡන්ද පැවැත්වීම සඳහා වැය කෙරෙන මුළු පිරිවැයෙන් 25% ක් පමණ වන බව ගණන් බලා ඇත.

ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර නොමැතිව, 2004ට පෙරාතුව ඉන්දියාවේ අවසන් වරට පැවති මැතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා කඩදාසි ටොන් 8000ක් පමණ අවශ්‍ය වූ අතර, එය දළ වශයෙන් වැඩුණු ගස් 120,000ක් කපා දැමීමට සමානය. ඒ අනුව බලනා විට, ඡන්ද විමසීම් සඳහා ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය මූල්‍යමය වශයෙන් වාසිදායක වනවා පමණක් නොව පරිසරයට හිතකර ද වන්නේය.

තවද, විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර භාවිතයේදී අමතර වියදමකින් තොරව අපේක්‍ෂකයන්ගේ ඡායාරූප යොදා ගැනීමට ද අවස්ථාව සැලසෙන අතර, විවිධ ආබාධවලින් පෙළෙන අයට ද සාක්‍ෂරතාව අඩු අයට ද පහසුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවීම තවත් වාසියකි. එමෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඡන්දදායකයන් විසින් වැරදි ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම මෙම උපකරණය මගින් පහසුවෙන්ම වළක්වා ගත හැකිය. මේ නිසා ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලයේද මෑතකදී පැවැත්වුණු මැතිවරණවලදී ප්‍රතික්‍ෂේප වන (නැතහොත් අවලංගු වන) ඡන්ද ප්‍රමාණය නැත්තටම නැතිව ගොස් තිබේ.

කෙසේ වුවද, ඡන්ද විමසීම් සඳහා පරිගණක තාක්‍ෂණය උදව් කරගැනීම පිළිබඳ එතරම් කැමැත්තක් නොදක්වන විශාල පිරිසක් ද ලෝකයේ බොහෝ රටවල සිටිති. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් වන්නේ, ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වූ මොහොතක මුළු ක්‍රියාවලිය යළි පරීක්‍ෂා කිරීමට ඇති අපහසුතාවයි.

බොහෝ රටවල දැනට බලපැවැත්වෙන මැතිවරණ නීතිවලට අනුව ලිඛිත සාක්‍ෂි අවශ්‍ය වීම නිසා තත්ත්වය තවත් බරපතළය. මේ සඳහා විසඳුමක් ලෙස, ඡන්දය ප්‍රකාශ කළ පසු ඒ බව සනාථ කිරීමට ඡන්දදායකයාට කිසියම් කුවිතාන්සියක් ලබාදීමට යෝජනා වී ඇතත්, විද්‍යුත් ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර වෙනුවට ඉහත කී ඡන්ද පත්‍රිකා ස්කෑන් කිරීමේ ක්‍රමවේදය වඩා ඵලදායී බව පෙනෙන්නට ඇත. මුද්‍රිත ඡන්ද පත්‍රිකා ස්කෑන් කිරීමේ ක්‍රමය තුළ ලිඛිත සාක්‍ෂි ඉතිරි වන අතරම ඡන්ද වීමසීම සඳහා වැයවන කාලය ද බෙහෙවින් අඩුකර ගත හැකිය.

අනෙක් අතට, මැතිවරණ ක්‍රියාදාමයට නවීන තාක්‍ෂණය හඳුන්වාදීමේදී එය අදියරෙන් අදියර, ක්‍රමයෙන් කළ යුතු බව බොහෝ විශේෂඥයන්ගේ අදහසය. එහි මුල්ම පියවර ලෙස, ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ පරිදි ඡන්දදායක ලැයිස්තුව පරිගණක ගතකළ හැකිය.

ඒ මගින් අප රටේද, එකවර දෙතුන් පොළක ලියාපදිංචි වී සිටි ඡන්දදායකයන් විශාල පිරිසක් සොයා ගැනීමට හැකි විය. ඊළග පියවර විය යුත්තේ රටට වඩාත් ගැළපෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ යාන්ත්‍රික (ඉලෙක්ට්‍රොනික) ක්‍රමවේදය තෝරා ගැනීමයි. මෙහිලා, යටකී පරිදි, ඡන්ද පත්‍රිකා ස්කෑන් කිරීමේ ක්‍රමවේදය වඩා සුදුසු බව අපගේ අදහස වන්නේය.

එම ක්‍රමය තරමක් වියදම් වැඩි එකක් වුවද, ඒ හරහා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු කරගත හැකි බව අපගේ අදහසය.

කෙසේ වුවද, මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම මේ හැම දෙයකටම වඩා වැදගත්ය. ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලයේ ද ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශන යන්ත්‍ර ජනතාවගේ පිළිගැනීමට ලක්ව තිබෙන්නේ ඒ රටවල ක්‍රියාත්මක ඡන්ද ක්‍රමය පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසය නිසාය.

ඒ අනුව බලන විට, ලබන ජූනි 20 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් යොදාගැනීමට ඇති ඉඩකඩ සීමිතය.

 

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර



අදහස් (23)

ඡන්ද විමසීමට විද්‍යුත් ක්‍රමවේදයක්

Sidath Tuesday, 05 May 2020 08:42 AM

ඕවා කාරන්නා පුලුවන් යමක් දිහා විවෘතව බලල රටේ දියුණුවට ගන්න ක්‍රියාමාර්ග වලට අකුල් නොහෙලන විපක්ශයක් ඉන්න රටක.

:       0       133

Kamal Koyrala Tuesday, 05 May 2020 09:47 AM

හොද අදහසක්... සාර්ථක ක‍්‍රමයක්... මෙහි මිල අධික වුණත් ලංකාවෙ සමස්ත චන්ද වියදම බලනවිට ඉතා ලාභදායී සහ හොරකමට , කම්පියුටර් ජිල්මාර්ට් නැතිව සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකියි...

:       1       45

Nuwan Tuesday, 05 May 2020 10:24 AM

විද්‍යුත් ක්‍රමවේදයක්? දෙන්න වගේ යන්නේ අන්තිම තුරුම්පුව දාලා....

:       218       142

de silva Tuesday, 05 May 2020 10:47 AM

ඔය මැෂිම තබන්න වෙන්නෙත් චන්දපලේ. එමනිසා චන්දෙ දමන්න චන්දපලට යන්න චන්ද දායකයාට සිදු වෙනවා. ඔහුගේ අනන්‍යතාවය වැනි දේවල් පරික්ෂ කරන්න නිලධාරීන්ට සිදු වෙනවා. චන්දදායකයෝ සියල්ල චන්දෙ දෙන්න ඔය මැෂිම අල්ලන්න ඕනේ. එමගින් කොරෝන බෝවෙන්න පුළුව නිලධාරියෝ අල්ලසට දුෂණයට බර නිසා ප්‍රතිපල වෙන කිරීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා පුරුදු කඩදාසි භාවිතය කරගෙන යමු.

:       30       217

rana Tuesday, 05 May 2020 10:57 AM

ඉතා අනර්ග අදහසක්... නමුත් අපේ ගම මට්ටමේ බිම් මට්ටම පරිගණක දැනුම අනුව තව වසර 10 පමණ මේ දේ සිතීමටවත් පුලුවන්ද? දෙවනුව මෙම ක්‍රම වේදවල් වල නිවැරදිතාවය, අවංකකම, මෙවලම්, අනේ මන්ද මහත්තයෝ... නිකමුත් හොර චන්ද දාන අපේ කස්ටියට ඕක නිකම් වඳුරට ඉනිමග දුන්න වගේ වේනේ...?

:       3       55

siri Tuesday, 05 May 2020 11:46 AM

"කොම්පියුටර් ජිල්මාර්ට්" කතාව මතක් උනා. මේ තියෙන වාතාවරණය යටතේ ඒවා හරිම ටොයිස් වැඩ කියල කවුරු හරි කියන්නත් බැරි නැහැ.

:       0       261

victor Tuesday, 05 May 2020 11:46 AM

ගොනා හැරෙන්නේ පොල්පැලේටයි....

:       5       118

චමින්ද Tuesday, 05 May 2020 12:25 PM

අදහස නම් හොඳයි. තුනෙන් දෙකේ බලය අවශ්‍ය අයට පංකාදුයි... නමුත් වාර්ෂික ඡන්ද ලැයිස්තු සැකසීමේදී පියා මව වැඩිමහල් දරුවා පිලිවෙලට ලැයිස්තු සැකසිම කරගත නොහැකි මැතිවරණ දෙපාර්තමේන්තුවට මෙම කටයුත්ත කිරීමට හැකිවේදැයි සැකයි...

:       2       45

Ruwan Tuesday, 05 May 2020 12:33 PM

මෙක හොද අදහසක්... හැබැයි මෙ වෙලාවෙ නම් කරන්නේ කසකාරයගේ වැඩෙ...

:       2       20

Deepal Nirosh Tuesday, 05 May 2020 02:20 PM

යෝජනාව නම් ඉතාම හොඳයි. ඇත්තටම මීට පෙර ක්‍රියාත්මකව කළ යුතුව තිබූ අදහසක්. ඒත් මේ ක්‍ර‍මය එකවරම සම්පූර්ණ චන්ද වීමසිමකට යොදා ගැනීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් මතුවෙන්න පුළුවන්. හැබැයි මෙය ප්‍ර‍ථමයෙන් තැපැල් ඡන්දදායකයින් සඳහා පමණක් යොදාගෙන අත්හදා බැලීමයි යෝග්‍ය..

:       0       58

vipula Tuesday, 05 May 2020 02:54 PM

කලින් තිබුණු ආණ්ඩුවට නම් මේවගේ දේවල් අනවශ්‍ය වෙලා තිබුනේ... මොකද අවුරුදු 5 ටම තිබ්බේ එක මැතිවරණයයි..

:       16       21

රට වෑසියා Tuesday, 05 May 2020 03:37 PM

නරින්ට කුකුල් කොටු බාර දුන්නා වගෙ තියෙයි...

:       22       130

Samansaman Wednesday, 06 May 2020 02:33 AM

සමහර අදහස් දැක්කාම හිතුනෙ "වෘෂභයින්ට උත්තම දේ තෘණම පමණි ."

:       27       1062

Manjula Wednesday, 06 May 2020 03:13 AM

අවුරුදු 10ක පමණ කාලයක සිට ලංකාවේ මේ ගැන පරීක්ෂණ කෙරුනා මතකයි. මේ පාරවත් වැඩේ කෙරුනොත් හොඳයි. විෂබීජ අවදානම අඩුයි. වංචා අවදානම අඩුයි. වියදමත් අඩුයි.

:       46       11

Pradeep Wednesday, 06 May 2020 07:03 AM

කලයුතු අනර්ඝ වැඩක්. ලිඛිත සාක්ෂියක් අවශ්‍යම නම් අදාළ පුද්ගලයන්ගේ නම් කල දුරකතනයකට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමක් සිදුකල හැකියි. සෑම දේකම වැරදි පැත්ත පමණක් නොබලා ඒ වැරදි අවම කරගෙන කටයුතු කිරීමයි කරන්න ඕන. මේ ක්‍රමය විශාල මුදල් ඉතිරියක්. ඒ වගේම විශාල කඩදාසි නාස්තියක් වැළකීමක්.

:       0       36

Kumar Wednesday, 06 May 2020 03:43 PM

විද්‍යුත් චන්ද ක්‍රමයට රැවටෙන්න එපා. මෙතරම් තාක්ෂනය දියුණු ඇමෙරිකාවේ විද්‍යුත් චන්ද ප්‍රතිපල වෙනස් කරන්න රුසියාව සහ චීනය උත්සහ කරනවා. ඕනෑම අන්තරජාලයට සම්බන්ධ විද්‍යුත් උපකරණයක් කෙතරම් ආරක්ෂා කළත් ඇතුල් වෙන්න පුළුවනි.

:       2       4

Sumene Friday, 08 May 2020 07:14 AM

මෙම ක්‍රමය ක්‍රියාත්මක කරද්දි පළමුවර ඒ කියන්නෙ දැන් පවතින ක්‍රමය හා නව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට යන ක්‍රම දෙකටම චන්දය ප්‍රකාශ කිරීමට අවස්ථා ලබාදී පසුව ප්‍රතිඵල සංසන්දනය කිරීමෙන් සමාජය තුළ විශ්වාසය තහවුරු කළ හැකි අතර , දෙවනුව.. ප්‍රකාශ කළ මනාපය සහ පුද්ගල අනන්‍යතාවය - බලයලත් ස්වාධීන ආයතනයකදී නැවත ප්‍රතිනිර්මාණය කර ගත හැකි රහස්‍ය-encrypted ඛේතයක් සැනෙකින් මුද්‍රණය කර කුඩා චිට් පත්‍රයක්-atm ගනුදෙනු පත වැනි- චන්දදායකයාට නිකුත් කල හැක. මෙම සියලු ප්‍රශ්නයකටම ඉතා සරළ විසදුමක් තාක්ෂණයේ පවතින නමුත් ක්‍රියාත්මක කරන්න්ගේ දැනුමේ පවතින අඩු පාඩු විසින් අභියෝගය සංකීර්ණ කරනු ඇත..

:       0       133

ජගත් අමරසිංය Friday, 08 May 2020 11:34 PM

හොඳ අදහසක්... නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි. මහමැතිවරණයට යොදා ගැනීම සුදුසුයි...

:       0       0

සමන් Saturday, 09 May 2020 04:07 AM

අදහස හොඳයි... වුවමනා උපකරණ ලංකාවේම නිෂ්පාදනය කරනවා නම් සහ ඔය පරිගණක පද්ධතිවල තොරතුරු ලංකාවෙන් පිට නොයනවා නම්.. දැනට රාජ්‍ය ආයතන (ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ) සහ අනිකුත් බැංකු, ඉස්පිරිතාල තොරතුරු පද්ධතිවලට අයිතිය ඇත්තේ විදේශීය ආයතන වලටයි.

:       1       0

maheshika Saturday, 09 May 2020 09:27 AM

මුලින්ම විරුද්ධ වෙන්නේ ජවිපය...

:       1       2

PA - RA Monday, 11 May 2020 02:45 PM

ඕක අපි ඒ කාලේ ඉදන් කිව්වේ ඔය නාඩගමම තමයි...

:       0       0

jiliyan Friday, 15 May 2020 04:58 PM

වැඩේ දෙන්න වගේ හදන්නේ.. 6 යෙන්... 5 ක් ගන්න වගේ... මේ ගහන්න හදන්නේ ගේමක් ...

:       0       6

de silva berlin Saturday, 16 May 2020 04:31 PM

ලෝකයේ තාක්ෂණයෙන් ඉතා දියුණු ජෙර්මනියේත් චන්දය දෙන්න තවම භාවිත කරන්නේ කඩදාසි.., චන්ද අක්‍රමිකත්වයක් සිදුවුනොත් කඩදාසි ක්‍රමයේදී පහසුවෙන් සොයාගත හැක..., පරිගණක භාවිතය වියදම් සහිතය... මේ සදහා විශේෂ පරිගණක මිලදී ගන්න විශාල මුදලක් වියදම් වේවි..., චන්දයක් සෑම මසකම නොපැමිණේ. අවරුදු කිහිපයකින් චන්ද පැමිණේ , සමහර විට මෙම ඉලෙක්ට්‍රොනික් යන්තර වැඩකරන්නේ නැති වුනොත් අලුතෙන් ගන්න වෙනවා. හදිසියේ චන්දය දෙන අතරමගදී මේවා අක්‍රිය වුනොත් මොකද කරන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1159 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2776 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 944 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 727 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 933 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 812 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site